ධෛර්යය සහ ශක්තිය දෙන දියණිය වෙනුවෙන් අපූරු සටහනක් තැබූ අම්මා – අනුෂ්කා ශර්මා-

අනුෂ්කා ෂර්මා බොලිවුඩයේ සුරූපි රංගන ශිල්පිනියක්.ඇය වඩවඩාත් ජනප්‍රියත්වයට පත් වෙන්නේ ඇගේ රංගනය නිසා විතරක්ම නෙවෙයි. ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමේ බල කණුවක් වුණු විරාට් කෝලිගේ ආදරණීය බිරිඳ වීමත් ඊට හේතුවක්.විරුෂ්කා ලෙස ලෝකය පුරා ජනප්‍රිය වූ සුන්දර ආදර අන්දරයකට පසු විවාහ වූ මේ දෙපල මේ වසරේ ජනවාරි එකොළොස් වෙනිදා පුංචි දියණියකගේ දෙමාපියන් බවට පත් වුණා.

බිළිඳු සිනාවකින් තමන්ගේ ලෝකය වර්ණවත් වන බව දැන ගත් පසු ඕනෑම තාත්තා කෙනෙකු පත් වෙන ආදරණීය ආඩම්බරයට විරාට් කෝලි ද පත් වුණා.
ඔහු අනුෂ්කාගේ ගර්භනී කාලය පුරා ඇයව සතුටින් තබන්න මහන්සි වුණා. ඒ විතරක් නෙවෙයි  ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට නැතිවම ක්‍රීඩකයා,කෝලි ඉන්දීය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරගාවලියෙන් පීතෘ නිවාඩු ලබාගෙන අනුක්ෂා සමඟ හිඳින්නට නැවත පැමිණියා.බිරිඳට අසීරුම කාලයේ ඔහු ඇය සමඟ හිඳිය යුතුයැයි තීරණය කර තිබෙනවා.

වමිකා නම් වූ සිඟිති සුරඟන පැමිණෙන්නේ එවැනි ආදරය පිරුණු නිවහනකට.
දැන් වමිකාට මාස දහයක්.

“ඔබ හැම දවසකම මාව නිර්භීත සහ ශක්තිසම්පන්න කරනවා මගේ පුංචි වමිකා,ඔබ තුළ දේවතාවියකගේ ශක්තිය සැමවිටම වර්ධනය වේවා!”

අනුෂ්කා ෂර්මා ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මේ සටහන තබන්නේ පසුගිය ඔක්තෝම්බර් 14, අස්තමී උත්සවය දවසේ.අස්තමී උත්සවය දශායින් නම් දින පහළොවක හින්දු උත්සව මාලාවක අටවැනි දවසේ පැවතෙන උත්සවයයි.දුර්ගා දේවිය සමරන දශායින් උත්සවයේ අස්තමී දවස වෙන් වන්නේ දෙව්දුව සතුටු කරන්නටයි.අනුෂ්කා ඇගේ කුඩා දෙව් දුව වෙනුවෙන් එවැනි සටහනක් තබන්නට එදින තෝරා ගන්න ඇත්තේ ඒ නිසා.

අනුෂ්කා ඒ ඡායාරූපයේ පැළඳ සිටින සුන්දර සිනාව ඇය ඇගේ කුඩා දෙව්දුව ගැන කොපමණ ප්‍රීති වෙනවාද කියන්නට හොඳම සාක්ෂියයි.මව්වත්කමේ දීප්තියෙන් බබළන අනුෂ්කා සහ වමිකාගේ ඒ ඡායාරූපයට ඉන්ස්ටග්‍රෑම් ලයික්ස් මිලියන 4.2 ට වඩා ලැබී තිබුණා.රන්වීර් සිං,වානි කපූර්,සුනිල් ෂෙට්ටි,ප්‍රියංකා චොප්රා වැනි තාරකාවන් ද උණුසුම් ප්‍රතිචාර දක්වා තිබුණා.

ජූලි මාසයේ එකොළොස් වෙනිදා වමිකාට මාස හයක් සැපිරෙන දිනයේ ද අනුෂ්කා තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ තබා තිබුණේ ආදරණීය සටහනක්.

ඇගේ එක් සිනාවක් අපේ මුළු ලෝකයම වෙනස් කරනවා.පුංචි පැටියෝ,ඔබ අප දෙස බලන ආදර බැල්මකින් අපි දෙදෙනාටම ජීවත් විය හැකි යැයි මම සිතනවා.”

ඇය ඒ සටහන අවසන් කර තිබුණේ “අප තිදෙනාට සුබ මාස හයක්” ලෙස. මව සහ පියෙකු ලෙස හිරු වටා ගමන් කළ මුල්ම මාස හය විරුෂ්කා යුවලට එතරම්ම වටිනා එකක්.

“අපි ආදරය,දරා ගැනීම සහ කෘතඥතාවයෙන් එක්ව ගෙවූ ජීවිතය අපේ පුංචි සිඟිත්තිය වමිකා තවත් පියවරකට රැගෙන ගියා.”

යැයි අනුෂ්කා ඉන්ස්ටග්‍රෑම් සටහනක් තැබුවේ වමිකාගේ උපත ගැන තමන්ගේ රසිකයන් නිල වශයෙන් දැනුවත් කරමින්.ඒ මේ වසරේ පෙබරවාරි පළමුවැනිදා.

අනුෂ්කා එවැනි ආදරණීය සටහන් බොහොමයක් තබා තිබුණත් විරාට්ගේ සමාජ ජාලා ගිණුම් තුළ වමිකාට ලියූ ආදර වදන් හමු වෙන්නේ නැහැ.තාත්තා කෙනෙකු සතු වන්නේ නිහඬ ආදරයක්.එය අප්‍රකාශිත නමුත් සමුදුරක් සේ ගැඹුරු වන්නක්.වැදගත් ක්‍රිකට් තරගයක් අතැර වමිකාගේ උපත වෙනුවෙන් පැමිණියාක් මෙන් කැපකිරීම් විරාට් ඇය වෙනුවෙන් කරනවා ඇති.

අහසත් පොළොවත් මෙන් එකිනෙකට වෙනස් එහෙත් ජීවිතය වසා පැතිර ගත් අම්මාගේත් තාත්තාගේත් ආදරය ලෝකයේ හැම දියණියකට මෙන්ම වමිකාටත් පොදු දෙයක්.ඇය හැම දියණියකම මෙන් කුඩා දෙව් දුවක් වන්නේ එනිසාමයි.

Related Articles

Don't Miss


Latest Articles