රිදී විසින් ඔතා දෙනු ලැබූ සව් දොදොල් මුල සිසිර ගෙදර ගෙන ගියේ හාල් ගෝනියක තරම් බරකින් යුතුව ය.
“කොහෙන්ද මේ සව් දොදොල්”
කියා බිරිඳ විමසත්දී ඒ බර දෙගුණ තෙගුණ වී හිතට දැනිණ.
“හම්බුණා”
කියා කීවාට හම්බ වුණේ කාගෙන් ද කියා ඔහු කීවේ නැත. යාළුවෙකුගෙන් වෙන්නට ඇතැයි සිතන්නට බිරිඳ උත්සාහ කළා ය. නමුත් ටික දිනක සිට සිසිර ගේ හැසිරීම වෙනස් නිසා, ඔහු අලුත් සතුටකින් සිටිනා බව දැනෙන නිසා,
“කොහෙ හරි ඉන්න ගෑනියෙක් දෙන්න ඇති. අනුංගෙ පිරිමි හොරකං කරන්න මාන බලන අසමජ්ජාති ගෑනු”
යයි ඇය පුපුරමින් සිතුවා ය. ඒ සව් දොදොල් කමින් තේ බොන ගමන් බිසෝ එහි රස වැනුවා ය. නමුත් කැබැල්ලක් ගෙන කන්නට රේණුකා ට සිත් දුන්නේ ම නැත.
“ඕවට මොනාහරි කරල දාලද දන්නෙත් නෑ. පවුල් කැඩිල යන්න”
ඇය දෙගිඩියාවකින් සිතුවා ය. නමුත් බිසෝ කියන කතාවේ ද ඇත්තක් නැත්තේ නොවේ.
“කවුද බං මේ නාකි පඩංගු එල්ලගන්නෙ දැං…”
ඒ කතාව සිහි කොටගෙන ඇය හිත සනහාගනී.
සිසිර ට ඔහු ගැන නිතර ම දැනෙනා වරදකාර හැඟීමෙකි. චන්දුල හා පාරුල් දකිත්දී එය තීව්‍ර වෙයි. එදා ඔහු හැසිරුණේ වැඩිහිටි පිරිමියෙකු ලෙස නොවේ ය යන පසුතැවීම දැන් ඔහු ව පෙළයි. එය විඳවීමකි. දියණිය පාරුල් ඔහු ගේ වියපත් හදවත මත ගැල්වෙනා දිව ඔසුවකි. ඇය ඔහු සමගින් කතා බහකට එන්නේ ම නැත. නමුත් හිතේ තරහවක් නැති බව ඒ මූණේ රැඳෙනා සිනහව කියයි. මිනිහෙකු ගේ හෘද සාක්ෂියට වැඩිපුර ම රිදෙන්නේ ඔහු වැරදි කළ මිනිසුන් ඔහු ට සමාව දෙත්දී ය.
චන්දුල ගේ නම් හිතේ තවමත් ඒ තරහව තිබෙනා බව සිසිර දනී. ඔහු ට වත්තේ – ගේ ඉදිරියේ සරන්නට ඉඩ දී නිහඬ වන්නට චන්දුල තීරණය කරන්නට ඇත්තේ සමාව දීමෙන් නොව ඔහු වැරදිකරුවෙකු බව උකහා පෙන්වීමෙනි. සිසිර ඔහු ට පුරුදු ගෙට ගොඩවෙන්නේ නැත. ඔවුන් ගෙතුළට ඔහුව කැඳවන්නේ ද නැත. ඉතින් කොහොමත් ඔහු පිට මිනිසෙකි. වැරදිකාරයෙකු ට සමාව දෙන්නට නිවැරදි මිනිසුන් ට පිළිවන. නමුත් වැරදිකරුවන් යළි තමන්ගේ මිනිසුන් සේ ඔවුන් ට දැනෙන්නේ නැත. හදවතේ හතර මායිමට කැඳවාගන්නට ඕනෑ වන්නේ නැත. එතැනදී සිසිර විඳවුම් ලැබුවේ ය. හදවතේ විඳවුම උස් සිනහවකින් හංගාගෙන හිටියේ ය.
දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ රිදී ගේ ආත්මයෙහි වූ සෝදාපාළුව ද දැන් නැත. ඇය සන්සුන් හා නිවුණු ගැහැනියක වී සිටියා ය. සිසිර ගැන තිබුණ ලෝභකම ද ආශාව ද ඔහු යළි වත්තේ ගැවසීමත් සමගින් ක්ෂය වී යන ලදී. සිය ජීවිතය දෙස ආපසු හැරී බලත්දී ඇයට ඒ සියලු බර තනිව උහුලාගන්නට සිදු වූයේ ඔහු නිසාවෙනි. ඔහු රහසින් හෝ වත්තට ඇවිත් දරුවෙකු ගේ මූණවත් බලා ගියේ නැත. කාලාන්තරයක් තිස්සේ ඈ දරා උන් ප්‍රේමය බිමින් තැබූ කල යථාර්ථය රිදී ඉදිරියෙහි නග්න වන්නට වූයේ ය. ඔහු වෙනත් ගැහැනියක ගේ සැමියෙකි. ඒ ගැහැනිය සමගින් ඔහු ජීවත් වන තුරා සිටිය යුතු වේ. එදා රිදී ඇය වෙනුවෙන් සව් දොදොල් මුලක් බැඳ දුන්නේ ඒ සීමාව සලකුණු කරමිනි. දැන් සිසිර රිදී ගේ කවුරුන්වත් නොවේ!
රිදී සිංගප්පුලිගේ ගෙදොරකඩ පඩිය මතට වී කල්පනා කරමින් සිටියා ය. සිසිර නික්ම ගියාට පස්සේ මේ වත්තේ ම පිරිමින් කී දෙනෙකු ඇයව යහනට කැඳවා ගන්නට උත්සාහ කරන්නට ඇත්ද? මිනිසුන් ගේ කාමාශා වලට දුප්පත් පොහොසත් වැදගත් නො වැදගත් උගත් නූගත් බේධයක් නැත. සිහි නුවණින් කල්පනා කොට එකී කාම ගිනි පාලනය කරගන්නට තරම් බුද්ධියක් වගා කරගත යුතු වේ. සිසිර නික්ම ගියාට පස්සේ රිදී කිසිදු පිරිමියෙකු ගේ කායික අවශ්‍යතා වෙනුවෙන් බිලි නොවී සිටියේ ම ඇය දැරූ ප්‍රේමය නිසාවෙන් වන්නට ඇත. අනිත් අතට ඇය වටා ‘පවුලක්’ සිටියේ ය. පවුලක් තුළ වන රැකවරණය ගැහැනියකට හමුදාවක් ඇතුළේදීවත් නො ලැබෙනු ඇත. දැන් හිතත්දී කෙසඟ සිරුරක් තිබුණාට ඇය යකඩ ගැහැනියකි. වෛද්‍යවරියක වීමට තරම් සිය දියණියට උගන්වාගන්නට ඇයට හැකි විය. චන්දුල කවදත් වත්තේ කැපී පෙනෙනා පිරිමි දරුවා වූයේ ය. දෑතින් දරුවන් දෙදෙනා තදින් අල්වාගෙන ඇය පැමිණි ගමනකි මේ. සිසිර වාගේ ඇය දරුවන් අත්හැරියේ නැත. රිදී ට ඇය ගැන අභිමානයක් දැනේ. ඒ ආඩම්බරය තනිකර ඇයට අයිති වූවකි. සිසිර ට එහි අල්ප වූ හෝ හිමිකමක් නැත්තේ ය. නමුත් ඒ තරම් හරියක් කරගන්නට රිදී ට වූ එක ම හයිය සිසිර වෙනුවෙන් බැඳි ප්‍රේමය බව පිළිගත යුතුව තිබේ!
ලොන්ඩරියට පැමිණෙන ලෙස ජයතිස්ස ගේ පුතුගෙන් සිසිර ට ඇමතුමක් ආවේ ය. ඔහු එහි ගියේ කඩිමුඩියෙනි. යම් කිසි වෙනසක් සිසිර ට දැනිණ. ජයතිස්ස ගේ පුතා දැන් ලොකු මිනිහෙකි. නමුත් ඔහු කුඩා ඇච්චෙකු කාලයේ පටන් සිසිර ට සමීප ය. ඒ දරුවන් දෙදෙනා සිසිර ගේ ම ළමයින් සේ හැදිණි. සිසිර ගේ හිතේ සිය දරුවන් දෙදෙනා වෙනුවෙන් වෙන් විය යුතු ඉඩ ඔවුන් දෙදෙනා විසින් නො දැනී ම අයිති කරගන්නට ඇත.
