මවකගෙ ලෝකය – 06 කොටස

අල්ලපු ගෙදර සනූ දුව පිරිමි ළමයෙක් එක්ක ගෙදරට වහං වෙලා යන්න ගිහින්. ඒ බව දැන ගත්ත උදේ පාන්දර ඒ පැත්තෙන් ඇහුණෙ මහ විලාප හඬක්. කාට හරි ලෙඩක් දුකක් කරදරයක්ද කියල දැන ගන්න මාත් ඉක්මනට ඒ පැත්තට ගියා.

“අනේ බලන්න රමී…මේ දරුවා කර ගෙන තියෙන අපරාදයක්. කෙල්ලව රවට්ටගෙන රමී. නැත්තං මේ පිරිමියෙක් එක්ක පැනල යන්න වයසක්ද….මේ කෙල්ල මේ අම්මගෙ පපුවට මෙච්චර ගින්දරක් දෙයි කියල ම හීනෙකිංවත් හිතුවෙ නෑ රමී”

සනූ දුවගෙ අම්ම මාව වැළඳ ගෙන අඬන්න පටන් ගත්ත. මගෙ ඇස් වලිනුත් කඳුළු ගලාගෙන ගියේ මාත් දුවෙක්ගෙ අම්ම කෙනෙක් නිසා වෙන්න ඇති.

දරුවෙක් කියන්නෙ අම්මා කෙනෙක් ගෙ ශරීරයෙම කොටසක්. පෙකණි වැලකින් අම්මගෙ සිරුර ට සම්බන්ධ වෙලා හිටිය කෙනෙක් තමයි දරුවෙක් කියක්නෙ. ඒක නිසාමද මන්දා දරුවො කරදරේක වැටෙනකොට වරදක බැඳෙනකොට අම්ම කෙනෙක්ට ඉවසගෙන ඉන්න බෑ. දරාගෙන ඉන්න බෑ. ඒකයි ඒ තරම් දුක. ඒකයි ඒ තරම් කඳුළු.

“බලන්න රමී. අපි ආදරේ කළේ නැද්ද මේ ළමයින්ට. ඇත්ත. අපි රස්සා වලට ගියා. රෑ වෙලා ගෙදර ආව. අපිට ළමයි එක්ක දවස පුරාම එකට ඉන්න වෙලාවක් තිබුණෙ නෑ. ඒත් රමී අපි පණ නැහීගෙන රස්සාවල් කළේ ආසාවටද…උන්ට හොඳට උගන්නල හොඳ ජීවිතයක් උදා කරල දෙන්න ඕන කියන හැඟීමෙන් නේද…ඉතිං අපි කරපු හැම දේම ගඟට කපපු ඉණි වගේ අපතේ ගිහිං නේද රමී…”

ඒ දුක අහගෙන ඉන්නව මිස ඒ අම්මගෙ හිත සනසන්න තරං කියන්න දෙයක් මට මතක් වුණේ නැති තරං. එදා සෙනසුරාදාවක් වුණ නිසා හොඳයි. අල්ලපු ගෙදර ඉඳල මං ගෙදර එනකොට ටිකක් වෙලා ගිහිං. එහෙම තමයි. අසල්වැසියො තමයි දුකකදි කරදරේකදි මුලින් ම දුවගෙන ගිහිං පිහිට වෙන්න ඉන්නෙ.

මං එනකොටත් දූ කොට්ටයක් බදා ගෙන නිදි. සෙනසුරාදා ට ටිකක් දවල් වෙනකල් නිදා ගන්න එක දූ ගෙ පුරුද්දක්. මං ඒ හිස පිරිමදින ගමං දූ දිහා බලං හිටිය. මලක් වගේ අහිංසකයි ඔයා. නොදරුවෙක් වගේ තාමත් පිවිතුරුයි ඔයා. අල්ලපු ගෙදර සනූ දුව කර ගත්ත දේ මතක් වෙලා ආයෙමත් මගෙ හිත කීරි ගැහිල ගියා. මගෙ දූ ට වඩා අවුරුදු තුන හතරක් වයසින් වැඩි ඇති ඒ දූ. කොටින්ම සාමාන්‍ය පෙළ විභාගෙ ලියන්නත් තව මාස කීපයක් තියෙනව. අනේ දුවේ. මොන තරං සෙල්ලං වයසක් ද තාම ඒ…ඉස්කෝලෙ යන්න, ඉගෙන ගන්න, යාළුවොත් එක්ක සෙල්ලං කරන්න ඕන වයස. එහෙම වයසක යුග දිවියක් ගැන හිතන්නෙ කොහොමද…මං ඇස් දෙක තද කරල පියා ගෙන අත් දෙකෙන් ම මූණ වහගත්ත.

