නම නොදන්නා කඳු පන්ති 03

0
5453

රන්දුනු සර් චෙයාර්මන්  වෙලා  ආවට පස්සෙ අපේ කම්පැනි එක ගොඩක් දියුණු වුණා .
මම චෙයාර්මන්  ගේ පෞද්ගලික ලේකම්වරිය හැටියට වැඩ කළා .හිතුවට වඩා ගොඩක් සැර පරුෂ පුද්ගලයෙක් වෙච්ච රන්දුනු සර් එක්ක ඒ හැටියට කතා බහකට යන්න මට පුළුවන් වුණේ නැහැ .ඉඳලා හිටලා බොහොම ප්‍රියමනාප විදියට හිනාවෙලා විහිලුවක් දෙකක් කළාට දවසේ වැඩි හරියක් සිද්ධවුණේ රන්ඳුනු සර් ඔලුව නමාගෙන වැඩ කරපු එකයි .එයා වැඩ කරන කරන කොට අනික් අයට නිකං ඉන්න බැරි හින්දා අනික් අයත් ඉබේම වැඩ කරන්න පටන් ගත්තා .අනිත් අය හැන්දෑවේ පහ  වෙනකොට ගෙදර ගියාට හුඟක් වෙලාවට රන්දුනු සර් නම්  රෑ අට නමය වෙනකන් වැඩ කළා .

ෂුවර් එකටම ඕකා  ගෑනිත් එක්ක තරහ වෙලයි ඇත්තේ ….නැත්නම් මොකද ගෙදර යන්නැතුව ඔය හැටියට රෑ වෙනකම් වැඩ කරන්නේ…..ඕවර් ටයිම්  කියලා යකෝ ඔහොමත් මොනවද කරන්නේ …….

ඔෆිස් එකේ ගොඩක් අය තැන තැන කතා වුණා .රන්දුනු සර් ගේ පෞද්ගලික ජීවිතය ගැන මං මුකුත් දැනගෙන හිටියෙ නෑ .එහෙම සුහද කතාබහකට යන්න තරම් අවස්ථාවක් මට ලැබුණේ නෑ .හුඟක් වෙලාවට සර් ගෙදරින් කෑම එකක් අරගෙන ආවා . එයා ලන්ච් රූම් එකට යන්නේ නැතුව එයාගේ කැබින් එකේ ඉඳගෙන  කෑම කෑවේ . එදා මටත් ගොඩක් වැඩ තිබුන හින්දා ලන්ච් රූම් එකට යන්න හම්බුනේ නෑ .මමත් කෑම ගත්තෙ කැබින් එකේ ඉදලා සර්  ඒක්කමයි .

නස්‍රියා ……  ඔයාගේ කෑම එකෙන් මාර සුවඳක් එනවා ……

එහෙම කියපු රණ්දුනු සර් හිනා උනා . අවුරුදු හැටකට කිට්ටුවෙලා තිබුනට ඒ මූණ හරි සිරියාවන්තයි කියලා මට එදා  පලවෙනි පාරට හිතුනා .

විශේෂත්වයක් නෑ සර්….. බටු මෝජු තියෙනවා ඕනෙද කියලා මං ඇහුවා අද වගේ මතකයි.

මම ආසම කෑමක් ..කියලා සර් හිනාවුනා .
ඊට දවස් දෙකකට  පස්සේ මම ආපහු සැරයක් රසට හදපු බටු මෝජුවක් හොඳට වැහෙන ජෑම් බෝතලයක දාලා පිරිසිදුවට හදලා සර්ට ගෙනල්ල දුන්න .

ගොඩක් ස්තුතියි …….. කියලා අර  ප්‍රතාපවත්  ලස්සන හිනාව සර්ගේ  මූනේ ඇඳුනා මතකයි .

සැරයක් නිවාඩු දවසෙ ගුණසේන එකට ගියේ පුරුද්දක් හැටියට සති දෙකකට සැරයක් මම බුක්ෂොප් එකකට යන හින්දා .එහා පැත්තෙ රාක්කේ අස්සෙන් මම දැක්කේ රන්දුනු  සර් පොත් තෝරනවා .

ස්ටීෆන් කින්ගේ the shining පොත සර්ගෙ අතේ තියනවා දැකලා මට හිනා ගියා . ලොක්කා  අම්බානට බය වෙන්නයි යන්නේ ……මට එහෙම තනියම හිතිලයි හිනාගියේ..
මම සර් එක්ක කතා කරනවද නැද්ද කියලා දෙපාරක් හිතන කොට

නස්‍රියා ත් ආවද හොඳ පොත් තෝරන්න …… කියල සර් හිනා උනා .

අද නිවාඩු දවසනේ  සර් ගෙදර ඉන්නත් කම්මැලි …..

මටත් ගෙදර ඉන්න කම්මැලි ඒකයි මාත් ආවේ…… මොකද කියන්නේ ….. හදිස්සි නැත්තං බාර්න් හවුස්  එකෙන් හොඳ කෝපි එකක් බොමු…

ඊට විනාඩි දහයකට පස්සේ අපි දෙන්නා උන්නේ මුහුද පේන ජනේලයක් ගාව සුදු පාට රවුම් මේසෙක වාඩි වෙලා. දුන් දාන ලටේ කෝපි එකක්  මං ගාව තියෙන කොට විස්කි කලවම් කරපු කළු කෝපි එකක් සර් ඉස්සරහින් තිබුනා.
එතකොට මම සර් එක්ක වැඩ කරන්න පටන් අරගෙන අවුරුද්දක් විතර වගේ වෙලා තිබුණා .ඒ උනාට කිසිම පෞද්ගලික දෙයක් අපි දෙන්නා අතරේ ඔෆිස් එකේදි කතා නොකෙරුනේ ඇත්තටම කාර්යබහුලකම හින්දා මයි .අපි එක එක දේවල් ගොඩක් එදා කතා කළා . ඊට පස්සේ ගොඩක් ඉරිදා වල් වල ඉර බැහැගෙන යන හැන්දෑවල් වලදී.. ඉර මුදුන් වෙලා මුහුදු රැල්ල දිලිසෙන දවල් වෙලාවල්වලදී .. ගොඩක් සැරයක් අපි දෙන්නා බාර්න් හවුස් වල දී හම්බුනා .සර් ගොඩක් කතා කළේ පොත් ගැන.  සර් පොත් පිස්සෙක් . ඒ වෙනකොට මම ජයමිනගෙ කතාව සර් එක කියලයි තිබුණේ .සර් ඒ ගැන වචනෙකින්වත් අදහසක් දුන්නේ නෑ.
ඒ උනාට සම්පූර්ණ කතාවම බාධා කරන්නැතුව අහගෙන හිටිය .සමහර තැන් වලදී මම ඇඩුවා. සමහර තැන් වලදී මම හිනා උනා .නමුත් සර් එකම ඉරියව්වෙන් එකම විදිහට මං දිහා බලාගෙන මම කියන දේට ඇහුම්කන් දුන්නා. මට එදා හවස ලොකු සැහැල්ලුවක් දැනුනා .ගොඩ දවසක් මගේ හිතේ තිබුණු ලොකු බරක් මං නිදහස් කරගත්තා වගේ හැඟීමක් මට දැනුනා . මෙච්චර දවසක් මගේ කතාව දැනගෙන හිටපු හුගක් දෙනා මට දොස් කිව්වා .ජයමිනට මාව එපා වුනේ මගේ වැරැද්දෙන් කියලයි අපේ කතාව දන්න හැමෝම මට කිව්වේ . සර් විතරයි මට මුකුත්ම කියන්නෙ නැතුව සම්පූර්ණ මගේ කතාව කියන්න ඉඩ දීලා අහගෙන හිටපු එකම පුද්ගලයා . මම කතාව කියලා  ඉවර වෙලා සර් දිහා බලලා හිනා උනා . වචනයෙන් විස්තර කරන්න බැරි හැඟීම්වලින් පිරුණු මූනකින් සර් මං  දිහා බලාගෙන හිටියා .

මකා ගන්න අමාරු දේවල් හිත් ඇතුලෙ ලියන්න යන්න එපා නස්‍රියා ….

කියලා සර් එදා එයාගෙ ගැඹුරු කටහඩින් මට කිව්වා.සර් එයාගේ විස්තර කියන්න කැමැතිද නැද්ද කියලා   දන්නෙ නැති හින්ද මට එකපාරටම සර්ගේ විස්තර අහන්න හිතුනෙ නෑ ..
කම්පැනි එකේ  වැඩ වලට විවිධ අවස්ථා වල සර් රට ගිහිල්ලා එනකොට මට එක එක ජාත්‍යන්තර බුක්ෂොප් වලින් හොයාගන්න අමාරු  දුර්ලභ පොත් ගෙනල්ලා දුන්නා . හෙමින් හෙමින් මගේ හිතේ විශේෂ තැනක් සර් ගොඩනඟා ගෙන තිබුණා . අවුරුදු ගාණක්
ජයමිනට ආදරේ කලාට ජයමිනගෙන්  නොලැබිච්ච  අවදානය  , රැකවරණය, ඇහුම්කන්දීම  ,මගේ හිත හැදෙන්න කතා කිරීම වගේ හුඟක් දේවල්  සර්ගෙන් මට හම්බුනා.
අපි දෙන්නා අතර වයස් පරතරය අවුරුදු තිස් ගණනක් විතර උනාට  ටික කාලයක් යනකොට මට ඒක මහා ලොකු පරතරයක් හැටියට දැනුනේ නෑ.
අවුරුදු ගණනක් මම හොයලා තියෙන්නෙ  මේ වගේ රැකවරණයක්….. මේ වගේ අවධානයක් …..කියලා මට තේරෙනකොට නෙත්මින වෙනුවෙන් මම හෙලපු කඳුළු අපරාදේ කියලා මට හිතුණා දුව . සර් ආසම බටුමෝජුව හත්වෙනි වතාවටත් හදලා  මං සර්ට දෙනකොට සර්  ගෙදර තනියම මද ඉන්නේ කියලා මට නාහ ඉන්න  බැරි වුණා .
සර් ඇස්වලින්  හිනාවෙන ගමන් මන් දිහා බැලුවා  මට තාමත් මතකයි.

බිත්තියක් බිත්තියක් ගානේ   දොරක් දොරක් ගානේ හිනාවල් පිරිල තිබුණ ගෙයක් මටත් තිබුනා නස්‍රියා කියලා  . …..
සර් පුන්චි හිනාවක් හිනාවෙලා ආපහු ෆයිල් එක දිහා බලා ගත්තා මට හොඳට මතකයි.ඊට වඩා දෙයක් මට අහන්න හිතුනෙ නෑ .
නිවාඩු දවසේ ඇවිල්ලා සර්ගේ ගෙදර අස්පස් කරලා දෙන්න ද කියලා අහන්නත් මට හිතුනා .

දූ  දන්නවා ද.. දැන් මම ආච්චි කෙනෙක් උනාට ඉස්සර හොඳ හැඩ වැඩ ඇති කෙල්ල..සමහර වෙලාවට මම ආස කරන මනෝ ලෝකයක් ඇතුලේ මමම තනියම අතරමං වෙනවා.

නස්‍රියා කෙල්ල කාලේ කොන්ඩ කෑල්ලකුත් මූන පැත්තෙන් එල්ලෙන කොට සරුවාල කලිසමකුයි  ටී ෂර්ට් එකකුයි ඇඳගෙන  සර්ගෙ කාමරේ හති දාගෙන සුද්ද කරනකොට  සර් කොට කලිසමකුත් ඇඳගෙන දොඩම්  වීදුරුවක් හදාගෙන කාමරේ දොර ගාවට ඇවිල්ල හිනාවෙන දර්ශනයක් මගේ ඇස් ඉස්සරහ මැවිලා පෙනුනා.
මට තනියම හිනා ගියා.

ආච්චි කතාව කියන්න.ඒක මාර ලස්සනයි.හරියට චිත්‍රපටියක් වගේ නේ. ඉතිං ආච්චි මුස්ලිම් නේ..යාලු වෙලා ඉඳලා තියෙන්නෙත් සිංහල කොල්ලෙක් එක්ක.ක්‍රශ් එක වෙලා තියෙන්නේත් සිංහල මනුස්සයෙක්.එහෙම කියපු මම හිනාඋනා.

