ඒක පාර්ශවික ප්‍රේමයක් දරා ගන්නේ මෙහෙමයි.

ඒක පාර්ශවික ප්‍රේමය කියන්නේ ඕනෑම කෙනෙක් ජීවිතය තුළ එක්වරක් හෝ අත් විඳින හැඟීමකට.සෙලිබ්‍රිටි ක්‍රෂ් බර ගාණක් හැම ගැහැනු ළමයෙකුටම ඉන්න පුලුවන්.නමුත් ඔබ නිතරම ගැවසෙන පරිසරය තුළ ක්‍රෂ් එකක් ඉන්න එකට ඔබ කොහොමද මුහුණ දෙන්නේ.බොහොම සාමාන්‍ය දෙයක් වගේ හිතුණත් මේ හැඟීම සමහර යුවතියන්ට මහත් පීඩනයක් ගෙන දෙන අවස්ථා තියනවා.

ඒකපාර්ශ්වික ප්‍රේමයක් එහෙම නැත්නම් ක්‍රෂ් එකක් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද? අද අපි ඒ ගැන කතා කරමු.Butterflies in your stomach කියලා සාමාන්‍යයෙන් භාවිතා වෙන යෙදුම හැඟීමක් කර ඔබට දෙන්නට සමත් වෙන පුද්ගලයා එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා අපි අද කතා කරමු.

Crush එකක් විවිධ ආකාරයට වර්ග කරන්න පුලුවන්.

1.ප්ලේටොනික ප්‍රේමයක්

ඔබට ඇතිවන සෑම ආකර්ෂණයක්ම රාගය මත පදනම් වෙන්නේ නැහැ.යමෙකු කෙරෙහි සරාගී හැඟීම් ඇති කර නොගෙන ඔහුව විශ්වාස කිරීමට සහ ඔහුට සැබවින්ම සමීප වීමත් එක්‍තරා ආකාරයක ඒකපාර්ශ්වික ප්‍රේමයක්. ඉතා සමීප මිත්‍රත්වයක් සහිත එහෙත් ආදර සම්බන්ධයකට යොමුවීමටත් උවමනා නැති හැඟීමක් ඔබට තියනවා නම් එය ප්ලේටොනික ආදරයක් වෙන්න පුලුවන්.

2. ඔබ නිතරම අගය කරන කෙනෙක්

අපි සමහර වෙලාවට සමාජයේ වඩා කැපී පෙනෙන මිතුරෙකුට දැඩි ආකර්ෂණයකින් ඉන්නවා.ඒ හැඟීමත් සරලවම කිව්වොත් ක්‍රෂ් එකක් තමයි.ඒත් මේ තත්ත්වය ආදරයක් දක්වා දුරදිග රැගෙන යා යුතු හැඟීමක් නම් නෙවෙයි.බහුතර සෙලිබ්‍රිටි ක්‍රෂ් මේ හැඟීමට අයිති ඒවා.

3.ප්‍රේමයෙන් පිරී ගිය හැඟීම් ඔබට ලබා දෙන Crush

ඒකපාර්ශවික ප්‍රේමය නම් සුන්දර වේදනාව ඔබට තිළිණ කරන්නේ මේ පුද්ගලයන්.ඒ හැඟීම සහමුලින්ම ප්‍රේමයක්.ඔබට ආදරය කරනවාද නැද්ද යන්න ගැන කිසිදු තැකීමක් නොකරම ඔබ කෙනෙකුට ආදරයෙන් නම් එය ඒකපාර්ශ්වික ප්‍රේමයක් බව කියන්නට පුලුවන්.

මෙවැනි හැඟීමක් එක්ක ඔබ ගනුදෙනු කරන්නේ කොහොමද?

1.ඔබේ හැඟීම් පිළිගන්න.

ආදරය ඕනෑම කෙනෙකුට ඇතිවන සුන්දර හැඟීමක්.ඔබ සිටින්නේ ආදරයෙන් නම් එය ඒකපාර්ශ්වික වුවත් ඒ ඔබේ හැඟීම.ඒ හැඟීම පිළිගන්න.එය ඔබ තුළින් හට ගත් හැඟීමක් නිසා ඔබම ඔබේ සිතුවිල්ල ප්‍රතික්ෂේප කරන්නට අවශ්‍ය නැහැ.

2. කාලය ලබා ගන්න

මේ හැඟීම ආදරයක් ද ආකර්ෂණයක් ද යන්න කාලය රැගෙන තීරණය කරන්න.එය ඔබේම රහසක් නම් එය ඔබ තුළම තබා ගනිමින් ඔබට මේ හැඟීම දිගු කාලීනව රැගෙන යා යුත්තක්දැයි කල්පනා කරන්න.

3.ඒ හැඟීම සමීපතම අයෙකු සමඟ බෙදා ගන්න

ඔබව විහිළුවට ලක් නොකරන ඔබේ ඕනෑම රහසක් පැවසිය හැකි හොඳම මිතුරිය මේ සඳහා කදිමයි.ඔබ ආදරය කරමින් හිඳින බවත් ඒ ආදරය හිමි තැනැත්තා ඒ ගැන කිසිත් නොදන්නා බවත් ඔබට කියන්නට හොඳම කෙනා ඔබේ මිතුරිය විය හැකියි.ආදරණීය සිතුවිලි වලින් බරව ගිය ඔබේ හදවතට ඒ රහස බෙදා ගත් පසු සැනසීමක් ලැබෙන්නට ඉඩ තියෙනවා.

4.ඒ සිතුවිල්ල ඔහුට පවසන්න.

ඒකපාර්ශ්වික ආදරයක් සදාකාලික රහසක් නොවන්නට එය ඔහුට පවසන්න ඔබට පුලුවන්.ඔහුට ප්‍රේමයක් නැති බව ඔබ දන්නවානම්, ඔහු සහ ඔබ අතර ළංවීමට නොහැකි සීමා නැතිනම් ඒ ගැන හෙළි කරන්න බය වෙන්න අවශ්‍ය නැහැ.ආදරය කිරීම සම්බන්ධයෙන් පළමු අඩිය ගැහැනු ළමයෙකු තැබීම පාපයක් නොවේ.

ඔහු ඔබේ ආදරය පිළි නොගතහොත් කළ හැකි දේවල්.

සැබෑවටම ආදරයක් මල් ඵල ගැන්වෙන්නේ දෙදෙනාටම දෙදෙනා සම්බන්ධයෙන් ආදරයක් දැනෙනවානම්.ඔහු ඔබට ආදරය කරන්නට නොකැමතිනම් හෝ ඒ ඒකපාර්ශ්වික ආදරය කිසිම දවසක හෙළි කරන්නට ඉඩ නොලැබුණොත් ඔබ මේ දේවල් කිරීම සුදුසුයි.

1. සමාජ ජාලා හරහා ඔහුව පරීක්ෂා කිරීම නවතන්න

ඔහු ප්‍රේමවන්තයෙකු ද ඔහුට සමීප වෙමින් හිඳින ගැහැනු ළමයින් කවුද ආදිය ගැන සෙවීම නවතා දමන්න.නොලැබෙන ඔහු ගැන ඒ තරම් සොයා බලන්නට යාම ඔබව පීඩාවට පත් කරන්නට ඉඩ තිබෙනවා.

2. ඔබේ හැඟීම් ලියා තබන්න.

ඇප් එකක් හෝ දිනපොතක් තුළ ඔබේ ආදරය ගැන ඔබට දැනෙන හැඟීම් ලියා තබන්නට ඔබට පුලුවන්.ඒ ඒකපාර්ශ්වික ආදරය ඔබට තිළිණ කළ හැම හැඟීමක්ම ලියා තැබීම ඔබට සහනයක් ගෙන ඒවි.

3.කතා කරන්න

සමීප මිතුරියක සමඟ ආදරය පිපෙන්නටත් පෙර පරවූ වේදනාව බෙදා ගැනීම ඔබට සහනයක් ගෙන එන්නට සමත් වෙනවා.ඔබ හැඟීම් සිර කර තබා නොගෙන දිගින් දිගටම කතා කිරීමෙන් ඔබට සැහැල්ලුවක් දැනේවි.

4. ඒ හැඟීම ක්‍රමයෙන් අත් හරින්න

ඔබ මේ සිතුවිල්ලෙන් මිදිය යුතු බව අවබෝධ කර ගන්න.ඔබ ඔබට ආදරය කරන මිනිසෙකුට ආදරය කරන්නට මේ සිතුවිලි ක්‍රමයෙන් අමතක කළ යුතු බව තේරුම් ගනිමින් ක්‍රමයෙන් නිදහස් වෙන්න.එසේ විය නොහැකි තරමට ඔබ ප්‍රේමයෙන් බැඳී සිටීනම් උපදේශනයකට යොමු වීමත් ඔබට සහනයක් ලබා දෙන්නට සමත් වේවි.

ඒකපාර්ශ්වික ආදරය ගීතයක හෝ චිත්‍රපටියක ඇති තරමට සැබෑ ජීවිතය තුළ සුන්දර වන්නේ නැහැ.ඒකපාර්ශ්වික ආදරය මරණීය වේදනාවකට සම වන අවස්ථා ඕනෑතරම්.ඒ නිසා ඒ හැඟීම සමඟ ප්‍රවේසමෙන් ගනුදෙනු කරන්න.

Related Articles

Don't Miss


Latest Articles