මගෙ දුවේ, ඔයත් දැන් ඉන්නෙ මලක් වගේ විකසිත වෙන වයසක. අද දකින ඔයාට වඩා හෙට දකින ඔයා පිරිපුන්. සොඳුරුයි. මේ වයසෙදි ගෑනු දරුවෙකු ගෙ කායික මානසික වර්ධනය බොහොම ඉක්මනට සිද්ද වෙනව. ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වයන් නිසයි එහෙම වෙන්නෙ. ඉතින් මේ ස්වභාවික ක්‍රියාවලියට එරෙහි ව යන්න අපිට බෑ. අපිට ඒ තත්වය පිළිගන්න ම වෙනව. ඒත් දුවේ මේ ක්‍රියාකාරිත්වය ගැන අවබෝධයක් ඇතුව වැඩ කරනවනම් සනූ අක්ක කර ගත්තා වගේ අනුවණ සිදුවීමක් වෙන්නෙ නෑ.

පුතේ මලක වුණත් සුන්දර ම යුගය පොහොට්ටුවක් විදිහට ඉන්න කාලයයි. පිපෙන්න අර අඳින ඒ සමය හරි ම නැවුම්. කුතුහලාත්මක තිගැස්මක් ඒ හැම තත්පරේකම මුහු වෙලා තියෙනව. පිපුණ මලක් හරි ම ලස්සනයි තමයි. ඒත් ඒ පිපීමෙන් පස්සෙ මලකට වුණත් උරුම පර වෙලා යන්න නියමිත කාලයයි. දූල කලබල වෙලා පිපෙන්න කලින් බලයෙන් ම පෙති විකසිත කර ගන්න එකේ බරපතල ඛේදවාචකය අන්න ඒකයි.

මගෙ දුවත් ලොකු වෙන්නෙ නැතුව පුංචියටම හිටියනං හොඳයි කියල දැන් අම්මට හිතෙනව. අම්මල දරුවො ලොකු කර ගන්න හීන මවමින් ඇඟිලි ගණිනව පුතේ. ඒත් ඒ හීනෙකින්වත් එයාල මෙහෙම නපුරක් කර ගනී කියල බලාපොරොත්තුවකින් නෙවෙයි.

දුවල කියන්නෙ අනුන් ගෙ මිදුලක වවන මල් වගෙයි කියල කතාවක් මං අහල තියෙනව. කවදහරි අයිතිකාරයා ආවම දීලා යන්න වෙනව. ඒක මට විතරක් නෙවෙයි. දුවල ඉන්න ඕන ම අම්ම කෙනෙකු ට තාත්තා කෙනෙකු ට උරුම ලෝක ධර්මයක්. මගෙ දෙමව්පියොත් මාව හදන්න ඇත්තෙ මල් පැළයක් වගේ හරි ආදරෙන්. ඒත් එයාලට මාව ඔයාගෙ තාත්තට දෙන්න වුණා. ඒ වෙලාවෙ එයාලට ගොඩක් දුක හිතෙන්න ඇති. දූ දීග යන දවසකත් ඒ මහා දුක් ගින්න විඳ ගන්න අපිට සිද්ද වෙයි. අර සනූ අක්කගෙ අම්ම තාත්තා ත් ඒ දුක විඳින්න හිත හදා ගෙන ඉන්න ඇති. ඒත් පුතේ මේක හරියට අකාලෙ හමං ආපු සුළි කුණාටුවක් වගේ..බලාපොරොත්තු නොවුණ වෙලාවක එයාලගෙ ගෙදරට කඩා වැදිල එයාලගෙ ජීවිත වල හැම දෙයක් ම විනාස කර ගෙන ගිහිං.

“අම්මි…”

දූ නැගිටල ඇඳේ ඉඳ ගත්තෙ තිගැස්සිලා.

“ඇයි අම්මි අඬන්නෙ…”

මගෙ කඳුළක් දූගෙ මූණට වැටිල ඒ සීතලට තමයි ඔයා අවදි වුණේ. දූගෙ මූණෙ තිබුණෙ කලබලයක්.

“අනේ ඇයි අම්මි…මොකද වුණේ..තාත්ති බැන්නද අම්මිට…”

මං දූ ව තුරුල් කර ගත්තා. ඔයා ගෙ ලෝකය මොන තරං අහිංසක ද? පුංචි ද? නො මේරූ එකක් ද? අනේ ඒ විදිහට තව අවුරුදු ගාණක් ම ඉන්න දුවේ. අකලට පිපිල අකාලයේ ම පර වෙලා යන්න හිතන්නවත් එපා. මේ ලෝකයේ හැම දෙයක් ම සිදු වෙන්න නියමිත කාලයක් තියෙනවා. සිදුහත් බෝසතානෝ ඉපදුණෙත් පස් මහ බැලුම් බලල. අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම කරන්න බෑ තමයි. ඒත් වැස්ස වුණත් වහින්නෙ නිසි කලට. මගෙ දූගෙ ජීවිතේ වැදගත් කාරණා සිද්ද වෙන්න ඕනත් නිසි කලට.

“කියන්නකො අම්මි. ඇයි මේ කඳුළු…”

“සනූ අක්ක ගෙදරිං ගිහිං පුතේ. පිරිමි ළමයෙක් එක්ක. එයා හරි මෝඩයි. ඔයා දැකල තියෙනව නේද අක්කල ලස්සන මනමාලියො වෙලා යනව. සනූ අක්කටත් දවසක යන්න තිබුණෙ එහෙම. ඒත් එයා අම්ම තාත්තගෙ හිත් රිදවල මේ විදිහට ගිහිං. මේ දේවල් ජීවිතේට පාඩමක් කර ගන්න ඕන පුතේ. කලබල වුණොත් ජීවිතේ ලස්සන ම දේවල් අපිට මගඇරෙන්න පුළුවන්. ඔයාට තාම මේව තේරෙන්නෙ නැතුව ඇති. හෙමිහිට ඔයා තෙරුං ගන්න මගෙ දූ”

දූ නිශ්චලව මගෙ තුරුලට වෙලා හිටියා. ඔයාට ඒ හැම දේම තේරුණේ නැති වෙන්න ඇති. ඒත් යම් තාක් දුරකට ඒ දේවල් තේරෙන්නත් ඇති. හංසයන්ට පීනන්න කියල දෙන්න ඕන නෑ කියල කතාවක් තියෙනවනෙ. හංසයන් ට දියෙන් කිරි වෙන් කර ගන්නත් පුළුවන් පුතේ. මගෙ දූත් නරකින් හොඳ වෙන් කර ගන්න පුළුවන් දරුවෙක් විදිහටයි ලොකු වෙන්න ඕනෙ.

“ආ…මේ මොකද…උදේ පාන්දරම අම්මයි දුවයි හුරතල් වෙනවද…”

තාත්තා කාමරේ දොරකඩට ඇවිත්. අල්ලපු ගෙදර වෙලා තියන සිදුවීම ගැන එයා දන්නව. මාත් එක්ක ම එයත් ටික වෙලාවක් ඒ ගෙදර තාත්තගෙ හිත සන්සුන් වෙන්න වචන කීපයක් කතා කළා. මේ වෙලාවෙ තාත්තා අපි දෙන්නා දිහාට ම හෙළුවෙ එක ම බැල්මක්. ඒ ඇස් වල තිබුණේ ‘මං ඔය දෙන්නව පරිස්සං කර ගන්නව කොහොම හරි’ වගේ බැල්මක්. තවත් තත්පර කීපෙකදි එයා ඇවිත් එයාගෙ දිග අත් දෙකෙන් අපි දෙන්නව ම වැළඳ ගත්තා. ඇත්තමයි මට දැනුණේ මහ විසාල ආදරේ ගැන හැඟීමක්.

“දූ පරිස්සමෙන් ඉන්න ඕනෙ. මේ ලෝකෙ හරි ම භයානකයි. අපි ට ඔයා ඇරෙන්න ඔයා වටේ තියෙන ලෝකෙ ඉන්න හැම කෙනෙක්ම අවිශ්වාසයි පුතේ”

තාත්තා ගෙ හඬ වෙව්ලල ගියා. ඒක කොච්චර ඇත්තක්ද? ගොඩක් ගෑනු ළමයි ළාබාල වයසෙදි පිරිමියෙකු ගෙ බොළඳ වචනෙකට එයාව තාත්තා තරම්ම විශ්වාස කරන්න පුළුවන්. ඒ අන්ධ විශ්වාසය ඒ දරුවගෙ ජීවිතේ ම අඳුරු කරල දාන්න පුළුවන්.

මගෙ සුදු දුවේ. අම්මටයි තාත්තටයි ඉන්නෙ එක දරුවයි. අපේ මුළු ලෝකය ම ඔයා. අපි ඔයාව රැක ගන්න ඕනෙ. ඒක  ට ඔයාගෙ සහයෝගයත ඕන පුතේ. අපේ ගේ ඇතුළෙ ඔයාට ඕන තරං ආදරේ තියෙනව..ඇත්ත තාත්තයි මායි රැකියා වලට යනව තමයි. ඒක නිසා දවස පුරා ම අපිට ඔයා ළඟට වෙලා ඉන්න පුළුවන් කමක් නෑ. අපේ ඒ වෙහෙස වීම් වල අරමුණ මොකද්ද කියල දැං ඔයා හොඳට තේරුම් ගන්න ඕනෙ. අපි උත්සාහ කරන්නෙ ඔයාට අදට වඩා හොඳ හෙට දවසක් හදල දෙන්න. ඔයාගෙ ලෝකය ලස්සන කරන්න. ඔයාගෙ ජීවිතේ සුරක්ෂිත කරන්න.

ඉතින් ආදරේ කියන්නෙ මොකද්ද කියල තේරුම් ගැනීමේ වගකීම ඔයා මත පැවරෙනව දුවේ. ආදරේ කියන්නෙ නිකංම වචනයක්වත් නිකංම හැඟීමක් වත් නෙවෙයි. ඒක ලොකූ වගකීමක් එක්ක බැඳුණු දෙයක්.

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...