දෙහිතක කතාවක් 08

ප්‍රභාත් විසින් බොහෝ වාරවල බීමත්ව විත් තමා සමග රාත්‍රිය ගෙවීමත්, අනතුරුව උදෑසන ඒ වෙනුවෙන් බැණු, ඇසීමත්, හැඬීමත් වෙනසක් නොමැතිව සිදුවන දෛනික දින චරියාවක් කරගන්නට කැළුමිණීට හැකියාව ලැබුණි. මේ තමා ලද, තමාට ලැබෙන්නට නියමිතව තිබූ ජීවිතය යැයි හිත හදාගන්නවා හැරෙන්නට කල හැකි දෙයක් කැළුමිණීට තිබුණේ නැත. එහෙත් ප්‍රභාත්ගෙන් වෙන්වී හෝ ඈත් වී ජීවිතය ගෙවනවාට වැඩියෙන් මෙසේ මහමෙරක් වේදනා රැළි එකපිට එක ගලා එන ජීවන සයුරක හබලක් නැති ඉරුවක් වී හිඳීම සැපදායක බව කැළුමිණී සිතට තේරුම් කර දෙමින් උන්නාය.

පිහිටකට හෝ සැනසුමකට කියා තිබුනේ නිවසේ සිට හෝ කරන්නට හැකි රැකියාවක් තිබීම පමණකි. වැඩ කරන්නට නිශ්චිත පැය ප්‍රමාණයක් නොතිබුනද ගතවන සුලු කාලය් වුවද නිවසටම වී හිඳින කැළුමිණීට දැනුනේ සැනසුමක් ලෙසිනි. 

අනෙක් අතට ප්‍රභාත් උන්නේ නොසංසිදෙන වේදනා උල්පතක ගිලීය, කැළුමිණී අත හැර දැමීමක් ගැන පැවසුවද සැබෑවටම තමන්ට එය කල හැකිද යන ගැටලුව ප්‍රභාත්ට නොතිබුනා නොවේ.

“මේ හවසට මොකක් හරි වැඩක් තියෙනවද?”

තම කැබිනයට මදක් එහයින් අසුන්ගෙන හිඳින උපුල් එසේ විත් අසද්දී පවා ප්‍රභාත් උන්නේ පරිගණකයට නැඹුරු වූ දෙනෙතින් ද ඉබාගාතේ යමින් උන් සිතුවිලි දහරාවකින්ද පීඩාවට පත් වීය. 

“ඇයි උඹ එහෙම ඇහුවේ?”

“එදා අමීශලා ගිහින් කතා කරපු ක්ලයන්ට්ගෙ ප්‍රොජෙක්ට් එක ඇපෲව් වෙලා. ලොකු ගාණක වැඩක්ලු. අද ඒකට ට්‍රීට් එකක් උන්ගෙ ටීම් එක ගානෙ. හවසට සෙට් වෙන්න එනවද කියල ඇහුවා. උඹත් යන්”

“බලමු මචං, පොඩ්ඩක් ඇඟට හරිත් නෑ වගේ” කියා කිව්වද නිවසට යෑම මොහොතකින් හෝ ප්‍රමාද කරවන්නට හැකිනම් අපුරුය යන සිතුවිල්ලක් සිත අස්සේ නොතිබුනා නොවේ. අනෙක් අතට පසුගිය දින කිහිපයේම සැඳෑවන් ගෙවුනේ මත් පැන්වල පිහිටෙනි. කිසිත් ඇසුරක් නොමැතිව තනිව ගොස් අන්දකාරයේත් දුකේත් ඇලී එවන් මොහොතක් ගෙවීමට වඩා සමරන්නට සැබෑවටම හේතුවක් ඇති මෙවන් මොහොතක මත් වීම වඩා යහපත් බව ප්‍රභාත්ට සිතුනි.

සැඳෑව ආවේ වෙනදාටත් වඩා කලියෙනි. ඒ සැඳෑව අන්දකාර පැහැති වලාකුලකින් වැසී තිබුනද දීප්තිමත් කහ පැහැ ඇඟට ඇලවුණ ඇඳුමකින් සැරසී හුන් අමිශා ඒ අන්දකාර පැහැති වලාකුල එහා මෙහා කරමින් කාර්‍යාලයේ මේස අතරින් ඇවිද එන්නේ මනහර සිනහවකින් මුව් අසරසාගෙනය. ඒ සිනහව පුරාවටම සතුටෙත්, ජයග්‍රහණයේත් වර්ණයන් විසිරී තිබෙන බව ප්‍රභාත්ට ඇත තියාම අඳුරගන්නට අපහසු වූවා නොවේ. දෙතොල් එහෙ මෙහෙ වී සිනහවකට අර ඇන්දේ අමීශාගේ ඒ සිනහවෙන් ලැබූ රුකුල මතය.

“හවසට එනවද?”

ඇය අසන්නේ දෙනෙතින්ද දෙතොලින්ද සිනහ සෙමිනි. 

“එන්න කියල තමයි බැලුවෙ. කන්ග්‍රැචුලේශන්ස්”

තෑන්ක්‍යු වෙරි මච්. එහෙනම් ඔන්න හවසට එන්න”

කියාගෙනම අමීශා නික්මුනේ සිනහවත් රැගෙනය. නැවතත් අර සුපුරුදු අන්දකාරයය. එහෙත් ඒ අන්දකාර ලෝකය තුල මද වේලාවක් හෝ රැඳි හිඳින්නට ප්‍රභාත්ට අවසර නොලැබුනේ දුරකතනය නාද වීම සමගිනි.

ඒ අම්මාගෙන් එන ඇමතුමකි. අම්මා තමා කාර්‍යාලයේ හිඳින වෙලාවන් දන්නා අතර හදිසිම දෙයකට මිස කතා නොකරන බැවින් ප්‍රභාත් දුරකතනය ඇමතුවේ කලබල වී හදිසියෙනි. එහෙත් අම්මාගේ හඬේ කලබල වන්නට කිසිත් හේතුවක් නැති බව දැනගන්නට ලැබීම සැනසුමකි. 

“පුතා වැඩකද දන්නේ නෑ”

“නෑ කියන්න අම්මේ”

“මම පුතාට ගත්තෙ දැන් කැළුමිණීගෙ ප්‍රශ්නෙට මොකද කරන්නෙ කියල අහන්න”

ඒ ඉතින් පිලිතුරු නැති ප්‍රශ්නයක් බව පැහැදිලි නමුත් අම්මා එසේ අසන්නට හේතුවක් ඇතැයි යන සිතුවිල්ල සිතට බරකි. 

“අම්මා ඇයි එහෙම ඇහුවෙ”

“නෑ ලමයො මම මේ කියන්නෙ ඇත්තටම පුතා කොහොමද ඔය හැමදේම හිතේ තද කරගෙන ඉන්නෙ කියල හිතාගන්න බැරි හන්ද. මම කැළුමිණීටත් කතා කරා. පුතා බීල ගෙදර යන බව මාලිනි නැන්දගෙ පුතා දවස් දෙකක්ම දැකල. ඒ මිනිස්සු ඇහුව ප්‍රභාත් දැන් බොන්නත් පුරුදු වෙලාද කියල. පුතා දන්නවනෙ මිනිස්සු ඕව ගැන හිතන විදිය. බීල යන්නෙ ගෙදර ප්‍රශ්න හන්දනම් පුතේ ඕක ගැන හරියාකාර තීරණයක් ගත්තනම් හොඳයි නේද?

අනික ඉතින් තමන්ගෙ කසාද ගෑණි ගැන ඔහොම දෙයක් ආරංචි උනාම තව ඉවසන්නය කියල කියන එක කියන්න බැරි බව අපි නොදන්නව නෙවෙයිනෙ. මං මේ තකහනියෙ කතා කරේ ඒ ගැන අහන්න. මම කැළුමිණීටත් කතා කරා. මොකෝ ඉතින් වෙන ඒ පැත්තෙම් වැඩිහිටියෙක් කියල කෙනෙක් නෑනෙ අපිට මේ විත්තිය කතා කරන්න.

අක්ක නම් හොඳටම තරහෙන් ඉන්නෙ කැළුමිණී එක්ක. අක්ක නං කියන්නෙම දැන් උනත් කමක් නෑ අතෑරලම දාන්න කියන්න කියල. අපි දන්නෙ නෑනෙ පුතේ දැනටම කා එක්ක හරි පුතාව රවට්ටනවද කියලා”

කැළුමිණි වනාහී එවන් අයෙකු නොවන බව සහසුද්දෙන්ම දැන උන්නද අම්මාට විරුද්ධව යමක් කියාගත හැකි තැනක ප්‍රභාත් උන්නේ නැත. ගත තිබුනේ වේදනාව නිසාවෙන් අඩපණ වීමෙනි. පසුව කතාකරන්නම් යැයි කියා දුරකතනය තැබුවද හිත මත වූ වේදනාව දහස් ගුණයකින් වැඩි වුණු බවක් ප්‍රභාත්ට දැනේ. කැළුමිණී අත හැර දමන්නට අපහසු බව දැන උන්නද තව දුරටත් සැකයක බිජ හිත අස්සේ තබාගෙන මෙසේ ජීවත් වෙන්නට බැරි බව ප්‍රභාත් දැන හුන්නේය. 

ඉතින් මත් වන්නට නියමිත සැඳෑවන් සැනසුම් සහගත බව ප්‍රභාත්ට නොසිතුනා නොවේ. වෙනදා මෙන් තමා එන්නට පමා වන බව දන්වා කැළුමිණිට කෙටි පණිවිඩයක් හෝ දුරකතන ඇමතුමක් දීමට අනවශ්‍ය වීමත්, කැළුමිණී තනියෙන් බව සිතා ඉක්මන් කර නික්මෙන්නට නොවීමත් ප්‍රභාත් දුටුවේ කලකට පසු ලැබූ නිදහසක් ලෙසිනි. ඒ නිදහස නැති කරගත නොගත යුතුය යන හැඟීම සිත අස්සට පැන්නේ මත් බව නිසාද කියා අපහැදිලිය.

වොඩ්කා වීදුරුවේ තිබුනේ මින් පෙර නොතිබුන අමුතුම හැඟීමකි. ඒ හා පැහෙමින් තිබූ හොට් බටර් කට්ල් ෆිශ් පිඟාන සිනාවන් කතාවන් මැද හිස් වෙද්දී ඒ සතුටු සාමිචියෙන් මිදෙනු පිණිස මත් දිය පිරුණු වීදුරුව රැගෙන ඉදිරියෙන් පෙනෙන මුහුදු වෙරල වෙත ඇවිද ගියේ සිත අවුලුවමින් තිබූ හැඟීම් ගංගාවෙන් බිඳක් හෝ සිතෙන් ඉවත් කරගනු පිණිසය. 

සැඳෑ අන්දකාරය සමග ඇඳි එන සිහිල් සුලග මත් බව හා පොරබදමින් තමාව ඇහැරවා තබාගන්නට උත්සහ කරද ප්‍රභාත් උන්නේ අඩවන් නිදිමතකිනි. තමා මින් පෙර මෙසේ නොහැසිරුණ බව මෙනෙහි වෙද්දී ඒ නිදිබර හැඟීම් ඇහැරවාගෙන කැළුමිණී පිළිබඳ කෝපවත් හැඟීම් උඩට මතුව ඒ.

“මොකද මෙතන?”

පිටුපස හැරී බලද්දි උන්නේ අමීශාය. සුපුරුදු සිනහව දෙතොල මත ඇඳී තිබුනද ඇයගේ දෙනෙත් ද තිබෙන්නේ තමාගේ සේම අඩවන්ව බවත්, ඒ අඩවන් බව මේ අත රැඳි මත් දියරයට වඩා හැඟීම් මත් කරවන්නම් බවත් සිතුඅන් හැඟීම සිතෙන් ඉවතලන්නට උවමනාවක්, නොඑසේනම් අවශ්‍යතාවයක් ප්‍රභාත්ට තිබුනේ නැත.

“කම්මැලි. ඉතින් ආවා”

“කම්මැලියි?” දෑස් කුඩා කර ඇසූ ඒ ප්‍රශ්නය බොහෝ දේ කියන්නකි.

“අච්චර කට්ටියක කතා කර කර විහිලු කර කර ඉන්න තැන කම්මැලි කියන්නෙ මට පිස්සු කියල ඔයා හිතනව ඇතිනේ” මේ කතාකරන්නෙ තමන්මද එසේත් නොමැතිනම් තමාව වසඟයට ගෙන තිබෙන මත් බවද කියා ප්‍රභාත්ට අපහැදිලිය. 

“අනේ නෑ. මම හිතුවෙ කම්මැලි නොවෙන්න තරම් ඔයාගෙ හිත කලබල ඇති කියල”

අමීශාගේ දෙනෙත් විදිලි සර මෙන් ඇවිත් තම නෙතු මත තැන්පත් වනු දැනුනද වෙන දිනක මෙන් ඒ විදුලි සැර බැල්ම මගාරින්නට බැරිකමක් තිබිනි.

“ඇයි එහෙම කිව්වේ?”

“එහෙම දෙයක් ඔයාගෙන් මට පේන නිසා”

“මොකද්ද පේන්නෙ?”

“ඔයා ඉන්නෙ හිතට වද දෙන ලොකුම ලොකු ප්‍රශ්නෙක හිරවෙලා කියන එක. ඔයා ඒ ප්‍රශ්නෙන් විඳවනවා කියන එක. ඒ ප්‍රශ්නෙ මොකක් උනත් ඔයාට සෑහෙන තදින් බලපාලා තිබෙන බව. ඒ නිසා මම සැක කරනව මේක ඔයාගේ ෆැමිලි ලයිෆ් එක සම්බන්ධ දෙයක් කියල”

“ලෝයර් කෙනෙක් වගේනේ කතාකරන්නේ”

“සමහරවිට ඔය හිතට වද දෙන අවනඩුව විසඳන්න පුලුවන් විදියකුත් මම දන්නවා වෙන්න පුලුවන්”

එක පෙලට මුහුදු වෙරලේ සිටගෙන මුහුද දෙසම, නොඑසෙනම් අන්දකාර අකාශය දෙසම බලාගෙන අමීශා උන්නේ දිගු කතාවකට අර අදිමිනි. තමා ඒ කතාබහට කල ඇරයුම භාරගත යුතුද යන්න කුකුස සිත තුල පුරවගනිමින් ප්‍රභාත් උන්නේද ඒ අඳුර දෙසම බලාගෙනය.

බාගදා ඒ අඳුරෙන් එලියට ඒමට පාර කියාදෙන තාරකාව වන්නට අමීශාට හැකිවනු ඇත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles