සඳක් තනියම – 11

0
6463

” ප්‍රියංකා ටීචර්ට ලන්ච් එකකටවත් එන්න කියන්න ඕනෙ දුව.අපේ ඉලන්දාරියත් ටීචර් කියන දේවල් අහනවා.”

තේජා එසේ පැවසූයේ විනාඩි කිහිපයක් නිහඬව ගෙවී ගියාට පසුවය.

” ඒකනම් ඇත්ත අම්මා.අනිත් ගුරුවරු ගැන කියන්න මොනවා හරි දෙයක් තියෙනවා.මූණ ගැන කියයි.සාරිය ගැන කියයි.ඇවිදින විදිහ ගැන කියයි…කන ඒවා ගැන කියයි..ඒ උනාට ප්‍රියංක ටීච ගැන නම් වචනයක්වත් කියන්නෙ නෑ.”

එවර නර්මදා පැවසූයේ සිනහසෙමින්ය.

” මේ ළමයා ඔය ඒ ලෙවල් ක්ලාස් වල ඉඳිද්දී පොඩ්ඩක් වෙන වෙන පැති වලට හැරෙන්න බැලුවා.තාත්තා අදටත් දන්නෙ නෑ දුව මම චූටි පුතාව  ගාර්ඩ් කරගෙනම හිටියා..මේ ළමයා දවසක් ස්කූල් කට් කරලා කොල්ලොත් එක්ක බීච් එකේ නාන්න ගිහිල්ලා.කොහොමහරි ඉස්කෝලේ ලොකු ළමයෙක් දැකලා ප්‍රියංකා ටීචට ඇවිත් කියලා තියෙනවා.ඒ ලෙවල් වලට හරියටම මාසයයි.”

“ඉතින්…”

” ප්‍රියංකා ටීචර් ඉස්කෝලේ තව තරුණ ගුරුවරයෙකුත් කතා කරගෙන බීච් එකේ මේ ළමයින්ව දැක්කයි කියපු පැත්තට ගිහින් තියෙනවා.අපේ ඉලංදාරියයි තව පස් දෙනෙකුයි.නිකං නෙමෙයි බියර් ටින් වගයකුත් මේ ළමයි ලඟ තිබිලා. ටීචර් පස් දෙනාවම ගෙවල් වලට කතා කරලා බාර දීලා ප්‍රින්සිපල්ටත් කතා කරලා මේ දරුවන්ට කැළලක් නොවෙන්න ඒ ප්‍රශ්නය විසඳන්න කියලා ඉල්ලීමක් කරලා.සමහර ගුරුවරු ඒ ප්‍රශ්නේ අවුල් කරලා දරුවන්ට ලොකු දඬුවමක් දිය යුතුයි කියන තැන ඉන්නකොට ප්‍රියංකා ටීච දිගින් දිගටම අපේ මේ දරුවෝ වෙනුවෙන් පෙනී හිටියා.ටීච දිගින් දිගටම කිව්වේ තරුණ දරුවන්ට දඬුවම් දිය යුත්තේ ඇඟට නෙමෙයි හිතට කියලා.

 ගෙවල්වල අම්මලාටත් කතා කරලා කියලා.දරුවොත් ආයෙ වරදක් නොකරන බවට පොරොන්දු කරගෙන.හරි ලස්සනට හෙමිහිට මේ ප්‍රශ්නය විසඳුවා.එහෙම නොවුන නම් අන්තිම මොහොතේ ඉස්කෝලෙන් පනිෂ්මන්ට් ලැබිලා.පන්ති තහනම් වෙලා.විභාගේ අවුල් කරගෙන සෑහෙන්න දේවල් වෙන්න තිබුණා.තාත්තා දැන් වගේම තමයි ඉස්සරත්.හොඳට හොඳයි වගේම නරකට අන්තිම නරකයි. හිතේ මහා ගින්දරක් තියාගෙන මං මෙයාව පරිස්සම් කළා.

ප්‍රියංක ටීචර් හැම තිස්සෙම කිව්වේ වරදට පෙළඹෙන දරුවෝ යහමගට ගන්න ඕනෙ ආදරයෙන්මයි කියලා.ඒ කිව්වා වගේම මේ හය දෙනාම ඔය ටීච අන්තිම මොහොත වෙනකම්ම එක වගේම බලා ගත්තා .අද ඒ  හයදෙනාම හොඳ තැන්වල ඉන්නවා පුතා.අපේ එකා උනත් ඉතින් යාළුවෝ  ආශ්‍රය වැඩි වුණාට වැරදි වැඩ වලට පෙළඹුණේ නෑනේ.හැම තිස්සෙම කාට හරි උදව්වක් කරන්න බලන්නේ.”

” ඒකනං එහෙම තමයි අම්මා.විශ්ව කියන්නෙත් මල්ලි තාම අපි හැමෝගෙම හුරතලේ කියලා. එයාට  වගකීම් යුතුකම් ඉෂ්ඨ කරන්න කියලා  අපි බල කරන එක තේරුමක් නෑ කියලා…විශ්වගේ හිතේ නං ලොකු විශ්වාසයක් තියෙනවා මල්ලි ඉක්මනටම මේ දේවල් තේරුම් ගනියි කියලා.අම්මා බය වෙන්න එපා.එදා අම්මා වගේම අද විශ්ව මල්ලිව ගාර්ඩ් කරනවා.”

” අනේ මන්දා ළමයෝ. ඒක තමයි සැනසීම.තාත්තත් ඔය සැර උනාට එයාගේ පණත් මේ පිස්සු කොල්ලා තමයි.දුව මට අර අලුතින් වැඩට ආපු ගෑණු ළමයව දකින්න ආසයි.තාත්තා කිව්වා හරි වෙනස්  ගතියක් තියෙන ගෑණු රූපයක් කියලා.ඉක්මනින් වැඩත් අල්ල ගන්නවා කියලා හිමාෂා කිව්වලු.”

” විශ්වත් ඒ ටිකම කිව්ව අම්මේ.ඒක හරි වෙනස් රූපයක් කියලා. මල්ලිත් එක්ක ඉවසීමෙන් වැඩ කරයි කියලත් කිව්වා. හරි පිළිවෙලයිලු..”

” ප්‍රියංකා ටීචගේ හිතෙත් ලොකු ආදරයක් තියන පාටයි ඒ ළමයා ගැන.”

තේජා ලේලිය අසලින් නැගී සිටියේ  සිඟිති දියණියවත් වඩාගෙනය.ඒ අවසරයෙන් සිය දුරකථනය අතට ගත් නර්මදා  විශ්වට දුරකතන ඇමතුමක් ලබා ගත්තාය.

**********==========********=======

දිනාරා  තම ජීවිතයේ ඇතිවන මේ අලුත් වෙනස්කම් වලට ප්‍රිය  කරමින් උන්නාය.මේ සියල්ල සිතට සතුටකි.ඉතා ඉක්මනින් ඇය කාර්යාලයේ වූ  තමාගේ වැඩ කොටස පුහුණු වූවාය. සර්ගෙන් හිමාෂාට ලැබෙන උදව්ව අකලංක සර්ගෙන් තමාට නොලැබෙන බව දිනාරා දැන ගත්තේ දින කිහිපයක් ඔහු හා එක්ව වැඩ කළාට පසුවය.ඔහු කාර්යාලයට පැමිණෙන පිටවන වේලාවක් නොවේ. දිනපතා පැමිණීමක් කොහොමටවත් නොවේ.සමහර දිනක මිතුරන් ඔහුව සොයාගෙන කාර්යාලයටත් පැමිණේ.ඉන්පසු පැය ගණනක් කාර්යාල කාමරයේ රැඳී සිටී.වරෙක අකලංක සර්ගේ වැඩ කොටස ඉටු කරන්නේත් විශ්ව විසින්ය. එහෙත් ඔහු සිනහමුසුව සියල්ල ඉවසුවා මිස සොයුරාට බැණ වදිනු ඇසී තිබුනේ නැත.

” ඔය ෆයිල් එක දෙන්න දිනාරා මම චෙක් කරන්නම්.තාත්තා දැනගත්තොත් මේකා බැනුම් අහනවා හොඳටම.”

ඔහු ඒ බොහෝවර දිනාරාට පවසයි..

” අනේ දිනාරා අරක බලන්න..දිනාරා ඔයා ඒක බලලා  කරන්න..දිනාරා ඒක රෙඩි නේද..දිනාරා අයියගෙන් අහලා ඔයා ඒක බලන්න.”

මෙවැනි වදන් ඔවුන්ගේ කාර්යාල කාමරය තුළ ඇසීම සාමාන්‍ය විය.එහෙත් දිනාරා වැඩ කළේ සතුටින්ය.කොතරම් වැඩ වැඩි වුවත් ඕ ඒ කිසිවක් හිසරදයක් කර නොගත්තාය. කාර්යාලයේ අනිකුත් සේවිකාවන්ට වඩා ඇයට හිතවත් වූයේ හිමාශාය.දෙදෙනා කෑමට ගියේත් එකටය.

තේජා හදිසියේම කාර්යාලයට පැමිණියේ දිනාරා අකලංකගේ අත්සන ලබාගතයුතු  ලිපියක් සූදානම් කරමින් සිටියදීය.මින් විනාඩි කිහිපයකට පෙර ඔහුට ඈ දුරකතන ඇමතුමක් ලබා දුන්නේත් ඒ ලිපිය සම්බන්ධව පවසන්නටය.

” නොමැරී හිටියොත් ඇවිත් සයින් කරලා යනවා හරිද…”

ඔහු එසේ පවසා දුරකතනය විසන්ධි කලේ උස් හඩින් සිනහසෙමින්ය.

කාර්යාලයේ වැඩට උනන්දු නොවුනාට  සමාජයේ වැඩ දහසකි. කාර්යාලයෙන් පරිබාහිර වූ වැඩත් විටෙක දිනාරාටම පවරා සිටින්නේ සොයුරාටත් , පියාටත් හොර රහසේය.

” දිනාරා…..”

තේජා කාර්යාලය තුළින් එබුණේ සිනහමුසුවය. කාර්යාලය ඇතුළත රැස්වීම් පවත්වන ශාලාවේ  පවුලේ ඡායාරූපයක වූ මෙම ගැහැණු රුව හඳුනා ගැනීම යුවතියට අපහසු වූයේ නැත.

” මැඩම් “

ඇය නැගී සිටියේ එසේ පවසමින්ය.

” මාව අඳුන ගත්ත නේද..”

” කන්ෆරන්ස්  එකේ ගහලා තිබුණු ෆොටෝ එකේ මැඩම්ගේ මූණ මට හොඳින් මතක තිබුණා.ප්‍රියංකා ආන්ටිත් මැඩම් ගැන ගොඩක් විස්තර කියලා තිබුණා.රූපය ගැනත්  , ඒ නිසා  අදුනගන්න අපහසු උනේම නෑ..”

” ප්‍රියංකා  ටීච තරමට නම් මම ලස්සන නෑ.”

” නෑ මැඩම්…හැමෝම ලස්සනයි.එක එක්කෙනාගේ ලස්සන එක එක්කෙනාට ආවේණිකයි.”

” ඔයා මේ වගේ ලස්සන කතා කියනවා කියලා මට විශ්වත් කිව්වා.ඉතින් දරුවෝ කොහොමද වැඩ කටයුතු..ඇත්තම තමයි ඔයා හරි ලස්සන දරුවෙක්.”

” හොඳයි මැඩම්..”

” අපේ එක්කෙනා  එක්ක වැඩ කරන්න ටිකක් අමාරුයි නේද.”

” එහෙමමත් නෑ මැඩම්.විශ්ව සර් එක්ක තරම් නම් ලේසි නැහැ.ඒ උනාට කමක් නෑ…එක අතකින් ඒක මට එක්ස්පීරියන්ස්  එකක් ගන්න හොඳ අවස්ථාවක්.”

” ඔයත් ප්‍රියංකා වගේ..ප්‍රියංකා ටීචටත්  පුළුවන් පෙරලුණු පිට හොඳයි කියලා හිතලා හිනාවෙලා හැමදේටම මුහුණ දෙන්න.”

” ප්‍රියංකා ආන්ටිත් මට කියනවා එහෙම උනහම ජීවත් වෙන්න හරි පහසුයි කියලා.”

” ඒක ඇත්ත…”

” මේ දරුවාගේ ගම නුවර  කිව්ව නේද.”

“ඔව් මැඩම්..”

“අම්මයි තාත්තයි මොකද කරන්නේ “

” තාත්තා මං පොඩි කාලෙම අපිව දාලා ගිහිල්ලා මැඩම්.අම්මත් නැති උනා..අපි අත්තම්මා ගාව තමයි හැදුනේ.”

දිනාරා අඩක් සත්‍යවූත් අඩක් අසත්‍යවූත් ඒ වදන්  පෙළ පැවසූයේ බිම බලාගෙනය.මල්ලී ගැන කිසිවක් කිසිවෙකු හා කතා නොකරන්නේයැයි ප්‍රියංකා කළ ඉල්ලීම ඈ ඉටු කළේ මහත් අසීරුතාවයකින්ය.යමක් සඟවාගෙන කතා කිරීම දිනාරාට ලෙහෙසියෙන් කළ හැක්කක් නොවේ.ගරු කරන , ආදරය කරන තමාගේ යැයි සිතෙනා මිනිසුන් ඉදිරිපිට එය මහත් අසීරු කාර්‍යයකි.

“ අනේ සොරි දරුවෝ….මං වැරදි ප්‍රශ්නයක්ද මන්ද ඇහුවේ සර්  මට කිව්වා ඔයාගේ වැඩ හොඳයි කියලා.දිගටම අපිත් එක්ක වැඩ කරමු.ප්‍රියංකා කිව්වා ඔයා එක්ස්ට්‍රනල්  ඩිග්‍රි එකක් ලියන්නත් ලෑස්ති වෙනවා කියලා. අපි ළඟ දිගටම ඉන්න කියලා මම කියන්නේ නැහැ. ඒ උනාට අපේ කම්පැනි එකෙත් ඔයාට ඉහලට යන්න හොඳ  අවස්ථා තියෙයි.”

එවේලෙහි ඇයට වූයේ මේ තේජවන්ත ගැහැණු රුව කාර්යාලයට අහිමි කර ගැනීමේ ලෝබ කමකි.එවන් වූ පෞරුෂයක් ගැහැණු රුවක් හා සසැදෙන්නේ කලාතුරකින්ය. තේජා දුටුවේ ඒ සියල්ලටම වඩා ඇගේ මුහුණේ වූ පින් පාටය.

” මං කැමැත්තෙන් වැඩ මෙහේ වැඩ කරන්නේ.ඒ නිසා තව තැනකට යන්න අවශ්‍යතාවයක් නැතිවෙයි මැඩම්…”

” හොඳයි මොනවා හරි දෙයක් තිබුණොත් ප්‍රියංකා  ටීච එක්ක කතා කරන්නකෝ.ප්‍රියංකා ටීච අපිට කියයි.”

යුවතිය තමා උන් තැනින් මදක් ඉදිරියට පැමිණ තේජාගේ දෙපා වැන්දේ ඈ ආපසු හැරෙන්නට සැරසෙද්දීය. ඒ රූපය නම් පුදුමාකාර වශියකැයි තේජා සිතුවේ මින් තත්පර කිහිපයකට ඉහතදීය.සැමියා පැවසුවා සේ එහි රූපය සියල්ල අංග සම්පූර්ණ රූපයකි. 

හිටිහැටියේම යුවතියගේ වැදීමෙන් ඕ අඩියක් පසුපසට තැබුවේ  වික්ෂිප්තවය.කොහේ කොතැනක හැදුනත් ඈ ගුණගරුකව හැදුණු යුවතියක් බව විශ්වාසය.ප්‍රියංකා තමාට ඇයව  

විශ්වාසයෙන් හදුන්වා දුන්නේ  එනිසා විය යුතුය.

********=======******=====******===

අකලංක සිටියේ මිතුරන් සමඟ මුහුදු තීරයේ වූ අවන්හලකය. දුර බැහැරක පිහිටි පාසලක දරුවන් වෙනුවෙන් සපත්තු ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට මිතුරන් කතිකා කරමින් උන්නේ දින කිහිපයක සිටය.ඒ සඳහා පාසලක් තෝරා ගනිමින් වියදම් වෙන මුදල ගණන් බැලීම සඳහා මිතුරන් එකතු වූයේ සවසය.සපත්තු සමග පාසල් උපකරණ ලබා දීමේ යෝජනාව කලේ අකලංකය.ඒ සඳහා වියදම බාර ගත්තේත් ඔහුය.මේ මිතුරන් පිරිසේ  අගහිගකම් ඇති කිසිවෙකු වූයේ නැත.අකලංක සේම යුවතියන් දෙදෙනාත්.හේෂානුත් , සනුජත් , කවීෂත් පුද්ගලික විශ්ව විද්‍යාලවක උපාධිධාරීන්ය.සමහරෙකු ඔවුන්ගේම ව්‍යාපාරවලට හවුල්ව  සිටි අතර තවත් දෙදෙනෙකු රැකියාවන්වල නිරත විය.සියල්ලෝම එකතු වූයේ මෙවන් හවස් වරු වලය.

‘ අඩෝ මචං අමතක උනානේ..මුගේ කැබින් එකේ කෙල්ලෙක් ඉන්නවා.පට්ට ලස්සන කෑල්ලක්..ඇයි බං උඹ එහෙම කෑල්ලක් ළඟ තියාගෙන තපස් රකින්න..”

දහවල් වරුවේ කාර්යාලයට පැමිණි සනුජ පැවසූයේ එහා පස උන් හේෂාන්ටය.

“මටත් ආරංචියි මටත් ආරංචියි..කොහෙන්ද බං ඒ කෙල්ලව හොයාගත්තේ.මූව පික් කරන්න මං ඔෆිස් එකට එන්නද කියලා අහද්දී මූ කියනවා මං කැබ් එකක් දාං එන්නම්ලු.”

” පිස්සුද බං…ඒ වැඩ කරන කෙල්ලෙක්…”

” කොහෙන්ද හොයා ගත්තේ “

” තාත්තා ඉන්ටර්විව්  කරලා බං ගත්තේ.මට මාර සපෝර්ට්  හැබැයි ආ..කියන ඔක්කොම වැඩ කරනවා බං.මං සෑහෙන්න නිදහස්.. “

” ඇත්තටම කෙල්ල ලස්සනයි ආ..ඔය ලස්සනයි කියලා හිතන් ඉන්න සමහර කෙල්ලෝ දිහා බලද්දී උන්ගේ මොනවද ලස්සන කියලා හිතෙනවා.ලිප්ස්ටික් ටික නැති උනොත් තොල් කලු පාටයි. රෝස් පවුඩර් ටික නැති උනොත් මූණේ අම්බානක ලප..”

සනුජ එසේ පවසද්දී ඇදව ගියේ එහා පස උන් කෙල්ලන් දෙදෙනාගේ මුහුණුය.

” දැන් මෙයා ලඟට ගිහින් බලන් ඉදලද බං ආවේ.”

එසේ පැවසූයේ අශානිය.

” අනේ මන්දා බං…මං හිතුවේ මූ එතන ඉදපු විනාඩි දෙකට අපේ ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එක චෙක්කලා කියලා.බලන් ගියාම මූ කෙල්ලගේ විස්තරනේ හොයලා තියෙන්නේ.උඹ උස කොට දිග වටප්‍රමාණ එහෙම ඔක්කොම මැන ගත්තද…”

“ඇත්ත කියනකොට කොහොමත් අහන් ඉන්න අමාරුයි..ආ…උඹ පුළුවන්නම් මූණ හොදලා පෙන්නපං..ඔට්ටුයි උඹට බෑ මූණ හෝදලා පෙන්නන්න…”

එවර සනුජ තමා ආසන්නයේ වූ වතුර වීදුරුව යුවතියන් දෙදෙනා සිටින පසට තල්ලු කළේය.

කොහොමටත් සියල්ලෝම එකතුවන මේ සොඳුරු හමුවීම් වලදී සිනහව , සතුට සේම කෙල්ලන් දෙදෙනා කෝප ගැන්වීම්ද එමටය.එහෙත් මේ ⁣කිසිදා නොබිඳුන වසර ගණනක මිතුදම්ය.

අකලංකගේ දුරකතනය නාද වූයේ මිතුරන් සපත්තු පොත්පත් ලබා ගැනීම සඳහා අවශ්‍ය ගණන් මිමි සකසමින් සිටියදීය.

ඒ කාර්යාලයේ අංකයයි.

“”හලෝ..”

“ කියන්න දිනාරා.”

“සර් අද පහට  මීටින් එකක් තියනවා..මම ඒක මතක් කරන්නයි ගත්තේ.”

තරුණයා තම වම් අතෙහි බැද උන් අත් ඔරලෝසුවට එබුනේ එවේලෙහිය.වේලාව හතරයි පනහ ලෙස සටහන්ව තිබිණ.යුවතිය උදෑසනත් ඒ බවක් සිහි කලා ඔහුට මතකය.

” දිනාරා මම ඉන්නේ විනාඩි දහයකින් එන්න පුළුවන් තැනක නෙමෙයි.පරක්කු වෙලා මීටින් එකට ආවොත් තාත්තට කේන්ති යනවා.ඊට වඩා හොඳයි නොගිහිල්ලම ඉන්න එක”

” සර් විශ්ව සර් ඇවිල්ලත් අහලා ගියා. මං කිව්වා සර් වෙලාවට එයි කියලා..”

“මොනව  හරි කරන්න වෙනවා දිනාරා..හ්ම්..මොක..ද කරන්නේ….”

දුරකතනය විසන්ධි නොකල තරුණයා තත්පර කිහිපයක් ගෙවා දැමුවේ කුමක් කරන්නේදැයි සිතමින්ය.ඔහුට මේ සාකච්ඡාව වැදගත් එකක් බැව් දිනාරා දැන  උන්නාය.ඒ සියල්ලටම වඩා විශ්ව සර් කිහිප වතාවක්ම පැවසූයේ සාකච්ඡාව ගැන ඔහුට වරින් වර සිහි කරන ලෙසය.

” මං කියන්නම්…”

” සර්…”

” දිනාරා ඔයා අපේ තාත්තට කියන්න මම වැඩකට එළියට ගිහින් එක අතරේ පොඩි එක්සිඩන්ට් එකක් වෙලා කියලා.මං ඩොක්ටර් ගාවට ගියා කියලත් කියන්න.මං අත බැන්ඩේජ් කරගෙන පැය බාගයක් ඇතුලත එනවා ඔතනට.එතකොට ෂේප්..”

“අනේ සර්..ඒක බොරුවක්.ලොකු සර් බය වෙයි..”

” මට මුකුත් වෙලා නෑනේ අප්පා..එහෙම තමයි..එතකල් ඔයා මීටින් රූම් එකේ ඉන්න.”

” සර්..ඒත් ..මං. මං …”

” ඉදලා හිටලා බොරුවක් කිව්වා  කියලා අපායේ යන්නේ නෑ හලෝ.එහෙම ගියොත් මං ඇවිත් එක්කන් එන්නම්.යම රජ්ජුරුවෝ මගේ යාළුවෙක්.”

” සර් ටිකක් පරක්කු වෙනවා කියලා කියන්නම්.එක්සිඩන්ට් වෙලා කියලනම් කියන්න බෑ මට.මං එහෙම බොරු කියන් නෑ..මට ඒක කරන්න බෑ සර්…අයෑම් වෙරි සොරි…”

යුවතිය දුරකතනය විසන්ධි කලේ ඔහුගේ මුව මත සිනහවක් සටහන් කරමින්ය. ඔහු මිතුරන් දෙස බැලුවේත් ඒ සිනහවෙන්මය.වර්තමානයේ හෝ අනාගතයේදී පුද්ගලික ලාබ ප්‍රයෝජන අපේක්ෂාවෙන් සිය ආයතන ප්‍රධානින්ගේ සියළු හොර වැඩ වලට සහය දෙන, වැරදි හැසිරීම් දරා ගන්නා සේවික සේවිකාවන් ඔහුට ඕනෑතරම් හමු වී තිබේ. ඒ හමු වීම් මැද ඇගේ හමු වීම ඒ සිතට සුවිශේෂී බවක් එක්කරමින් තිබිණ.ඇගේ හැසිරීම කතා බහ සේම වැඩ පිළිවෙලත් සෘජුය.

( යළිත් හමුවෙමු දයාබරව )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here