ඔබ දෙදෙනාගේ සබඳතාව ශක්තිමත් බැඳීමක් කර ගත හැකි ක්‍රමය.

ශක්තිමත් සහ කල් පවත්නා සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම සඳහා දෙදෙනාම එකිනෙකාගේ වෙනස්කම් සහ අඩුපාඩු පිළිබඳව පිළිගනිමින් ඒවා සමඟ අවබෝධයෙන් කටයුතු කළ යුතු යි.සම්බන්ධතාවයකදී කිසිවෙකුත් සර්ව සම්පූර්ණ නොවන නිසා එකිනෙකාව වටහාගෙන ඔබ දෙදෙනාගේ නොගැලපෙන දෑ ගලපාගෙන ඉදිරියට යාම වැදගත් වෙනවා.ඉතින් එවැනි ශක්තිමත් සහ ප්‍රීතිමත් සබඳතාවයක දක්නට ලැබෙන ලක්ෂණ මොනවද කියලා තමයි අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ .

ගැලපුම

සාර්ථක සම්බන්ධතාවයකට බොහෝ සාධක හේතු වුණත් ඒ සාධක අතුරෙන් ප්‍රධාන තැනක් ගන්නේ සහකරුවා සහ සහකාරිය අතර ඇති ගැළපීමයි.සාමාන්‍යයෙන් බොහෝ සම්බන්ධතා වලදී හෝ විවාහයකදී මුල් අවධිය පසුවූ විට එකිනෙකා අතර ඇති උනන්දුව පහවී යනවා.එවිට අනෙකා සමග විවිධ අදහස් බෙදා ගැනීම ඇතුළු බොහෝ කාරණා ක්‍රම ක්‍රමයෙන් අඩුවී යන ආකාරය දක්නට පුළුවන්.නමුත් ඔබ ඔබේ සහකරු සමඟ කාලය ගත කිරීමට කැමැති නම් ,නිරන්තරයෙන්ම ඔබගේ අදහස් සහ විවිධ දේවල් වගේම ඔබේ අනාගත සැලසුම් පිළිබඳව ඔහු සමඟ බෙදා ගැනීමට කැමති නම් ඉන් අදහස් වන්නේ ඔබ දෙදෙනා බොහෝ දුරට ගැලපෙන බවයි.එය සාර්ථක සබඳතාවයක දක්නට හැකි හොඳ ලක්ශණයක්

අන්‍යෝන්‍ය ගෞරවය

couple cooking

ඔබ සහ ඔබේ සහකරු විසින් සෑම විටම අනෙකාගේ මතය සඳහා එකඟ නොවීම සිදු වන්නට පුළුවන්.එසේ එකඟ නොවුණත් අනෙකාගේ මතයට ගෞරව කිරීම සහ ඇහුම්කන්දීම ඔබ විසින් කළ යුතුම දෙයක්.අනෙකා ඔබ වෙනුවෙන් කුඩා දෙයක් සිදු කළත් එය අගය කිරීමත් ඉතා හොඳ ලක්ෂණයක්.දෙදෙනෙකු ඔවුන්ගේ සබඳතාවයේදී එකිනෙකාට ගෞරව කරනවා නම් එය ඔවුන්ගේ සබඳතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා මෙන්ම බොහෝ අපහසු අවස්ථාවන් ජය ගැනීමටත් ඔවුන්ට හැකි වනවා.

පුද්ගලත්වය

දෙදෙනෙකු අතර ඇති සබඳතාවයකදී පළමුවෙන්ම තමා විසින් තමාට ආදරය කළ යුතුයි වගේම අනෙකාටත් ඒ අවස්ථාව ලබා දිය යුතුයි. එපමණක් නොව සෑම විටම අනෙකාට පෞද්ගලික අවකාශයක් තිබිය යුතු බවත් , අනෙකාත් ස්වාධීන පුද්ගලයකු බවත් ඔබ තේරුම් ගත යුතුයි.ඔබ දෙදෙනා සබඳතාවය ආරම්භ කිරීමට පෙර දෙදෙනා නියැළුණු විනෝදාංශ , දෙදෙනාගේ රුචි අරුචිකම් අමතක නොකර ඒවාට ඉඩ ලබාදීම ඉතා හොඳ සබඳතාවයක ලක්ෂණයක්

විවෘත සන්නිවේදනය

සන්නිවේදනය මගින් සබඳතාවයක් ඇති කිරීමට හෝ බිඳ දැමීමට හැකියි.ඒ වගේම විවෘත සහ අවංක සන්නිවේදනය ශක්තිමත් සහ ප්‍රීතිමත් සබඳතාවයකට මග පාදයි.විවෘත සන්නිවේදනය යනු ඔබේ සහකරුගේ විනිශ්චය කිරීම සහ තීරණය කුමක් වුවත් ඔබේ අදහස් සහ අප මුහුණපාන ගැටලු පිළිබඳව ඔහු හා විවිධ භාවයකින් යුතුව සන්නිවේදනය කිරීමයි.හොඳ සහ විවෘත සංවාදයක් පැවැත්වීම මඟින් ඉදිරියේදී ඔබ දෙදෙනාට පැන නැගිය හැකි බොහෝ ගැටළු අවම කර ගැනීමට මෙන්ම ඇති වී තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීමටත් හැකියාව ලැබෙනවා

විශ්වාසය

couple in love

සම්බන්ධතාවයක් ආරක්ෂා කරන ප්‍රධාන පුරුකක් ලෙස විශ්වාසය හඳුන්වන්නට පුළුවන්.ආදරය යනු කොතරම් ගෞරවනීය හැඟීමක් වුවත් එය ආරක්ෂා වන්නේ එකිනෙකා කෙරෙහි ඇති විශ්වාසය මතයි.ඔහු සමඟ සිටින විට මෙන්ම ඔහු නොමැති තැන් වලදීත් විශ්වාසය රැක දෙන ලෙස කටයුතු කිරීම ඔබේ වගකීමක්.ඒ අයුරින් සෑම විටම ඔබගේ සහකරු ඔබ කෙරෙහි තබන විශ්වාසය රැකීම මගින් ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවය වඩාත් ශක්තිමත් සහ ප්‍රීතිමත් එකක් කරගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.

හවුල් වගකීම්

බොහෝවිට අඹුසැමියන් අතර ගැටලු පැන නගින කාරණාවක් හැටියට හවුල් වගකීම් හඳුන්වන්නට පුළුවන්.උදාහරණයක් ලෙස නිවසේ ආහාර පිසීම බිරිඳට පමණක් පැවරෙන වගකීමක් ලෙස සැමියෙකු සිතනවානම් එහිදී යම් අවස්ථාවල ගැටළු කාරී තත්වයන් ඇතිවන්නට අවස්ථාව තිබෙනවා.නිවසේ බොහෝ කාර්යයන් බිරිඳකට පැවරෙන නමුත් සියලු වගකීම් බිරිඳ සහ සැමියා එකට එකතු වී එකතුවී සහයෝගයෙන් යුතුව ඉටු කරනවා නම් දෙදෙනා අතර තිබෙන සබඳතාවය ප්‍රීතිමත් සහ ශක්තිමත් එකක් කරගන්නට පුළුවන්

සමාව ගැනීම සහ සමාව දීම

තමා අතින් යම් අතපසුවීමක් සිදු වූ විට අනෙකාගෙන් සමාව ගැනීම මදිකමක් ලෙස බොහෝ විට ඔබ හෝ ඔබේ සහකරුවා සිතන්නට ඉඩ තිබෙනවා.නමුත් ඇත්ත වශයෙන්ම යම් සිදුවීමකට හෝ ගැටලුවක දී අනෙකාගෙන් සමාව ගැනීම මගින් ඔබ දෙදෙනා අතර ඇති සබඳතාවය තවත් ශක්තිමත් වනවා මෙන්ම එකිනෙකා කෙරෙහි ඇති ගෞරවය ද වැඩි වෙනවා.එපමණක් නොව අනෙකා සමාව ඉල්ලන අවස්ථාවේදී සමාව ලබා දීමත් අතිශයින්ම වැදගත්.එමගින් තම සහකරුවා කෙරෙහි ඇති විශ්වාසය මෙන්ම ඕනෑම ගැටලුවක් අනෙකා සමග කතාබහ කර නිරාකරණය කරගත හැකිය යන විශ්වාසනීය සිතුවිල්ල ද සමාව ගනු ලබන කෙනාගෙ සිතෙහි ඇති වනවා

මෙවැනි ලක්ෂණ ඔබේ සබඳතාවයේ තිබෙනවා නම් එහි අර්ථය ඔබට ඇත්තේ ශක්තිමත් සහ ප්‍රීතිමත් සබඳතාවයක් බවයි. ඔබේ සබඳතාවයෙහි මෙවැනි ලක්ෂණ නැතිනම් , ක්‍රම ක්‍රමයෙන් ඒවා වර්ධනය කරගෙන ඔබේත් සහකරුගේත් සබඳතාවයෙහි අනාගතය වඩාත් ශක්තිමත් එකක් කරගන්නට ඔබට අවස්ථාව තිබෙනවා

Related Articles

Don't Miss


Latest Articles