“සිසිරයියෙ”
මහේල ජයතිස්ස ගේ ම නිවුණු බවින් කතා කළේ ය. ඒ ළමයින් කුඩා කල පටන් ම සිසිර ඇමතූයේ අයියා වශයෙනි.
“මොකද කලබලේ…”
සිසිර සිය හදවතේ කලබලය පුරුදු සිනහවෙන් ලොන්ඩරිය පුරා විසිරුවා හැරියේ ය.
“කලබලයක් නෑ සිසිරයියෙ. හැබැයි කතා කරන්න දෙයක් තියනව. තාත්ත නැති නිසා… ඇත්තටම දැන් ලොන්ඩරිය කරගෙන යන්න අමාරුයි”
සිසිර ගේ බඩ පපුව දැවීගෙන ගියේ ය. මේ ලොන්ඩරියත් එක්ක ඔහු ගේ බැඳීම ඔහු යෞවනයෙකු කාලේ පටන් ය. ජයතිස්ස ට කොයි දේටත් හිටියේ ඔහු පමණකි. සිසිර රිදී ගේ ගෙදර බින්න බැසි වෙලාවේත්, ඔහු ඒ ගෙදර අතැර ආ වෙලාවේත් ඔහුව තේරුං ගත්තේ ජයතිස්සයි. ඔවුන් දෙදෙනා එක්ව කතා කරන ලද අප්‍රමාණ ජීවන කතන්දර මේ දැනුත් සිසිර ට ඇහෙන්නා මෙනි. මේ දැනුත් ලොන්ඩරියේ බිත්ති හතර අතරේ නින්නාද වන්නා මෙනි.
“එහෙම කියල බෑනෙ බං”
සිසිර ට එහෙම කියවුණේ නිරායාසයෙනි. ඔහු ගේ සිනහව පලා ගොස් තිබේ. ආත්මයෙන් කොටසක් ගිලාබහින්නට යන්නා සේ ඔහු ට දැනේ.
“කොහොමහරි කරමු. මාත් ඉන්නවනෙ”
“සිසිරයියෙ”
මහේල අවධාරණයෙන් සිසිර ඇමතුවේ ය.
“නංගිගෙ මහත්තය කොහොමටත් මේ වැඩ වලට කැමති නෑ. අනික එයා රටනෙ ඉන්නෙ. නංගිට මේක කරන්නත් බෑ. සිසිර අයිය දන්නවනෙ මාත් රට ජොබ් එකක් සෙට් කරගන්න දැඟලුව කියල. එකක් හරිගිහිං තියනව. රුමේනියා. එහෙට ගිහිං ටික කාලෙකින් ඉතාලි පනින එක තමයි බලාපොරොත්තුව”
“අම්මටඋඩු. සතුටුයි ආ. උඹට හරියනව කියන්නෙ මට හරිගියා වගේ තමයි”
“ඒක අපි දන්නව සිසිරයියෙ. නංගියි මායි කතා වුණේ… ඕන්නං අපිට මේක විකුණන්න පුළුවන්. ඒත් සිසිරයිය ඉද්දි එහෙම කරනව කියන්නෙ… අම්මගෙයි තාත්තගෙයි මිණී වළවල් වලටත් සැනසීමක් නැති වෙයි. අපේ අම්මගෙ තාත්තගෙ වගේම සිසිරයියගෙ දාඩියත් මේ ලොන්ඩරිය වෙනුවෙන් වැටිල තියනව. අපි තීරණේ කළා සිසිරයිය කැමතිනං… මේක ඔයාට බාර දෙන්න. ඔයා කරං යන්න. මං ආයෙ කොයි කාලෙක ලංකාවෙ සෙට්ල් වෙයිද කියන්න බෑනෙ”
සිසිර ට එකවර කතා කරගත හැකි වූයේ නැත. හදවත් එහෙම බර වෙන වෙලාවල් තිබේ. හිර වෙන වෙලාවල් තිබේ. ඔහු ගේ ඇස් කඳුළු පටලයකින් බොඳ වෙන්නට ගත්තේ ය. සිසිර ට සිය පවුල වෙනුවෙන් යුතුකම් ඉටු කළ නො හැකි විය. සිය ලෙයින් උපන් දරුවන් අතැර දමා ජීවත් වන්නට සිදු විය. නමුත් ලොන්ඩරියේ පවුලට සිය පවුලට සේ ඔහු ආදරය කළේ ය. ඔවුන් වෙනුවෙන් පණ දෙන්නට වුව සිටියේ සිසිර ය. ලොන්ඩරියේ කිසිවෙකුට ඒ බව අමතක වූයේ නැත. ඊට ගෞරවයක් ලෙස ජයතිස්ස ද ඔහු ගේ බිරිඳ ද සිසිර වෙනුවෙන් ඔවුන්ගේ මව්පියන් රෙදි ඇපිල්ලූ මඩ ඉඩම් කැබැල්ල ලියා දුන්හ. දැන් ඔවුන් ගේ දරුවන් දෙදෙනා ඔහු ට ලොන්ඩරිය පවරා දීමට යයි.
“වාසනාව. වාසනාව. උඹගෙ වාසනාව”
බිසෝ සතුටු වූවා ය. නමුත් සිසිර ගේ හිතට වද දෙන කාරණයක් තිබිණ.
“රිදී රෙදි අපුල්ලන ගෑනියෙන් නිසා අම්මට ඒ ගෑනි වහ කදුරු වුණා. මට ළමයි දෙන්නයි ගෑනියි දාල එන්න වෙන තැනටම අම්ම මගෙ ඔළුව කෑව. අන්තිමට අම්මටත් රෙදි අපුල්ලපු වත්තක ජීවත් වෙන්න උනා. මට ලොන්ඩරියක්ම කරගෙන ජීවත් වෙන්න වුණා. මේවට කියන්නෙ වාසනාව කියල නෙවෙයි අම්මෙ. දෛවයෙ විහිළු කියල. කළකම් පළදෙනව කියල”
ඊළඟ සතියේ පැවති ගායන තරු තරගය බලන්නට සිසිර ලොන්ඩරි වත්තට ගියේ නැත. ඇයිදෝ මන්දා ඔහු ට ඊට හිත ඉඩ දුන්නේ ම නැත. නැවතත් අර පරණ හෝන්දු හාන්දු ගතිය ම දැනෙන්නට වූයේ ය. එදා ඔහු තරගය නැරඹුවේ ගෙදර රූපවාහිනියේ ය. චන්දුල ඇල්ලගේ ට තිබෙනුයේ සිසිර ගේ ම රූප ලක්ෂණයි. ඒ කටහඬමයි. ඔවුන් ගේ වාසගම් ද එක ම ය. ඒ සිසිර ගෙන් රිදී ට දාව උපන් පුතු බව බිසෝ ඉන්තේරුවෙන් දැන සිටියා ය. නො ඇසුවාට රේණුකා ද එසේ අනුමාන කළා ය. චන්දුල ගී ගයත්දී සිසිර බලා හිඳි අයුරු රේණුකා ගේ පපුව සූරා දමන ලදී. නමුත් ඇයට වචනයක් කතා කළ නො හැකි ය. ඔහු ට දරුවෙකු දෙන්නට ඇය අසමත් වූවා ය.
ලොන්ඩරි වත්ත වෙනදා වාගේ ම විය. වත්තේ අයට සිසිර නැති බව සිහි විය. ඔවුන් ට යම් පාළුවක් නො දැනුණා ම නොවේ.
“සිසිර අන්නා හිටියනං හිනා වෙලා පණ යනව”
ගැහැනු ඔහු ගැන කතා කළහ. ඔහු නැති බව රිදී ට ද චන්දුල හා පාරුල් ට ද නො දැනුණා නොවේ. නමුත් ඔවුහු උනුන් සමග ඔහු ගැන කතා නොකළහ. එක අතකට ඔහු නෑවිත් සිටිනා එක හොඳ යයි සිතිවිල්ලක් රිදී ගේ යටි හිතෙන් තුනීවට මතු නො වූවා ම ද නොවේ. අවශ්‍ය වනුයේ හැම හදවතක ම සාමයයි. සිසිර ආවේ නැතිවා කියා දැන් රිදී ගේ හදවතෙහි සාමය බිඳී යන්නේ නැත. ඔහු යනු ඇය වෙතින් ගලවාගෙන ගොස් තව තැනක පැළ කළ ගසකි. ඒ පීතෘ ශාකයෙන් ජනිත වූ දුහිතෘ පැළෑටි දෙකක් ඈ අස සරුවට වැඩෙමින් තිබේ. එපමණකි. ඒ ප්‍රමාණවත් ය.