අත්තම්මා හුරතල් කරන නිසා දරුවෝ හදා ගන්න බැරිද?

අපි කවුරුත් යොවුන් වයසෙදි ගෙදරින් බැනුම් අහ අහ ඉන්දියන් ටෙලි නාට්‍ය බලපු අය. මේ හැම ටෙලි නාට්‍යයකම පොදු චරිතයක් හිටියා.

ඒ තමයි ගෙදර අත්තම්මා!

කන කෑම, අඳින ඇඳුම, අනිත් අයගේ කසාද විතරක් නෙවෙයි සමහර වෙලාවට අද නානවද නැද්ද කියලා පවා තීරණය කරන්නේ ඒ අරුම පුදුම අත්තම්මා.මේවා බොහොම විහිළු බවට අපි හිතුවාට මේවා විහිළුම නෙවෙයි.

අපේ දකුණු ආසියාතික සංස්කෘතිය ඇතුළේ මේ වගේ අත්තම්මලා ඕනෑ තරම් ඉන්නවා. ඔවුන් එක්ක ගනුදෙනු කිරීම ඉතාම අසීරු දෙයක්. නැන්දම්මා වගේම තමන්ගෙම අම්මා දරුවන්ගේ දේවල්වලට ඕනෑවට වඩා අත පොවන බවටත් එය විශාල හිරිහැරයක් බවටත් තරුණ මව්වරු නිතරම පැමිණිලි කරනවා.

කොහොමද මේ විෂ සහිත අත්තම්මලා අඳුනා ගන්නේ?

  1. දරුවන් සම්බන්ධ ඔබේ සීමා අතික්‍රමණය කරනවා.

බබා අඬනකොට ගණන් නොගෙන ඉන්න ඔයාගේ ප්‍රතිපත්තියක් තියනවා කියලා හිතන්න. බඩගිනි වෙනතුරුම ඉඳලා බත් කන්න දෙන්න ඔයා වග බලා ගන්නවා කියලා හිතන්න. මේ ක්‍රම වලට අත දාමින් ඔබ දරුවා හදන ක්‍රමය ගැන ප්‍රශ්න කරන එක ඇත්තටම විෂ සහිත වැඩක්. අම්මා ඔයාට නීති දානවානම් මම ඔයාට ඉන්නවා කියන එක දරුවාට දැනෙන්න දීමත් නරක වැඩක්.

  1. දරුවන්ව වාචිකව සහ මානසිකව අවභාවිතා කරනවා

වැඩියෙන් ආදරේ අම්මටද මට ද අහන එක නරක වැඩක්. දරුවන්ට එක එක නම් පට බැඳීම පවා ඇත්තටම හොඳ වැඩක් නෙවෙයි. තවදුරටත් කිව්වොත් නොදන්නා බිල්ලෝ ගැන යක්කු ගැන කියලා දරුවෝ බය කරන්නත් ආච්චිලාට ඉඩ දෙන්න එපා.

  1. අනිත් බැඳීම් වලට ඉරිසියා කිරීම

සමහර අත්තම්මලා තදින්ම විශ්වාස කරනවා තමන්ගේ දුවට හෝ ලේලියට වඩා මුණුබුරු මිණිබිරියන් තමන්ට අයිති බව. තමන්ගේ අම්මාට වඩා මුණුබුරු මිණිබිරියන් තමන්ට ආදරය කරන බව පෙන්වන්නට මහන්සි ගන්නවා. මේ ඉරිසියාවත් හොඳ වැඩක් නම් නෙවෙයි.

  1. නිතරම ප්‍රසංසා බලාපොරොත්තු වීම

සමහර අත්තම්මලා නිතරම ප්‍රසංසා බලාපොරොත්තු වෙනවා. “මං අද මෙතන ඉන්නේ අත්තම්මා නිසා” වගේ කතා මුණුබුරෙක් කියනවට එයාලා හරිම කැමතියි. පවුලේ විශාල පර්වතය තමන් බවත් තමන් නැත්නම් කිසිම දෙයක් හරියට වෙන්නේ නැති බවත් පෙන්වන්න එයාලා ඕනෑම දෙයක් කරනවා.

  1. පවුලේ බෙදීම් ඇති කරනවා.

දරුවන්ට දෙමාපියන් නොකියපු කතා කියන්නට යාම, දරුවන් නොකළ වැරදි ගැන දෙමාපියන්ට පැමිණිලි කරන්නට යාම. අනිත් පවුලේ අත්තම්මාගෙන් සීයාගෙන් දරුවන් ඈත් කිරීම මේ වගේ අත්තම්මලාගේ සිරිතක්. ඒ නිසා බොහොම ප්‍රවේසම් වෙන්න ඕනෑ.

මේවා පාලනය කර ගන්නේ කොහොමද?

  1. සීමා පවත්වා ගන්න

අත්තම්මා බබාට කවන එක, නාවන එක, එයා නිදාගන්න ඕන අත්තම්මා ගාව බව තීරණය කරලා ඉවර නම් ඔබ දරුවාගේ අම්මා බව ඇයට මතක් කරන්න. දරුවා හදන්න ඔබට ඔබේ ක්‍රම ඇති බව පැහැදිලිව ඇයට කියන්න.

  1. හමුවීම් සීමා කිරීම

කරන්නම දෙයක් නැත්නම් මිසක් ඒ වගේ අත්තම්මා කෙනෙක් එක්ක එකට ඉන්න උත්සාහ කරන්න එපා. ඔබේ පුංචි පවුල වෙනම පවත්වා ගන්න. එතකොටත් විෂ සහිත පරිසරයෙන් මිදෙන්න හරිම ලේසියි.

  1. කතා කරන්න.

දරුවා සම්බන්ධයෙන් ඔබට වගකීම් ඇති බව පැහැදිලිව කියන්න. හිත නොරිදෙන ලෙස දරුවාගේ වෛද්‍යවරයා පැවසූ බවට සමහර කතා කියන්නටත් ඔබට පුලුවන්. ඔබේ දරුවාගේ හැසිරීම්,ආහාර රටා පාලනය කරන්නට දැඩි ලෙස උත්සාහ ගන්නවානම් ඔබට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ උදව් පතන්නටත් පුලුවන්.

අපිට සංස්කෘතිමය ලෙස ඉදිරියට යන්නට වැඩිහිටි අදහස් අවශ්‍ය බව ඇත්ත. නමුත් අනවශ්‍ය අත පෙවීම් ඔබට විශාල කරදරයක් වෙන්න පුලුවන්. ඒ නිසා කල්පනාකාරීව තීරණ ගන්න.

Related Articles

Don't Miss


Latest Articles