“අහ්හ්හ්හ්හ්, ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්, අම්ම්ම්, අම්ම්ම්ම්ම්ම් මාආආආ” කියමින් සනුකි උන්නේ මොනවදෝ කියන්නට තනමින් අපහැදිලි වචන මාලාවක් කටෙන් නිකුත් කරමින් ඇඳේ හාන්සි වී අඬන්නට ඔන්න මෙන්නය.
තරංගා උන්නේ ගේ ඇතුලේ එහෙට මෙහෙට දුවමින්, අස්පස් කරන වැඩ කරමින් ය. පසුගිය සතියේ හදිසියේ ආ උණක් හන්දා සනුකි පැත්ත වැටිච්ච එකෙන් තරංගාට ගෙදර මිස් වෙච්ච වැඩ අටෝරාසියක් තිබ්බ හන්දා ගෙදර තිබ්බේ පිස්සන් කොටුවක් වෙලාය. යාන්තම් දවස් දෙකකට විතර කලින් සනුකි ආපහු සාමාන්‍ය තත්ත්වය ආ හන්දා තරංගා සනුකිව නිදිකරවන්න දමා ඉඩ ලැබෙන වෙලාවල් වල ගේ අස්පස් කරගන්නට තැනුවද සනුකි දැන් ආයම අඬන්න ගත්ත එකෙන් වෙන්නෙ වැඩ අතරමග නතර කර දමන්න වෙන එක බව අමුතුවෙන් කියන්න ඕන නැත.
මේධංග උන්නේ සනුකිට එහා පැත්තෙන් ඇඳේ ඇල වී ෆෝන් එක දිහා බලාගෙන මොනවද කොටමින්, උඩ පහල යමින් ය. ඇඳ ළඟින් යන වාරයක් පාසා තරංගා මේධංග දිහා ඇස් කොණින් බැලුවේ මේධංග වැරදිලා හෝ තමන් දිහා බලාවි කියන අදහසකින් උනත් තරංගා ගැන තබා තමන්ට එහා පැත්තේ හිඳ හඬන සනුකි ගැනවත් වගක් නැති මෙන් මේධංග උන්නේ ෆෝන් එකටම ඇස් දෙක ඔබාගෙනය.
“අඬන්න එපා පුතේ, අම්මා එන්නම් හොඳේ ඉක්මනට” කියා තරංගා පුලු පුලුවන් විදියට කිව්වද සනුකි කියන්නෙ එහෙම දෙයක් කියා ලේසියෙන් අස්වසන්න පුලුවන් දරුවෙක් නොවන වග ඉතින් තරංගාට අමුතුවෙන් කියන්න ඕන නැත.
“අම්මේඒඒඒඒඒඑ” කියාගෙන සනුකි මහ හඬින් කෑගසන්න ගත්තේ ඔන්න ඔය විදියට බාගෙට නිදාගෙන නැගිට ඉඳය. සනුකි අඬන්නේ ඇයි ද කියා හේතුවක් හිතාගන්නට බැරි උනත් තරංගා සනුකිව වඩාගෙන නලවන්න උත්සහ කරත්, කොච්චර සෙල්ලම් බඩුද, බෝනික්කන්ද පෙන්නවා නලවන්න හැදුවත් සනුකිගේ ඇඬිල්ල නම් නතර උනේ නැති තරම් ය.
“අනේ මේධංග චුට්ටක් බබාව වඩාගන්නකො, මම කොච්චර නලවන්න හැදුවත් නැලවෙන්නෙ නෑ මෙයා. ඔයාගෙ අතට ආවම හරි යාවි සමහරවිට” කියා තරංගා මේ කිසිම දෙයක් ඇහුනෙ නැති ගානට ෆෝන් එක දිහාම බලං ඉන්න මේධංගට කිව්වේ ඇත්තටම ඇඟට වගේම හිතටත් මේ නන්ස්ටොප් වැඩ කිරිල්ලේ මහන්සිය දැනිච්ච හන්දාය.
“මොන මගුලක් ද ඕයි, පොඩ්ඩක් මහන්සි වෙලා ඉඳල රෙස්ට් එකක් ගන්න ඉඩක් නෑනෙ මේ ගෙදර, මගුල” කියාගෙන මේධංග ඇඳෙන් නැගිට්ටේම ඤරු ඤුරු ගාගෙනය. මේධංග කොහොමත් ඉන්නේ දැන් දවස් ගාණක් තිස්සේම ඔහොම තමන්ගේ අකමැත්ත පෙන්වමින් බව තේරුම් ගිය මුත් ඒකට හේතුව මොකද්ද කියා හිතාගන්න පුලුවන් කමක් තරංගාට තිබ්බේ නැත.
“ඔයාට විතරක් නෙවෙයිනෙ මේධංග, මහන්සිය මටත් තියෙනවා. අඩුම තරමෙ ඔයාට නම් මේ ගෙදරින් එලියට ගිහින්, ඔෆිස් එකේ යාලුවො එක්ක කතා බහ කරලා එන්න හරි වෙලාවක් තියෙනවා.
මමයි බබයි දෙන්නා මේ ගේ අස්සෙමයි ඉන්නෙ. එහෙනං ඔක්කොටම වඩා මට මහන්සිය දැනෙන්න ඕන නේද?” කියා තරංගා ඇසුවේ හීන් සැරේ මේධංගට පමණක් ඇසෙන පරිද්දෙන් ය. මොක උන මේධංගගේ අම්මා කොහේ හෝ ඉඳන් තමන් දෙදෙනාගේ කතාවට කන දාගෙන හිඳින්න හැකි බව හිතිච්ච හන්දාම වචන භාවිතයෙදි තරංගා වඩා පරිස්සම් වුණාය.
“අනේ මේ ඕයි ආයෙ ඔය කණිපින්දම කියවන්න ගත්තද? කට වහගන්නවා කට වහගන්නවා. මොන මගුලක්ද මන්දා? මිනිහෙක්ට ගෙදර ඇවිල්ලා නිවි හැනහිල්ලෙ ඉන්න නෑනෙ දවස තිස්සෙ ඔෆිස් අස්සෙ නැහිලා නැහිලා.
තමුසෙ හිතන්නෙ මං මේ ආතල් ගන්නවා කියලද ඔෆිස් ගිහින්. හම්බකරන හැම එකම මෙතන ලෙඩ ළමයින්ට බෙහෙත් අරන් දෙන්නයි, දොස්තරලට පුදන්නයි යනව. කතාව නම් නිකන් එද්දි ලක්ශ ගණන් අරන් ආවා වගේ.
අත් දෙක වන වන ඇවිත් මෙතන, තව ලෙඩ ළමයිනුත් හදාගෙන. මොන කරුමයක්ද මන්දන්නෙ නෑ” කියමින් මේධංග ඇඳෙන් ලහි ලහියේ නැගිට දුරකතනයත් අරගෙන බැල්කනිය වෙත යද්දීත් තරංගාට කරන්න පුලුවන් උනේ තාත්තාගේ කටේ සද්දෙ නිසා බය වී වඩාත් හයියෙන් අඬමින් උන් සනුකිව නලවගන්න කාමරයේ එහා මෙහා ඇවිදින එක පමණකි.
සනුකිව නලවගන්න කොච්චර අමාරු උනත් තරංගා බොහෝ වෙලා මහන්සි වී ඇඬිල්ල නිසාම හෙම්බත් වී උන් සනුකිව අමාරුවෙන් නිදිකරවගත්තාය. බාගයක් පමණ අස්පස් කරමින් උන් තුන් දෙනාගේම ඇඳුම් අහුරා තිබූ කෑලි පහේ අල්මාරියේ අස් නොකරපු පැත්ත එහෙම්ම වසා දමා තරංගා කුස්සිය දෙසට ඇදුනේ තමන් ඉතින් කොච්චර වැඩ කන්දරාවක හිරවෙලා ඉන්නවා දුටුවත් මේ ගෙදර උයන පිහන වැඩ කරන්නට වෙන කෙනෙක් නොඑන බව දන්න හන්දාමය.
තරංගා කුස්සියට යද්දීත් අම්මා උන්නේ කු නෙස්සියට වී හොර ගල් අහුලමිනි. ඒ මොකටද, මොනව සොයමින්ද කියා සොයන්නට නොවෙහෙසුණු තරංගා ෆ්‍රිජ් එකෙන් එලවලු බාස්කට් එක එලියට ඇද රාත්‍රියට උයන්නට ඕන කරන එලවලු ආදිය එලියට ගත්තාය.
“ඔය ළමයා ඔය පොඩි එක්කෙනාව ඔය කාමරේ තියන එකෙන් වෙන්නෙ නිකන් දෙන්නා දෙමහල්ලො නොහොඳ නෝක්කාඩු වෙන එක විතරයි” කියා කුසුමලතා මැණිකේ මෙච්චර වෙලා කුස්සියේ එහෙ මෙහෙ ඇවිදමින් අහුලගත්ත වචන එක තැනකට එක්කහු කලාය. තරංගා වහා හිස ගස්සා බැලුවේ “අම්මා මේ මොනවා කියන්න හදනවද?” කියා තේරුම්ගන්න බැරුව වගේය.
“දරුවව අපේ කාමරේ තියන්නෙ නැතුව කොහෙ තියන්නද අම්මේ? මොකෝ වෙනම නිදාගන්න තාම මේ හරියට ඇවිද ගන්නවත් පුලුවන් දරුවෙක් නෙවෙයිනෙ” කිය තරංගා ඇස් ගෙඩි දෙක නලලේ රඳවගෙන ඇසුවේ කුසුමලතා දෙස බලමින් ය.
