පැරණි පෙම්වතා නිසා වර්තමාන සම්බන්ධතාවයට හානි කර නොගන්නේ කෙසේද?

“හදේ කොතැනක හෝ හිඳී නුඹ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා මුදා සුව දැහැනින්”

කුමාරදාස සපුතන්ත්‍රි මහතා ලියූ සුනිල් එදිරිසිංහයන් ගයන මේ ගීතය අපි බහුතරයකගේ කැමතිම ගීයක් වෙනවා.අතීතය අපි ම වරින් වර පාරවන සුළු දෙයක් බව කියන්නට මේ ගීතය තරම් නිදසුනක් වෙනත් නැහැ.

පැරණි පෙම්වතා කියන්නේ තරුණියන්  90% කටත් වඩා කෙනෙකුගේ පොදු චරිතයක්.පලමු ආදර සම්බන්ධතාවය ම විවාහයකින් කෙළවර කරගත් අය අල්ප නිසා තරුණියන් බොහොමයක් පැරණි පෙම්වතාගේ මතක දරා සිටින්නියන්.අතීත මතක සහ ජීවිතයේ එක්තරා කාලයක් අප සමග බෙදා ගත් අය අමතක කර දැමීම ඇත්තටම පහසු දෙයක් නෙමෙයි.නමුත් පැරණි පෙම්වතාට ඔබේ වර්තමාන ජීවිතය සහ වර්තමාන සම්බන්ධතා වලට හානි කරන්නට ඉඩ දීම නම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි.

“අතීතය සිහිනයක් පමණයි” මේ ද ප්‍රචලිත ගීතයක්. ස්බෑවටම යථාර්ථය වන්නේ ද එයයි.අතීතය සිහිනයක් බව ඔබ ඔබටම පැහැදිලි කරලා දෙන්නේ කොහොමද? කළ නොහැක්කක් නැති ලෝකයේ එය අසීරු දෙයක් නම් නෙමෙයි.

ඒත් කාලයක් ඔබ සමඟ ජීවත් වූ කෙනෙකු අමතක කර දමලා තවත් කෙනෙකු සමඟ ජීවිතය එතරම් පහසු නැති බවත් ඇත්තක්.එයට හේතු වන්නේ ඔබට වර්තමාන පෙම්වතා හෝ සැමියාව අතීත පෙම්වතා සමඟ නොදැනීම සසඳන අවස්ථා එන්නට ඉඩ තිබෙන නිසා.

සංසන්දනය නතර කරන්න.

ඒ නිසා කරුණාකර මුලින්ම සංසන්දනය නතර කරන්න! ඔහු සහ මොහු කියන්නේ චරිත දෙකක් බව මුලින්ම ඔබ ඔබටම පැවසිය යුතුමයි.ඉන්පසු පැරණි පෙම්වතා කැමති දේවල්, ඔහු සමඟ ආගිය තැන් ටික ටික අමතක කර දමන්න. ඔහුගේ මතකයන් ලෙස ඔබ ළඟ ඇති දේවල් බැහැර කර දැමීමත් කළ යුතුමයි.ඔහුගේ ඡායාරූප,වීඩියෝ පට සහ ඔහු ලබා දුන් ත්‍යාගයන් ළඟ තබාගෙන හඬමින් සුසුම් ලමින් ඔබට අලුත් ලෝකයක් වෙත ඇවිද යාම පහසු නැහැ.

වර්තමාන පෙම්වතාට අතීතය නොසඟවා පවසන්න.

අනිත් කාරණාව අතීතය සම්බන්ධ සියලුම දේ රහස් ලෙස ඉතිරි නොකර ඔබේ සැමියා හෝ වර්තමාන ප්‍රේමවන්තයාට හෙළි කරන්න.ඔබේ සම්බන්ධතාවයට තිබූ ගැඹුර ඔහු දැනගත් පසු පරණ පෙම්වතාට ඔබ “බ්ලැක්මේල්” කිරීම පහසු වන්නේ නැහැ.ඔහු යම් ඡායාරූප හෝ වෙනත් දේ අලුත් පෙම්වතාට පෙන්වන බව කියමින් ඔබව බිය ගන්වනවා නම් රටේ නීතියක් ඇති බව ඔහුට මතක් කරන්න.කාන්තා කාර්යාංශය,පරිගණක අපරාධ අංශය වැනි දෑ නිරතුරුවම ඔබේ සහයට සිටිනවා.ඒ නිසා අතීතය සම්බන්ධ ඡායාරූප හෝ වීඩියෝ පටයකට ඔබේ සුන්දර වර්තමානය විනාශ කරන්නට ඉඩ තබන්න එපා.

උපදේශනයට යොමු වෙන්න.

ඔබ අතීතයේ විෂ සහිත ප්‍රේමයක ගිලී සිටියානම් මේ වෙන විට බොහෝ ආතතියෙන් පෙළෙන්නට ඉඩ තිබෙනවා.එවිට ඔබ වර්තමාන පෙම්වතාව අහේතුවක සැක කරන්න,සුළු කාරණා සම්බන්ධයෙන් අනවශ්‍ය තරම් දුකට පත් වෙන්නට සහ කෝප ගන්නට ඉඩ තිබෙනවා.ඔබ පැරණි පෙම්වතා නිසා එතරම් බිඳී ගිහින් නම් උපදේශනයෙන් උදව් ලබාගෙන නැවත සකස් වෙන්න.නැත්නම් ඔබ සුළු කාරණාවලටත් කෝපයට සහ දුකට පත් වීම වර්තමාන සම්බන්ධයේ ගැටළු ඇති කරන්නට සමත් වේවි.ඉතින් ඒ නිසා “පිරිමි කියන්නේ රැවටිලිකාරයන්,වංචාකාරයන් සහ නරකම නරක මිනිස්සු” කියලා පොදු අදහසක ඉන්න එපා.අතීතය නරක් වූවාට වර්තමානය ඉතාම සුන්දර වෙන්න පුලුවන්.ඔබේ වර්තමාන ආදරවන්තයාටත් “පිරිමි නරක” හැන්දෙන් බෙදමින් වර්තමානය නාස්ති කර ගන්න එපා.විශ්වාසදායක සහ කාන්තාවකට ගෞරවයෙන් සලකන්නට දන්නා පිරිමියෙකු නැවත තෝරා ගන්න ප්‍රවේසම් වුණොත් ඔබට අතීතය සිහිනයක් බව සිතා අමතක කර දමන්න කොහොමත් පහසුයි.

ඔබ තුළ තිබූ අඩුපාඩු වටහා ගන්න.

ඔබ සම්බන්ධතාවයක් බිඳ වැටුණු විට අතීත මතක ගැන හොඳින් කල්පනා කර බලා ඔබ අතින් වූ වැරදි පිලි ගැනීමත් ඔබේ වර්තමාන සම්බන්ධතාවය සාර්ථක කරන්නට සමත්.අතීතයේ සිටි ඔහුට ඔබ අතැර දමන්නට ඔහුගේ පැත්තෙන් සාධාරණ හේතු තිබුණානම් වර්තමාන ප්‍රේමවන්තයාට එම අඩුපාඩු නොපෙනෙන්නට ඔබ වඩා සාර්ථකව ගොඩ නැගෙන්න.එය ඔබට අනිවාර්යයෙන් කළ හැකි දෙයක්.උපදේශනය නිවැරදිව ලබා ගැනීමෙන් ඔබට මඟ හැරුණු ඔබව නොවරදවාම හමු වෙන බව අපට විශ්වාසයි.

මේ කාරණා ඔබට කරන්නට අපහසු හෝ අසීරු කාරණා නෙවෙයි.අඳුරු උමගක් දිගේ ඇවිද ආ ඔබ හිරු එළියෙන් බබළන දීප්තිමත් එළිමහනකට පැමිණ සිටින බව තේරුම් ගන්න.දැන් ඔබේ අතින් අල්ලාගෙන සිටින්නේ “ඔබට ලැබිය යුතුම ආදරයයි”.ඔහු සමඟ එක්ව වසන්තය වෙත ඇවිද යාමට ඔබට පුලුවන්.ඒ නිසා දුක සහ වේදනාවටත් අතීත අඳුරු සෙවණැලිවලටත් වසන්තයේ හිරු කිරණින් දැවී යාමට ඉඩ හරින්න.

ඔබ අනාගතය වෙත පෞරුෂය සහ ආදරය සමඟ ඇව්ද යාමට සමත් තරුණියක්.අපේ සුබ පැතුම් පිළි ගන්න!

Related Articles

Don't Miss


Latest Articles