මවකගේ ලෝකය – 01 කොටස

සුදු පිරුවටය ඉවත් කරල දූ මං දිහා බලල හිනා වුණා. මං දැක්කෙ පිනි බර හිමිදිරියෙ පිපුණ පිච්ච මලක්. පිච්ච මල් සුවඳත් එක්ක මුහු වෙලා මහා මව්වත් හැඟීමක් හදවත කළඹගෙන ඉහළට එනව මට දැනුණා. මට ඕන වුණේ දූ ව වැළඳ ගන්න. ඒ හැඟීම ලේ වලට දැනිල ද මන්දා දූ මගෙ පපුවට තුරුලු වුණේ සිනිඳු පිහාටුවක් වගේ. මං එයාව පුළුවන් තරං තදින් වැළඳ ගත්තා. අම්මා කියන පදවියෙන් මා ව අගයපු, මා ව සරසපු මගෙ දූ…මගෙ ඇතුළාන්තයේ ආයෙමත් ඔයා ව හංග ගන්න ඇත්නං…

කොහොම විශ්වාස කරන්න ද? ඔයා දැං ලොකු ළමයෙක්!

මට මතක් වුණේ ඔයා මේ ලෝකෙට ආව මොහොත පුතේ. ආ බව කියන්න වගේ ඔයාගෙ මුවින් පිට වුණ ඒ ඇඬිල්ලත් එක්ක, ඔයාව බිහි කරන්න අම්මා උහුල ගත්ත හැම අපහසුතාවයක් ම දුරු වෙලා ගියේ පුදුම විදිහට. එදා ඒ මොහොතත්, අද මේ මොහොතත් අතරෙ කොයි තරං කාලයක් ගත වෙලා ගිහිල්ලද? ඒත් අම්මට තාමත් ඔයාව දැනෙන්නෙ කිරිකැටියෙක් වගේ. තාමත් ඔයා ළඟින් හමන්නෙ ඒ කිරි සුවඳ.

දරා ගන්න බැරි සතුට නිසා ද මන්දා මගෙ ඇහෙන් කඳුළක් ගිළිහුණා. ඒ කඳුළ දූගෙ අතේ සීතලට තැවරුණා ද කොහෙද. ඔයා ඇස් උස්සල බැලුවෙත් මගෙ ඇස් පිස්සෙත් පුදුමෙන් වගේ.

“අම්මි…”

“සතුටට මගෙ මැණික”

මං ඔයාව හිමින් සැරේ තාත්තා දිහාට ලං කළා. ඒ ඇස් වල දිය වෙලා තිබුණ ආඩම්බරයක තරම! තාත්තා දූ ව වැළඳ ගත්තෙ මහානර්ඝ වස්තුවක් වගේ. මගෙ දෙතොල් මත්තෙ තිබුණ සිනහව කියන්න ඇත්තෙ ලොකු කතාවක්. ඔව් දුවේ. අපි නිසා ඔයාගෙ තාත්තා මොන තරම් නම් දුෂ්කර ක්‍රියා කරල ඇත්ද…දුක් උහුලල ඇත්ද…ඒ තාත්තගෙ ජීවිතේ ඇතුළෙ මුතු ඇටයක් වෙලා ඔයා දිළෙන්න ගන්නවනම්…එයාටත් පුළුවන් වෙයි වින්ද – විඳින හැම දුකක් ම අමතක කරන්න.

ඔයා වෙනුවෙන් මිල දී ගත්ත පුංචි අරංගල් යුගලත්, රන් දම් වැලත් අම්මම්ම මගෙ අතින් තිබ්බා. මං ඒවා ඔයාට පැළඳෙව්වෙ හදවතේ පැටවුණ මහ බරකුත් එක්ක කිව්වට වැරදි නෑ. ඔයා තව දුරටත් අපේ චූටි කෙල්ල නෙවෙයි. ඔයා දැන් ලොකු ළමයෙක්!

Lovely mother and daughter looking at camera

අද මේ පළඳන රත්තරනින් නෙවෙයි පුතේ ඔයා බබළන්න ඕනෙ. ඔයාගෙ ජීවිතේ වටිනාකම් වලින්. ඔයාගෙ ගුණ දම් වලින්. මේ වෙලාවෙ මට කියන්න ඕන කරපු වැදගත් ම කතාවක් ඒ. නමුත් අම්මා ගෙ මුව පුදුම විදිහට ගොළු වෙලා. දවසක දූ මේ සටහන් අතර තිබිල හරි අම්මගෙ හිත හොයා ගන්න. අම්මා කෙනෙක් ගෙ හිත හොයා ගන්න.

“ඉස්කෝලෙ යාළුවොනං ලොකු පාටි එකක් ගත්තා”

දුව කිව්වෙ වට පිට බලන ගමන්. ඒ වගේ සාදයකට අපේ ගෙදර සූදානමක් නැති බව ඔයාට වැටහෙන්න ඇති. අම්මම්මයි තාත්තම්මයි සීයලා දෙන්නයි විතරයි අමුතුවෙන් ගෙදරට ඇවිත් හිටියෙ. ඒත් ඒ ඔයාගෙ ජීවිතේ ට වැඩියෙන් ම ආශිර්වාද කරන අය පුතේ. මහා පිරිසක් කැඳවල මගෙ දූව ප්‍රදර්ශන භාණ්ඩයක් කරන උවමනාව අම්මා ටවත් තාත්තා ටවත් නෑ. වැඩි විය පැමිණීම කියන්නෙ ගැහැනු දරුවෙක් ගෙ ජීවිතේ අතිශයින් සාමාන්‍ය හෝමෝනමය ක්‍රියාකාරිත්වයක්. දැනටමත් දූ ඒ ගැන දන්නව. ඒ දේ සමරන්න ලොකු පිරිසක් වට කර ගැනීම විහිළුවක් පුතේ. අපි පුරුදු වෙන්න ඕනෙ පුහු ආටෝප වලින් තොර සරල ජීවිතයකට. ඒ වගේ ම මේ ජීවිතයෙ අර්ථය ගැන හැම මොහොතක ම අපි අවධියෙන්, අවබෝධයෙන් ඉන්න ඕනෙ. මගෙ දූ එහෙම ප්‍රායෝගික දරුවෙක් වෙන එක තමයි තාත්තගෙයි මගෙයි හීනය.

මීට අවුරුදු දොළහකට කලින් ඔයා කිරිකැටියෙක් විදිහට මගෙ දෝතට ආ වෙලාවෙ දැනිච්ච හැඟීම් වල සංකලනය මේ මොහොතෙත් මං විඳිනව දුවේ. ඒ එකක්වත් පැහැදිලි ව වෙන් කර ගන්න මට බෑ.

අම්මා කෙනෙක් වෙනව කියන්නෙ සරල දෙයක් නෙවෙයි. ඒක මහා වගකීමක්. විශේෂයෙන් ම දුවෙක් ගෙ අම්ම කෙනෙක් වෙනව කියන එක…

Eigenheim, Familie, Glück, Muenchen, Bayern, Deutschland

මේ ලෝකය දැන් හරි වියරුයි දුවේ. මෙහෙම ලෝකෙකට අපිත් දරුවෙක් දුන්නෙ මොකටද කියල වෙලාවකට අම්මට හිතෙනව. ගෑනු දරුවෙක් ව විතරක් නෙවෙයි පිරිමි ළමයෙක් ව වුණත් රැක ගැනීම අසීරු සමාජයක් මේ. සමාජය ඒ තරමට ම පිරිහිලා. ඇස් දෙකේ තියං හදන දරුවො වුණත් ඇස් පිය සලන පමාවෙදි නපුරට වැටෙන හැටි අපි දැකල තියෙනව. ඒකයි මං හිතන්නෙ නිතර ම…දූව ආයෙමත් මගෙ සිරුර ඇතුළෙ හංගගන්න ඇත්නම් කියල.

“අම්මී…අපි ළමා නිවාසෙට දානයක් දෙන්න යනවද…”

දූ කුස්සියටම ඇවිත් මාව හොයා ගෙන.

“හ්ම්”

මං එයා දිහා බලල හිනා වුණා.

“ඔයා පොඩි කාලෙත් උපන් දින කීපෙකටම අපි ඒ ළමා නිවාසෙට දාන දුන්නා…මතක ඇති නේද…”

“හ්ම්”

“එතන ගොඩක් ඉන්නෙ ඔයාගෙ වයසෙ ළමයි. එයාල දෙමව්පියන්ගෙ ආදරේ නැතුව ඉන්න අය. ඒ අයත් එක සතුට බෙදා ගමු දුව. ඒගොල්ලන්ට යමක් දීල ඒ ගොල්ලො සතුටු වෙන හැටි දැකල අපි සතුටු වෙමු”

දුව හිනා වුණා. ළඟ ම නෑදෑයො ටික හරි එකකු කරල පුංචිවට සාදයක් දාන්න බැරි කමක් තාත්තට නැතුව නෙවෙයි. ඒත් අපිට ඕනෙ අපේ දූට ජීවිතේ යතාර්ථය ඒත්තු ගන්වන්න. ලද දෙයින් සෑහෙන්න බැරි දරුවො අතරෙ, මගෙ දූ ලැබුණ දේ වුණත් නැති කෙනෙකුට තෑගි කරන උතුම් හදවතක් තියෙන දරුවෙක් බවට පත් කරන්න.

ළමා නිවාසෙ දරුවන්ට තෑගි බෙදල ගෙදර එද්දි දූ හිටියෙ තරමක කල්පනාවක.

“පව් නේද අම්මි ඒ ළමයි”

හදිසියෙම ඔයා කිව්වා. තාත්තයි මායි මූණෙන් මූණ බලා ගත්තා.

“වෙන මොනා නැතත් එයාලට අම්මයි තාත්තයි හරි හිටියනං…”

මගෙ උගුරෙ යමක් හිර වුණා වගෙයි මට දැනුණෙ. එහෙනං ඔයා එහෙම හිතන්න පටන් අරං. සංවේදී හිතකින් ලෝකය ගැන හිතන්න පටං අරං…ඒක තමයි පුතේ වෙන්න ඕන වැදගත් ම දේ. සංවේදී හිතක් ඇති කර ගැනීම. අනුන් ගේ දුකට උණු වෙන හදවතක් ඇති කර ගැනීම.  

ලෝකය ට ආදරය දැන් හරි හිඟයි පුතේ. මිනිස් හදවත් වල ආදරය කියන හැඟීම වියළිලා ගිහින්. එයාල දුවං යන්නෙ වෙන අරමුණු පස්සෙ. නමුත් ඒ ඉලක්ක වලට ලං වෙද්දි ආදරය කියන දේ ආයෙ හොයා ගන්නත් බැරි තරං ඈතකට ගිහිං. මගෙ දූ එහෙම නොවෙන්නයි ඕනෙ. ඔයා ආදරණීය සංවේදී හදවතක් තියෙන දරුවෙක් වෙන්නයි ඕනෙ. අපි මොන විදිහෙ ඉලක්ක කරා ගියත්, ආකරය පිරුණු හදවතකින් ඒ ගමන යන්නයි ඕනෙ.

අනුංගෙ දුකක් තමංගෙ කර ගන්න පුළුවන්, තමන්ගෙ දුකක් වගේ දැනෙන්න පුළුවන් හිතක් තියෙන කෙනෙක් ට වරදින්නෑ පුතේ. ඔයා හෙමිහිට අඩි තියල ලෝකෙ ඉස්සරහට යන්න. අම්මයි තාත්තයි දෙපැත්තෙන් ඉන්නව. ඔයාගෙ අතින් අල්ල ගන්න බලාගෙන. ඔයාට පාර පෙන්නන්න බලාගෙන. අම්මයි තාත්තා යි ගැන විශ්වාසෙන් ඔයාගෙ ගමන යන්න පුතේ.

Related Articles

Don't Miss


Latest Articles