ඇත්තටම මම මුස්ලිම් කියන එක රන්දුනුට විශේශත්වයක් වෙලා තිබුණේ නැහැ.හැබැයි ඒකටත් පොඩි හේතුවක් තියෙනවා.

ම්ම්..හරි හරි..ආච්චි දිගටම කතාව කියන්න. මම මාර ආසාවෙන් අහගෙන ඉන්නේ.

අපි ගොඩක් ඉරිදාවල් වලදි හම්බවුණා .මං සර්ගේ කතාවල් අහන්න, සර්ගෙ ඇස් දිහා බලාගෙන ඉන්න ,
විස්කි කලවම් කරපු කෝපි එක බොනවා බලන්න ,ඒකෙ සුවඳ විඳින්න මාර විදිහට  ආස වෙලා තිබුණා. 
එදා අපි මූහුද පේන සුදු පාට රවුම් මේසේ වාඩිවෙලා  ඉන්නකොට  සර් මගේ දිහා කෙලින් බලාගෙන කතා කරන්න ගත්තා .

නස්‍රියා  ….. මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා …..

හුඟ දවසකට කලින් ඉදන් මෙහෙම දෙයක් සර්  මගෙන් අහයි කියලා මම බලාපොරොත්තුවෙන් හිටිය..  එහෙම කියලා මම කොහොම කියන්නද ….
ආච්චි  කෙල්ලෙක් වගේ හිනාඋනා .

අහන්න දෙයියනේ ඉතින් අහන්න ….
කියලා මම හිතින් කිව්වේ ඇස් වලිනුත් හිනාවෙවී .
සර් එයාගේ පර්ස් එකේ දාගෙන හිටපු බොහොම කඩවසම් පිරිමි ළමයෙකුගේ පින්තුරයක් මට පෙන්නුවා .

නස්‍රියා  මේ ඉන්නේ මගේ පුතා …  එයා ඇමරිකාවේ දොස්තර කෙනෙක්. මගේ වයිෆ් ඉන්නෙත් පුතා එක්ක .. මෙච්චර දවසක් ඔයා කතා කරන ඒවා අහගෙන ඉන්න කොට මට හිතුනු එකම දේ ඔයා හරි අවංකයි කියලයි . ඒ වගේ අහිංසක අවංක කෙනෙක් ගැලපෙන්නෙ මගේ පුතාට කියලා මම නෝනා එක්කත් කිව්වා . එයා තමයි මට කිව්වේ පුතාගේ පොටෝ එක පෙන්නලා පුතා ගැන අහන්න කියලා …..

සර් එහෙම කියනකොට මට දැනුනේ මහ ලැජ්ජාවක් ……. මට නොදැනීම මට ඇඩුනා.. මගේ හිතෙන් මෙච්චර දවසක් සර් ගැන  හිතාගෙන හිටපු දේවල් දැනගෙන හිටිය නං ජයමිණ වගේම  සරුත්   මං ගැන වැරදියට හිතයි කියලා මට හිතුණා .

නස්‍රියා    මුකුත්ම හිතන්න එපා මේ ගැන. ගිහිල්ලා ටිකක් කල්පනා කරල බලල මට කියන්නකො.
මගේ වයිෆ් මුස්ලිම් කෙනෙක්.
එයා ෆ්‍රී මරීනා අක්තාර්.
අපි බැන්දේ ආදරේ කරලා.
පුතා රශීඩ් උදේනි වික්‍රමසිංහ….
කියලා සර් හිනාවුනා.

