අනියම් බිරියකුත් සිටියදී උසාවියේදී සුදනෙකු වන්නට ගිය සැමියෙකුට අත් වූ ඉරණම.

නීතිඥ හසිතනී උපේන්ද්‍රා ජයරත්න මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් සකසා ඇත.වෘත්තිය ආචාරධර්ම වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ.)

රුවන් සහ චමිලා විවාහ වන්නේ ප්‍රේම සම්බන්ධයකින්. රුවන් පෞද්ගලික ආයතනයක විධායක මට්ටමේ රැකියාවක නිරත වූ අයෙක්. ඔහුගේ වැටුප ඉතා ඉහළ එකක් වුණා. චමිලා පෞද්ගලික බැංකුවක රැකියාවක් කළා. ඔවුන්ට දියණියන් දෙදෙනෙක් ලැබෙන්නේ ඉතා අඩු වයස් පරතර වලින්

“මේ දෙන්නා බලා ගන්නෙපැයි මං රස්සාවෙන් අස් වෙනවා.”

චමිලා එහෙම තීරණයක් ගන්නේ රුවන්ගේ ද අනුමැතිය ඇතිව. ඉන්පසු ඔවුන් රුවන්ගේ සේවා ස්ථානයට ඉතා ළඟ තැනක පදිංචියට එනවා.

සැමියා නාවික නිලධාරියෙක් වෙන සිවු දරු මවක් වූ ඇන්ජලා රුවන්ට මුණ ගැහෙන්නේ ඔය කාලයේදී. ඔවුන් අතර ඇති වෙන හිතවත්කම අනියම් ප්‍රේමයක් දක්වා වර්ධනය වෙනවා. එය ඉතා තදබල ප්‍රේමයක් වන්නේ ඉතාම ඉක්මනින්.

චමිලාට මේ අසම්මතය ගැන ඉව වැටෙනවා. ඉන්පසු ඕනෑම නිවසක මෙන් තදබල ගැටුම් හටගන්නට පටන් ගන්නවා. ඇයට කන්නට බොන්නට පවා නොදෙන්නට තරම් රුවන් නරුමයෙක් වෙන්නේ ඒ තරමට අසම්මතය ඔහුට රස වැටී තිබූ නිසා.

“මං ඉගෙන ගත්තු මනුස්සයෙක්. ගේ අස්සේ ඉඳගෙන දුක් විඳින් නෑ.”

පෞද්ගලික බැංකු කිහිපයකටම නැවත අයදුම් පත්‍ර යවන්නට චමිලා වග බලා ගන්නවා. ඇයට ඉක්මනින් රැකියාවක් ලැබෙන අතර දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක තබා ඇය රැකියාවට යනවා. නමුත් එපමණකින් සෑහෙන්නට ඇයට බැහැ. දරුවන් වෙනුවෙන් නඩත්තු නඩුවක්  ඇය පවරන්නේ ඉන්පසුවයි. ඇන්ජලාගේ වරද ඔප්පු කරගන්නට වීඩියෝ සාක්ෂි පවා චමිලා එකතු කරගන්නවා.රුවන් පළමු දරුවාට නඩත්තු ගෙවන්නට එකඟ වෙනවා. දෙවැනි දරුවා ඔහුගේ නොවන බව කියමින් DNA වාර්තා අවශ්‍ය බව කියමින් රුවන් ඉතා විකාර සහගත ලෙස හැසිරෙන්නේ චමිලා ලැජ්ජාවට පත් කරමින්. එසේ පවසා ඔහු අධම පියවරක් ගන්නට පසුබට වෙන්නේ නෑ.

“චමිලාගේ දෙවැනි ළමයා මගේ නෙවෙයි. ඒ නිසා මම දික්කසාද නඩුවක් දානවා.”

සැමියාගේ අනාචාරය දෑස් ඉදිරිපිට පෙනෙන්නට තිබියදී චමිලාට පුදුමාකාර වේදනාවක් අත් කරදෙමින් ඇය දික්කසාද නඩුවක විත්තිය බවට පත් වෙනවා.ඇයට කරකියා ගන්නට දෙයක් නැතත් සත්‍යය කවදා හෝ ජයගන්නා බව සිතමින් ඇය නඩත්තු නඩුවට පෙනී සිටින අතරම විත්තිකාරිය වී දික්කසාද නඩුවට පෙනී සිටිනවා.

මේ නඩු දැමීමෙන් පසු රුවන් අලුත් පියවරකට යනවා. ඔහු ඇන්ජලා සමඟ නිවසක් කුලියට ගෙන ප්‍රසිද්ධියේ එකට ජීවත් වෙන්නට පටන් ගන්නවා. නමුත් ඔවුන්ගේ ජීවිතය මල් යහනාවක් වන්නේ නැහැ. රුවන්ගේ රැකියාව පවා මේ කාලයේදී නැති වී යනවා.

සත්‍යය සෑම විටම ජය ගන්නවා. චමිලා කිසිම අයුරකින් අනාචාරයේ. හැසිරුණු ගැහැනියක නොවේ. බාල දරුවාගේ DNA වාර්තාව ලැබෙන්නේ රුවන් ඒ දරුවාගේ පියා බව ඔප්පු කරමින්.

මේ අතර රුවන් දික්කසාද නඩුවට පැමිණීම අත් හැර දමනවා. ඔහු නීතිඥ ගාස්තු ගෙවීම පවා මඟ හරින්නට ගන්නා අතර ඒ නිසා නීතිඥවරයා ද නඩුවට පැමිණෙන්නේ නැහැ. ඉන්පසු විත්තිය පාර්ශවය පමණක් සැලකිල්ලට ගනිමින් නඩුව ඇසීම ඇරඹෙනවා.

ඉන්පසු ඇයට නෛසයි තීන්දුව ලැබී දික්කසාදය ලබා ගන්නට හැකියාව ලැබෙනවා.

දැන් චමිලා රැකියාව කරමින් ඉතා කාර්යබහුල එහෙත් සුන්දර ජීවිතයක් ගත කරනවා. ඇය රැකියාවේ උසස්වීමක් ද ලබාගෙන ඇති අතර කුඩා මෝටර් රථයක් පවා මිලට ගෙන අවසන්. ඇයට දෙමාපියන්ගේ සහයෝගය ද හිමි වෙන අතර දරුවන් පාසල් යවමින් ඔවුන්ව රැක බලා ගනිමින් ඇය බොහොම වැදගත් ජීවිතයක් ගත කරනවා. රුවන් හෝ ඇන්ජලාගේ ප්‍රේමය කඩාකප්පල් වී ගිය අපිට ඉතා මෑතකදී ආරංචි වුණා.

චමිලාගේ කතාවෙන් ඔබට මතු කරන නීතිමය කාරණාව මෙයයි.  නඩුවක් ගොනු කළ නමුත් ඇතැම්විට තමන්ට අවාසි සහගත තීරණ ලැබෙන බව පැහැදිලි වෙද්දී සමහර පැමිණිලි පාර්ශවයන් නඩු අත් හැර දමන්නට තීරණය කරනවා. නමුත් ඔබ නිවැරදි නම් කිසිම අයුරකින් නොපැකිල නඩුව ඉදිරියට ගෙන යන්න. විත්තියේ පාර්ශවය වූවාට ඔබට නඩුවේ ජයග්‍රහණය ලබා ගන්නට හැකියාව තිබෙනවා.

Related Articles

Don't Miss


Latest Articles