අනියම් සබඳතා ඇතුලෙ ආදරය හෙව්ව සමාධිගෙ කතාව

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

“ඔයාට ඉන්න හිටින්න තැනක් නැතුව ඉද්දි, ඔයාට කියල හරිහමං රස්සාවක් නැතුව තියෙද්දි මම ඔයාව කසාද බැන්දෙ කොච්චර ආදරෙන්ද. ඒ කරලත් ඔයාට කන්න බොන්න, ඔයාට ඕන කරන හැමදේම දෙන්න මම සල්ලි හොයනවා. ඔයාට ඇයි බැරි පොඩ්ඩක්වත් මට ආදරෙන් සලකන්න, මාත් එක්ක ආදරෙන් කතා කරන්න.

ඔයාම හිතලා බලන්න අපි දෙන්න අන්තිමට එකට හිටියෙ කොච්චර කාලෙකට කලින්ද? මට මතකවත් නෑ ඔයා මාව කිස් කරපු දවසක්වත්. අඩුමගානෙ මං මේ කියන දේවත් අහගෙන ද ඔයා ඉන්නෙ? මං කාගෙන්ද මිනිහො මේව ඉල්ලගන්න? කවුද වෙන මට ආදරේ කරන්න ඉන්නෙ? මං තමුසෙ එක්ක නැතුව වෙන කාත් එක්කද නිදාගන්නෙ?” කියල සමාධි නිලන්තට කෑගැහුවා.

ඒ උනාට නිලන්ත කලේ සුපුරුදු විදියට මෙලෝ දෙයක් කියන්නෙ නැතුව සමාධි කියන ඔක්කොම ඒව අහගෙන ඉඳපු එක.නිලන්තට දැන් ඕව පුරුදුයි. සමාධි ඔහොම කෑගහන එක, බිත්තියෙ ඔලුව ගහගෙන ගහගෙන යන එක, බාතෘම් එකේ ශවර් එක ඇරගෙන ඒක යටට වෙලා පැය ගණන් තෙමෙන ඒව අඩුම මාසෙකට එක වතාවක් හරි වෙන නිසා නිලන්ත දැන් බීරි අලියෙක් ගාණයි.

“මම නිලන්තව කසාද බැන්දෙ ඇත්තටම ආදරේ හන්දද? එහෙම නැත්තම් අනුකම්පාව හන්දද?” කියලා සමාධි ආයෙ ආයෙ හිතුවෙ තමන් ගෙවන ජීවිතේ තමන්ටම කරදරයක්, එපා වීමක් බව දැනිලා කවුන්සලින් යන්න හිතාගෙන අපොයින්ට්මන්ට් එකක් දාලා කවුන්සලර් හම්බෙන්න ආව වෙලාවක ලොබියෙ වාඩි වෙලා ඉන්න ගමන්.

“මම නිලන්තව කසාද බැන්දෙ ඇත්තටම එයා ගැන අනුකම්පා කරලා. මම එයාව කසාද බැන්දෙ නැත්තම් ඇත්තටම එයාට කිසිම කෙනෙක් නැතුව අන්ත අසරණ වෙන්න තිබුණා. ඒ නිසාම මම හිතුවා එයා මට පණ ඇරලා ආදරේ කරාවි කියලා” සමාධි කවුන්සලර් තමන්ට කතා කරනකම් එලියෙ වාඩිවෙලා ඉන්න අතරෙ එහෙම තමන්ගෙ හිතටම කිව්වා.

නිලන්තගෙන් ලැබිච්ච නැති ආදරේ හොයාගන්න තමන් කී දෙනෙක් ලඟ නම් නතර වුනාද? කී දෙනෙක්ට නම් ආදරේ කරාද? ඒත් අන්තිමේ ඒ ආදර කතා කැඩිලා බිඳිල ගියෙත් තමන් බලාපොරොත්තු වෙච්ච විදියට ඒ මිනිස්සු තමන්ට ආදරේ කලේ නැති හන්දා.

“නිලන්තගෙන් මං හොයපු ආදරේ රැකවරණය, විතරක් නෙවෙයි සෙක්ස් ලයිෆ් එක පවා නොලැබිච්ච තැන මම වෙන මිනිස්සු එක්ක යාලු උනා. ඒ හැමෝම වගේ මැරීඩ් අය. මං බලාපොරොත්තු උනේ ඒ ගොල්ලො හරි මං බලාපොරොත්තු වෙච්ච විදියට මට ආදරේ කරාවි කියලා.

