මවකගේ ලෝකය – 5 වන කොටස

මං ඔෆිස් ඇරිල එනකොට දූ හිටියෙ ලැප්ටොප් පරිගණකයට මූණ ඔබාගෙන. මං ගෙට ගොඩ වුණේ දවස පුරා ම වුණ මහන්සිය දූගෙ මූණ දකිද්දි අතුරුදන් වෙලා යනව නේද කියන හිතිවිල්ලත් එක්ක.

“මගෙ සෝස මල”

මං එහෙම කියන ගමං දූගෙ කම්මුලක් මිරිකුව. ඔයා ඒ ගැන නො රිස්සුමක් පෙන්නන ගමන් මුවින් අමුතු හඬක් නගනකොට අම්ම ගෙ හිත පිච්චිලා ගියා පුතේ. අඩු ගානෙ හෝරා ගණනාවකින් දැක්ක අම්මට එක හිනාවක් දෙන්න ඔයාට හිතුණනම්…ඒ වෙලාවෙ මං කොච්චර ප්‍රීතිමත් අම්ම කෙනෙක් ද?

ඔෆිස් එකේ වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් මං තනියම ගෙදර වැඩ කළා. හිතේ තිබුණේ හීන් සංකාවක්. දූ චූටි කාලෙ අම්මගෙ හිත මීට වඩා ආදරේකිං පුරවන්න දූට පුළුවන් වුණා.

“තව කොච්චර වෙලාවකින්ද අම්මි එන්නෙ…”

ඉස්සර ඔයා චූටි කාලෙ, මං ඔෆිස් ගිය ගමංම ඔයා කෝල් කරනව. මගෙ මුවට හිනාවක් එන්නෙ හිත ආදරෙන් පුරවන ගමන්.

“අම්මි ඔෆිස් එකට ආවෙ දැන්නෙ පැටියො”

“ඉතිං දැං එන්නකො ගෙදර”

“අම්මි හවසට එනවනෙ..මගෙ මැණික අම්මම්ම එක්ක පරිස්සමෙං ඉන්න හොඳේ”

“හ්ම්”

ඔයා ඉක්මනින් දුරකතනය තියන්නෙ අම්ම කීව දේ හොඳට තේරුං අරං වගේ..ඒත් තව වැඩි වෙලා යන්නෙ නැතුව ඔයා ආයිත් කතා කරනව.

“අම්මි දැං ගේ ළඟටම ඇවිත්ද…”

මං උත්තර දෙන්නෙ හිනාවකින්.

“අපෝ නෑ. තාම හවස් වුණේ නෑනෙ ඉතිං”

“අම්මි දැං එන්නම ඕනෙ. පුතාට පාළුයි. සෙල්ලං කරන්න ඔයා දැං එන්නම ඕනෙ”

“පුතා දන්නවද ඔයා එක්ක සෙල්ලං කරන්න නැතුව අම්මි කොච්චර පාළුවෙන්ද කියල…”

“අම්මි බොරු කියන්නෙ”

“අනේ ඇයි මැණික එහෙම කියන්නෙ..අම්මි පුතාට කවදාවත් බොරු කියන්නෙ නෑනෙ”

“අම්මි මට ආදරේනං ඔෆිස් යන්නෙ නෑනෙ. මං ළඟටම වෙලා සෙල්ලං කරනවනෙ”

අම්ම ගෙ ඇස් වල කඳුළු පුරවන්න එදා දූ ගෙ හුරතලේ ට පුළුවන් වුණා. කාර්යාලයෙ වැඩ අතරෙ ගෙවෙන අම්මිගෙ වෙහෙසකර ජීවිතේ වෙහෙස දුරලන පවන් පොදක් වුණේ දූ වරින් වර දෙන දුරකතන ඇමතුම්.

“මේ වෙලාවෙ අම්මි ගොඩක් බිසී පුතේ. අපි පස්සෙ කතා කරමුද…”

සමහර කාර්ය බහුල හෝරා වල මං එහෙම කියනවා.

“එහෙනං අම්මි කියන්නෙ…කොච්චර වැඩ තිබුණත් අම්මිට වැදගත් ම මං කියල”

එතකොට මට දී ගන්න උත්තර නැති වෙනව.

“ඔෆිස් එකේ වැඩත් කරන්න ඕනනෙ පුතේ. එතකොටනෙ අම්මිට සල්ලි හම්බ වෙන්නෙ”

තවත් ටික වෙලාවකින් කතා කරල නෝක්කාඩු කියන ඔයාට මං කියනව.

“ඉතිං ඔච්චර සල්ලි මොකටද…ඔෆිස් යන්නැතුව බැංකුවට ගිහිං සල්ලි ගමු”

දරුවො චූටියටම ඉන්නවනං හොඳයි කියල අම්මලට හිතෙන්නෙ ඇයි කියල මට දැං තේරෙනව දුවේ. අම්මල ආසයි දරුවන්ගෙ ආදරේ හැමදාම විඳින්න. එයාල වෙහෙසෙන්නෙ දරුවො වෙනුවෙන්. දරුවන්ට වඩා යහපත් අනාගතයක් හැදීම වෙනුවෙන්. ඕන තරං මහන්සි වෙන්න අම්මටත් පුළුවන්. ඒත් ඒ ඔයාගෙ හිනාව අම්මගෙ ලෝකයට ඉහළින් පායල බබලමින් තියෙනවනං විතරයි.

“අම්මී”

දූ කුස්සියට ඇවිත්. මෙච්චර වෙලා රෑට උයමින් අතීතයෙ හුදෙකලා වෙලා හිටිය මං ඇස් ඉස්සුවෙ තුනී කඳුළු පටලයකුත් එක්ක.

“රෑට මොනාද අම්මි උයන්නෙ…ෆ්‍රයිඩ් රයිස් එකකුයි චිකන් කරි එකකුයි හදමුකො”

මගෙ හිත හෝස් ගාල පිච්චුණා. ඒ වෙද්දිත් මං එළවළු මාළු කපල බතකුත් රයිස් කුකර් එකට දාල.

“කලින් කියන්න එපැයි දරුවො. වචනයක් කතා කරන්නෙ නැතුව අම්ම ගෙදර ආවද කියලවත් වගක් නැතුව ඉන්නව…”

හිතේ තිබුණ දුක ද මන්දා ඒ විදිහට වචන වුණේ.

“ප්‍රොජෙක්ට් එකක් කරන්න තිබුණනෙ. මං ඒක කර කර හිටියෙ…”

දූට දැනෙන්න ඇති මගෙ හිත දුකෙන් කියල.

“අනේ අපි රයිස් එකක් හදමුද අම්මි…”

දූ මගෙ පිටිපස්සෙන් ඇවිත් මාව බදා ගත්තා. මං අනිත් පැත්තට හැරිල ටික වෙලාවක් දූ ව වැළඳගෙන හිටිය. අම්ම කෙනෙක්ට දුවෙක් තරං ආඩම්බරයක් තව නෑ. දුවෙක්ටත් අම්ම කෙනෙක් තරං යෙහෙළියක් තව ඉඳියි කියල හිතන්න අමාරුයි.

“හ්ම්. හදමුකො එහෙනං”

කපල ගත්ත එළවළු උදේට උයන්න එහෙමම ෆ්‍රිජ් එකට දාල මං ආයෙ දූ ට ඕන කිව්ව විදිහෙ කෑම වේලක් හැදුවා. දූ කුස්සියෙ පුටුවෙ ඉඳගෙන ඉස්කෝලෙයි යාළුවන්ගෙයි කතා කිය කිය හිටියා. මීට ටික වෙලාවකට කලින් මගෙ හිතේ තිබුණ සන්තාප සිතිවිලි කොහේ ගියාද කියල නෑ.

“හම්මේ සුවඳ. අද මෙහෙ පාටි එකක්ද..”

දූ ගෙ තාත්තා ඔෆිස් ඇරිල කෙලින් ම කුස්සියටයි ආවෙ. මායි දූයි දෙන්නම හිනා වුණා.

“මෙයාට ෆ්‍රයිඩ් රයිස් ඕන කියනවනෙ”

මං කිව්වෙ දූයි තාත්තයි දෙන්නම දිහා ආදරේ පිරුණ ඇස් දෙකකින් බලන ගමන්.

“එයා කිව්වොත් නං ඕන දෙයක් ඒ වෙලාවෙම හදල දෙයි. අපි කිව්වොත් තමයි හෙට බලමු අනිද්දට බලමු කිය කිය ඉන්නෙ”

එයා නෝක්කාඩුවක් කියා ගෙන යන්න ගියා.

“මොනාද අම්මි තාත්ති හදල ඉල්ලන්නෙ…”

දූ හයියෙන් හිනා වෙලා ඇහුවා.

“වටලප්පන්. ඔන්න දැං ඒකත් හදල දෙනව. නැත්තං ඕක කියවයි තව අවුරුද්දක් යනකල්”

“ඉතිං අම්මිට මහන්සිනෙ”

මං දූ දිහා බැලුවෙ මොන විදිහෙ හැඟීම් ගොන්නක් පිරුණු ඇස් දෙකකින්ද කියල මට ම හිතා ගන්න බෑ. දුවේ…අම්ම කෙනෙකුට, බිරිඳකට එයාගෙ මුළු ලෝකයම එයාගෙ පවුල. පවුලේ අයගෙ සතුට වෙනුවෙන් කරන්න බැරි දෙයක් අම්ම කෙනෙකුට නෑ. පවුලේ අයව සතුටෙන් තියන්න කැප කරන්න බැරි දෙයක් නෑ. ඔය දෙන්නා හිනා වෙලා ඉන්නවනං අම්මගෙ ලෝකෙ ඉරයි හඳයි එක වර ම පායන බව ඔයා දන්නෙ නෑ.

More Stories

Don't Miss


Latest Articles