මතක මන්දිර – 14

0
2154

“මම ඉස්සර පුංචි කාලේ හිතුවා ලොකු වුනාම පට්ට සුපිරි චරිතයක් වෙනවා කියලා. ඒ කිව්වෙ සල්ලි හොයනවට වඩා සමාජ සේවයේ යෙදෙන හෙන දාර්ශනික, ආගමික  ඩයල් එකක් වෙනවා කියලා.

හැබැයි ඒ හැම අදහසක්ම හිතෙන් අස් වෙලා ගියේ කාලෙත් එක්ක කියනවට වඩා මම කැමති අත්දැකීම් සහ අවස්ථා එහෙමත් නැත්තම් සිටුවේශන්ස් එක්ක කියලා කියලා.

එක එක සිටුවේශන්ස් වලට අනුව අපි යක්කු වෙනවද මිනිස්සු වෙනවද කියලා ඉබේම තීරණය වෙනවා.

ඔයාටත් දැන් ඇවිල්ල තියෙන්නෙ එහෙම සිටුවේශන් එකක් කාලි. සමුද්‍ර ඔයා කියනව වගේ වෙනස් වෙච්ච මනුස්සයෙක් වෙන්න පුලුවන්. ඕනම මනුස්සයෙක්ට වෙනස් වෙන්න කාලයක් ඕන වෙනව. හැබැයි අපි එයාව එහෙම දැක්කට එයා ගැන එහෙම හිතුවට සමහරවිට එයා අපිට පෙන්නන්නෙ එයාගෙ තව වෙස් මූණක් වෙන්නත් පුලුවන්”

හමුවීම් ගැන හුරුවීම් ගැන කේසර දැරුවේ එවන් අදහසකි. එක්වරක් සපා කෑ බල්ලෙකු තවත් වරක් සපා නොකනු ඇතැයි සිතා ළංවීම තම ජීවිතයට කරගන්න හානියකි, බලපෑමකි.

“අපි ආදරේ කියල හිතන්නේ අයිතිකරගැනීමක්, බැරියර්ස් දාලා අනිත් කෙනාව හිරකරන එකක්, උඹ මගේ ඒනිසා මං කියන විදියට ඉඳහන් කියන එකක්. ගොඩක් මිනිස්සු කැමති  තමන්ගේ පාට්නර් තමන්ගෙ පදේට නටන කෙනෙක් වෙනව දකින්න. ඒ ඇතුලෙහෙන පොරක් වෙන්න දඟලන සත්‍ය ප්‍රේමවන්තයො ඕනතරම් මේ ලෝකෙ ඇති. අපි අඳුරන අය එහෙම ඇති. අපි එහෙම වෙන්නැති

හැබැයි ඇත්තටම ආදරේ කියන්නෙ කාලි අයිතිකරගන්න එකක් ගැන නොහිතන දෙයක්. මම හිතන්නෙ මේ වෙලාවෙ ඔයා වැඩිපුරම ආදරේ කරන්න ඕන ඔයාට. ඔයා අමාරුවෙන් ගොඩනගා ගත්ත දේවල් මේ තියෙන්නෙ.ඔයා මේ ගන්න යන තීරණේ ඒ හැමදේකටම රිස්ක් එක වෙන්න පුලුවන්”

මේ මොහොතේ තමන්ගේ ජීවිතය එක් පසෙකින් ආදරයත් අනෙක් පසින් යතාර්තයත් රඳවාගනිමින් අතුරක යෑමක් වැනිය.

හදිසියේ හෝ පය ලිහිල් වී ඇද වැටුණහොත් එකී වේදනාවද, විනාසයද, ලැජ්ජාවද නැවතත් තමන්ට ය. අනෙක් අතට සමුද්‍ර හා බැඳුණහොත් තමන්ගේ කන්‍යා භාවය පිළිබඳව ගැටළුවලට පිළිතුරු ලබා දීමට නොවේ.

එනමුත් අතීතයේ ආ ගැටළුම නැවත නොවේ යැයි සිතිය හැකිද?

ආදරය යනු කේසර පැවසූ පරිදිම අපි අපිට දක්වන ආදරය මෙන්ම අපි අනෙකාට දක්වන ආදරයේ එකතුවකි. අප අනෙක් පාර්ශ්වයටම ආදරය කරන අතරම අපටත් එපරිද්දෙන්ම ආදරය කරනවානම්, එකී ආදරය නිසාවෙන් අපේ ජීවිතය තුළ සිදුවන වෙනස්කම් සතුටින් භාරගන්නවානම් එකී බැඳීම සතුටුබරය.

එනමුත් බැඳීමක් සතුටකට හේතුවක් විය හැක්කේ එකී බැඳීම නිසා ජීවිතයට එකතුවන සහ අඩුවන කරුණු කාරණා සතුටට හේතු කාරණා වෙනවානම් පමණක් නොවේද?

එකී වෙනස්කම් හේතුවෙන් සිත තුළ කළකිරීමක්, වේදනාවක්, අසතුටක් ඇති වේ නම් එය, ආදරය හැරයාමේ පළමුවන පියවරයි.

ආදරය තිබුණේම ආදරේ යැයි නොකී තැන්වලය.

ආදරය තිබුණේම ආදරය කියා ගත නොහැකිව සිතෙහි සිර කොට තැබූ තැන්වලය.

ආදරය තිබුණේම ඇස් රතු වන විහිළු කළ, ඔච්චම් කළ තැන්වලය.

ආදරය තිබුණේම හඬ නගා උසුළු විසුළු කර, නිහඬව සොයා බැලූ තැන්වලය.

ආදරය කිසි දින රැවටුණේ නැත. රැවටුවේද නැත. රැවටුණේ අප පමණි.රැවටුවේද අපම පමණි

දෙවියන් ලෝකය මවද්දි ඒ ඉදිරියට ගිය අසම්පූර්ණව සෑදුන මිනිසා  දෙවියන්ගෙන් ඔබගේ දෑතෙහි තියෙන්නේ මොනවාදැයි ඇසූ විට,එක අතක තියෙන මොලයෙන් ඔබට ලෝකය යහපතට හෝ අයහපතට හැරවීමෙ අසීමිත බලයත්, අනෙක් අතේ ඇති ලිංගයෙන්, ඔබ වෙනුවෙන් නිර්මිත කාන්තාව ඉතාම සතුටු කිරීමට ඇති හැකියාවත් තිබේයැයි දෙවියන් පැවසූ අතර, ඒ දිවිත්වයම තමන්ට දෙන්නැයි පිරිමියා දෙවියන් ඉදිරියේ හඬා වැටී තිබේ.

එකී ඉල්ලීම ඉටු කරනු ලැබුවත්, මෙම බලයන් දෙකම එකවර භාවිතයට ගත නොහැකි බව දෙවියන් වැඪිදුරටත් පවසා තිබේ.

පළමුව ලිංගය භාවිත කර ස්ත්‍රිය සතුටු කරන්නා වූ පිරිමියා අනතුරුව මොළය භාවිතා කර ප්‍රශ්නයෙන් පැන යයි.

සමුද්‍රත් කරනු ලැබ ඇත්තේ එයම නොවේද? එක්වරක් නොව දෙවරක්ම.

තමන්ට සහ යොශාලි දෙදෙනාටම.

තම හිතවත්කම ඔහුගේ වත්කම් උගත්කම් හා නොපෑහුණ දින තමා හැර ගොස් එකී පෑහීම් හා මනාව සැසඳුණු යොශාලි විවාහ කර ගත්තේය.

විවාහ වී ගතවුණු යම් කාලය තුළ යොශාලි සහ තමුන් අතර ඇති නොපෑහීම් හේතුවෙන් ඇයව හැරදමා විත් නැවතත් ඔහු තමා හා එක්වීමට තැත්කරයි.

නොඑසේනම් වසර ගණනාවකට පසු යළි හමු වී, පස් හය පාරක් හමුවීමෙන් අනතුරුව, අතීතයේදී තමන් අතර කිසිදු යමක් නොවුනා සේ හිඳින්නට ඔහුට හැකිවුනේ කෙසේද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here