“ඔය ඇවිදින කතා කරන ඒව මේ ළමයට බලන්න වෙන්නෙ වෙන ළමයි දුවලා පැනලා සෙල්ලම් කරන කාලෙ තමයි. අනේ මන්දන්නෙ නෑ ළමයො මොන පවක් පටිසන් දුන්නටද කියල මගෙ දරුවටම මෙහෙම නස්පැත්ති උනේ. අපේ නං හත් මුතු පරංපරාවක ඔහොම ලෙඩ ළමේක් ඉපදිලා නෑ අපිට මතක ඇති කාලෙක. ඔය ලමයින්ගෙ පවුල් ගැන ඉතින් කියන්න මං දන්නෙ නෑනෙ.
අපෙ ළමයි ඉතින් කසාද කොරගන්න යද්දි මේ අපිට කියල පෙන්නල, පවුල් ගැන එහෙම හොයල බලලා කරපුවා නෙවෙයිනේ. තමන්ගෙ හිතුමනාපෙට කරගත්ත ඒවයින් අන්තිමේ අපිටත් නිකන් තැන් තැන්වල ලැජ්ජ වෙන්නයි වෙන්නෙ” කිසා කුසුමලතා මැණිකේ කාමරේට යද්දිත් තරංගා ෆ්‍රිජ් එක ලඟම හිටගෙන උන්නේ කියාගන්න දේවල් දාහක් හිත අස්සේ තිබ්බත් ඒ මුකුත් වචන කරගන්න බැරිකම හන්දාමය.
“වෙනසකටත් එක්ක අපි බබත් අරන් පොඩි ට්‍රිප් එකක් යන්ද මේධංග? අපි සනුකි හම්බුනාට පස්සෙ කොහෙවත් ගිහිල්ලත් නෑ. සමහරවිට බබාට උනත් පොඩ්ඩක් රිලැක්ස් එකක් දැනේවි නේද අපි එහෙම වෙන පැත්තකට ගිහින් පරිසරේ පොඩ්ඩක් වෙනස් උනාම” කියා තරංගා එදා රැයේ මේධංගට කිව්වේ, හවස් වරුවේ වෙච්ච සිදුවීම නිසා ඔහු තවමත් අමනාපයෙන් ඉන්නේ නම් හිඳ හදාගනු පිණිස යාප්පුවෙනි.
“හහ්,ට්‍රිප් යන්න? තමුසෙලා දෙන්නා එක්ක? අනේ මේ තරංගා මගුලක් කියන්නෙ නැතුව ඉන්නවද? හරියට අර සමුද්‍රලා එක්ක ගිය අවුටින් එක මතක නෑ වගේ.ගිය පාර මතකනෙ මං පුදුම ලැජ්ජාවක් වින්දෙ අර අවුටින් එකට ගිහිල්ලා ගොත ගහ ගහ, ඒ මදිවට අර සින්දු දාලා තිබ්බ තැනට වෙලා විනාඩි ගාණක් එකම විදියට ඔලුව හොල්ල හොල්ල, කෑ ගහ ගහ. අර සමුද්‍රලගෙ බබාලා එහෙම බය වුනා. ආයෙ නම් මට බෑ ඔෆිස් එකේ උන් ඉස්සරහ ලැජ්ජ වෙන්න.
කරඬුව වගේ ලෙඩෙක්ව උස්සගෙන යන එක ඔයාට ලැජ්ජාවක් නැති උනාට මට එහෙම නෑ තරංගා”
“ලෙඩ ළමයා කියලා කතා කරන්න එපා මේධංග. ඔයා හරියට කතාකරන්නෙ මේ මම ඕනකමින් මගෙ දරුවව අසනීප කරගත්තා වගෙනෙ. අනික මේ ඕටිසම් කියන්නෙ මේ ලෝකෙ ළමයින්ට හැදෙන්නෙ නැති අසනීපයක් නෙවෙයි”
“අසනීපයක් නෙවෙයි නම් සනීප කරන්න පුලුවන් වෙන්න ඕනනෙ. එහෙම එකේ තව මහලොකුවට ඕක මේ ලෝකෙ අච්චර ගානක් ලමයින්ට තියෙනවා, අරකයි මේකයි කියලා උඩ දාන්න එපා. ඕව මේ මහ ලොකුවට ආඩම්බරෙන් කියන්න ඕන ඒව නෙවෙයි.
අනේ ප්ලීස් ඔයා ඔය ළමයව උස්සගෙන නම් මාත් එක්ක කොහෙවත් යන්න එන්න එපා. ඔයාට ලැජ්ජ නැතුව ඇති. ඒ උනාට මට ලැජ්ජයි මේ ලෙඩ ළමේක්ව උස්සගෙන මගෙ පස්සෙන් කරුමයක් වගේ එනවට”