දරුවන් උස්මහත් වෙද්දී ඔබ දෙදෙනාගේ සබඳතාවට සීමා තිබිය යුතුද?

Badhai hoo කියන්නේ අමුතු තාලේ මාතෘකාවක චිත්‍රපටියක් නිසා එයට බොලිවුඩයේ වගේම අපේ සිනමා රසිකයන්ගෙන් පවා හොඳ ප්‍රතිචාර ලැබුණා.
උස්මහත් වූ දරුවෝ ඉන්න මේ කතාවේ අම්මා අහම්බයකින් ගැබ් ගැනීම තමයි කතාවට පාදක වෙන සිදුවීම.

අවිවාහක ගෑනු ළමයෙක් ගැබ් අරන් ප්‍රේමවන්තයා අතුරුදහන් වුණාම ඇති වෙනවටත් වඩා බයක් මෙහි අම්මා වුණු පියංවදාට ඇති වෙනවා.ඇය ඒ තරම් බය වෙන්නේ ඇගේ පුතුන් වුණු නකුල්ටත් නකුල්ගේ මල්ලිටත් මුහුණ දෙන්න බැරිකමට.

ඒ චිත්‍රපටියේ කොතැනකවත් නකුල්ට ‘ඇයි අම්මා ඕකට ලැජ්ජා වෙන්නේ අම්මත් තාත්තාත් ආදරෙන් ඉන්න එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි.ප්‍රශ්නෙ වෙන්නේ ඔයාලා රණ්ඩු කරන ගහමරා ගන්න ජෝඩුවක් වුණා නම්’ කියලා දෙබසක් නෑ.තිබුණා නම් අපූරුයි.

ඒකට හේතුව ඉන්දියාවේ වගේම ලංකාවෙත් විවාහයෙන් පසු ආදරය කිරීම,මැදි වියේදී එකම කාමරයක එක්ව විසීම හරි අසංවර අපරාධ.විවාහයෙන් පස්සේ රණ්ඩු වෙන්න බාධාවක් නැතත් ආදරෙන් වෙළිලා හිටියොත් ඒවා අනිත් අයට අප්‍රසන්න මල විකාර බවට පත් වෙනවා.ඒ නිසා තමයි දරුවන්ට අවුරුදු දහයක් දොළහක් වුණාම බිරිඳ වැරදිලා හරි ගැබ් ගත්තොත් ඒක රටට ලෝකෙට ප්‍රශ්නයක් වෙන්නේ.

Badhaai ho චිත්‍රපටියේදී අම්මාගේ ගැබ් ගැනීම ගැන කෝපයෙන් දඟලන නකුල්ට ඔහුගේ පෙම්වතිය කරුණු පැහැදිලි කරනවා. ප්‍රියංවදා විවාහක බිරිඳක් නම් ඇයට තමන්ගේ ආශාවන් සපුරා ගන්න ඉඩක් ඇති බවත් දරුවන් ලොකු වීමත්, දෙමාපියන් මැදිවියට එළඹීමත් නිසා කාමර දෙකක නිදා ගන්න සිදුවීම අඹු සැමියන් අතර දුරස් බවක් නිර්මාණය කරන බවත් නකුල්ගේ පෙම්වතිය ඔහුට පැහැදිලි කරනවා.අඹුසැමියන් ලෙස දුරස් වීම ගැටලුවක් මිස ආදරණීය ජීවිතයක් ගත කිරීම හෝ දරුවන් හැදීම ගැටලුවක් නොවන බවත් නිකිල්ට උගන්වන්න ඇය සමත් වෙනවා.

විවාහකයන් අතර ආදරේ ගැන මේ කතාව සහසුද්දෙන්ම සත්‍යයක්.

පවුරු වළලු කියන ජනප්‍රිය ලාංකිය චිත්‍රපටියට පදනම් වුණෙත් මැදි වියේ කාන්තාවක් දරුවෝ උස්මහත් වීමෙන් පස්සේ ආදරේ හොයා යාම නිසා ඇති වෙන ගැටළු.මේ ඉතා මෑතකදී අපේ රටේ ජේෂ්ඨ ගායිකාවකගේ අලුත් විවාහය සයිබර් අවකාශයේ ජීවත් වෙන මිනිස්සු තමන්ගේ ප්‍රශ්නයක් කර ගන්න හේතුවත් “වයසක ගෑනුන්ට ආදරේ කරන්න තහනම් වීම”.

දරුවන් ලැබීම එක්ක කාන්තාවකට සුළු කාලයකට ලිංගික ආශාවන් හීන වෙන්න පුලුවන්.නමුත් නැවත කාලයත් එක්ක ඒ ආශාවන් එනවා.නෝටි ෆෝටි කියලා කතාවක් එහෙම තියෙන්නේ කට කහනවට නෙවේ.ඒත් ඒ වයස එනකොට බිරිඳ දරුවෝ තුරුළු කරගෙන එක කාමරයකත් සැමියා තව කාමරයකත් ජීවත් වෙනවා කියන්නේ ඒ පවුල නාමික පවුලක් බවට පත් වෙලා කියන එකයි.තමන්ට තව දරුවෝ අනවශ්‍ය නම් හොඳ උපත් පාලන ක්‍රමයක් තෝරා ගන්නත්, මැදි වියේ වුණත් අම්මා කෙනෙක් වෙන්න සෞඛ්‍ය තත්ත්වය ප්‍රමාණවත් නම් නොබියව ඒ තීරණේ ගන්නත් විවාහක යුවලකට අයිතිය තියෙනවා.ලැජ්ජා විය යුතු විවාහ වෙලා දරුවන් ලැබුණු ගමන් දෙන්නා දෙමහල්ලො කාමර දෙකක නිදාගෙන එකිනෙකාගෙන් දුරස් වෙන්න මිසක් මියෙනතුරා ප්‍රේමයෙන් වෙළී ඉන්න නෙවෙයි.

දරුවෝ ඉස්සරහ සිප ගැනීම වගේ දේවල් ඉතාම විෂ සහිත දේවල් කියලා හිතන දෙමාපියන් නැතුවා නෙවෙයි.ඒත් තාත්තා උදේ රැකියාවට යන්න කලින් ආදරණීය හාදුවකින් අම්මාට සමු දීම දරුවන්ට බොහොම සුන්දර අත්දැකීමක් කියල තේරුම් ගන්න.දරුවන්ගේ හිත් දූෂ්‍ය වෙන්නේ ඔබ බොහොම අසභ්‍ය වචන පාවිච්චි කරමින් රණ්ඩු කරන්න ගත්තාම,ගුටි ඇන ගන්න පටන් ගත්තාම කියන එක දෙමාපියන් තේරුම් ගත යුතුම කාරණාවක්.අනාගත බිරිඳට ආදරයෙන් සලකන පුතෙක් බිහි වෙන්නත්, තමන්ගේ සැමියාට යුතුකම් විතරක් කරන ආදරය නොකරන දුවෙක් බිහි නොවෙන්නෙත් හේතු වෙන්නේ අන්න ඒ දේ.අම්මා සහ තාත්තාගේ ආදරය ගැන දරුවන්ට ඇසින් දුටු සාක්ෂිකාරයන් වෙන්නට ඉඩ තැබීම.අම්මා සහ තාත්තා අතර ආදර හාදු හුවමාරුවක් දැකීම,අම්මාගේ හිසේ කැක්කුමට තාත්තා හිසේ වේදනා නාශකයක් ආලේප කරනව දැකීම,තාත්තා අතිශය කාර්යබහුල වෙලාවක අම්මා ඔහුටත් බත් අනා කවනවා දැකීම දරුවෙක් නරක් කරන්නට හේතු වෙන්නේ නෑ.

විවාහයට කාලයක් ගත වෙනකොට අසීමාන්තික ලෙස සැමියා බිරිඳ ප්‍රේමයෙන් දුරස් වෙන්න අවශ්‍ය නෑ.ආදරය දරුවන්ගෙන් සැඟවීමට ක්‍රියා කළොත් අනේකවිධ ගැටළු ඔවුන්ගෙන් සැඟවීමටත් සිදු වෙනවා.ඒ නිසා එකිනෙකා අතර ආදරය විවාහය පරණ වෙනකොට පරණ කර ගන්නට එපා.ඒ වගේම තමයි,දරුවන් උස්මහත් වූ පසු නැවත විවාහයක් කර ගැනීම,දරුවන් සෑදීම වගේ දේවල් අතිශය මානුෂික කාරණා මිසක් අප්‍රසන්න අසභ්‍ය සිදුවීම් නෙවෙයි

අපි ආදරයට බිය විය යුතු නෑ.ආදරය පෙනෙන්නට ඉඩ හැරීමෙන් කිසිම හානියක් වන්නේ නෑ.ජීවිතය අපට ලබා දෙන ආදරණීය ත්‍යාගයක් හැටියට ප්‍රමාද වූ ගැබ් ගැනීමක්,දෙවැනි විවාහයක් දකින්නට තරම් මනස සැහැල්ලු කර ගැනීම ආදරය මොනතරම් ඉමිහිරිද කියන දේ වටහා ගත හැකි පහසුම මාර්ගයක්.ආදරය කියන්නේ සිරගත වූ සිතුවිල්ලකට නෙවෙයි.ඒ නිසා අඟුළු දැමූ කාමරයක විතරක් ආදරේ කරන්න එපා.

ආදරය බොහෝ සුන්දර අත්දැකීමක් බව දරුවන්ට දෙමාපියන් ඔවුනොවුන්ට දක්වන ආදරයෙන් වටහා ගන්නට ඉඩ දෙන්න.

Related Articles

Don't Miss


Latest Articles