දුවට කියන්න..මිනිසුන්ගේ ජීවිත කණපිට පෙරලෙන්න යන්නේ බොහොම ටික වෙලාවක්.මට මතකයි එදා මම ගෙදර  ගිහිල්ලා ඇති වෙනකන් ඇඬුවා. ඊට දවස් දෙකකට විතර පස්සේ රශීඩ් මට ටෙලිෆෝන් කලා.මගේ හිතේ තිබිච්ච දේවල් කිසි දෙයක් මම රෂීඩ් ට කිව්වේ නැහැ.නිකමට හරි එයා දැනගත්ත නම් මම කලින් කැමැත්තෙන් හිටියේ එයාගේ තාත්තට කියලා එයා උනත් මං ගැන  මොනවා හිතයිද.. කතා කරන කොට මට තේරුණා රශීඩ්  බොහොම හොඳ කෙනෙක් කියලා සර් වගේම.. එයාලා බොහොම ගෞරවාන්විත විදිහට අපේ ගෙදර ඇවිල්ලා කසාද බඳින්න අවසර ඉල්ලුවා.රශීඩ් ට අකමැති වෙන්න කිසිම හේතුවක් අපේ දෙමව්පියන්ට තිබුණේ නැහැ. අපි බැඳලා ඇමරිකා ගියා.මට හිටියෙත් එක පුතෙක් විතරයි.
නෞෂාඩ් රන්දුනු වික්‍රමසිංහ. සර්ගෙ නම දාන්න මට හරි තදට වුවමනා වෙලා තිබුණා.රශීඩ්  හිතන්ඩ ඇති එයාගේ තාත්තා ට ගරු කිරීමක් හැටියට මම රන්දුනු දැම්මයි කියලා. දූ හිතනවා ඇති මම රශීඩ්ට වංචාවක් කළා කියලා.නොගැලපෙන දේවල් කොහොම හරි අමාරුවෙන් ජීවිතෙන් අතෑරලා දාන එක තමයි හොඳම කියලා  මම ඉගෙන ගත්තෙත් මේ සිද්ධියෙන් තමයි දුවේ. රන්දුනු සර්ට හිතෙන් ආදරය කිරිල්ල ඇත්තටම නොගැලපෙන දෙයක්. සමහරවිට සර්ට වුණත් ඒක දැනෙන්න ඇති.ඒත් කරන්න තියෙන හොඳම පිළියම තමයි අන්තිමේදී සර් මට කරලා දුන්නේ .
රශීඩ් බොහොම හොඳ කෙනෙක් .එයා නැති වෙන්න අවුරුද්දකට විතර කලින් ලංකාවේ පදිංචියට ආවා.එයා නැති වුණාට පස්සේ තමයි මම දැනගත්තේ මේ අපාර්ට්මන්ට් එකේ මේ ගෙදර අරන් තියෙන්නේ මගේ නමට කියලා.
අපේ පුතා නවුශාඩ් කසාද බැන්දේ ඇමරිකාවේ කෙල්ලෙක්. ඩෙරින්. ඒ කෙල්ල හරි ලස්සනයි.
ඒගොල්ලන්ට පුතාල දෙන්නෙක් හිටියා.මගේ පුතා මොරොක්කෝවේ දී ඇක්සිඩන්ට් එකක් වෙලා නැති වුණා.පුතාට මොරොක්කෝවේ බිස්නස් වගයක් තිබුණා. ඒවට ගිය වෙලාවක තමයි ඒක උනේ. ඩෙරීන් ඊට පස්සේ අසනීප වෙලා නැති වුණා.මට ඇමරිකාවට යන්න බෑ කියලම හිතුනා.මම පුතාලා දෙන්නා ලංකාවට ගෙන්න ගෙන මෙහෙ තියාගෙන ඉගැන්නුවා. ලොකු පුතා නම් ටිකක් අමුතුයි. එයාගේ කතාව මම දූට පස්සේ දවසක කියන්නම්. පොඩි පුතා නං ඉගෙන ගන්න සූරයා.. පොඩි එකා කොහොමහරි පයිලට් කෙනෙක් වුණා. ඌ මට හරි ආදරෙයි.

නස්‍රියා ආච්චි ඔහේ තමන්ගේ ජීවිත කතාව කියවගෙන කියවගෙන ගියා.අර හරියට නමක් ගමක් දන්නෙ නැති කඳු පන්තිය කොයි  වෙලාවේ වැහිල ගියාද කියන්න අපි දෙන්නම දැනගෙන හිටියේ නෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here