මට ඕන උනේ හවස වැඩ ඇරිලා එයාලා එක්ක එලියට යන්න, ෆිල්ම්ස් බලන්න යන්න, කන්න බොන්න යන්න. එයාලා බර්ත් ඩේ එකට එහෙම මාව සර්ප්‍රයිස් කරනවා බලන්න. ඒ උනාට ඒ අෆෙයාර්ස් අස්සෙ පවා මට සිද්ද වුනේ හැංගිලා ආදරේ කරන්න. ආදරේ නෙවෙයි ඇත්තටම එතන තිබ්බි ශරීර ගනුදෙනුවක් විතරයි කියල තේරිච්ච තැන්වලදි අපි රණ්ඩු වුනා අන්තිමේ බ්‍රේක් අප් උනා.

මට ඒව මතක් වෙද්දි ඔලුව බිත්තියෙ ගහගෙන ගහගෙන යන්න හිතෙනවා” කියලා සමාධි මනෝ උපදේශකවරියට කිව්වෙ තමන් දැනටමත් Severe Depression වලින් පීඩා විඳින බව පෙන්නුම් කරමින්.

අනියම් සබඳතා කියන්නෙ අපිට කිසිම වෙලාවක සාධාරණීකරණය කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒත් සමහර මිනිස්සුන්ට සාධාරණ හේතු තියෙනවා ඒ වගේ දේවල් කරන්න. සමාධිට වෙලා තිබුනෙ සමාධි තමන් ගැන නොහිත, තමන්ගෙ සතුට සහ යහපත ගැන නොහිත අනෙක් අය ගැන විතරක් හිතලා සබඳතා ඇතුලට යන එක. සමාධි නිලන්තව කසාද බැන්දෙ අනුකම්පාව නිසා. ඒ අනුකම්පාව භූමිකම්පාවක් වෙද්දි සමාධි අවුරුදු ගානක් විවාහ ජීවිතේ ඇතුලෙ තමන්වම රවට්ටගෙන, තමන්ටම රිද්දගෙන ඉවරයි.

විවාහක කෙනෙක් තවත් විවාහක කෙනෙක් එක්ක අනියම් සබඳතාවයක් පටන් ගනිද්දි ඒ සම්බන්ධෙ ඇතුලෙ අනෙක් කෙනා තමන්ව තනිකඩ කෙනෙක් විදියට පිළිගනීවි කියලා බලාපොරොත්තු වෙන එක මෝඩකමක්. විවාහක් පාර්ශ්ව දෙකක් ඇතුලෙ වෙන අනියම් සබඳතාවයකදි දෙදෙනාව දන්නවා “මෙයාට ඉල්ලුමක් නෑ, මෙයා වේකන්ට් කෙනෙක් නෙවෙයි” කියන එක. ඒ නිසා කිසිම වෙලාවක තනිකඩ කෙනෙක් වගේ පිලිගන්නෙ නෑ. එහෙම බලාපොරොත්තු වෙන එකම දැන දැන රැවටීමක් බව කියන්නම ඕන.

අපි ආදරය කියන නම ඉස්සරහට දාලා සබඳතා පටන් ගන්නවා. ඒ සබඳතා පටන් ගන්න කලින් අපි ඇත්තටම හිතන්න ඕන මේ සබඳතාවය ඇතුලෙ මම හොයන ආදරය, රැකවරණය, සතුට මට ලැබෙනවද කියන එක. දෙදෙනාම එහෙම තමන් ගැන හිතුවොත් විතරයි අපිට සබඳතාවය ඇතුලෙ අනෙක් කෙනා ගැනත් හිතන්න පුලුවන්කම ලැබෙන්නෙ.

මිනිස්සුන්ට අනුකම්පා කරලා විවාහ වෙන්න හෝ සබඳතාවලට යන්න එපා. තමුන් ගැන හිතලයි අපි කෙනෙක්ව තෝරගන්න හෝ සබඳතාවයකට යන්න ඕන.

ඕනම මැරේජ් ලයිෆ් එකක ඕනම කෙනෙක් ලැබෙන්න ඕන දේවල් නොලැබෙන කොට හරි හෝ වැරදි වේවා වෙන ක්‍රමවලින් ඒ දේවල් ලබාගන්න උත්සහ කරනවා. ඒක අපිට වලක්වන්න අමාරුයි.හැබයි හොඳින් මතක තියාගන්න ඕන විවාහක කෙනෙක් එහෙම සබඳතාවයක් හදාගනිද්දි තනිකඩ කෙනෙක් සබඳතාවයක් පටන් ගන්නවා වගේ නෙවෙයි ලැබෙන සැලකීම වෙනස්.

ඒ නිසා තමයි කියන්නෙ Expectations, Desperation නිසා ජීවිතේ වැරදි තීරණ ගන්න එපා. තව කෙනෙක්ට රිදවන්න හිතාගෙන ඔයා ගන්න වැරදි තීරණ හන්දා අන්තිමේ දුක් විඳින්නෙ, ජීවිතේ හැමදේම අහිමි වෙන්නෙ ඔයාටම වෙන්න පුලුවන්!

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles