සඳක් තනියම  – 10

0
4904

හිමාෂා දුන් ලිපියත් රැගෙන කොරිඩෝව  දිගේ ඇවිද ගිය යුවතිය අකලංකගේ කාර්යාල කාමරයට ඇතුළු වූයේ වීදුරු දොරට දෙවරක් තට්ටු කළ පසුය.ඔහු උන්නේ දෙකකුල් කාර්යාලීය මේසය මත  තබාගෙන ජංගම දුරකථනයේ යමක් නරඹමින්ය. වරෙක  සිනහසෙමින්,තවත් වරෙක ‘ ශිට්.. ‘යයි පවසමින්, තවත් වරෙක ‘ ඕ මයි ගෝඩ්..’ යනුවෙන් පවසමින් දුරකථන තිරය දෙස බලා සිටින තරුණයාට දිනාරා පැමිණි බවට වගක් වූයේ නැත. ඇයත් මදක් පසුපසට වන්නට සිටගෙන සිටියා මිස ඔහුට බාධා නොකළාය. අකලංක ජංගම දුරකථනය මේසය මතින් තැබුවේත් මේසය  මත වූ දෙපා පහතට ගත්තේත් සම්පූර්ණ වීඩියෝව නැරඹුවාට පසුවය.මේ පෙරදා රාත්‍රියේ මිතුරියගේ උපන්දින සාදයේදී  ලබා ගත් වීඩියෝවකි. කේක් එක කපා ඉන්පසුව මිතුරියගේ මුහුණෙහි අයිසින් තවරන වීඩියෝව සමාජ මාධ්‍යට මුදා හැරියාට පසුව වෛරල්ව තිබිණ. ‘ හොඳ යාළුකම්වලට කොහෙන්ද ගැහැණු පිරිමි බේදයක්…’ යනුවෙන් වූ වදන් කිහිපය නිසාම එයට ලැබී තිබූ ප්‍රතිචාර ඉහළය.

” සර්.. මිස් හිමාශා කිව්වා මේ ලෙටර් එක සර්ට දෙන්න කියලා…”

ඉවසීමෙන් බලා උන් යුවතිය පැවසූයේ ඔහු ඈ දෙසට හැරුනාට පසුවය. ඒ දෑස් වූයේ ඇගේ වත මත්තේය.ඔහු සම්මුඛ  පරීක්ෂණයේදී යුවතිය දෙස උවමනාවෙන් බැලුවේ නැත.එහෙත් මෙවේලෙහි ඔහු ඉදිරිපස සිටගෙන උන්නේ බලාපොරොත්තු වූවාටත් වඩා සොඳුරු වතක් හිමි යුවතියකි.සියල්ලටම වඩා ඇගේ සිනහව නෙතු එක තැනක නතර කරවන සුළු විය.

” ඔයා මෙච්චර වෙලා හිටගෙනද හිටියේ.ඉඳගන්න.

” තැන්ක් යූ  සර් “

යුවතිය දිගු කළ ලිපිය අතට ගත් අකලංක යළිත් ඈ දෙසට හැරුණේ තත්පර කිහිපයකින්ය.

” ඉට්ස් ඕකේ මං මේක අදාළ තැනට යවන්නම්”

” මම යන්නම්  සර් එහෙනම්..”

” හරි……ඔයා නේද ප්‍රියංකා ටීචගේ ගෝලයා. කොහේද ගෙවල් “

” මම ප්‍රියංකා ආන්ටිගේ ගෝලයෙක් නෙමෙයි සර්.ඒ මගේ ආන්ටි.මම ඉන්නෙත් ආන්ටිගෙම ගෙදර තමයි..”

” ගොඩ කාලෙකින් මට ටීච බලන්න යන්නත් බැරි උනා.කොහොමද ටීචට සනීපෙන් නේද.”

” ඔව් හොඳින් ඉන්නවා.”

” එතකොට ඔයා ටීචගේ  කවුද…”

” මගේ අම්මගේ හොඳම යාළුවා තමයි ටීච..”

” එහෙමද. ටීච තවමත් අන් මැරීඩ් නේද.”

” ඔව් සර්….”

” ඔයාගේ අම්මට ඔයා වගේ ලොකු දුවෙක් ඉදිද්දිද යාළුවා තනියෙන් ඉන්නේ..අම්මට තිබුණනේ ප්‍රියංකා ටීචටත් මැරි  කරන්න කෙනෙක් හොයලා දෙන්න.”

එවර ඔහු පැවසුවේ සැහැල්ලුවෙන්ය.යුවතියගේ මුහුණ යළිත් සිනහවකින් විකසිත විය.

” ඔය කොල්ලත් එක්ක කතා කරලා දිනන්න බෑ..”

ප්‍රියංකා ආන්ටි පෙර දිනක පැවසූයේ සැබෑවකි.

“ප්‍රියංකා ආන්ටි  මැරි කරන්න කැමති වෙලා නෑ.”

” ⁣එහෙමද නැත්නම් ඔය බැදපු අය කියනව වගේ ඔයාගේ අම්මත් ප්‍රියංකා ආන්ටිට කිව්වද දන්නෑ මැරි කරලා , ළමයි හදලා නිදහස නැති කර ගන්නේ මොකටද තනියෙන් ඉන්න කියලා..හරි බෝරිං අප්පා කියලා..”

” අනේ නෑ..මගේ අම්මි එහෙම කෙනෙක් නෙමෙයි.”

යුවතිය එවර පැවසූයේ මද හඩකින්ය.

” නෑ.. නෑ ..මං විහිළුවට ඇහුවේ.එහෙම ඉතින් මැරිකලා නං ඔයා වගේ ලොකු දුවෙක් ප්‍රියංකා  ටීචටත් ඉන්න තිබුණනේ..ඉට්ස් ඕකේ..මං මේ ගැන බලන්නම්.ඔයාට දැන් යන්න පුළුවන්..මතක්  කරලා ප්‍රියංකා ආන්ටිට  කියන්න මං එයාව ආදරෙන් මතක් කලා කියලා.”

“මං කියන්නම් සර්..”

” දැන් ඔයා කවද වෙනකල්  අපේ බ්‍රදර්ගේ  කැබින් එකේ  ඉන්නවද..”

අකලංක යළිත් ඇසුවේ දිනාරා පුටුවෙන් නැගී සිටියදීය.ඒ සිතා මතා සැලසුම්කර නොවේ.තවත් තත්පර කිහිපයක් දෙකක් හෝ ඇයව මෙහි නවතා ගැනීමේ දැඩි උවමනාවක් වූ සිත ගැන ඔහුටත් වූයේ පුදුමයකි.

” මම දන්නේ නැහැ සර්. විශ්ව සර් හිමාෂා  මිස්ට කිව්වා මාව ට්‍රේනින් කරන්නේ කියලා.”

“මෙතන වැඩ කරන අයගෙන් අපේ තාත්තටයි අයියටයි විතරක් සර් කිව්වම ඇති..අනිත් අයට නම කියලා කතා කරන්න.හිමාෂාගෙයි  ඔයාගෙයි වෙනසක් නෑනේ..මමත් අකලංක..”

එවර යුවතිය හිස වැඩුවේ මුවින් වදනක් නොපවසාය. ප්‍රියංකා ආන්ටිගෙන් අසා තිබූ විස්තර අනුව ඔහුගේ ඒ වදන් ගැන පුදුමයක් ඈ සිතේ ඇති වූයේ නැත.

අකලංක යුවතිය දෙස හොඳින් බැලුවේ ඇයට අඩි දෙක තුනක් ඉදිරියට යන්නට ඉඩ හැරය.තාත්තාත්  සොයුරාත් තීරණ ගන්නේ හොඳින් සිතා බලාය.ඔවුන්ගේ තීරණ වරදින්නේත් කලාතුරකින්ය. තමාගේ පුද්ගලික ලේකම්වරිය ලෙස දිනාරා තෝරා ගැනීමත් ඔවුන්ගේ විශ්වසනීය තේරීමක් වග අකලංකට විශ්වාසය. ඇය පැමිණ ගිය තත්පර කිහිපයටත් කාර්යාල කාමරය පිරී ගියායැයි ඔහු සිතුවේය.

” සෙක්‍රටි කෙනෙක්ගේ උදව් ගන්න තරම් වැඩක් තමුන් කරන්නේ නෑ කියලා මං දන්නවා. මං මේ ළමයා ගන්නේ තමුන්ගෙන් අතපසු වන වැඩ කොටස ඒ ළමයා හරි කරයි කියලා හිතාගෙන..”

දින දෙක තුනකට ඉහතදී තාත්තා පැවසූයේ එසේය. 

යළිත් අකලංක යුවතිය ගෙනැවිත් දුන් ලිපියට එබුනේ සිනහමුසුවය. දන්නා , නොදන්නා සියල්ලන් සමගින්ම ඉක්මනින්ම මිත්‍රවන තරුණයාට යුවතිය ගැනද ඇති වූයේ මිත්‍ර ශීලී හැඟීමකි.වරෙක ඔහු අමාෂා හා විහිළු කරන්නේද ආයතන පාලකවරයෙකුගේ තැන හිද නොවේ.

*****======*******========****-====

උදෑසන කෑම වේල  දරුවාට කැවූ ප්‍රියංකා තේජාට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ ස්තුති කරන්නට සිතාගෙනය.දිනාරා කාර්යාලයට යන්නේ කැමැත්තෙන්මය.ප්‍රියංකාගේ සිතට එය සැහැල්ලුවකි.

” ප්‍රියංකා ටීච.මමත් හවස්  වෙලා කෝල් එකක් දෙන්නයි හිටියේ.”

” මේ වෙලාවේ තේජා බිසීද..”

” අනේ නැහැ මේ මං අපේ දුවත් එක්ක ටිකක් කතා කර කර හිටියා. පුතා ඔෆිස් එකට ගියාට පස්සේ කෙල්ල ඉන්නෙත් පාළුවෙන්නේ..දඟ මල්ලත් දැන් තමයි නිදියගෙන ඉදලා නැගිට්ටේ “

” දැන් ඉතින් අම්මිටයි ආච්චිටයි දෙන්නටම වැඩක් කරගන්න වෙලාවක් නැතුව ඇති.”

” අම්මෝ ඒක නං එහෙම තමයි. ඒ දඟ මල්ලගේ වැඩනම්  කියලා වැඩක් නෑ.අපි ඔක්කොටම වඩා ඉතින් බාප්පට තමයි ආදරේ.බාප්පට වචනයක් කියන්න බෑ.අපි එක්කත් රණ්ඩු වෙනවා.”

” නර්මදා දුවත්  හරි වාසනාවන්තයි.තමන්ගේ පුතා කසාඳ බදින දරුවාට ගෙදරක දුවෙක්ගෙ තැන දෙන , අම්මා කෙනෙක් වගේ බලා ගන්න නැන්දම්මා කෙනෙක්  හම්බවෙන්නේ හරි කලාතුරකින්.”

” මොනවා බෙදා ගන්න බැරුව අපි දරුවෝ එක්ක රණ්ඩු වෙනවද ප්‍රියංකා ටීච.අම්මා කෙනෙක්ට තාත්ත කෙනෙක්ට තමන්ගේ දරුවගේ සතුට තරම් වටින තවත් දෙයක් තියෙන්න විදිහක් නෑ.එයා තෝරගන්න කෙනා එක්ක එයා සතුටින් නම් ඒක තමයි වැදගත් වෙන්නේ.එයාලගේ ජීවිත වලට අපි බලෙන් ඉන්වෝල් වෙන්න ගියොත් ඒ සතුට අපිටත් නැති වෙනවා එයාලටත් නැති වෙනවා.මං හිතන්නේ එහෙමයි ප්‍රියංකා ටීචර්.අනිත් එක මට මගේ දරුවෝ තරම්ම ඒ අම්මට තාත්තට එයාලගේ දුව වටිනවා.ඒ දුවත් එයාගේ ගෙදර හුරතලයට හැදුණු දරුවෙක්. වැරදි අඩුපාඩුකම් මොන දරුවා ලගද නැත්තේ.මගේ දරුවා සීයට සීයක් නිවරදිනම් ඕනේ මං ඒ දරුවගේ වරදක් දකින්න..”

” ඒක නම් ඇත්ත තමයි.තේජට කොච්චර කිව්වත් අහන්නේ නැහැනේ මට දැන් ටීච  කියන්න එපා කියලා.මම දැන් පුතාගේ ගුරුවරයා නෙමෙයිනේ.අපි හිතවතුන්..”

” එහෙම නෙමෙයි  උනාට ඒ ගෞරවය මගේ හිතේ හැමදාමත් තියෙනවා.මගේ ජීවිතේ  බේරගත්ත විතරක් නෙමෙයි මගේ පුතාගේ ජීවිතෙත් හරි මාර්ගයකට ගත්තෙ ප්‍රියංකා ටීචර් තමයි.එයා ඔය කොල්ලන්ට එකතු වෙලා ජීවිතේ නාස්ති කර ගනියි කියලා මමත් හරි බයෙන් ඉදපු කාලයක් තිබුණා”

” අකලංක පුතාව විතරක් නෙමෙයි තේජා මගෙන්  ඉගෙන ගතපු, මට හමු උන  හැම දරුවෙක්ම හරි මාර්ගයකට ගන්න මං උත්සාහ කළා.සමහර දරුවෝ පෙර ආත්මවලින් ගෙනාපු පව් නිසාමද මන්දා හරි වැරැද්ද තෝරගන්න බැරි උනා..පහුගිය දවසක මට හමු උනා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන මගෙන් ඉගෙන ගතපු දරුවෙක්..පුදුමාකාර වේදනාවක් මට දැණුනේ”

” ඒක ඇත්ත..අම්මා කෙනෙක්ගෙයි ගුරුවරියකගෙයි අතර වෙනසක් නෑ කියලා මං තේරුම් ගත්තේ ප්‍රියංකා ටීචගෙන්.”

” මං ඇත්තටම ගත්තේ තේජාට ගොඩක් ස්තුතියි කියලා කියන්න.මගේ දරුවා සතුටින් ජොබ් එකට ගියා.”

” අනේ ඒක මොකක්ද.කවදාවත් ප්‍රියංකා ටීච අපෙන් උදව්වක් ඉල්ලලා නෑ.ඒ ඉල්ලපු දේ අපේ පැත්තෙන් බලනකොට හරිම පොඩි දෙයක්.මට මහත්තයා කිව්වා ඒ දරුවා හරි ලස්සන දරුවෙක් කියලා. බැලූ බැල්මටම ලොකු විශ්වාසයක් ඇතිවුනා කියලත් කිව්වා.මහත්තයා එහෙම පැහැදීමෙන් කෙනෙක් ගැන කතා කරන්නේ හරි අඩුවෙන් ප්‍රියංකා ටීච..”

” ඒ දරුවා ඒ විශ්වාසය ඒ විදිහටම රකීවි.”

” අවිශ්වාස කරන්න හේතුවක් නෑ.ප්‍රියංකා ටීච අපි ලඟට එවන්නේ විශ්වාසවන්ත දරුවෙක් බව අපි දන්නවා.මමත් ප්‍රියංකා ටීච  එක්ක ටිකක් කතා කරන්න හිටියේ අපේ අකලංක පුතා තවමත් පොඩි දරුවෙක් වගේ හිතන්නේ.එයා හැමතිස්සෙම උත්සාහ කරන්නේ සැහැල්ලුවෙන් ඉන්න.මහත්තයා කොච්චර උත්සාහ කළත් එයා මේ බිස්නස් වලට ඉන්වෝල් වෙන්නෙ හරිම අඩුවෙන්.”

“ඒක කාලයත් එක්ක හරියයි තේජා.එයා කො⁣හොමත් සැහැල්ලුවෙන් ඉදපු දරුවෙක්නේ..”

” ලොකු පුතා මේ වයස වෙනකොට බිස්නස් එකේ ලොකු වගකීමක් කරට ගත්තා. මේ ළමයා යාළුවොත් එක්කමයි.සමාජ සේවා වැඩයි.පාටියි..”

” හැම දරුවෙක්ම එක වගේ වෙන්නෙත් නැහැනේ.හෙමින් සැරේ එයාට මේ දේවල් අල්ලලා දෙන්න.වගකීම් යුතුකම් නාඳුනන දරුවෙක් නෙමෙයි..කාලයට ඉඩ දෙන්න..”

” මගේ හිතෙත් ඒ විශ්වාසයනම් තියෙනවා.ඒත් මහත්තයා ටිකක් කලබලයි.”

” අපි එයාට ටිකක් කාලය දෙමු.දැනට මහින්ද මහත්තයයි විශ්ව පුතයි දෙන්නා මේ වැඩේ සාර්ථකව  කරගෙන යනවනේ.අනිවාර්යයෙන්ම පොඩි පුතා ඉක්මනටම තමන්ගේ වගකීම තේරුම් ගනියි.එහෙම නැත්නම් එයාගේ හිතේ වෙන අදහසක් තියනවනම් ඒක තේජයි මහින්ද මහත්තයයි එක්ක කතා කරයි.”

” ප්‍රියංකා මිස්ටත් පුළුවන් උන  වෙලාවක ටිකක් අවවාද කරන්න.”

” අනිවාර්යයෙන්ම මං ඒක කරන්නම්..අකලංක පුතා නරකකට යොමු උනේ  නැහැනේ.ඒ දරුවට  තියෙන්නේ තවම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න හිතේ තියෙන කැමැත්ත.අපි හෙමින් සැරේ වරද හදාගමු.කැම්පස් යන කාලෙත් පුතා සමාජ සේවා වලට හරි ජනප්‍රියයිනේ”

” මහත්තයා සමහර වෙලාවට මටත් එක්ක කෑගහනවා මම හුරතල් කරනවා කියලා.නෑනන්ඩිත්  එක්ක තමයි ඉතින් ඔක්කොම කියවන්නේ..නර්මදා දුව කියන්නෙත් අපි තව ටිකක් ඉවසමු අම්මා එයා  නිදහස හොයනවා තවම කියලා.”

” තාත්තලා එහෙමයි.තාත්තලට තියෙන්නේ තමන්ගේ දරුවෝ ඉක්මනින් වගකීම් කරට ගන්නවා දකින්න ආසාවක්.මං දන්නවා අකලංක පුතා ඔයාට, මහින්ද මහත්තයට විශ්ව පුතාට නර්මදා දුවට කොච්චර  ආදරෙයිද කියලා.ඒ තරම් පවුලට හිතවත්  දරුවෙක්ගෙන් වරදක් වෙන්නෙ නෑ  තේජා..විශ්ව පුතා වගකීම් ගොඩක් කරපින්නගෙන ඉන්නවා නිදහස අවමයි.එයාට ඒක  පේනවා ඇතිනේ ඒ නිසා ජීවිතේ තව ටික කාලයක් සැහැල්ලුවෙන් විඳින්න හිතනවා ඇති.”

” ඔව් මට සතුටකට තියෙන්නේ අයියලා මල්ලිලාගේ තියෙන ආදරේ තමයි.වෙන තැන්වල බිස්නස් බෙදා ගන්න බැරුව සහෝදරයෝ  ගහ මරා ගනිද්දී  මේ කොල්ලා කට ඇරපු ගමන් කියනවනේ ඕවා මගේ නෙමෙයි ඔක්කොම අයියගේ කියලා.”

” එයා දෙන්න ලෝබ දරුවෙක් නෙමෙයිනේ තේජා..”

” ඒක ඇත්ත.ඉතිං ප්‍රියංකා ටීචර්ට මගේ විස්තර කිව්වා මිසක්කා ටීචර්ට කොහොමද කියලවත් අහන්න බැරි වුණා.”

” මමත් හොඳින් ඉන්නවා. දැන් ඉතින් දිනාරා  දුවත්  මගේ ළඟ ඉන්න හින්දා මට පාළුවක් නැහැ.”

” ඒ පාළුව අනුන්ගේ දරුවන්ගෙන් මකන්න බැහැ ප්‍රියංකා ටීච.ඒ දරුවත් තමන්ගේ ජීවිතේ හදාගෙන යන්න යයි..මට නම් හිතෙන්නේ තවමත් ප්‍රියංකා ටීච පරක්කු නෑ කියලා. පවුලක් වටකරගෙන සතුටින් ඉන්න මම කවදාවත් ප්‍රියංකා ටීචට කියන්නේ නෑ  කසාදය කියන්නේ දුකක් කියලා. කසාදය දුකක් නීරස තැනක් වෙන්නේ අපිට හම්බවෙන කෙනා අනුව.අවුරුදු තිස් දෙකකට කිට්ටු වෙන්න මහින්දයි මමයි හරි සතුටින් ජීවිතේ ගෙවනවා.අපේ ඕනෑ එපාකම් හොයා බලනවා.ඒ රැකවරණය අදත් දැනෙනවා.මං විශ්වාස කරනවා ඒ රැකවරණය අදට වඩා ඉස්සරහට ඕන වෙයි කියලා. මොනව හරි හේතු නිසා දරුවෝ අපෙන් ඈත් වෙන දවසක් එන්න පුළුවන් ටීච.එදාට අපි දෙන්නට අපි දෙන්නා ඉන්නවනේ කියලා හිතෙනවා.ඉතින් අත්දැකීමක් ලබන්නේ නැතුව අපි කොහොමද ඒ කසාදය  දුකක්ද සතුටක්ද කියලා තීරණය කරන්නේ.”

” මට හම්බවුණු කිසිම දරුවෙක් මං අනුන්ගේ දරුවෙක් කියලා හිතුවේ නෑ තේජා. මම නිදහස හරිම ප්‍රිය කරපු කෙනෙක්.ඒ ඇරෙන්න විවාහ ජීවිතය ගැන බයක්වත් සැකයක්වත් නෙමෙයි මගේ හිතේ තියෙන්නේ..”

” මං ඉස්සර හිතුවා ප්‍රියංකා ටීචර් කසාද බඳින්න අකමැති වෙන්නේ මොනවා හරි අමිහිරි අත්දැකීමක මතක හිතේ තියෙන නිසාද කියලා.”

” අනේ නැහැ තේජා.මේ තීරණය මම ගොඩක් කල් ඉදලා ගතපු තීරණයක්.ඒ තීරණය වෙනස් කරන්න මට අදටත් හේතු නෑ.මං දන්නවා මං තනි වෙනවා කියලා.ඒ තනිකමට මං සූදානම්…”

“කවදාවත් පසුතැවීමක් හිතේ ඇති වෙන එකක් නැද්ද.”

” නැහැ හොඳට හිතලා බලලා ගතපු තීරණයක් නිසා එහෙම නොවෙයි කියලා විශ්වාසයි.”

“අපි ඉක්මනටම එන්නම් ප්‍රියංක ටීච බලලා යන්න..ටීච තනි වෙන්නේනම් නෑ.එහෙම තනි වෙන්න අපි ඉඩ දෙන්නෙත් නෑ.”

” අනේ බොහොම ස්තුතියි…එහෙනම් මම තියන්නම්.මහින්ද මහත්තයටත් කියන්න මම බොහොම ස්තුතියි කිව්වා කියලා..”

” මං කියන්නම් ටීච “

මුලින්ම දුරකථනය විසන්ධි කර දැමුවේ එහා පසින්ය.තේජා යළිත් සිය ලේලිය දෙසට හැරුණාය. ඇය උන්නේ දියණියට පළතුරක් කවමින්ය. දරුවන්ට කවා ගැනීම අම්මලාට වන අසීරුම කර්තව්‍ය වුවත් නර්මදා එය අපූරුවට කරනා අයුරු ඈ බලා සිටියේ සිනහ මුසුවය.ලොකු පින්තූර පොතක් පෙරළමින් උන් දැරියට නර්මදා එහිවන සතුන් ගැන විස්තර කරමින් උන්නාය.වරෙක් විසල්වන, කුඩාවන දෑස් වලින් ඈ අම්මාගේ මුව දෙස බලා උන්නාය.නර්මදා වරෙක සතුන්ගේ ගමන හැසිරීම අනුකරණය කරන්නේ දියණියව හිනස්සවමින්ය.විනාඩි කිහිපයක් ගතවද්දී පළතුරු දීසිය අවසන්ව තිබිණ.

විශ්වගේ තෝරා ගැනීම නිවරදිම එකක්යැයි තේජාට සිතුනේ මුල්ම වරට නර්මදා දකිද්දීය.විවාහ වනවිට ඈ පුද්ගලික දුරකතන සමාගමක විධායක නිලධාරිනියක ලෙස ඉහළ වැටුපකට සේවය කරමින් උන්නාය.ලේලිය රැකියාවෙන් ඉවත් වන්නට තීරණය කලේ දරුවා ලැබෙන්නට සිටියදීය.

” පුතා ඔයා දුවට ජොබ් එකෙන් අයින් වෙන්න කිව්වද…”

” නෑ අම්මා ඇයි…”

” දුවට හදිසියේ එහෙම තීරණයක් ගත්තේ ඇයි..”

” එයාම තමයි අම්මා හිතලා තීරණයක් ගත්තේ.එයා උගත් කෙනෙක් මං වගේම එයත් ඒ තැනට ආවේ ගොඩක් මහන්සි වෙලා.ඉතින් කොහොමද මම එයාට කියන්නේ ජොබ් එකෙන් අයින් වෙන්න කියලා.”

” එහෙම කියන එක අසාධාරණයි තමයි පුතා.”

” එයා කිවිවා බබා හම්බ උනාට පස්සේ එයා එක්ක ඉන්න ආසයි කියලා.මමත් බිසී නිසා එයත් බිසී උනොත් අපිට අපිව මගහැරෙයි කියලා නර්මදා  කියනවා අම්මේ..”

ඈ බොහෝ තීරණ ගන්නේ දුරදිග හිතා බලායැයි තේජා සිතුවේ සතුටින්ය.විශ්වගේ අනාගතය පිළිබඳව සැකයක් සාංකාවක් සිතෙහි වූවේනම් එයත් හිරු දුටු පිණිමෙන් අතුරුදන්ව ගියේ එවේලෙහිය.අද පවුලේ වැදගති තීරණ ගැනීමේදී තේජා ඇගේ තැන ලේලියට ලබා දුන්නේ කිසිදු ලෝබකමකින් තොරවය.

ඇය තම දරුවා වෙනුවෙන් අත් හැරියේ වසර ගණනක මහන්සියකි. විධායක ශ්‍රේනියේ රැකියාවකි.ඇගේ ස්ථාවරයයි.සමහරවිට  ඒ ඇගේ ජීවිතයේ වැදගත්ම සහ අමාරුම තීරණය වන්නට ඇත.තේජා කිසි විටකත් ඒ තීරණය ගැන නර්මදාගේ සිතෙහි පසුතැවීමක් ඇති නොකරන්නට තරම් ප්‍රවේශම් වූවාය.

( යළිත් හමුවෙමු ආදරයෙන්…)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here