ආදරය වෙනුවෙන් රාජකීයත්වය ඉවත දැමූ ජපන් කුමරිය.

ආදරය වෙනුවෙන් රජ කිරුළු අත් හළ රාජකීයයන් ඉතිහාසය පුරා අපට හමු වෙනවා.ඉතිහාස කෘති සහ ප්‍රබන්ධ කතා වලින් කියවා ඇති ඒ ආදර කතා හැරුණු විට එවැනි කතාන්දරවලට නිදසුන් වර්තමානයේ ද පවතිනවා.හැරී කුමරු මේගන් කුමරිය නිසා රාජකීයත්වයට සමු දී තවම එතරම් කාලයක් නැහැ.රජ කිරුළු අත් හළ ආදර කතා අතරට අලුතින් එක්වන්නී ජපන් කුමරියක්.ඇය,මාකෝ කුමරියයි.

මාකෝ කුමරිය ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයාගේ මිනිපිරියයි.ඇය තම විශ්ව විද්‍යාල පෙම්වතා වූ කේ කොමෝරෝ සමඟ විවාහ වන්නට තීරණය කළේ 2017 මැයි මාසයේ දී.මාකෝ නයිෂින්නා කුමරිය , 1991 ඔක්තෝබර් 23 උපන්නියක්.ඔටුන්න හිමි ෆුමිහිතෝ කුමරුගේ සහ කිකෝ කුමරියගේ වැඩිමහල් දියණිය ඇයයි.මාකෝ කුමරිය නරුහිටෝ අධිරාජ්‍යයාගේ ලේලිය වන අතර එමරිටස් අකිහිතෝ අධිරාජ්‍යයාගේ සහ එමරිටා මිචිකෝ අධිරාජ්‍යයාගේ වැඩිමහල් මිණිබිරිය ද වනවා.මාකෝ කුමරියට කාකෝ කුමරිය නම් නැගණියක් සහ හිසාහිතෝ කුමරු නම්.මල්ලි කෙනෙක් සිටිනවා.ඇය ජපානයේ මූලික අධ්‍යාපනය ලබා අයර්ලන්තයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරු තරුණියක්.

2017 මැයිමාසයේ විවාහය ගැන නිවේදනය කරත් යම් යම් අර්බුද නිසා මාකෝ කුමරියගේ විවාහය කල් දැමුණා.ඉන් ප්‍රධානම ගැටලුව වූයේ කොමුරෝගේ මවගේ මුල්‍ය ගැටලුවක්.කුමරියගේ පියා විවාහයට පෙර මුල්‍ය ගැටලු විසඳා ගන්නට පවසා ඇතත් මාලිගය ප්‍රමාදයට ඒ හේතුව සම්බන්ධ නැති බව පවසනවා.

සියල්ල අවසානයේ රජ පවුල අත් හළ ඈ අද තමන්ගේ ආදරවන්‍තයා සමඟ විවාහ වෙනවා.2021 ඔක්තෝම්බර් විසි හය වෙනිදා ජපන් ඉතිහාසය අලුතින් ලියැවෙන්නේ ඒ නිසා.

Japan's ptincess mako

මාකෝ කුමරියගේ රාජකිය තත්වය අදින් පසු බල පැවැත්වෙන්නේ නෑ.ජපන් අධිරාජ්‍යයේ රාජකීය යුවතියක් සාමාන්‍ය කෙනෙකු හා විවාහ වූ පසු ඇගේ රාජකීය බව අහෝසි වී සාමාන්‍ය කෙනෙකු බවට පත් වෙනවා.මාකෝ කුමරිය රාජකීය විවාහ සිරිත් ද ප්‍රතික්ෂේප කළ අතර රාජකීය කාන්තාවන් පවුලෙන් පිට වෙද්දී ගෙවන ගෙවීම ද ප්‍රතික්ෂේප කළා.ඒ කාරණා දෙකම ඉවත දැමූ පළමු ජපන් රාජකීය කාන්තාව ද මාකෝ කුමරියයි.

විවාහයට පසු කොමුරෝ මහතා නීතිඥවරයෙකු ලෙස සේවය කරන අතර නව යුවල ඇමරිකාවේ පදිංචියට යන්නට නියමිතයි.”ජපන් හැරී සහ මේගන්” ලෙස කොමුරෝ සහ මාකෝ හඳුන්වන්නේ මේ හේතුව නිසා.මේගන් කුමරිය මෙන්ම කොමුරෝ මහතාටත් නොයෙකුත් ගැටලු ඇති වී තිබෙනවා.ඔහුගේ හැසිරීම් සහ කොණ්ඩා මෝස්තර පවා විවේචනයට ලක් වූ අවස්ථා ඕනෑතරම්.

විවාහය ලියාපදිංචි කරන්නට තමන්ගේ ටෝකියෝ නිවසින් පිටවද්දී මාකෝ කුමරිය දෙමාපියන්ට වැඳ සමුදුන් බවත් සහෝදරිය වැලඳ ගත් බවත් කියෝඩෝ ප්‍රවෘත්ති සේවය ඇතුළු ජපන් මාධ්‍ය අනාවරණය කරනවා.එය ඇත්තටම පහසු සමු ගැනීමක් වන්නේ නැහැ.නව යුවළ අද මාධ්‍ය සාකච්ඡාවකට ද මුහුණ දෙන්නට සූදානම් අතර තෝරා ගත් ප්‍රශ්න පහකට ලිඛිත පිලිතුරු දෙන්නට ඔවුන් සූදානම්.වාචික ප්‍රශ්න වලට පිළිතුරු දීම තමන්ට දැඩි කනස්සල්ලක් බවයි මාකෝ කුමරිය පවසන්නේ.වසර ගණනාවක් පුරා මාධ්‍යයේ දැඩි සෝදිසි කිරීම් නිසා කුමරියට ආතති තත්වයක් ද පවතිනවා.

Japan Royal Family

මේ තිස් හැවිරිදි ආදරවන්තයන් දෙදෙනා පා තබන්නේ මල් මාවතකට නොවේ. බොහෝ හැලහැප්පීම් මැද රැක ගත් ආදරයේ මිහිරිම මොහොතට අද එළඹුණත් මෙතැනින් එහා ඔවුන්ගේ ලෝකය සුන්දර සුරංගනා ලෝකයක් ම නෙවෙයි.

“ආදරය සහ රාජකීයත්වය අතරින් මම ආදරය තෝරා ගත්තා..”

මාකෝ කුමරිය මාලිගය හැර දමා මහ පොළොවට පිවිසෙන්නේ එසේ පවසමින්. සකුරා මල් පිපෙන සුන්දර ආසියාතික දේශය අත් හැර දමා ඇමරිකාවේ අතිශය සාමාන්‍ය ජීවිතයකට සතුටින් පිවිසෙන මාකෝ කුමරිය ලෝකයට පහදා දෙන්නේ සරල එහෙත් ගැඹුරු කාරණයක්.

“ආදරය තරම් ඉමිහිරි තෝරා ගැනීමක් තවත් නැහැ”

රාජකීයත්වය හැර දමා ප්‍රේමණීයත්වය තෝරා ගත් ගැහැනියටත් ඇය සාමාන්‍ය ජීවිතයක් තෝරා ගැනීම පිළිගෙන රජකුමරියට නොව තම ආදරවන්තියට ආදරය කරන මිනිසාටත් සුබ මංගලම්!!

Related Articles

Don't Miss


Latest Articles