නම නොදන්නා කඳු පන්ති 12

මගේ වෙලාව නම් දවල් 12.. ඒ උනාට ඔයාට හතරට කාලක් බව දන්නවා.පරිස්සමෙන් ගිහින් එන්න..ආපු ගමන් මැසේජ් එකක් තියන්න..

එහෙම කියලා අසාද් වට්සැප්  පණිවිඩයක් එවලා තිබුණා.

ඇත්තටම මට උඹව ඔය වගේ තැනකට තනියම අරින්න බයයි.ලොකු අම්මා  වුණත් අද උඹ මේ යන ගමන දැනගත්තනම් කීයටවත් තනියම අරින එකක් නෑ.කාටවත් කියන්න ඕන නෑ මමත් එන්නම්..කියලා තාරු කිව්වේ හැබෑම මිතුරු සෙනෙහෙන් කියන එක මට තේරුණා..

මම එයාගේ අත් දෙක අල්ලගෙන හිනාවුණා.මේක ගැටයක් උනත් ඇටයක් උනත් උගුලක් උනත් මගුලක් උනත්..මම තනියම මුණ දෙනවා තරු…

එහෙම කිව්වහම අපි දෙන්නම හිනා වුණා..

හරියටම හවස හතර වෙනකොට මම මූන් ලයිට් එක ළඟට ගියා.මම ඇතුලට ගිහිල්ලා සුජී කියන කෙනා ඉන්නවද කියල බලන්න හතර වටේම බැලුවා.

එක්ස් කියුස්මි මිස්..

මිස් බානුශ්‍රී ද…

ඔව්..

අර කෙළවරේ රතුපාට ෂර්ට් එකක් ඇඳලා ඉන්න මහත්තයා මිස්ට  කතා කළා..

වේටර් කොලුවා මං ගාවට ඇවිල්ලා එහෙම කිව්වා.

දකුණු පැත්තෙන් මුහුදු පෙනෙන කොට මේ පැත්ත සම්පූර්ණම හදල තිබුණේ සිප්පි කටුවක් විදිහට.හරියට අපි සිප්පි කට්ට ඇතුලෙ ඉඳගෙන මුහුද දිහා බලාගෙන ඉන්න විදිහට තමයි මූන් ලයිට් එක හදලා තිබුණේ. මට හිතුණා අපි හැමෝම තම තමන්ගේ කටු වල හිරවෙලා ඉන්න එක එක සයිස් එකේ සිප්පි කාරයෝ කියලා.

කොහොමද මැඩම්.. මං සූජී…

රතු පාට ශර්ට් එකට කළුපාට ඩෙනිම් කලිසමක් ඇඳලා හිටපු සුජී ඇත්තටම හරි සිරියාවන්තයි කියලා මට හිතුනා.එච්චර අහිංසක ඇස් දෙකකට මේ වගේ පාතාලයක වැඩ කරන්න පුළුවන්ද කියලා හිතනකොට මට පුදුම හිතුනා.

කොහොමද ඉතින් .. මං හරි ආසාවෙන් අද ආවේ මේ interview එක කරන්න.ඇත්තටම මේක මට අද වෙනස් අත්දැකීමක්.මෙච්චර කාලයක් මම ලියලා තියෙන්නේ දේශපාලඥයෝ ගැන.. අං ගිලපු හාමුදුරු ගොල්ලො ගැන ..

ඒගොල්ලන්වත් රන් කරන්නේ අපි වගේ කට්ටිය තමයි මිස්…

එහෙම කියලා සුජී හිනා වෙනකොට මට හරියට පැත්තට පෙනුනෙ අර්ජුන් රාම්පාල් වගේම යි.

මිස් මොනවා ද බොන්නෙ..

ම්ම්.. තිබහයි තමයි.. සුජී කැමති ඕන දෙයක්…

මං කැමති ඒවට මිස් කැමති නෑ..මම කොහොමත් දැන් බියර් එකක් තමයි ගෙන්න ගන්නේ..
මිස්ට දිවුල් එකක් ගෙන්නන්නද..

මං හිනා වුණා.

කාන්තා පාර්ශ්වයට සංග්‍රහ කරලා හොඳට පුරුදුයි වගේ..

එහෙම නැතුව බෑනේ මිස්..ජීවිතයේ කොයිවෙලාවෙද කියලා දන්නේ නැති අපේ වගේ මිනිස්සුන්ට සතුටක් කියලා දෙයක් තියෙන්නත් එපායෑ…

සෑහෙන වෙලාවක් ආගිය තොරතුරු විස්තර කතා කර කර හිටපු අපි දෙන්නා වැඩේට බහිනකොට පැයක් විතර පරක්කු වෙලා තිබුණා. රෑ අටටත් අපි දෙන්න හිටියේ කතාවේ මැද හරියේ. සූජී එයාගේ ගානේ ආපහු සැරයක් බැටර් ප්‍රෝන් බිග් ඩිශ් එකයි චිකන් කෝන් සුප් දෙකකුයි ගෙන්නුවා..

නෑ එතකොට ජුඩ් අයියා  හිටියේ මීගමුවේ සාන්ත මරියා පාරේ.තාවකාලිකව තමයි නැවතිලා හිටියේ.එයා සෙබස්තියන්  පල්ලියෙ ඔක්කොම විස්තර මර්ෆාන්ට රිපෝර්ට් කලා. ජූඩ් අයියා එතන දොඩං විකුණන කෙනෙක් විදිහට මාස දෙකක් විතර වෙස්වලාගෙන හිටියා.රෑට එයාගේ දොඩං විකුණන කරත්තෙ පල්ලිය එහා පැත්ත ගෙදරක තමයි ගාල් කලේ. ජූඩ් අයියා  කොහොම හරි කතා බහෙන් ඒ ගෙදර අයව අඳුනගෙන පල්ලියෙ මුරේට ඉන්න මුරකාරයාව ඒ මාර්ගයෙන් අඳුනගෙන තියෙන දොරවල් පිටවෙන දොරවල් ඔක්කොම මර්ෆාන්ට කිව්වා .ඇත්තටම මේක ලේසියි වැඩක් වුනේ නෑ.

ඔව් මර්ෆාන් ඒ වෙනුවෙන් අපිට හොඳ ගාණක් ගෙව්ව තමයි.අපි කොහොමත් හොඳ වැඩ කරන අය නෙමෙයිනේ මිස්.ඉතින් මේ වගේ වැඩ භාර දෙන්නේ අපිට තමයි.මේ වගේ වැඩක් කරන්න කියලා කවදාවත් මිස්ට ඇවිල්ල කියන්නේ නෑ නේ..දල වශයෙන් එදා උදේ පූජාවට කී දෙනෙක් විතර පල්ලියට එනවද කියන එකත් අපි දවස් තුන හතරකට කලින් ඇස්තමේන්තුව හදලා ඒගොල්ලන්ට දැනුම් දුන්නා. ඔව් නැත්තං ඒ ගානට සමාන වෙන්න හරියන්න බෝම්බය හදාගන්න එයාලට බැරි වෙනවා කියලා කිව්වා.

නෑ නෑ ඒ වෙත්තමුනි ගෙ නෝනට වෙඩි තිබ්බේ  ජූඩ්  අයියා තමයි.ජූඩ් අයියට තරම් කාටවත් හොඳට ඉලක්ක ගන්න බෑ. හැබැයි එයා දැන් එළියේ ඉන්න කීප දෙනෙකුටත් ඒක පුරුදු කරලා තියෙනවා.

එදා අපේ සාකච්ඡාව ඉවර වෙනකොට රෑ දොළහටත් කිට්ටු වෙන්න ඇවිල්ලා තිබුණා.සුජි එක්ක කතා කරගෙන යනකොට මට කොයිම වෙලාවකවත් ඒ සාකච්ඡාව අතරමැද්දෙන් නවත්තන්න හිතුනෙ නෑ.සමහර විස්තර අහනකොට මගේ ඇඟ හිරි ගඩු පිපුණා.මිනිස්සු මරපු හැටි මිනිස්සු මරන්න ප්ලෑන් කරන හැටි කිසිම බයක් හැකක් නැතුව හිරිකිතයක් නැතුව එළිපිට මෙහෙම කියන්න පුළුවන් ඇත්තටම මිනිස්කමේ නහරය කපපු මිනිස්සුන්ට විතරක් බව මට හිතුනා.

මිස් තනියමද දැන් ගෙදර යන්නේ..

මට පත්තරෙන් වාහනයක් එවලා තියෙනවා.මම ඒකෙ ගෙදර යනවා.සූජී බොහොම ස්තූතියි  සෑහෙන වෙලාවක් අරන් මට විස්තර කිව්වට.ගෙදර ගිය ගමන් කරන්නේ මේකෙන් හොඳ ලිපියක් ලියන එක.අනිද්දා  පත්තරේ කොහොම හරි මේක දාගන්න ඕනේ..

දවසක මිස්ට මම ගැනත් විස්තර කියන්නම්.ඒකෙ තියෙනවා ඔයිට වැඩිය ලස්සන කෑලි..

එහෙම කියලා සුජී ලස්සනට හිනාඋනා .

ජන සුවඳ කියලා ගහපු වෑන් එක මම එනකම් මූන් ලයිට් එක ළඟ බලාගෙන හිටියා.මම ඒකට නැගලා විනාඩි  දහයක් විතර මගේ ඔළුව අල්ලගෙන හිටියේ ඒ කියපු විස්තර වලින් මගේ ඔලුව පිරිලා ඉතිරිලා ගිහිල්ලා තිබිච්ච හින්දයි.

කේසර සර් කතා කළාද කියලා මම ජයතිලකගෙන් ඇහුවේ මේ වෙනකන් කේසරගෙන් මට කෝල් එකක් ආවේ නැති හින්දයි.

ඔව් මිස්.. සර් දැන් පස් හය පාරක්ම මට කතා කළා.මිස් දැක්කෙ නැති වුණාට මම ඒ පස් හය පාරම ඇතුලට ඇවිල්ලා බලලා ගියේ මිස් එතන ඉන්නවද කියලා.. සර් මාරබයේ හිටියේ මිස් ගැන..

මට තනියම හිනා ගියා.රස්සාව කියලා මරු කටට තල්ලු කරලා ඉවර වෙලා ඊට පස්සේ ආරක්ෂාව ගැන කරදර වෙන හිටපු පෙම්වතා..ආපහු වෙන්න පෙම්වතා  වෙන්න දඟලනවද කියලා මට බය හිතුනා. එක අතකට වැඩේ පැවරුවට දිගටම  මං ගැන හොයලා බලපු එක කොච්චර ලොකු දෙයක්ද කියලත් හිතුනා.මම ජංගමයව නිහඬ කරගෙන හිටපු හින්දා ලොකු අම්මගෙන් ඇමතුම් දහ අටක් තියෙනවා දැක්කෙ එවෙලෙයි.

බයවෙන්න එපා ලොකු අම්මේ මගෙ වැඩේ ඉවරයි ..මම මග එන ගමන්.. කියලා කිව්වහම පොඩි එකෙක් වගේ ලොකු අම්මා අඬන්න පටන් ගත්තහම නං මට ඇත්තටම දුක හිතුණා.
අපි දැන් රස්සාවක් කරන  අතපය හයිය තීරණයක් ගන්න පුළුවන් මිනිස්සු  කියන එක තේරුම් ගන්න බැරි තරමටම සමහර වෙලාවට වැඩිහිටියෝ අපිට ආදරෙන් බැඳෙනවා.

අසාද් … කෝ ඔයා කියලා මට එකපාරටම හිතුණා. කොච්චර නෑ නෑ කියලා කිව්වත් මම අසාද්  ගෙන්  ආරක්ෂාවක් බලාපොරොත්තු වෙනවා නේද කියලා මට හිතුණා. කොයි තරම් තරහෙන් හිටියත් කේසර  අසාද් ට වඩා මං ගැන හිතලා නේද කියලා මට එකපාරටම හිතුනා.

දැන් නේද  ඉවර වුණේ…
වෑන් එක කෙලින්ම ගෙදරට  යන්නේ..

අසාද් ඒ විදිහට වට්සැප් එකට  මට මැසේජ් එකක් එව්වා.

ඇත්තටම මට පුදුම හිතුනා. මම අසාද් ට කතා කලෙත් නැතුව  විස්තර මොකුත් කිව්වෙත් නැතුව එයා කොහොමද මේ දේවල් දැනගත්තේ කියලා.

කොහොමද දන්නේ  කියලා  මම අහලා ඇරියාම එයා මට ඇමතුමක් ගත්තා.

බද්‍රා.. ඔයා හිත හයිය කරගෙන ඒ ගමන ගිය එක ගැන මට සන්තෝසයි.ඒත් මට ඇත්තටම ඒ වගේ මනුස්සයෙක් ගාවට ඔයාව තනියම අරින එකට  කැමති වුණේ නැහැ. ඔයා නොදන්නවා උනාට ඕගොල්ලන්ගේ සාකච්ඡාව පටන් ගත්තු වෙලේ ඉදන්  මූන්ලයිට් එකේ ඉස්සරහම මේසේ වාඩිවෙලා හිටපු දෙන්නා මගේ යාලුවෝ දෙන්නෙක්.ඔයා පරිස්සමින් ආපහු වාහනයට නැගිනකම්ම ඒගොල්ලෝ ඔයාගේ පිටිපස්සෙන් හිටියා.

මං හිනා උනා.
ස්තූතියි  කියලා  කියවුනෙ බොහොම හෙමින් .. ඒ ඇයි කියන්න මට තේරුනේ නැහැ.

වැඩේ හරියට කරගත්තනම් එච්චරයි.ඔය මොරාල් එක ඇඟෙන් යන්න ඉස්සෙල්ලා ලස්සන ලිපියක් ලියලා ඉවර කරන්න.

අසාද්  එහෙම කිව්වහම මට වචනයක්වත් කතා කර ගන්න බැරුව උගුරු හිරවෙලා ඇඬෙන්න ආවෙ ඇයි කියන්න මට තේරුනේ නෑ..තාමත් මමත් මම ඉන්නේ ගෑණුකම පුරෝ ගත්ත පරණ පුරුදු ගෑනු ආත්මයකමයි කියන එක මට ඒ වෙලාවේ හිතුණා.මේ තරම් බාරදූර වැඩකට බය නැතුව එළියට බැහැපු මම ආපහු සැරයක් හිත යටින් පිරිමියෙකුගේ අත් වැලක් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නෙ ඇයි කියලා හිතාගන්න බැරුව ගියා… 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles