මේ අසීරුම මොහොතේදීත් ඔහු අත් නොහැරි ආදරණීය ජනපති බිරිඳ Olena Zelenska

මේ රුසියානු යුක්රේන යුද්ධය පවතිමින් ඇති වෙලාවක්.යුද්ධය කුමන ආකාරයකින් අවසන් වේද එසේත් නැතිනම් එය ලෝක යුද්ධයක් දක්වා පැතිර යාවිද යන්න අප තවම දන්නේ නැහැ.එහෙත් මේ කතාව යුද්ධය ගැන නෙවේ.යුද්ධයට මුහුණ දෙමින් සිටින තම සැමියාගේ අත තරයේ අල්ලා ගත් ගැහැනියක ගැනයි.

යුද්ධයක් තුළ නිවැරදි කවුරුන්ද යන කාරණාව අපට කිසිසේත්ම පුරෝකථනය කළ නොහැකියි.කළ යුතුද නැහැ.නමුත් යුක්රේන ජනාධිපතිවරයා මේ වෙද්දි තමන්ගේ පාර්ශවයේ ආරක්ෂාව වෙනුවෙන් බොහෝ දේ කරමින් හිඳිනවා.අන්තරාදායක තීරණ ගන්නා විට බොහෝ මිනිසුන්ට මුලින්ම අහිමි වන්නේ තමන්ගේ සමීපතමයන්.

ඒත් යුක්රේන ජනාධිපතිවරයාගේ බිරිඳ ඒ කතාව බොරුවක් කර අවසන්. Olena Zelenska මේ මොහොතේ තම සැමියා සමඟ සිටගෙන සිටින්නේ ඔහුව බිඳුවක්වත් විවේචනය කිරීමකින් තොරවයි.ඔවුන් දෙදෙනාම එක්සත් ජනපදයේ ආරාධිත සරණාගතභාවය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

“මම අඬන්නේ නැහැ.කලබලයට පත්වෙලා නැහැ.මගේ දරුවන් මගේ දිහා බලාගෙන ඉන්නවා.මම ඔවුන් සමඟ සහ මගේ සැමියා සමඟ ශක්තිමත්ව හිටගෙන ඉන්නේ.මම ඔබට ආදරෙයි.මගේ ආදරණීය යුක්‍රේනයට මම ආදරෙයි.”

Olena Zelenska

මේ වැනිම අවස්ථාවක් අපේ ඉතිහාස කතාවක ඔබට මතක ඇති.වලගම්බා රජතුමා සොලීන් ලුහුබඳින අවස්ථාවේ පලා යද්දී ඇය රථයට වේගයෙන් යන්නට ඉඩ දෙන්නට රථයෙන් බිමට පිනූ අන්දම අප ඉතිහාස කතාවල කියවා තිබෙනවා.ඇය ද එදා තමන්ගේ සැමියාගේ යුද්ධයට සාප කළේ නැහැ.ඔහු නිවැරදිබව සිතමින් කළ හැකි සියල්ල ඉටු කළ උතුම් ගැහැනියක්.

යුද්ධය ගැන කතා ඕනෑතරම් ඉතිහාසයේ හමු වෙනවා.වර්තමානයේ පමණක් නොව අනාගතයේදී හමු වේවි.යුධ වීරයන් ගැන ඕනෑතරමට වාර්තා හමු වුවත් පලා යා හැකි අවස්ථාව පවා පසෙකට දමා තමන්ගේ බිමෙහි රැඳී සිටීම තෝරා ගන්නා Olena Zelenska වැනි ගැහැනුන් ගැන ද යුධ ඉතිහාසයේ ලියා තැබිය යුතුම වෙනවා.

Olena Zelenska තවම හතලිස් හතර වියැති ගැහැනියක්.ඇය වෘත්තියෙන් තිර රචිකාවක සහ ලේඛිකාවක වූවා.දරු දෙදෙනෙකුගේ මවක් වන Olena Zelenska මේ මොහොතේ තම දරුවන් ගැන පමණක් සිතමින් පලා යන්නට සැමියා මෙහෙයවන්නේ නැහැ.

“මම මගේ රටට සහ වැසියන්ට ආදරෙයි..”

අද මෙසේ පවසන ඔලේනා ඇගේ සැමියා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නට යද්දී එයට දැඩිව විරුද්ධ වූ ගැහැනියක්.ඔහු නළුකම අතැර දේශපාලනයට පිවිසීම ඇගේ විරෝධයට හේතු වුණත් දැන් ඇය මේ සටන අතහැර රට අස්ථාවර කරන්නට සූදානම් නැහැ

Ukraine's first lady Olena Zelenska

ඇතැම්විට අපේ ස්වාමි පුරුෂයන් ජීවිතය සම්බන්ධයෙන් බොහෝ අවදානම් තීරණ ගන්නට ඉඩ තිබෙනවා.ඒ තීරණය ගන්නා මොහොතේ ඔහු වෙනස් කරන්නට නොහැකි බව තේරුම් ගන්නා සමහර ගැහැනුන්ගේ තෝරා ගැනීම වෙන්ව යාමයි.එය අතිශය පෞද්ගලික තෝරා ගැනීමක් බව ඇත්ත.නමුත් Olena Zelenska මෙන් ඔහු සහ ඔහුගේ තීරණ අත් නොහැර යන්නට තීරණය කිරීම ද සැබෑ ප්‍රේමයක් බව නොකියා හිඳින්නට අපට බැහැ.

Olena Zelenska දැඩිව ප්‍රේම කරන්නේ ඇගේ රටට බවත් ඇය මේ මොහොතේ ඇගේ රට සහ එහි වැසියන් අත නොහැර ඇති බවත් දේශපාලන විශ්ලේෂකයන් පවසන බව සත්‍යයක්.නමුත් ඇය මේ මොහොතේ වඩාත් තදින් අල්ලාගෙන සිටින්නේ ඒ භූමියේ භාරකාරයාව.ඔහු මේ මොහොතේ එතරම් ව ශක්තිමත්ව හිඳින්නේ ඇය දෙන ප්‍රේමණීය සවිය නිසා බව නොකියාම බැහැ.

සැබෑ ආදරය යුධමය තත්ත්වයක පවා නොසෙල්වෙනවා.Olena Zelenska ඉතිහාසය මත ලියා තබන්නේ එය මිස අන් කිසිවක් නොවේ.

Related Articles

Don't Miss


Latest Articles