සාර්ථක විවාහයකට කැමති නම් කිසි විටෙක මේ දේවල් සැමියාට කියන්න එපා.

විවාහ ජීවිතය කියන්නේ දෙදෙනා අතර සහයෝගය සහ තේරුම් ගැනීම සහිත ගමනකට බව අපි හැම කෙනෙක්ම හොඳින් දන්නවා. විවාහයෙන් පස්සේ බොහෝ කාන්තාවන් තමන්ගේ Soul mate වගේම Best Friend කියන තැන දෙන්නෙත් තමන්ගේ සැමියාට.එහි වරදක් නෑ.ඕනෑම දෙයක් ඔහු එක්ක බෙදා ගන්න, හිතට එන ඕනෑම දෙයක් ඔහුට කියන්න අපි දෙපාරක් හිතන්නේ නෑ තමයි.

ඒත්,මේ වගේ කාරණා සැමියා එක්ක බෙදා ගැනීම ඔබේ විවාහ ජීවිතයට ඒ තරම් හොඳ නෑ කියන එක තමයි අපේ යෝජනාව. මොකද දන්නවද? ඔබ හරිම Toxic Person කෙනෙක්, අනිත් කෙනාව විනිශ්චය කරන කෙනෙක්, අතීතයෙන් තොර ජීවිතයක් නැති කෙනෙක් කියලා ඔබේ සැමියා ඔබ කෙරෙහි අපැහැදීමක් ඇති කරගන්න මේ කාරණා හේතු වෙන්න පුලුවන්.

අතීත ප්‍රේමවන්තයන් සමඟ ඔහුව සැසඳීම.

අපි කාටත් අතීතයක් තියෙනවා.අතීතයේ සමහර කාරණා අතීතයේ වළදාලා අපිට අනාගතය කරා යන්න සිදු වෙනවා.එහෙම නොකර “මගේ Ex Boy Friend නම් ඔහොම නෑ, එයා කන්න කැමති මේ දේවල්, අපි මේ ට්‍රිප් එක මීට කලින් ගිහින් තියනවා”වගේ කතා ඔබ සැමියාට කියන්න එපා.පැරණි ප්‍රේමවන්තයන්ගේ ගුණ වර්ණනා කරමින් ඔබ නිතරම අතීතයේ ජීවත් වීම ඔහුට ඔබව ඉක්මනින් එපා කරන්න සමත් වෙනවා නිසැකයි.

ඔහුගේ පැරණි වැරදි නිතර මතක් කිරීම.

“මීට මාස එකොළහයි දවස් දහයකට කලින් හයියෙන් වැස්සක් වැස්සා මතකද? එදා ඔයා අර පාටි එකේ හැසිරුණු විදිය මට තාම මතකයි” වගේ කතා ඔහුව කම්පනයට වගේම කෝපයට පත් කරන්න සමත් වෙනවා.ඔහු මුණ ගැසුණු දවසේ ඉඳලා කරපු වැරදි එකින් එක මතක තියාගෙන වරින් වර මතක් කරන්න එපා. ගැටලුවක් තියෙනවා නම් ඒ මොහොතේම විසඳගන්න.පසුව එය අමතක කරලා දමන්න.එහෙම නැතුව පරණ මළකුණු කර තබා ගෙන යාම ඔබේ විවාහ ජීවිතය සහමුලින්ම අවුල් කරන්න සමත් වන දෙයක්.

ඔහුගේ නෑදෑයින්ට ඔහු සමග බැන වැදීම.

“ඔයාගේ අම්මට ඕන්නැති දෙයක් නෑ නේද?, අර ඔයාලගේ නැන්දාගේ දුව පාටි එකේ ඇඳන් හිටපු ඇඳුම හරිම කැතයි, ඇයි අනේ ඔයාලගෙ මල්ලී ඔච්චර බොන්නේ?” මෙන්න මේ වගේ වැඩකට නැති ඕපාදූප ඔබ ඔහුට කියනවද? මෙන්න මේ මොහොතේ ඉඳන්ම ඒ වැඩේ නතර කරන්න. විනිශ්චය කරන එක හරිම කැත වැඩක්.සැමියා එක්ක ඔහුගේ නෑදෑයන්ව විනිශ්චය කරමින් බැන වදින එක ඉතාම කැත වැඩක්.ඒ නරක පුරුද්ද ආයේ කරන්න එපා.

වෙනත් කාන්තාවන්ට බැන වැදීම

ඔබට ඕනෑම දෙයක් බෙදා ගන්න ඉන්නේ ඔහු බව සැබෑවක්. කාර්යාලයේදී ඔබට බොහෝ හිරිහැර කරන්නියක් ගැන අදහස් බෙදා ගැනීම ඔබට සැනසීමක් බව ඇත්ත.ඒ වගේ කාරණා ඔහු හොඳින් තේරුම් ගනීවි.නමුත් පාරේ දකින ගෑනු ළමයි කොටට ඇඳීම, අල්ලපු ගෙදර කාන්තාවගේ කටේ සැර,කාර්යාලයේ කෙනෙකුගේ Fashion Styles වගේ දේවල් ඔහු එක්ක කියමින් බනින්න එපා.ඔබ කොරහෙත් කිඹුල්ලු දකින්නියක් බවත්, සෑම මොහොතකම අනුන්ට බැන වදින්න සහ කතන්දර කියන්න බලා සිටින්නියක් බවත් ඔහු සිතුවොත් එය ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි.

මිතුරියන්ගේ අනවශ්‍ය රහස් සැමියාට හෙළි කිරීම.

මෙය ඔබේ විවාහ ජීවිතයට වගේම මිත්‍රත්වයට පවා කැළලක් සිදු වන දෙයක්. ඔබේ මිතුරිය ඇගේ පැරණි පෙම්වතා ගැන, ඇගේ ලිංගික ජීවිතය ගැන, ඇගේ සෞඛ්‍ය ගැටලුවක් ගැන ඔබට යමක් කියන්නේ ඔබ ගැන දැඩි ව්ශ්වාසයෙන්. ඔබ සහ සැමියා දෙදෙනෙකු නොව එක් අයෙක් කියලා ඔබ හිතුවාට මිතුරියට ඔබත් ඔහුත් සම්පූර්ණයෙන් වෙනස් චරිත දෙකක්.ඔබ හොඳ මිතුරියක් නම් ඔබේ මිතුරියන් ඔබ විශ්වාස කරමින් ඔබට කියන ඔවුන්ගේ අතිශය පෞද්ගලික කතා වහාම සැමියාගේ කනේ තබන්න එපා.විවාහය තුළ රහස් තිබිය යුතු නැහැ තමයි.එහෙත් මිත්‍රත්වය කියන්නේ අනෙකාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමටයි.

විවාහය ගැන පැමිණිලි කිරීම.

“මං මගෙ ජීවිතේ කරපු මෝඩම වැඩේ ඔයාව මැරි කරපු එක.”ඔබත් මේ වගේ කතා කියන කෙනෙක් නම් ඒ විකාර වැඩේ අදම නතර කරන්න.හස්බන්ඩ් කෙනෙක් තමන්ගේ වයිෆ් කියනවට අකමැතිම කතාවක් තමයි ඒ.ඔබට ඔහු ගැන ගැටලුවක් තිබේ නම් සාකච්ඡා කරලා ප්‍රශ්නය විසඳා ගැනීම හෝ උපදේශනයට යොමු වීම කළ යුතුයි.එහෙම නැතුව බාල වර්ගයේ චෝදනා කිරීම,ඔහුට ඇනුම්පද කීම,විවාහය ගැන පැමිණිලි කිරීම ඔබ දෙදෙනා දවසින් දවස එකිනෙකාගෙන් ඈත් කරනවා මිස වෙන යමක් සිදු කරන්නේ නෑ

මිතුරියන්ගේ සැමියන් සමඟ ඔහුව සැසඳීම.

ඔබේ මිතුරියන් Social Media වල ඔවුන්ගේ සැමියන් ගැන ලියන දේ කියවීමෙන් හෝ ඔවුන්ගේ රසබර ආදර කතා අසා හිඳීමෙන් පසු ඔබේ විවාහය ගැන කළකිරෙන්න එපා.”අහවලාගෙ සැමියා නම් මෙහෙමයි, ඇයි ඔයා මේ වගේ හැසිරෙන්නේ..” කියමින් සැමියාට චෝදනා කරන්නට පටන් ගත්තොත් ඔහු ඒ අය අනුගමනය කරන්න යන්නේ නැහැ.සිදු වෙන එකම කාරණාව ඔහුට ඔබ එපා වී යාම පමණයි.

ඔහු කැමති දේ සහ විනෝදාංශ වලට අපහාස කිරීම.

ඔබේ සැමියා වගා කරන්න කැමති කෙනෙක්ද? Hiking,Traveling වලට කැමති කෙනෙක්ද? එහෙම නැත්නම් ඔහු කැමති Computer Games play කරන්නද? ඔබ මේ කිසිවකට අකමැති වෙන්න පුලුවන්.ඒත් ඒවාට අපහාසාත්මක ලෙස ඔබේ අදහස් ප්‍රකාශ කරන්න එපා.එකිනෙකාගේ ආශාවන් සහ කැමතිවීම් වෙනස් බව වටහා ගන්න.ඔබ තේ වලට කැමති වූවාට කමක් නැහැ.ඔහු කැමති කෝපි කෝප්පය ආදරයෙන් සාදා දෙන්න.අපහාස කිරීම සහ බැන වැදිමෙන් ඔහු ඔහුගේ විනෝදාංශ වෙනස් කරගන්නේ නැහැ.නමුත් සැකසිය නොහැකි පළුදුවීම් නම් ඇති වෙන්න පුලුවන්.

මේ සියලු කාරණාවලින් ඔබ තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. වචන කියන්නේ ඉතා ප්‍රවේසමෙන් පාවිච්චි කළ යුතු දෙයක්.අපි අපේ ජීවිතයේ සමීපම කෙනා සමඟ පවා කිව යුතු දේ වගේම නොකියවිය යුතු දේවල් තිබෙනවා.ඕනෑම සම්බන්ධතාවයකට බොහෝ බලපෑම් ඇති කරන්න වචන වලට පුලුවන් කියලා අමතක කරන්න එපා.

අන්න ඒ නිසා කට පරිස්සම් කරගෙන ආදරේ කරන්න. Family Life එක ගත කරන්න.

Related Articles

Don't Miss


Latest Articles