ප්‍රියංකත් දිනාරාත් සාප්පු සවාරියක යෙදුණේ සවසය.සම්මුඛ පරීක්ෂණයක් සඳහා ඇඳගෙන යාමට සුදුසු යැයි සිතෙන ඇඳුම් කිහිපයක් දිනාරාට වුවත් ප්‍රියංකාට ඕනෑ වූයේ යුවතියට අලුත්ම ඇඳුමක් රැගෙන දෙන්නටය. වරෙක සිනහසෙන වරෙක කල්පනාකාරී වන වරෙක දෑස් තුළ කඳුළු පුරවාගෙන බලා සිටින යුවතියට අලුත් ජීවිතයක් දිය හැක්කේ ඇගේ ඒ සිතෙහි සිදුවන පුංචි පුංචි වෙනස්කම් තුළින් යැයි ප්‍රියංකා විශ්වාස කළාය.මුලදී කෙටි කාලයක් යනතුරු ඇයව නිවසේ පමණක් තබාගෙන බලා ගන්නවායැයි සිතුනත් ඕ තීරණය වෙනස් කලේ ඇගේ මේ ස්වභාවය නිසාමය. රැකියාවකට යාම, අලුත් පිරිසක් ඇසුරු කිරීම , වගකීම් දැරීම තුලින් ඇගේ සිතෙහිවන දුකත් සංතාපයත් අඩුව යාවියැයි ප්‍රියංකා විශ්වාස කළාය.අලුත් ඇඳුමකින් වුවද ඇගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් ඇති කරන්නට හැකි වෙතැයි ඕ සිතුවාය.ඇඳුමක් පමණක් නොව යුවතිය අලුත් අත් බෑගයක් , මදක් උස් අඩි සහිත සපත්තු යුගයකුත් මිලට ගත්තේ ප්‍රියංකාගේ උවමනාවටය.
” වලව්වේ ඉන්නකොට අම්මා හැම වෙලාවකම ඇන්ඳේ දිග ගවුමක්.මං හිතන්නේ ඒ හැම ඇඳුමක්ම අම්මට ගෙනත් දුන්නේ අත්තම්මා.හොස්ටල් එක ඇතුලටම වෙලා ඉඳපු අම්මට මං හිතන්නේ වලව් ඇතුලට වෙලා ඉන්න එක ලොකු අමුත්තක් උනේ නෑ.එයා ඒකේ අපහසුකමගැන කවදාවත් මාත් එක්ක කතා කරලා නෑ.නැන්දගෙයි පුංචි අම්මගෙයි කෙනෙහිලිකම් දරාගන්න පුළුවන් උනානම් අම්මා කවදාවත් වලව්වෙන් පිටවෙන්න තරම් දැඩි තීරණයක් ගන්න එකක් නෑ ප්‍රියංකා ආන්ටි. මං හිතන්නේ ජීවිතේ.පළවෙනි වතාවට සහ අවසන් වතාවට අම්මා එහෙම තනියම තීරණයක් ගත්තේ මං නිසා..මං අලුත් අලුත් විලාසිතා ගැන හොයන්න පටන් ගත්තට පස්සේ..ලස්සන ලස්සන චූටි චූටි ගවුම් අඳින්න පටන් ගත්තට පස්සේ අම්මත් ඒවට හරි ආස කළා.සමහර ඇඳුම් මට වඩා අම්මට ලස්සනට ගැලපුනා.එයාට තිබුනේ හරි ලස්සන චූටි ඇඟක් නේ..”
දිනාරා පැවසූයේ ඇඳුම් වැටවල එල්ලා තිබූ වර්ණවත් රෙදි වලින් මැසූ කුඩා ගවුම් අතගාමින්ය.සමහර දිනෙක අම්මා තමාගේ ඇඳුමක් ඇඳ කණ්නාඩිය ඉදිරිපසට වී වරු ගණනක් හැඩ බැලූ ආකාරය සිහිව කඳුලක් විත් නතර වූයේ ඇගේ දෑස් මත්තේය..
” පුතේ එයාගේ ජීවිතයේ ලස්සන කාලේ එද්දි එයාට උනේ බැඳීමක හිර වෙන්න.හැබැයි අම්ම බලාපොරොත්තු උනේ ඔයාගේ තාත්තා ළඟට ඇවිල්ලා නිදහසේ ලෝකෙ දකින්න ඉගිල්ලිලා යන්න..ඒත් එයාට ජයසුන්දර වලව්වේ හතර මායිමේවත් ඉගිල්ලෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ.ඔයා ලස්සනට අඳිනකොට පලදිනකොට කිරිල්ලියක් වගේ හිනා වෙලා ඉන්නකොට ඔයාගේ අම්මට හරි දුක හිතෙන්න ඇති. කෙල්ල ලස්සන වෙනවා ප්‍රියා..කෙල්ල ලස්සනට අඳිනවා ප්‍රියා…
එහෙම කියලා කේතකී මට කියපු දවස් තිබුණා පුතේ.අපි දැන් ඒ දේවල් අමතක කරමු .ඔයාටත් ඒ දේවල් නොවෙන්න ඕන හින්ද තමයි අම්මා කොහේ හරි ඉඳලා ඔයා දිහා බලාගෙන ඉඳලා ඔයාව මං ගාවට එව්වේ.අපි අලුත් ජීවිතයක් පටන් ගමු..අම්මා වැඩියෙන්ම කැමති වෙයි ඒකට..”
ප්‍රියංකා එසේ පැවසූයේ කහ පැහැති පසුබිමක සුදු මල් වැටුණු ගවුමක් ඇගේ සිරුරට තබා හැඩබලමින්ය. එය ඇඟේ මනාව කැපී පෙනුන දිගු ගවුමකි.
“මේක ෆිටෝන් කරලා බලන්න පුතේ.දැන් කාලේ කෙල්ලෝ හරි ලස්සන ගවුම් අඳිනවා.මේක ඇඳලා හයිහිල්ස් දෙකක් දාලා හෑන්ඩ් බෑග් එකක් එහෙම අතට ගත්තහම ඔයාගේ ලුක් එකත් එක්ක හරි ලස්සනට තියෙයි.කොහොමත් ඔයාට තියෙන්නේ ගෑණු දරුවෙකුට කලාතුරකින් පිහිටන තේජවන්ත ලස්සනක්.ඔයා ෆිටෝන් කරන්න පුතේ. මල්ලිටත් ගෙදරට අඳින්න චූටි චූටි කලිසම් ටිකක් ගන්න ඕනේ.”
එසේ පැවසූ ප්‍රියංකා දිනාරා අසලින් ඉවත් වූයේ සොයුරාවත් වඩාගෙනය.වරෙක අම්මාටත් අත්තම්මාටත් වඩා වැඩියෙන් දැනෙන ඇගේ ආදරය ගැන යුවතියගේ සිතෙහි උපන්නේ ලෝබකමකි.ඒ ආදරය
අහිමි නොවේවායි ඈ පැතුවේ එනිසාය.ජීවිතයේ අමාරුම තීරණය ගෙන වලව්වෙන් පිටතට පැමිණියාට ජීවිතය ගැන මහ මෙරක බලාපොරොත්තු ඇයට වූයේ නැත.මේ සා ආදරයක් , ලෙංගතුකමක් , රැකවරණයක් අපේක්ෂා කලේද නැත.යළිත් පුංචි පුංචි සිහින යුවතියගේ සිතෙහි පූදින්නට වූයේ ඒ දයාබරත්වය නිසාය.දිනාරා අත මුදලක් ගැවසුනත් ඒ ඇඳුම් වලට මුදල් ගෙව්වේ ප්‍රියංකාය..
සුපුරුදු පරිදි අත්තම්මා සමග සවස දවසේ විස්තර සියල්ල පවසද්දී ඈ දිගු සුසුමක් මුදා හරිනු දිනාරා අසාගෙනය.ඕ දුකක් , ශෝකයක් වදනින් පිටකල අයෙකු නොවේ.
” ගෑණු දරුවෙක්ට වරදින්න යන්නේ හරි පුංචි වෙලාවයි.මං අමුතුවෙන් දැනමුතුකම් දෙන්න ඕනෙ නෑ දරුවෝ.ඔය දරුවගේ අම්මට වෙච්ච විනාසෙ දිහා බලද්දී ඔය දරුවට වෙන කොතනකින්වත් ඉගෙන ගන්න බැරි උන පාඩමක් ඉගෙන ගන්න පුළුවන්.කොළඹ රටේ මෙහෙට වඩා ලොකු නිදහසක් තියෙනවා.ඒ නිදහස පාවිච්චි කරන්න ඕනේ මොන විදිහකටද කියන එක ඔයා තේරුම් ගන්න ඕනෙ සුදු මැණිකේ..අපටත් ඔයාව විශ්වාස කරපු ඔය අහිංසක ගෑණු මනුස්සයටත් කැළලක් නොවී ජීවත් වෙන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ..”
ඇය තත්පර කිහිපයකට පසුව පැවසූයේ විධානයක ස්වරූපයෙන්ය.
” කවදාවත් මගේ අතින් අත්තම්මටවත්, ප්‍රියංකා ආන්ටිටවත් වරදක් වෙන්නෙ නෑ.මං දන්නවා අත්තම්මේ ජීවිතයේ වැරදුනොත් ආපහු හැරිලා එන්න තැනක් මට නෑ කියලා..”
” අන්න ඒ ටික තේරුම් ගත්තනම් හොඳටම ඇති සුදු මැණිකේ.ඔයාට වරදිනකම් බලන් ඉන්නේ තමන්ගේම එවුන්.උන්ගේ හිනාවට හේතු කාරණයක් නොවී ජීවත් වුණොත් මට ඒ ඇති.”
අත්තම්මාගේ වදන් සෘජුය.ඇවතුම් පැවතුම් සෘජු ඒවාය.ඇය යමක් සඟවාගෙන කතා කරන ගැහැණියක නොවේ.පවුලේ නම්බුව ගැන සිතා සඟවා ගන්නා යමක් මිස එකිනෙකාගැන කෝධ්‍රයක් වෛරයක් සිතෙහි තබාගෙන පැසවමින් පළි ගන්නා ගැහැණියක ද නොවේ .
” මං උඹල කාටවත් වෙනස්කම් කරන්නෙ නෑ.හැබැයි උඹලා හැමෝම එකතුවෙලා ඒ කෙල්ලට වෙනස්කම් කරද්දි මම ටිකක් වැඩිපුර ඒකිගේ පැත්ත ගන්නවා.මොකද ඒ අම්මා තාත්තත් දෙන්නම නැති අසරණ කෙල්ලෙක්.තැලෙන යකඩේ උඩ පැන පැන තලනවා වගේ උඹලගේ හැම ප්‍රශ්නෙකටම අන්තිමට අල්ලගන්නේ මේ කෙල්ලව.ඒකිත් වලව්වේ දරුවෙකුට දාව උපන් එකියක් තමයි.උඹලගේ ඇගේ දුවන ලේම තමයි ඒකිගේ ඇගේ දුවන්නෙත්..”
එදවස අත්තම්මා වලව්වේ තමා අරඹයා ඇතිවන කතා බස් වලදී මැද මිදුලට පැමිණ උඩුමහලට ඇසෙන සේ කෑ ගසා පවසන්නේ ඒ ගාම්භීර කටහඬින්ය.ඇය පවසන දේ පිළිගත්තත් නොපිළිගත්තත් ඉන්පසු වලව්ව මීයට පිම්බාක් සේ නිශ්ශබ්ද වේ.
වලව්වේදී තමා මුහුණදුන් ඒ අමිහිරි සිදුවීම් දිය යට එබ්බවූ රබර් බෝලයක් සේ වරින් වර උඩට මතුවවිත් සිත රිදුවූයේ ඇයටත් හොරාය.දිනාරා වලව්වෙන් පිටවන්නට තීරණ කලේ ඒ හිත් රිදීම් සොයුරාටත් ඇති වේයැයි බියෙන්ය. වලව්වේම දරුවෙකු වූ තමාට වඩා වැඩි යමක් සොයුරාට සිදුවනබව විහ්වාසය.
මල්ලීව නලවා තබා ඔහුව නිහඩ කරවා කෑමට යන සමහර දිනක දිනාරාට කෑමට තිබෙන්නේ ඉතුරුව තිබූ යමක් පමණි.බොහෝවිට එය බත් ස්වල්පයක් හා හොදි ස්වල්පයකි.මුලදී එය වැරදීමකින් සිදුවන දෙයක් යැයි සිතුනත් එය එසේ නොවන බවත් පුංචි අම්මාත් නැන්දාත් එකතුව තමා වෙනුවෙන් කෑම නොතබන්නයැයි මුළුතැන්ගෙයි සේවිකාවට අණ කර තිබූ බවත් දිනාරා දැන ගත්තේ පසුවය.එක මාළු කෑල්ලක්වත් තමාගේ බත් පතට එක් කර නොතිබුණද කුණු කූඩයෙහි ඉවත දැමූ මාළු කෑලි තුන හතරක් වන බව ඈ සමහර දිනක දකියි.පලා මැල්ලුමක් , එළවළුවක් ඇගේ බත්පතට එකතු වන්නේ කලාතුරකින්ය.නිවසේ සියල්ලෝම කෑමට පැමිණෙන වේලාව මගහැර දිනාරා කෑම කාමරයට යන්නේ ඔවුන්ගේ ගැස්සිලි , පිප්පිලි එරවිලි , ඇණුම්පද නිසා සිත රිදවා ගැනීම අනවශ්‍ය යැයි සිතුනු නිසාය.කොහොමටත් ඈ පවුලේ අයවලුන්ගේ මුහුණට මුණ ගැසෙන්නට සිටියේ කලාතුරකින්ය.ඔවුන්ගේ මග අහුරා දැමූ කාලකණ්නි කෙල්ල වීමට ඇයට ඕනෑ වූයේ නැත.
” මොකද මේ කන හැටි…රාජේශ්වරි මේ ළමයට එළවළු ටිකක් ගෙනත් බෙදන්න..”
එවන් දිනක අහම්බයෙන් කෑම කාමරයට පැමිණි අත්තම්මා තමා දෙසත් බත් පිඟාන දෙසත් මාරුවෙන් මාරුවට බලා කෑ ගැසුවේ උස් හඬින්ය.
” මේ ඇති අත්තම්මා…..”
” ඔය ළමයා කට වහගෙන ඉන්නකෝ..එළවලුවක් , මැල්ලුමක් ,මාළු කෑල්ලක් නොකා හැදෙන ළමයෙකුට ශක්තියක් තියෙනවද..රාජේශ්වරී මං උඹට කතා කළා කන් ඇහෙන්නේ නැද්ද..”
” ලොකු නෝනා….මේ..මේ.ආවා..”
” අද මොනවද ගෙදර ව්‍යංජන හැදුවේ.”
” තලපත් මාළු කිරට උයලා , බෝංචි හදලා, මුකුණු වැන්න මැල්ලුම්, ගෝවා තෙල් දාලා..”
අත්තම්මා මේ අසන්නේ නිවසේ පිස තිබූ ආහාර ගැන නොදැන නොවේ.ඇයට දහවල් දොළහ වද්දී කෑම මේසය සූදානම්කර තැබිය යුතුය.
” හ්ම්.. දැන් මේ ළමයගේ පිඟානේ තියෙන්නේ මොනවද.
” මාළු හොදියි , ගෝව තෙල් දාපුවයි.”
සේවිකාව පැවසූයේ බිම බලාගෙනය ඇගේ කටහඬ වෙව්ලමින් තිබිණ.
” එතකොට කෝ අනිත් ඒවා..මාළු කෑලි…රාජේෂ්වරී .බිම බලාගෙන උත්තර දෙන්නේ වැරදි කරන මිනිස්සු.කෙලින් මූණ බලලා උත්තර දීපං..”
” ඒවා වේලාසනම ඉවර වුණා ලොකු නෝනා..”
” මේ ජයසුන්දර වලව්වේ එච්චර ඉක්මනට ඉවර වෙන්න කෑම හදන්නේ නෑ.හරි… උඹ මීට පස්සේ තුන් වේලටම කෑම හදපු ගමන් මුලින්ම භාජන වලට වෙන් කරලා තුන්දෙනෙකුට සෑහෙන්න කෑම මගේ කාමරේ මේසේ උඩින් ගෙනත් තියන්න ඕනේ..මේ ගෙදර යමක් හැදෙනවද ඒ හැම දෙයක්ම…ඒවට අවශ්‍ය කරන භාජන මම රෑට උඹට දෙන්නම්..තේරුණා නේද…”
” ඔව්… ලොකු නෝනා තේරුණා මං එහෙම කරන්නම්.ම..මං එහෙම ..කලේ..”
“නෑ මට ඒක කියන්න අවශ්‍ය නෑ..මං කියන විදිහට මින් පස්සේ වැඩේ උනොත් ඇති.”
සමහර ප්‍රශ්න වලට අත්තම්මා ළඟ වූයේ අපූරු පිළිතුරුය.කෑම වලට සිදුවූයේ කුමක්දැයි ඇය කිසිවෙකුගෙන් ප්‍රශ්න කරන්නට නොගියාය.සේවිකාවට බැණ වදි ඇයව අපහසුතාවයට පත් නොකළාය.එතැන් සිට දිනාරාටත් වලව්වේ පිසෙන රස මසවුළු උණුවෙන්ම ලැබිණ.තමා විසින් අත්තම්මාව රවටාගෙන ඇතැයි වලව්වේ අනිකුත් දරුවන් ඇයට චෝදනා කලේද මෙවන් හේතු කාරණා නිසාය.
වලව්වේදී විඳි එවන් අපහසුතාවලින් නිදහස්වද්දී තමා කළු කුහරයකින් පිටතට පැමිණියාක්වත් හැඟීමක් දිනාරාට දැනෙන්නට විය. සැබවින්ම මේ නිදහසට, නිස්කලංක බවට ඈ ප්‍රිය කළාය.අනාගතය ගැන සිතෙහි බියක් නොවූවාම නොවේ.එහෙත් ඕ මේ ගෙවෙන වර්තමානයට ප්‍රිය කළාය.
” අම්මා නැතිවෙන්න සතියකට විතර කලින් මමත් එක්ක කතා කරද්දි කිව්වා පුතේ ඔයා ප්‍රයිවට් කැම්පස් එකකට ජොයින් වෙන්න බලන් ඉන්නවා කියලා. අපි ඒ නවත්තල දාපු දේවල් අලුතින් පටන් ගමු….”
ප්‍රියංකා පැවසූයේ රාත්‍රී ආහාර ගන්නා අතරේය.ඇය ඉඳිආප්පත් මාළු ඇඹුල් තියලකුත් පරිප්පු හොද්දකුත් සාදා තිබිණ.තුන් වේලටම කෑම සකසන්නට පෙර ‘මොනවද පුතේ අපි අද උයන්නේ ..’යනුවෙන් දිනාරාගෙන් ඇසීම ප්‍රියංකාට පුරුද්දක් වී තිබිණ.පවුලක සතුට පවතින්නේ එකිනෙකා ගැන සොයා බැලීම්, ආදරය කිරීම් නිසායැයි දිනාරා විශ්වාස කළාය.දැන් අපි පුංචි පවුලක් යැයි ප්‍රියංකා ආන්ටි නිරතුරුවම තමාට පැවසූයේ එනිසා විය යුතුය.
” ඩිග්‍රි එකක් කරනවනං ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕනේ ආන්ටි.මල්ලිගේ වැඩත් එක්ක මම හිතන්නේ නෑ මට එහෙම දේකට කාලේ වෙන් කරන්න පුළුවන් කියලා.”
” පුළුවන් දරුවෝ පුළුවන්……හැමදේකටම ඕන වෙන්නේ හිත.මල්ලිගේ වැඩ කරන්නේ ඔයා නෙමෙයි මම..දැන් මේ කොල්ලා මගේ..අපි ඉස්සර වෙලා ජොබ් එකට ගිහිල්ලා හෙමින් සැරේ හොඳ තැනක් බලලා ඉගෙන ගන්න පටන් ගනිමු පුතේ.මිනිස්සු වයසට ගිහිල්ලත් ඉගෙන ගන්නේ ඒවායේ වටිනාකමක් තියෙන නිසා..බාධක මැදින් , අසීරුවෙන් අපහසුවෙන් කරන දේවල්වල වටිනාකම වැඩියි පුතේ..ඉගනීම කියන්නේ ගෑණු දරුවෙකුට ආභරණයක්..කවද හරි ඔයා බඳින මහත්තයාට ආඩම්බර වෙන්න පුළුවන් විදිහට ඔයා ජීවත් වෙන්න ඕනේ පුතේ..හැම නිසි අධ්‍යාපනයක් ලබපු කෙනෙක්ව වට්ටන එක ලේසි නෑ..”
” මං ඒ ගැන හිතන්නෙවත් නෑ ආන්ටි..මටත් ආන්ටි වගේ තනියම ඉන්න ඕනේ…”
” හැම ගහක්ම හිටවපු ගමන් මල් පිපෙන්නේ නෑ පුතේ.ඒකට හිරු එළිය, වතුර ,පෝර හැමදේටම වඩා කාලය අවශ්‍යයි.ඒ ගස්වලටත් තමන්ගේ මල්වල ලස්සන පෙන්නන්න පුළුවන් වසන්ත කාලයක් එනවා..
අපි ඒ ලස්සන වසන්ත කාලෙට ඔයාගේ ජීවිතයට හෙමිහිට එන්න ඉඩ දෙමු.”
දිනාරා පසුදා අවදි වූයේ නිවස තුලින් ඇසෙන පිරිත් හඬත් සමගින්ය.සමහර දිනෙක මල්ලී දැන් නිදා ගන්නේ ඇගේ කාමරයේය.එසේත් නොමැතිනම් තිදෙනාම මේ කාමරයේ යුගල යහනාවේය.
” හෙට ඉන්ටර්විව් යන්න ඕනනේ පුතා. නිදහසේ නිදාගන්න “
එසේ පැවසූ ඈ මල්ලීව තම කාමරයට රැගෙන ගියාය. රාත්‍රී එකට පමණ ඔහුට කිරි බෝතලයක් අවශ්‍යය.දිනාරා ජංගම දුරකථනයෙහි එලාම් එක තබා ඒ වේලාවට නැගී සිටින්නට පුරුදුව උන්නාය.
දිනාරා කාමරයේ අඩවල් කර තිබූ දොර විවර කලේ මුලින්ම නැහැයට දැනුණු හඳුන්කූරු සුවඳත් සමගින්ය.පාන්දර පහට නැගිට මුව දොවා , ගේ අතු ගා මුලින්ම බුදු පහන තැබීම ඇගේ සිරිතය. දිනාරා කුඩා මුළු තැන්ගෙයට එබෙද්දී ඈ සිටියේ කුඩා තැටියක දැමූ කිරි බතක් රටාවකට කපමින්ය.
” තව ටිකක් නිදාගන්න තිබුනානේ පුතේ..”
යුවතිය දුටු හැටියේම ඈ පැවසූයේ සිනහසරින්ය.
” එහෙම නින්ද යන් නෑ ආන්ටි.මොනවද මං කරන්න ඕනේ..”
” මුකුත් නෑ පුතේ. හැම දේම හරි “
උදේම දිය නා පිරිසිදු වූ දිනාරා කෑම මේසයට පැමිණියේ පෙර දින රැගෙන ආ කහ පැහැති ගවුමත් ඇඳගෙනය. ප්‍රියංකා උදෑසන බුද්ධ පූජාව තබන්නට අවැසි සියල්ලම සූදානම් කර තිබුණි.
” අද ලස්සන දවසක් පුතේ ඔයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලෙන දවසක්.හැමදේකටම හිනා වෙලා මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න..”
යුවතිය දෙස තත්පර කිහිපයක් බලා උන් ප්‍රියංකා මිමිණූයේ දෑස් අග කඳුලක් තබාගෙනය.
අවසන දෙදෙනාම කෑම මේසයෙන් වාඩි වූයේ එකටමය.සොයුරා තවමත් නින්දේය.
” මහින්දයි තේජයි කියන්නේ මනුස්සකම් උපරිමයෙන්ම දරාගෙන මේ ලෝකෙට ආපු මිනිස්සු දෙන්නෙක්.එයාලා මං දන්න තරමින් එයාලගේ කම්පැනිවල වැඩ කරන සේවකයන්ටත් හරිම හිතවත්.දුවට ගැලපෙන රස්සාවක් එයාල දෙයි.”
” ප්‍රියංකා ආන්ටි ඒගොල්ලෝ මගේ කොලිෆ්කේෂන් ගැන ප්‍රශ්න කළොත්.”
” පුතේ මුල ඉඳලනේ පටන් ගන්නෙ අපි…මං හිතන්නෑ ඒගොල්ලෝ ඔයාට එතන අතු ගාන තේ හදන ජොබ් එකක් දෙයි කියලා.ඔෆිස්වල ඔය ලියන කියන වැඩ තියෙනවනේ පුතේ.දැන් ගොඩක් වෙලාවට මහින්ද නෙමෙයි කම්පැනි එක බලන්නේ එයාලගේ පුතාලා දෙන්නා.ලොකු පුතා නම් මහින්ද වගේම හරි නිවිච්ච කෙනෙක්.ඒ වුනාට පොඩි එකා නං පුදුම දඟකාරයෙක්..එයා තමයි පුතේ මගේ පන්තියේ හිටියේ.මේ ගුරු ජීවිතය ඇතුලේ සමහර දරුවෝ ඉන්නවා අපිට අමතක කරන්න බැරි. අන්න එහෙම හිතේ තදින්ම රැදිච්ච දරුවෙක් තමයි ඔය අකලංක කියලා කියන්නේ.ආඩම්බරකම දඟකාරකම වගේම හරි පුදුම ගතිගුණ ඔය දරුවාට තිබුණා.හැමදාම ගෙදරින් ලොකු බත් මුලක් බැඳගෙන එනවා.ඒත් මේ කොල්ලා කටක්වත් කන්නේ නෑ ඒ බත් එක වටේට යාළුවෝ හැමෝම මට වෙනවා.ඒ වගේම තමයි කාට හරි දරුවෙකුට මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා කියලා දැනුනොත් ඒ අඩුපාඩුකම් සම්පූර්ණ කරන්න ඉස්සර වෙන්නේ එයා..ඒ වගේම තමයි ඉතින් පන්තිය වෙන ඕනම නසරාණි වැඩකට මුල්තැන ගන්නෙත් මේ කොල්ලා.තමන්ගෙ කියල දැනෙන බැඳීම් වලට පුදුමාකාර විදිහට සාධාරණය ඉෂ්ට කරපු දරුවෙක් ඔය.පුතා දන්නවද..එයාලා ඉස්කෝලෙන් අවුට් වෙලා අන්තිමට යන දවසේ එක මැද්දට ගිහිල්ලා හදිසි එනවුස්මන්ට් එකක් දීලා ටීචර්ස්ලා ඔක්කොම ග්‍රවුන්ඩ් එකට ගෙන්නලා අපි පේළියට ඉන්නකොට ළමයි හැමෝම ග්‍රවුන්ඩ් එක මැද්දට ගිහිල්ලා දණගහලා ඉස්කෝලෙටයි ගුරුවරුන්ටයි ආචාර කලා. ඒක පුතේ හරි ලස්සන සිදුවීමක් වුණා.කවුරුවත් කවදාවත් නොකරපු විදිහේ..ඒක ප්ලෑන් කරලා තිබුණේ ඔය දරුවා තමයි.
හැබැයි දැන්නම් ඔන්න කම්ප්ලේන් ගොඩයි..එදා මම තේජට කතා කරපු වෙලාවෙ තේජා කියනවා බිස්නස් වලට ඉන්වෝල් වෙන්න කැමතිම නැහැලු.යාළුවොත් එක්ක රස්තියාදුවෙම තමයිලු.ඔහොම හිටියට මැනේජ්මන්ට් ඩිග්‍රි එකකුත් තියෙනවා.තේජාත් ඉඳලා හිටලා ඔෆිස් එකට එනවා.පුතාට මේ හැමෝම ඉක්මනටම අඳුනගන්න පුළුවන් වෙයි..”
ප්‍රියංකා පැවසූයේ මහත් වූ සතුටකින්ය.ඒ අතරේම ඕ කිරිබත් කෑලි දෙකක් දිනාරාට කැවුවාය.දිනාරා රාක්කයේ වූ පිඟාන ගෙන අත සෝදාගන්නට සූදානම් වද්දී ‘ අතේ ඉඳුල් ගාගන්න ඕනෙ නෑ පුතේ මං කවන්නම් ‘ යනුවෙන් පැවසූයේත් ප්‍රියංකාමය.
“පුතේ ඔයාගේ පුද්ගලික ජීවිතේ ගැන ඉන්ටර්විව් එකේදී යම් දෙයක් ඇහුවොත් අම්මා , තාත්තා ඔයා ගාව නෑ කිව්වට කමක් නෑ. මල්ලී ගැන මුකුත් කියන්න එපා පුතේ..ඒක අපි හෙමිහිට කියමු. වගකීම් වැඩි අය ජොබ් වලට ගන්න ගොඩක කම්පැනි වලින් කැමති නෑ…”
දිනාරා කිසිවක් නොපවසා ප්‍රියංකාට එකඟව හිස වැණුවාය.
යුවතියට කාර්යාලයට යාම සඳහාත් ඈ දන්නා හඳුනන ත්‍රී රෝද රථයක් ගෙන්වා තිබිණ.
” ඩයස් අන්කල් හරි හොඳයි පුතේ.මමත් එක්ක ගොඩක් ගමන් බිමන් ගියේ අංකල් තමයි.පුතාව පරිස්සමට ගිහිල්ලා ඇරලවලා පරිස්සමට එක්කරගෙන එයි.ඒ අතරේ මං හිමිහිට තේජට කතා කරන්නම්…”
තමා එතරම් අවාසනාවන්ත නැතැයි යුවතියට සිතුනේ ආපසු හැරී තේජාට අත වනද්දීය.ඈ එවේලෙහිත් ජනේලයෙන් එබී යුවතිය යන මග දෙස බලාගෙනය.
” ඇත්තමයි අම්මේ ඔයා කොහේට හරි වෙලා මගේ දිහා බලාගෙන ඇති.මම හිතුවේ මගේ ජීවිතේ හැමදාමත් කඳුළු එක්කම ගෙවිල යයි කියලා..ඔයාට ස්තුතියි මගේ අම්මේ….”
දිනාරා එවර මුමුණා ගත්තේ සිය අත් බෑගයේ වූ ලේන්සුවෙන් දෑස් මුලට උනා ආ කඳුළු පිස දාගන්නා ගමන්ය.
( යළිත් හමුවෙමු ආදරයෙන්..)