පාරුල් ව අමාත්‍යාංශයට බලහත්කාරයෙන් රැගෙන ඒම පිළිබඳව, සුරත් සමගින් ගඟුල් හිටියේ කේන්තියෙනි. මේ ගැන කතා නොකොට නිහඬ ව සිටීම මත තව බොහෝ අර්බුධ පැන නැගිය හැකි යයි සිතුණෙන් ඔහු පියා සමග ඒ අවස්ථාවේ ම කතා කරන්නට සිතුවේ ය. නියපොත්තෙන් කැඩිය හැකි අංකුර පොරොවෙන් වුව කැපීමට අසීරු දැවැත්ත අතු බවට වර්ධනය වන්නට හැරිය යුතු නැත.
“රණ්ඩු කරන්නෙපා. එතකොට එයා මාත්තෙක්ක තවත් වෛර බැඳගනී. එක අතකට තාත්ත කෙනෙක් විදිහට එයාගෙ ඉල්ලීම වැරදි නෑනෙ. අපි කවුරුත් දන්නවනෙ මේ සමාජෙ විදිහ”
පාරුල් රාත්‍රියේ ද කතා කොට කීවා ය. මුල දී දැනෙමින් තිබි කේන්තිය නිවාගෙන සුරත් හමුවට යන්නට ගඟුල් තීරණය කළේ ඉනික්බිති යි.
“තාත්ත මිනිස්සු ලව්ව පාරුල්ව මිනිස්ට්‍රි එකට උස්සං ගිහිං තිබුණ”
සරදම් සරකින් ඔහු එසේ කීවේ රාත්‍රී කෑම අවසන් කොට මේසයෙන් නැගී සිටින්නට පෙරයි. නිර්ධා කැළඹී ගියා ය.
“මොකද්ද…”
“ඔය… ඔය පේනවනෙ. උංගෙ ජම්ම ගති යවන්න බෑ කියන්නෙ ඕකනෙ. ඒ ටිකට එක දහය කරල මෙයාගෙ කනේ තියල. එහෙම උස්සං ගියෙ නෑ නිර්ධා. මට ටිකක් කතා කරන්න ඕනයි කියල ඒ ළමයව මිනිස්ට්‍රි එකට එක්කං ආව”
ඒ වෙලාවේ සුරත් ගේ මුහුණ මත වූයේ විකට ස්වරූපයකි. ගඟුල් කට කොනකට සිනහවක් නගාගත්තේ ය.
“හරි කොහොමහරි. මොනාද ඒ ළමයත් එක්ක ඔයාට කතාකරන්න තියෙන්නෙ ඔච්චරට…”
“මට ඕනවුණේ ඒ ළමයට පැහැදිලි කරල දෙන්න විතරයි. මේක නොගැලපෙන සම්බන්ධයක් කියල. ගඟුල් අයිසෙ තමුසෙට මේක සෙල්ලමක් වුණාට මේක සෙල්ලමක් නෙවෙයි. මං බොහොම කාලයක් තිස්සෙ පරිස්සමට ගොඩනගාගත්ත දේවල් පුස්ස බින්දා වගේ විනාස කරල දාන්න තමුසෙට ඉඩදෙන්න බෑ. මං තමුසෙව පොලිටික්ස් වලට ගෙනාවෙ බලාපොරොත්තු ගොඩක් තියාගෙන. අපිට නඩත්තු කරන්න දේවල් ටිකක් තියනව. තමුසෙ නිකං මිනිහෙක් නෙවෙයි නගරාධිපති කෙනෙක්. නගරාධිපති කෙනෙක්ට ගෑනියෙක් ගේද්දි හිතන්න ඕන බලන්න ඕන කාරණා ටිකක් තියනව. අයිසෙ මේක තමුසෙගෙ විතරක් නෙවෙයි අපේ නම්බුව ගැනත් ප්‍රශ්නයක්. අනික තමුසෙ නගරාධිපති වෙලා නතර වෙලා බෑ. තව ඉස්සරහට යන්න ඕනෙ. ඒ ගමන යන්න දොස්තර කෙනෙක් වුණ පලියට ලොන්ඩරිවත්තෙ කෙල්ලෙක් එක්ක බෑ ගඟුල්. අපිට තත්වයක් කියල එකක් තියනව. අපි ඒක තව වැඩි කරගන්නයි ඕනෙ. කසාදෙකින් පවුල් දෙකක් එකතු වෙද්දි බලන්න ඕන අන්න ඒව. නිර්ධා… මට ඕනවුණේ ඒ කෙල්ලට ඔය ටික පැහැදිලි කරල දීල මෙන්න මේ ගොං අලියව ඔය මරාලෙං බේරගන්න මිසක්… වෙන ඇටිකෙහෙලක් නෙවෙයි”
නිර්ධා පළතුරු දීසිය දෙස ම බලාගෙන කල්පනාවෙන් යුතුව පළතුරු කැබැල්ලක් මුව තුළ ලූවා ය. මේ වගේ අර්බුධයක් යම් කිසි දවසක මේ ගෙදර කෑම මේසයට පැමිණෙන බව ඇය නො දැන සිටියා නොවේ. නමුත් ඒ මතබේධය සමථයකට පත් කරගත යුතු ම ය. එය මේ ගෙයින් පිටතට ගමන් කළ යුත්තක් නොවේ.
“ඔයා ඔය හිතන විදිහෙ ප්‍රවේණිදාස ක්‍රමයක් දැන් මේ රටේ නෑ සුරත්. ඉස්සර තිබුණ. ඒකනෙ රස්සාවෙ හැටියට මිනිස්සු කණ්ඩායම් කරල තිබුණෙ. ඕව ඔළු උඩ තියාගෙන මේ රට ඉස්සරහට ගෙනියන්නත් බෑ. වැදගත් වෙන්නෙ දෙන්නෙක් එක ජීවිතයක් ගෙවන්න එකතු වෙනවනං ඒ දෙන්න අතරෙ තියෙන අවබෝධය තමයි. අනික දැන උගත්කම් එකට පෑහෙන එක. මොකද ඒක සමාන මට්ටම් වලින් තිබුණම ඒ දෙන්නටම එකට සමාජගත වෙන්න පහසුයි. ඉතිං ගඟුල් දෙව්රූ එක්ක එයාගෙ ජීවිතේ පටං ගන්න කැමතියිනං… මට ඒකෙ ප්‍රශ්නයක් නෑ”
ඒ නිර්ධා ගේ තීරණයයි. පිය පුතු දෙදෙන ම ඒ තීරණය ගැන කල් තියා දැන සිටි බව ඇත්තකි. නමුත් මේ වෙලාවේ ඇයට එය දෙදෙනා ඉදිරියේ ම නිල වශයෙන් දැනුම් දෙන්නට උවමනා විය.
“සුරත්… දැන් අපේ කාලෙ ඉවරයි. මං කියන්නෙ අපේ තරුණ කාලෙ. ඒ ඒ වයස් වලදි අපි ඒ ජීවිතේ විඳගන්න එක තමයි වැදගත්ම දේ. මේ පුතාගෙ කාලෙ. එයාගෙ ජීවිතේ වැදගත්ම තෝරගැනීම එයාට කරන්න දෙමු. ඒක හරියයිද වරදීද කියල අපිට කියන්න බෑ. ඔයා හොයල දෙන කෙනෙක් වුණත් එහෙමයි. හරියයිද වරදීද කියන්න බෑ. හැබැයි ඒ කොහොම වුණත් අපිට අපේ දරුව අත්අරින්න බෑ. ඉතිං… හරියයිද වරදීද කියල බලන්න එයාට එයාගෙ ජීවිතේ අයිතිය දෙමු… වරදියි කියල හිතන්නැතුව… හරියන්න කියල ප්‍රාර්ථනා කරගෙන”
නිර්ධා ගේ පපුව පිරී තිබුණේ මව්වත් හැඟුමන් කෝටි ගණනකිනි. ගඟුල් සන්සුන් ව හිටියේ ය. තාත්තා ගේ අවසාන තීන්දුව දැනගන්නා තුරු නො ඉවසිල්ලේ සිටියේ ය.
“එහෙනං ඉතිං දෙමව්පියො ඕන නෑනෙ”
ඔහු ගේ හඬ උස් වූයේ සිය මතය ඒකමතිකව සම්මත කිරීමේ මාර්ගය වශයෙනි.
“හරි තාත්ත කියන්නකො පාරුල්ව අපිට නොගැලපෙන්න හේතුව කියල”
ගඟුල් තීරණාත්මක තත්වයකට එළඹ තිබිණ. නිර්ධා ඔහු දෙස බැලූයේ නෙත් බැමි ඔසවා ය. ඇය පුතු හඳුනයි.
“ඒක තමයි මනුස්සයො මෙච්චර වෙලා කිව්වෙ. ඒ කෙල්ල මේ රෙදි හෝදන වත්තක… රෙදි හෝදන පරම්පරාවක කෙනෙක්. වැදගත් මිනිස්සු ඔය කුළ වල අයව ගෙට වද්දගන්නෑ. පුටුවක ඉඳගන්න දෙන්නෑ. ඉතින් අපි කොහොමද රටට මගුල් කියල එකට ඉඳං කෑම ටිකක්වත් කන්න මිනිස්සු කැමති වෙයි කියල හිතන්නෙ…”
සුරත් ඒ තරම් බාල වචන පාවිච්චි කළේ ගඟුල් ට රිදෙන්නට ම ය. එතකොටවත් ඔහු ට ලැජ්ජා සිතී මේවා අවසානයක් කරනු ඇතැයි සිතාගෙන ය. ගඟුල් නෙතු කුඩා කොට පියා දෙස බැලුවේ ය.
“තාත්ත දන්නවද සරත් ජයධරන්ව…”
සුරත් විජයවීර ගේ දෙපා ඉදිරියෙහි බෝම්බය පුපුරා යන ලදී. ඒ වූ කලී කාල බෝම්බයකි. කලින් ඉතා හොඳින් සැලසුම් කොට නියමිත මොහොතේ දී පුපුරා යන ලෙස ඇටවූ බෝම්බයකි. සුරත් විජයවීර ගේ කන් අඩි පුපුරා ගියා සේ ය. ඒ නම දන්නා කෙනෙකු මිහිපිට වෙතැයි සුරත් හීනයෙන්වත් සිතා තිබුණා නොවේ. නමුත් ගඟුල් ඉතා හොඳින් දන්නා කෙනෙකු පරිද්දෙන් ඒ නම උච්චාරණය කළේ ය.
“සරත් ජයධරන් කියන්නෙ අහිංසක සපත්තු මහන මනුස්සයෙක් ළඟ හැදිච්ච ළමයෙක් තාත්තෙ. සපත්තු මහන මනුස්සයට එහෙම ළමයෙක් ඉඳල නෑ. දවසක් පාරෙ සපත්තු මහන තැන කූඩෙක දාල තියල ගිය ළමයෙක්ව තමයි මිනිහ ගෙදර ගෙනිහිං හදාගෙන තියෙන්නෙ. ජයධරන් ජෝඩුවට ළමයි ඉඳල නෑ. ඒගොල්ලො ඉඳල තියෙන්නෙ ඔය කොම්පඥ්ඥවීදිය පැත්තෙ මුඩුක්කු පේළියක. තාත්ත දන්නවද ඒ පවුල ගැන…”
සුරත් විජයවීර ගේ ඇතුළාන්තයෙහි දැවැන්ත කැළඹීමක් ඇති විය. එය දැන් දැන් තුනී වනු ඇතැයි හෙතෙම බලා සිටිය ද සිදු වූයේ තත්වය උත්සන්න වෙන එකයි. සුරත් පපුව අල්වා ගෙන මේසයට බර වූයේ ය. ඔහු ගේ ශ්වසනය වේගවත් වී ඇති බවක් නිර්ධා ට පෙනිණ. පළපුරුදු වෛද්‍යවරියක වූ ඇය වහා ම ක්‍රියාත්මක වූවා ය. සුරත් ව අගනුවර පෞද්ගලික රෝහලක නේවාසික කෙරිණ. විශේෂ ප්‍රතිකර්ම මත අමාත්‍යවරයා ගේ හෘදයාබාධ තත්වය සුව අතට හැරෙමින් තිබෙනා බව රෝහල් අධ්‍යක්ෂවරයා විසින් පසු දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට කියා සිටියේ ය.
“මං ඒකනෙ කිව්වෙ තාත්ත එක්ක රණ්ඩු ඇතිකරගන්න යන්නෙපා කියල. අනවශ්‍ය දෙයක්නෙ ගඟුල් මේ වෙලාවෙ සිද්ද කරගත්තෙ”
පාරුල් සිටියේ මඳ තිගැස්මක ය. වෛද්‍ය සිසුවියක වශයෙන් මනස ශරීරයට කෙතරම් බලපෑමක් සිදු කළ හැකි දැයි ඇය දනී.
“මේකට කවදකහරි මූණ දෙන්න වෙනව. තාත්තටයි මටයි දෙන්නටම. සමහර දේවල් තියනව පාරු… පස්සට දදා කල් ඇර ඇර ඉන්නවට වැඩිය පළවෙනි අවස්ථාවෙම මූණ දෙන එක හොඳ”
“ඒත්… හිත් කියන දේවල් පුළුවන් තරං බිඳෙන්නැතුව පරිස්සං කරන්නෝනෙ ගඟුල්. හැම කෙනෙකුටම කතාවක් තියනව කියල ඔයාමනෙ මට කිව්වෙ. ඔයාගෙ තාත්තටත් එයාට සාධාරණ වෙච්ච කතාවක් ඇතිනෙ ඉතිං. ඇති නෙවෙයි කොහොමත් තියනවනෙ”
ගඟුල් අඩ සිනහවක් පෑවේ ය. අවන්හලේ යුගල අසුනෙහි ඈ ළඟින් හිඳ සිටිනා ඔහු ව පාරුල් ට පෙනුණේ අද ඊයේ හමු වූ මිනිසෙකු ලෙස නොවේ. සංසාරයක් තරම් දිග මතකයක හුරු පුරුදු පැරණි මතකයක් මෙනි. ඇගේ පාදයක ගෑවෙන නො ගෑවෙන ඔහු ගේ පාදය අයිතිවාසිකමක් ගැන කතාවක් නො කියා කියයි. උහුලා ගන්නට බැරි ආදර හැඟීමකින් ඇය දෝතින් ම ඔහු ගේ අතක එල්ලී එහි හිස සතපා ගත්තා ය. හෙමිහිට පහත් වී ඔහු ඇගේ හිස් මුදුන සිප ගත්තේ ය.
“මට දුකයි ඔයා ගැන”
“ඇයි…”
නිකට ඔහු ගේ අත් බාහුව මත තබාගෙන ඇය දෑස් එසවූවා ය.
“මේක පටං ගත්ත දවසෙ ඉඳංම ප්‍රශ්න. ඔයාගෙ හිතට සැනසිල්ලක් නෑ”
“ඒව බලාපොරොත්තුවෙන්නෙ හිටියෙ ඉතිං… ගානක් නෑ. ඔයා මාව හිතට බරක් කරගන්නෙපා”
“මං ආස නෑ කවුරුවත් ඔයාට වචනයක් කියනවට. මගෙ තාත්ත වුණත්”
“ඔයා මට සංසාරෙ තවත් දික්කරනව ගඟුල්”
ගඟුල් යුවතිය ගේ අත් දෙක ම දෝතින් ගත්තේ ය. ඔහු ගේ බැල්ම ආදර නගරයක ඈ අතරමං කරවයි.
“පිරිමියෙක් ගෑනු ළමයෙක් ගැන වගකීමක් ගත්තට පස්සෙ ඒක මැරෙනකල්ම වගකීමක්. ඔයාගෙ තාත්ත අම්මට කරපු දේ කරන්න මට කවදාවත් ඕන නෑ. මොකද මං ඔයාගෙ අතින් අල්ලගත්තෙ අපේ තාත්ත කවුද කියල නොදැන නෙවෙයිනෙ. මොනා වුණත් හයියෙන් මගෙ අත අල්ලං ඉන්න. අපි මේ ගමන එකටම යමු”
ගී තරු වැඩසටහනේ අවසාන මහා තරගය යෙදී තිබුණේ ඊළඟ සතියට ය. ඊට පෙර, සුපිරි තරගකරුවන් තිදෙනා තෝරා ගන්නා වටය එදා රාත්‍රියේ පැවැත්වෙන්නට නියමිත වූයේ ය. චන්දුල ට එය තීරණාත්මක දිනයක් විය. සුරත් විජයවීර රෝහල්ගත වී සිටිනා බැවින් ගඟුල් වත්තට පැමිණිය යුතු නැතැයි පාරුල් කියා සිටියා ය. නමුත් ගඟුල් ඊට එකඟ වූයේ නැත.