දිගු කාලීන ප්‍රේම සම්බන්ධයක් විවාහය තෙක් රැගෙන යන්නේ මෙහෙමයි.

ඇත්තටම කවදද කසාද බඳින්නේ..”ආදර සම්බන්ධතාවයක් පටන් අරගෙන ටික කාලයක් යනකොට බොහෝ ගැහැණු ළමයින්ට ඇති වෙ අ ප්‍රශ්නයක් තමයි ඒ.සාමාන්‍යයෙන් බොහෝ සම්බන්ධතා වසර පහක්වත් පවත්වා ගෙන යාමෙන් අනතුරුව  විවාහ ජීවිතයට ඇතුල් වෙන්න බොහෝ යුවළවල් ක්‍රියා කරනවා.ඒත් සමහරුන්ට ඒ දේ විදියට කරගන්න ඉඩ ලැබෙන්නේ නැහැ.එයට හේතුව වෙන්නේ සමහර ආදර සම්බන්ධතා පාසල් කාලයේ ම ආරම්භ වීම වගේ හේතු.එසේත් නැතිනම් අතිශය පෞද්ගලික හේතු නිසාත් සමහරුන්ගේ විවාහයන් කල් යනවා.ඒ වගේ ආදරයක් රැකගන්න ඔබට කරන්න පුළුවන් මොනවද? ආදරය හැමදාමත් නැවුම්ම තබාගන්න මෙන්න මේ කාරණා අනුගමනය කරන්න පුළුවන්.විවාහය සිදු වන තුරුම ආදරය ප්‍රවේසම් කරගන්න මේ කාරණා ඔබට උදව් වේවි.

1.යහපත් සන්නිවේදනයක් පවත්වා ගන්න

සාමාන්‍යයෙන් ආදරය කරන්න පටන් ගත්ත අලුත අපි නිතරම සහකරු සමග හොඳ සන්නිවේදනයක් පවත්වා ගෙන යනවා.නිතරම ඇමතුම් ලබා දෙනවා.ඔහු ගැන සොයා බලනවා.නමුත් කාලයත් එක්ක කතා කරන්න තියෙන දේවල් අඩුවෙලා ගිහින් කතාබහ කිරීම ඉතා සුළු කාලයකට සීමා වෙන්න පුළුවන්.එහෙම වෙන්නට ඉඩ දෙන්න එපා.

2. අනෙකාට සෑම විටම නිදහස ලබාදෙන්න

සමහර වෙලාවට “එයාට මට වඩා හොද කෙනෙක් ලැබුණොත්”  වගේ හැඟීම් වලින් ඔබ පීඩනයට පත් වෙන්න පුළුවන්.ඔබ යොවුන් වයසෙදි ආදරයෙන් බැඳුණා නම් විශ්ව විද්‍යාලයේදී, රැකියාවේදී ඔබේ ආදරවන්තයාට වෙනත් ආදරවන්තියක් මුණගැසේවි වැනි සැකයන්ගෙන් පීඩිත වන්නට ඉඩ තිබෙනවා.එසේ වන්නට එපා.නිතරම ලබාදිය යුතු නිදහස ලබා දෙන්න.එසේ නොමැතිව නිරන්තරයෙන් ගැටුම් ඇති කර ගන්නටත් නිදහස පාලනය කරන්නටත් යාම ඔබ දෙදෙනාගේ සම්බන්ධය පළුදු වන්නට හේතුවක් වේවි.

3. අවශ්‍යතා සහ කැමති දේවල් මතක තබා ගන්න.

දිගුකාලීන සම්බන්ධතාවයක් පවත්වාගෙන යද්දී අපි සහකරු ගැන යාවත්කාලීන වීම නැවතී යන්නට පුළුවන්.ඔහු සමඟ ආහාර ලබා ගන්නට පිටතට ගිය මොහොතකදී ඔහුගේ ප්‍රියතම කෑම වට්ටෝරුව අමතක වීමේ සිට ඔහුගේ උපන් දිනය,ඔබේ ප්‍රේම සංවත්සරය අමතක වීම වැනි කාරණා සිදුවන්නට ඉඩ තිබෙනවා.ඒ වන්නට ඉඩ තබන්නට එපා.

4.අනාගතය ගැන නිතරම සිහින දකින්න

ඉක්මනින් විවාහ වන අපේක්ෂාවෙන් ආදරය කරන අය විවාහ උත්සවය පවත්වන ආකාරය,ඔබේ මංගල ඇඳුම,විවාහයෙන් පසු ජීවත් වන්නේ කොහේද වගේ කාරණා ගැන නිරන්තරයෙන් සාකච්ඡා කරන්නට වැඩි ඉඩක් තිබෙනවා.නමුත් ඔබ විවාහයට තව බොහෝ කල් ඇති බව සිතමින් එවැනි කාරණා කතාබහ කිරීම අතපසු කරන්නට එපා.ඒ සිහිනය දිනෙක දකින බවට ඔබටම තහවුරු කර ගන්නට එවැනි මාතෘකා ඔබ දෙදෙනා අතර සංවාදයට  ගැනීම හොඳ දෙයක්.

5. ඔහුගේ සිහින වෙත යන්නට ඉඩ හරින්න.

ඔහු වැඩිදුර ඉගෙන ගැනීම පිණිස විදේශගතවීම,රැකියාව වෙනුවෙන් දුර පළාතකට යාම වගේ දේවල් විවාහය කල් දමන බව සිතා කෝපි සමග ගැටුම් ඇති කර ගන්නට යන්නට එපා.ඒ වෙනුවට ඒ සිහිනයට යන්නට ඔහුට ඉඩ හරින්න.එය ඔහු ඔබ වෙත දිගටම රඳවා තබා ගැනීමට දාන ම සාධකයක් වේවි.

6. මුණගැසෙන සෑම මොහොතකම ආදරයෙන් ඉන්න.

“නිතර දකින කුකුළාගේ කරමලය සුදුයි” කියන කාරණාව විවාහයකට අදාළ වන්නේ නැහැ.ඒ නිසා ඔහු කාලයක් තිස්සේ ඔබට සමීපව සිටීම මුණ ගැසෙන අවස්ථාවන්හිදී ඔහුව නොසලකා හරින්නටත් එතරම් ආදරය නොපෙන්වා සිටින්නටත් හේතුවක් කර ගන්නට එපා.ආදරය එතරමට සජීවී දෙයක්.හැම මොහොතකම ආදරයෙන් පිරී හිඳින්න.

ආදරය වයින් වගේ කියන කාරණාව ඔබ වැනි දීර්ඝ කාලීන සම්බන්ධතා පවත්වන කෙනෙකුට මතකයේ තබා ගන්නටම අවශ්‍ය කාරණාවක්.විවාහය අත පොවන මානයක නොවීම ගැන දුක් වන්නට එපා.ආදරය කිරීම සිරිතකට කරන්නටත් එපා.හැම මොහොතකම ආදරයෙන් පිරෙන්න,ආදරයෙන් ජීවත් වෙන්න.

Related Articles

Don't Miss


Latest Articles