ප්‍රේමයේ අභිමන් – 37

“හොර මගුල් වලට බත් අදිනව වගේ නේ…”

අරවින්ද කතාව පටන් ගත්තේ ම කට කැඩුණු කතාවකිනි. ඒ ඔහු ගේ ස්වභාවය බව දේශිකා දනී. අපරාජිතා ඒ විවාහය තුළ රැඳී උන් කාලයේ ද ඔහු ඇය ට අභූත චෝදනා කරමින් ද ඇය ඇසුරු කළා වූ පිරිමින් පාවා දෙමින් ද ක්‍රියා කළ හැටි ඇය ට මතක ය. ඒ කාලේ කර බා ගෙන හිටියාට දැන් එහෙම ඉන්නට හේතුවක් නැති බව සිහි වූ ගමන් දේශිකා මුව විවර කළා ය.

“කැහි ගෑනි හොඳ නෑ කියල හොටු ගෑනි ළඟට ගිය කෙනෙක් නේද මේ..ඉතිං ඇයි දන්නෑ නේ ආයෙ මේ හොටු ගෑනි පස්සෙ බඩ ගාන්නෙ…”

දණ්ඩෙන් පහර ගෑ සර්පයෙකු සේ අරවින්ද කිපුණේ ය. දේශිකා අත තිබූ බත් පත උස්සා පොළොවේ ගසන්නට ඔහු ඉදිරියට පැන්න මුත් දේශිකා වහා එය සුරක්ෂිත කර ගත්තා ය. 

“අරවින්ද මේ…දැන්වත් කරුණාකරල ඔයා ඔයාගෙ වැඩක් බලා ගන්නකො මේ ගෑනිට පාඩුවෙ ජීවත් වෙන්න දීල..මොන වදයක්ද මේ..දික්කසාද කරල ඉවර කළත් කරුම පස්සෙන් පන්නනවනෙ”

“තමුං කවුද ආ මට ඔහොම කතා කරන්න..”

“මංද..මං අපූගෙ යාළුවනෙ…හැබැයි මං දන්න විදිහට ඔයා දැං එයාගෙ කවුරුවත්ම නෙවෙයි.  කලින් දවසකත් ඇවිත් සද්දෙ දාල ගිහින් තිබුණලුනෙ නේ…ඔයාගෙ සද්ද වලට බය වෙන්න කවුරුත් මෙහෙ නෑ හරිද…ආයෙ මෙහෙ ආවොත් අපි පොලීසියට කෝල් කරනව”

“අනේ නිකං යනව හලෝ යන්න. මගෙ දුව බලන්න මං මෙහෙට එන එක නතර කරන්න තමුසෙගෙ මහ ලොකු යාළුවටවත් බෑ”

“පුං…චා..”

කියාගෙන අනන්‍යා එතැනට දිව ආවේ ඒ වෙලාවේ ය. උඩට ද ඇහුණ ඔවුන් දෙදෙනා ගේ බැණ අඬා ගැසීම නිසා අපරාජිතා ද පහළට දිව ආවා ය.

“ඇත්තට මේ මනුස්සයට ලැජ්ජ නැද්ද ආ මෙහෙම අත් ඇරපු ගෑනියෙක්ගෙ ගෙදරට එපා කියද්දි එන්න…තමුන්ට නීතියෙං අවසර තියෙන්නෙ අනන්‍යාව මුණගැහෙන්න විතරයි. ඒකත් දැන් අනන්‍යා පොඩි ළමයෙක් නෙවේ වැඩිහිටියෙක්. එයා කැමති විදිහට එයා කැමති දෙයක් කරගත්තට කමක් නෑ. හැබැයි සැරෙන් සැරේ ඇවිත් මේ ගෑනිගෙ සැනසිල්ල කාබාසිනියා කරල දානවනං මේ සැරේ මමයි පොලීසි යන්නෙ”

දේශිකා සිටියේ කෝපයෙන් ගිනියම් ව ය. ඇය ට ඊට සාධාරණ හේතු තිබිණ. අපරාජිතා ගේ දහ අට වසරක් වූ යුග දිවිය තුළ ඇය අඬත්දීත් හූල්ලත්දීත් දැවෙත්දීත් ඈ ළඟ සිටියේ දේශිකා ය. විවාහය කියන ගිනි ගොඩට නො පැනීම ගැන ඇය ඒ දින වල තමන්ට ම ස්තූතිවන්ත වූවා ය. යන්තම් දැන් මිතුරිය සැනසිල්ලක් අත් විඳින්නට ගත්තාට පසු ඊර්ෂ්‍යාව පාලනය කර නො ගෙන අරවින්ද මෙසේ හැසිරෙත්දී, ඇය ට සාධාරණ කේන්තියක් ඇති වේ.

“දේශි පුංචා මොකද අනේ මේ..”

අනන්‍යා දේශිකා ගේ ඇඟේ එල්ලුණේ සිය පියා මේ විදිහට ඔවුන් ඉදිරියේ අපහසුතාවයට පත් වීම ගැන හැබෑ සිත් වේදනාවකිනි. ඊටත් වඩා සසංක හිස රදයත් එක්ක ම නැගිට විත් දොරකඩ සිටගනු ඇය දුටුවා ය.

“අනන්‍යා මේ. උඹේ තාත්තට කියපං උඹව හම්බ වෙනවනං ඒ කොහොමද කියල. ඒ වගේම එයාට කියපං මෙහෙට ඇවිත් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නවත් අනවශ්‍ය ප්‍රශ්න වල පැටලෙන්නවත් එපා කියල”

“මොකද්ද තාත්ති ඔයා මේ කරන්නෙ..කියන එක තේරෙන්නැද්ද ඔයාට…”

කියාගෙන අරවින්ද වෙතට ගිය අනන්‍යා ඔහු ගේ අතකින් ඇදගෙන ගේට්ටුවෙන් පිටතට ගියා ය. සිය පියා නේද කියා ඔහු ගැන උපදිනා අනුකම්පා හැඟීම යටපත් කර දමන්නට තරම් මේ මොහොතේ ඇය ට තාත්තා ගැන දැනෙන්නේ නො රිස්සුමකි. ඔවුන් ගැන මේ තරම් ආදරයක් තිබුණා නම් ඔවුන් ළඟ සිටියදී ම තවත් ගැහැනියක වෙත ගියේ කෙසේද යන පැනය තමන් වෙතින් නගන්නට තරම් දැන් අනන්‍යා වැඩිහිටි මනසක් ඇත්තියකි. 

“ලැජ්ජ නැද්ද අනේ ඔයාට මෙහෙම ඇවිත් පල් වෙන්න…මං කිව්වනෙ මට ඔයාව මීට් වෙන්න ඕනනං කෝල් එකක් දෙන්නං කියල. අනිත් එක මට එහෙම ලොකු උවමනාවක් නෑ හැමදාම ඔයාව හම්බ වෙන්න එන්න. අම්මිට වද දෙන්න එපා තාත්ති. එදා ඔයා ඇවිත් කෑ ගහල ගියාට පස්සෙ එයා දවසම අර බැල්කනියට වෙලා වැහි පින්නෙ කල්පනා කර කර හිටිය. ඉනෆ් ඉස් ඉනෆ්. නව් ඉට්ස් මෝ දෑන් ඉනෆ් අයි තින්ක්”

කේන්තියෙන් ම වාගේ එසේ කියූ අනන්‍යා ගේට්ටුව වැසූයේ, 

“ආයෙත් මෙහෙ එන්න හිතන්නවත් එපා තාත්ති”

කියමිනි. අනන්‍යා ගෙවත්තට පිවිසි පසු අපරාජිතා හැඬුම්බර මුහුණකින් පියගැට පෙළ නැග ගියා ය. දේශිකා සසංක ගේ ගෙට ගොස් ස්ටූල් එක මතින් බත් පිඟාන තබා “කන්න සසංක” කීවා ය. කියන්නටත් අහන්නටත් බොහෝ දේ හිතේ තිබුණා වී ද ඔහු නිහඬව ම සිටියේ ය.

දේශිකා යළි පරල වූයේ මතු මහළට නැගුණ විට ය. 

“මොකද්ද මූට මේ වෙලා තියෙන්නෙ…ඌට හොඳ ගෑනිව ගත්තනෙ…ඉතිං තවත් මෙහෙ බඩ ගාන්නෙ කලින් ගෑනිටත් ආදරේ නිසයි කියල අපි දැන් හිතන්න ඕනෙ…පිරිමි හිතන් ඉන්නෙ දික්කසාද වුණත් පරණ ගෑනිගෙ අයිතිය තියෙන්නෙ උගේ අතේ කියලනෙ යකූ. මේක යකාගෙ නීතියක්නෙ”

අපරාජිතා දිගු සුසුමක් හෙළුවා ය..අනන්‍යා ඇගේ හිස පිරිමැද්දා ය. 

“නෑ මං කියන්නෙ කසාදෙ කටු ගාන්න කලිනුත් ඔය යකා අර ගෑනිත් එක්ක බිස්නස් ටුවර්ස් කිය කිය සති ගණං රටවල් ගානෙ ගියේ. එතකොට හැමදාම අනන්‍යා ව දකින්න ඕන වුණේ නෑනෙ. බොරුවට දැන් හොඳ වෙන්න හදනව. වෙඩින් එකට කලින් අපූට කතා කරල කිව්ව නේද හොඳ කෙනෙක්ව බඳින්න කියල…එහෙම කියල දැන් මෙහෙ රිංගන්න එනවද හරි හමන් මිනිහෙක්…මං හරි හොඳයි කියල බොරුවට රඟපාන්න හදනව. හැමදාම කළේ ඒකනෙ”

“දැන් ඕක නවත්තමු දේශි”

අපරාජිතා එසේ කීවේ අතැඟිලි වලින් නළල දෙපස තද කර ගනිමිනි. අරවින්ද කියන්නේ හැමදාමත් ඇය ට හිසරදය පමණක් ඉතිරි කළ තැනැත්තෙකි. ඇය ට පිළිකුල් කියා දන්නා දේ ම කරමින් යළි යළිත් ඇය විඩාපත් කොට සිය බලය පෙන්වන්නට තැත් කළ මිනිසෙකි. අවසන අපරාජිතා දික්කසාදය ඉල්ලා සිටියේ ජීවිතයේ ඊළඟ කොටසේදී හෝ සතුට කෙසේ වී ද සැනසිල්ලේ ජීවත් විය යුතු යයි සිතුණ නිසා ය. ඔහු වරින් වර සිය ජීවිතයට එබෙමින් යළිත් ඒ සැනසීම ඈතකට පලවා හරින්නට හදයි. 

“මට අරවින්ද ගැන කතා කරන එක වුණත් හිත් වෙහෙසක් කියල ඔයා දන්නව”

“හහ්. හොර මගුල් වලට බත් අදිනවලු මං. ඌට බඳින්න හොඳයි එතකොට තමුසෙට නරකයි කියලද ඌ කියන්නෙ..”

“අම්මිට එහෙම කෙනෙක් නෑනෙ කොහොමත්”

අනන්‍යා මැද්දෙන් පැන්නා ය. ඇගේ නළල මත රැලි කිහිපයක් නැගී තිබූ අතර කම්මුලක මස් පිඬු ගැහී ගියේ ය. 

“හිටියත්”

දේශිකා අභියෝග කළා ය.

“හිටියත් එයාටවත් උඹටවත් බෑ එපා කියන්න. ඇයි යකූ..අනිත් ඔක්කොම එවුන්ට හොඳ දේ මේ ගෑනිට විතරද නරක…ඇයි මේ ගෑනි කවදාවත් සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන්න ඕන නැද්ද…උඹල දෙන්න දීපු ගින්දර කකා කඳුළු බිබී විතරක් හිටියහම ඇති කියලද කියන්නෙ…මන්නං කියන්නෙ අපූ ආයෙ බඳින්න ඕන”

“ඉතිං ඔයා බැඳලම නැතුව ඔය හොඳට ඉන්නෙ”

අනන්‍යා කෙතරම් නම් ආත්මාර්ථකාමී ද යන සිතිවිල්ල දේශිකා ගේ මුහුණට අඩ සිනහවක් ගෙන එන්නට සමත් විය. ඇය අඩැස් බැල්මෙන් අනන්‍යා දෙස බැලුවා ය.

“ඔව්. ඒ මං ඒක තෝර ගත්ත නිසා. හැබැයි උඹගෙ අම්ම තෝර ගත්තෙ කසාද ජීවිතේනෙ. ඒක අසාර්ථක වුණා කියල එතනින් ජීවිතේ ඉවර කරන්න ඕන නෑ. තාත්තා බැන්දා..උඹත් නිකං ඉන්නවද…නෑ. කසාදයක් බැඳං එහෙම පදිංචි වෙනව මිසක් උඹල ආයෙ මෙහෙ එන්නෑ අනන්‍යා. එතකොට අම්ම හැමදාම තනියම ඉන්න ඕනද…නෑ. එයාටත් කවුරු හරි ඉන්න ඕන ජීවිතේ බෙදා ගන්න”

“අම්මිට පුළුවන්නෙ මාත් එක්ක යූකේ වල නවතින්න..”

“උඹට උයන්නයි උඹේ රෙදි හෝදන්නයි දවසක උඹගෙ ළමයි බලන්නයිද…ගනිං සර්වන්ට් කෙනෙක් ඒකට. අනේ මන්දා බං අනන්‍යා උඹත් ඉගෙන ගත්තයි කියනව මොනා ඉගෙන ගත්තද කියල මටනං තේරෙන්නෑ”

“ඇති අනේ දැං ඕක”

එවර අපරාජිතා කතා කළේ උගුර යටිනි. ඇගේ ස්වරයේ කඳුළු තැවරී තිබිණ. තව මොහොතකින් ඇය හඬනු ඇති බව දේශිකා ට සේ ම අනන්‍යා ට ද වැටහිණ. ඒ කතා බහ එතනින් නිමා වූයේ එබැවිනි.

සුළි සුළං හමා ගිය ද ඒ නිසා සිදු වූ ආපදා වල සුන් බුන් ඉතිරි වන්නේ යම් සේ ද හැම හදවතක ම අසහනකාරී මතකයක ශේෂයන් ඉතිරි වී තිබිණ. අපරාජිතා ඇවිදින්නට රිසි වූවා ට ඇගේ හිත නිවෙනු වස් හෝ කොහේවත් යා නො හැකි වූයේ වරින් වර කඩා ගෙන වැටෙනා වැස්ස නිසාවෙනි. සති අන්තය නිසා දේශිකා එදාත් එහි නතර වන්නට තීරණය කළේ අපරාජිතා ගේ හිතට තනි කමක් නොදැනෙනු පිණිස ය.

 හවස් වෙත්දී සසංක ගේ අසනීප ගතිය උග්‍ර අතට හැරී තිබිණ. ඔහු ට සහලවා උණ ගත්තේ ය. ඇඟ පතේ රිදුම්, පහර දීමකින් ඇති වූ තැලුම් කැක්කුම් සේ විය. දවල් බත් පත ඔහු අත පත ගා තිබුණා පමණ ය. හැන්දෑවේ දේශිකා ගෙදරට එබෙත්දී සසංක සෝෆාවෙන් නැගිට ගත නො හැකි තරමට වෛරසයේ ග්‍රහණයට නතුව සිටියේ ය.

“ඔහොම ඉන්න එපා..බෙහෙත් ටිකක් ගන්න යං. කවුද දන්නෙ කොරෝනද කියල”

දේශිකා සිනහ වෙවී කීවා ය. සසංක ඇස් ඇරියේත් අමාරුවෙනි.

“නෑ නෑ මං ජෝක් එකක් කළේ. ඒත් මේ කාලෙ වයිරල් ෆ්ලූ හැම තැනම. වැස්ස නිසා ඩෙංගුත් වැඩියිනෙ. හොඳම දේ බෙහෙත් ගන්න එක”

“අසේලට කියන්නං”

“අසේල එනකං ඉන්න ඕනද ඒකට…ඇයි දෙයියනේ අපි මනුස්සයො නෙවේද…ලෑස්ති වෙන්න ඔයා…අපි ඩොක්ට ළඟට යමු”

සසංක ඊට එකඟ වූයේ දේශිකා ගේ බල කිරීම මත ය. අපරාජිතා ගේ රියෙහි ආසන්න වෛද්‍ය ආයතනයකට ගිය ඔවුහු යළි පැමිණියේ ඖෂධ සමගින් ම දිනකට තුන් වරක් වාෂ්ප අල්ලන ලෙස ලැබුණ උපදෙසත් සමග ය. සසංක ගේ කුස්සියේ ගෑස් උඳුනෙහි වතුර මුට්ටියක් ඉතිර වූ අපරාජිතා, දෙහි කොළ වාෂ්ප කලාපයක ශ්වසනය කරන්නට ඉඩ සලසා දුන්නා ය. තේ සාදා ගෙන විත් බිස්කට් සමග බොන්නට දී බෙහෙත් ටික දුන්නා ය. හිස් මුදුනට ඕඩිකොලෝන් දමත්දී ඔවුන් දෙදෙනාට ම සිහි වූයේ එදා හිස් මුදුණේ දෙහි ගැල්වූ සිදුවීම ය. නමුත් සසංක හිටියේ එවැන්නක් ඔහු ට අමතක ගානට ය. බීමත නිසා ඔහු ට එවැන්නක් අමතක නම් තමන් එවැන්නක් නොකළ සෙයින් ඇය ද හිටියා ය. නමුත් ඔවුන් දෙදෙනා ගේ ම දෙතොල් අතරේ උනුන් ගෙන් සඟවන්නට තැත් කරනා සිනහවක් විය.

වෛරසයත් සමග සටන් කරන්නට කෙනෙකුට කායික සේ ම මානසික ශක්තිය ද අවශ්‍ය ය. පසු දා උදේ දේශිකා නික්ම ගිය පසු ද අපරාජිතා ඇය ට හැකි උපරිමයෙන් සසංක ට ඒ ශක්තිය ලබා දීමේ ලා කටයුතු කළා ය. අනන්‍යා නම් වෛරසය බෝ වෙතැයි බියෙන් සසංක ගේ නිවස තුළට ගියේ නැත. අපරාජිතා නිසි වෙලාවට බෙහෙත් ටික දුන් නිසා උණ තත්වය පාලනයක් ඇති ව තියා ගන්නට හැකි විය.

“මතක ඇති කාලෙක මට මෙහෙම වෛරල් ෆ්ලූ එකක් හැදිල නෑ. මෙහෙමම මැරෙයි කියල වෙලාවකට හිතුණා. ඒක ඒ තරං අමාරුවක්”

මඳක් සුව අතට හැරෙත්දී සසංක මඳ සිනහවකින් අපරාජිතා ට එසේ කීවේ ස්තූති පූර්වක බැල්මකිනි. උණ විකාරයෙන් හිටි වෙලාවල පවා ඇය නළල මත අත තබා බලනු ද ඕඩිකොලෝන් පැලැස්තර මාරු කරනු ද ඔහු ට නො දැනුණා නොවේ. එය අම්මා ළඟ සිටි යුගයේ ගිලන් වූ දවසක දැනුණා බඳු සුරක්ෂිත හැඟීමකි. ඇය ළඟ සිටිනා නිසා ඔහු මියෙනු නැතැයි කිහිප වරක් ම සසංක ට සිතිණ.

“කන්නැතුව ඉඳලනං නැගිටගන්න බැරි වෙයි. අමාරුවෙන් හරි බත් ටිකක් කන්න. නැත්තං මං මොනා හරි කඩෙන් ගෙනත් දෙන්නද…”

අත නො තැබූ බත් පිඟානත් ගෙන ආපසු යන්නට සූදානම් ව අපරාජිතා ඔහු විමසුවා ය. පිළිතුරක් දෙනු වෙනුවට සසංක කළේ ඇගේ ඇස් මත නතර වී ඉන්නා එකයි. අපරාජිතා සීරුවට සිය දෑස් මුදා ගෙන ආපසු හැරුණා ය.

“අපූ”

ඒ හඬ තානය ම ඇගේ හද බිත්ති හොලවා දමන සුළු විය. සෝෆාවෙහි වැතිර උන් සසංක ගේ ලෙඩ පාට ඇස් වල තැවරී තිබි කතාව කියවා ගන්නට තරම් ඉඩක් අපරාජිතා ට නො ලැබුණේ ගෙදොරින් ඇතුළු වූ තරුණියක ගේ හඬ නිසා ය.

“සසං…ක…ඔයා අසනීපයි කියල මට කියන්න තිබුණනෙ සසංක”

කියා ගෙන සෝෆාව වෙත පැන ගත් ඇය තරුණයා ගේ හිස පිරිමදින්නට ගත්තා ය. සසංක අමාරුවෙන් අසුනෙහි හිඳ ගන්නට ගිය අතර ඇය ඔහු ව අල්ලා උදව් කරත්දී අපරාජිතා මඳහසක් පාමින් මිදුලට බැස්සා ය. නමුත් ඒ සිනහව යට මෙතෙක් කවදාවත් දැනී නැති කාංසා හැඟීමක් තිබිණි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles