මවකගේ ලෝකය – 8 වන කොටස

දුවගෙ වාර මැද විභාගයේ ලකුණු අඩු වෙලා. සමහර විෂය වලට. ඒත් ඔයාට පාඩම් කිරීමක් කොහෙත් ම අවශ්‍ය නැති ඉංග්‍රීසි විෂයට ලකුණු අනූ නවයක් ම තියෙනව. එක ලකුණක් අඩු වෙලා තියෙන්නෙ රචනාවෙදි විතරයි.

“සමහර සබ්ජෙක්ට්ස් ගැන දුව උනන්දුව අත්ඇරල දාල වගේ”

දුව ගෙ පන්ති භාර ගුරුතුමී කිව්වෙ තරමක කණගාටුවකින්. මට ඒ වෙලාවෙ දැනුණෙ ඉවසගන්න බැරා ලැජ්ජාවක්. මුල ඉඳල ම පන්තියෙ පලවෙනිය දෙවෙනිය තුන් වෙනිය හිටිය අතරෙ හිටිය, තුන් වෙනියගෙව් පහලට කවදාවත් ලකුණු අඩු නොවුණ ඔයාගෙ ලකුණු ඒ තරමින් හෝ අඩු වීම ගුරුවරුන්ටත් ලොකු ප්‍රශ්නයක් වුණා.

“එයා හොඳටම වැඩ කරන දරුවෙක්නෙ. කොහොමත් වැඩ කරන්න උනන්දුවක් නැති කෙනෙක්නං මේ ලකුණු හොඳටම ඇති. ඒත් මෙයාට මීට වඩා කරන්න පුළුවන්.”

ඒක තමයි ගුරුවරුන්ගෙ තක්සේරුව වුණේ.

“මොකද කෙල්ල පාඩං කරන්න කම්මැළි වෙලාද…ටිකක් හොයල බලන්න. මොකද දැං මේ වයසෙදිත් දරුවන්ව අතෑරල දාන්න බැරි තත්වයක් තියෙන්නෙ. මේ වයසෙදි තමයි අපි වැඩියෙන් ම අවධානයෙන් එයාලව අල්ලගෙන ම ඉන්න ඕනෙ”

මං ඉස්කෝලෙං එළියට ආවෙ මළානික වෙලා ගිහිං. මීට කලින් කවදාවත් පේරන්ට්ස් මීටින් එකකදි එක ගුරුවරයෙක්ගෙංවත් දූගෙ නරකක් අහන්න වෙලා නෑ. ඒ නිසාමද මන්දා මේක මට ශොක් එකක් වගේ.

මං ගෙට ගොඩ වෙනකොට දූ පෙර මගට ආවෙ සිනහ වෙවී. ඒත් මට හිනා වෙන්න පුළුවන් වුණෙ නෑ.

“හරි ලස්සනයිනෙ ඔයාගෙ මාක්ස්”

මගේ හඬෙත් තිබුණෙ අමනාපයක්. දූගෙ හිනාවත් වියැකිලා ගියා.

“මට කියන්න මේක. දැං ඔයාට හිතෙනවද නිකං..ඉගෙන ගත්තා ඇති වගේ…”

දූ ගැස්සිලා ගියා. එයාගෙ ඇස් වලට ආවෙ බයක්. මගෙ කටහඬ බොහොමත් ම සන්සුන් වුණත්, ඒ සන්සුන් බව අතරේ රැඳිල තිබුණ නො සන්සුන්කම දූට දරනෙන්න ඇති.

“කවදාවත් නැතුව ටීචර්ස්ල කිව්ව ඔයාගෙ උනන්දුව අඩු වෙලා වගේ කියල. මට කියන්න. මොකද්ද ඒකට හේතුව…”

“ඉතිං අම්මි…මාක්ස් තියෙන්නෙ ගොඩක් ඒවට…”

“ෂ්…කතා කරන්නෙපා. මාක්ස් තියෙන ඒව නෙවෙයි නැති ඒව ගැන හිතන්න. එහෙම වුණේ කොහොමද කියල හිතන්න..ආයෙ එහෙම නොවෙන්න මොනාද කරන්න ඕනෙ කියල හිතන්න”

මං කතා කළේ තරමක් තදින්. මේ වගේ වෙලාවක හුරතල් කරන්න යන එක අවදානම බව ඉවෙන් වගේ මට දැනුණා.

“මටනං දැනෙන විදිහට ගේම් ගැහිල්ල තමයි ප්‍රශ්නෙ. ඔයා ඒකට යොදවන්නෙ පාඩං වැඩ වලට තියෙන කාලය. එක පාර වැඩ දෙක තුනක් කරන්න බෑනෙ. ඒකනෙ අවුරුදු දහ අටක් වෙනකල් ඉස්කෝල වයසෙදි ළමයින්ගෙන් රස්සාවල් කර ගන්න බැරි. ඒ ඒ වයසෙදි කරන්න ඕන දේවල් තියෙනව දුව. මේ කාලෙදි ඔයා කරන්න ඕන ඉගෙන ගන්න එක. මොකද ඒක පහු වෙලා කරන්න බෑ. පහු වුණාම වෙන්නෙ පසුතැවිලි වෙන්නයි”

මං හුඟක් දේවල් කියෙව්ව. දූ සද්ද නොකර අහන් හිටියා. මට පේන්නනං ෆෝන් එක, කම්පියුටර් එක ගත්තෙත් නෑ. ඔයාගෙ හිත ටිකක් රිදෙන්න ඇති අම්ම කවදාවත් නැතුව ඒ විදිහට කතා කරපු එක ගැන. ඒත් ඒක මේ මොහොතේ කරන්න ඕන ම දෙයක් විදිහටයි මට දැනුණෙ. අස්සයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහල වැඩක් නෑ කියල කතාවක් තියෙනවනෙ..

“කෙල්ලට කෑගහන්න එපා”

දූ ගෙ තාත්තත් මගෙ කනට කෙඳිරුවා. මං එයා දිහා බැලුවෙත් ටිකක් තදින්. අපි දෙන්නම මෙච්චර කැප කිරීම් කරන්නෙ දූ වෙනුවෙන්. ඒත් ඒක අපේ පැත්තෙන් විතරක් වෙන්න ගියාම එයාට එයා ගැන වගකීමක් නැති වෙලා යන්න පුළුවන්. තමන්ට තමන් ගෙ ජීවිතේ ගැන වගකීමක් වගවීමත් නැති වුණ තැන වෙන්නෙ ලොකු විනාසයක්.

“හරි හරි. මං දන්නව ඔයා දෙයක් කියන්නෙ කරන්නෙ තේරුමක් ඇතුවයි කියල. මං එහෙම කිව්වෙ…කෙල්ල අදක්ෂ දරුවෙක් නෙවෙයිනෙ. ඔය එක වතාවක් මාක්ස් ටිකක් අඩු වුණයි කියල…”

“ඒ එක වතාව දිග්ගැහෙන්න ඉස්සරින් තමයි ඒයි අපි ඉක්මනට පිළියමක් යොදන්න ඕනෙ. ලෙඩක් දුකක් වුනත් ඔඩු දිව්වම සනීප කර ගන්න අමාරුයිනෙ”

තාත්තටත් මං ටිකක් තදින් හිටියා. ඇත්තටම මගෙ  හිතේ හොල්මන් කරමින් තිබුණෙ ශාරුක් ඛාන් කියන ලෝක ප්‍රසිද්ද රංගන ශිල්පියා ගෙ පුතා සහ්බන්ධව මේ දවස් වල මාධ්‍ය වලින් අහන්න දකින්න ලැබෙන කාරණා. ශාරුක් කියන්නෙ එයාගෙ දක්ෂතාය අඳුරගෙන ඒක වාසනාව බවට පත් කර ගත්ත පුද්ගලයෙක්. හුඟක් මහන්සි වෙලා, හුඟක් දුක් විඳල, හුඟාක් කැපකිරීම් කරල ඔය තැනට ආපු කෙනෙක්. ඒත් එයාගෙ දරුවන්ට හැම දේම හරි ම පහසුවෙන් දෙපා මුලට ම ලැබුණා. ඒ තාත්තගෙ වෙහෙසෙ ප්‍රතිඵලයක් විදිහට. මට හිතෙන හැටියට ඒ දරුවන්ට කරන්න දෙයක් තිබුණෙ නෑ. තාත්තා එයාල වෙනුවෙන් හැම දේම කරල ඉවරයි. එයාලගෙ දරු පරම්පරා වලටත් ඇති දරමට මුදල් උපයල ඉවරයි. ශාරුක් ට වාහනයක් ගන්න මුදල් හම්බ කරන්න අවුරුදු ගණන් වැඩ කරන්න සිද්ද වෙන්න ඇති. ඒත් එයාගෙ පුතාට වාහනයක් ඕන කියල හිතන්න විතරයි ඕනෙ.

අරමුණක් නැති වුණහම මිනිස් හිත් වල් වැදෙනව පුතේ. උද්‍යානයකයි උයනකයි අතරෙ ලොකු වෙනසක් තියෙනව. ඒ තමයි නඩත්තුව. උයනක් නිරන්තර නඩත්තු වෙමින්, උයන් පල්ලාට අවශ්‍ය පරිදියි ගොඩ නැගෙන්නෙ. ඒත් වනාන්තරයක් අයාලෙ වැඩෙනවා. අපේ හිත් වුණත් නඩත්තු නොකරද්දි, රැක බලා ගැනීමක් මග පෙන්වීමක් නොවෙද්දි වල් වැදෙන්නෙ කැලයක් වගේ.

ඒ නිසා ජීවිතේට අරමුණක් ඇති කර ගන්න. අපි ඔයා ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මුලින් ම ඔයා හොඳට ඉගෙන ගනී කියල විතරයි. අපි පුංචි කාලෙ අපි ට නොතිබුණ ජීවිතය ඔයාගෙ දෙපා මුලින් තියන්න අපි වෙහෙසෙන්නෙ, දුෂ්කරතා වලින් තොර ව ඔයාගෙ ගමන යන්න පහසු කරල දෙන්න ඕන නිසයි. දෙමව්පියන්ට ඕනෙ එයාලට දකින්න බැරි වුණ ලෝකය දරුවො දකින්නයි. මේ ජීවිතේ වෙන හරයක් නෑ පුතේ. ඉපදිල මැරිල යන ජීවිත සංසාරෙ මිනිස්සු කොයි දේ කරන්නෙත් දරුවන්ට හරි ඉතිරි වෙයිනෙ කියන අදහස ඇතුව.

ශාරුක් ට වගේ පරම්පරා ගණනක් වෙනුවෙන් උපයපු වත්කම් අපිට නෑ. අපි මේ ඔයාගෙ අනාගතේ යන්තම් පහසු කරනව විතරයි. ඔයා වෙනුවෙන් ඔයාගෙ ගමන ඔයා යන්න ඕනෙ. ඔයාගෙ ජීවිතේ ඔයා ම ගොඩ නගා ගන්න ඕනෙ. ඒ නිසා අරමුණක් ඇතුව ඒ අරමුණ වෙනුවෙන් වෙහෙසෙන්න දුවේ. ඉෂ්ට කර ගන්නා තුරු ඒ අරමුණ මත්තේ ම හැපෙන්න. අතර මගදි අත් ඇර ගන්න දේවල් පටන් ගන්න එක අපරාදයක්.

මගෙ දූ දක්ෂයි. ඒ දක්ෂතා මොට වෙලා යන්න දෙන්න එපා. දින දින මුවහත් කර ගන්න බලන්න. නිරන්තර අභ්‍යාසගත වීම තමයි ඒ සඳහා අත්‍යවශ්‍ය ම දේ.

අපි ට පුළුවන් පොහොර ටික ලං කරන්න විතරයි පුතේ. සරුසාර ව වර්ධනය වීමේ වගකීම තියෙන්නෙ ඔයාගෙ අතේ!

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...