ආදරණීය සමුද්‍ර,
හමුවීමකින් මේ සියලු හමුවීම් අවසන් කරන්නට තිබුණා නම් මම සතුටුවෙමි. එනමුත් මාගේ ආදරයවත්, කඳුලුවත් කිසිදා තැකීමකට ලක් නොකර ඔබව හමුවන්නට කාලය වැයකිරීම තේරුමක් ඇතැයි මම නොසිතමි.
ඉතින් එබැවින් මෙසේ ඊමේල් පණිවිඩයකින් මේ සංසාරයේත්, පෙර සංසාරයක හමුවී තිබේනම් ඒවාත්, මතු සංසාරයක හමුවන්නට තිබේනම් ඒවත් අවසන් කරන්නෙමි.
“අපි මැරි කරමුද?” යැයි ඔබ ඇසූ පැනය මා බලාපොරොත්තු වූයේ මෙයට වසර ගණනාවකට පෙර වුවත්, පසු ගිය දිනක ඔබ එය මගෙන් විමසූ විට මම සැබෑවටම විමතියට පත්විය.
සතුටක් ඒ හැඟීම තුළ ගෑවීවත් තිබුණාද යන්න මට සිතාගන නොහැක.
වසර හතකට පෙර ඔබ හැරදමා ගිය ගමෙන් ආ චීත්ත ගවුම් හඳින, ඔබේ වත්කම් උගත්කම් වලට නොගැලපුණු ගොඩේ කෙල්ල, විරහ වේදනාව සිතින් දරාගෙන ආ ගමන අවසානයේ ඔබට සරිලන ආකාරයේ ගැහැණියක වී තිබීම එකී පැනය මගෙන් විමසීමට ඔබට හේතු කාරණා වන්නට හැක.
බොලඳ සිතුවිලි දැරූ අතීතයකින් විත් වර්තමානයේ පොළොවේ පය ගසා ජීවත්වන්නට, මට අවශ්‍ය දිරිය සැපයූවේ ඔබයි.
සමාජයේ හමුවන බොහෝ මිනිසුන්ට මුහුණක් සහ වෙස් මුහුණක් ඇති බව මට පෙන්වා දුන්නේත් ඔබයි.
ඒ සැම දෙයකටම මම ඔබට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
ඔබ නොදුටුවා වුව, නොඑසේනම් නොදුටුවා සේ හිඳියා වුව එදත් අදත් හෙටත් මට වටිනාකම්ක් තිබේ. ආදරය හෝ වෙනයම් කිසිම කරුණක් නිසාවෙන් එකී වටිනාකම් දියකර හරින්නට මට උවමනාවක් නැත.
හදවත් බැඳීමෙන් එක්වී ගතකලා යැයි මා සිතූ කාලයක පවා මා නින්දිත ලෙස හැරයන්නට කටයුතු කළ ඔබ නෛතික බැඳීමක් අවසානයේ වුවද මා හැර නොයතැයි මට සිතිය නොහැක.
එබැවින් මෙසේ කියමි.
ආදරය නැමැත්ත ජීවිතය නම් ගස සුපිපුණු මලක් නම් එය අප ගෙවන මොහොත සහ වටපිටාව අනුව සුගන්ධයක් මෙන්ම ගන්ධයක්ද විය හැකි බවත්, ගසක හටගත් ඵලයක් නම් මිහිරි රසයක් සේම අමිහිරි කටුක රසයක් ගෙන එන බවත් මම පොත පතින් කියවා මෙන්ම අසා ඇතිමුත් එය සැබෑවක් බව මට විඳගන්නට හැකිවුණේ ඔබේ සොඳුරු ප්‍රේමය මා සතු වූ මොහොතේ පටන් ය.
එනමුත් ඔබ සම්බන්දයෙන් එය නිවැරදි නොවන බවත් මට තේරුම් කරදුන්නේ එකී ප්‍රේමයම වේ.
මම අදටත් ආදරය කරමි.
එනමුත් ඔබට නොවේ.
මුලින්ම ඔබ මගේ හදවතේ මවනු ලැබූ සමුද්‍ර නම් සොඳුරු ප්‍රේමවන්තයාටය. තවමත් මගේ සිත තුළ සැරිසරන ඒ ආදරයට ආදරය කරන්නාටය.
ඉතින් මෙයට වසර හතකට පෙර ඔබ මා හැරගිය ලෙසම මම අද ඔබව හැරයමි.
එනමුත් ඔබට වඩා ආදරණීය ලෙස මම එය කරන්නට ඇතැයි මම සිතමි.
ඔබට මා මතක තිබේදැයි මම නොදන්නෙමි. එනමුත් මම ඔබව සදාකල් මතකයේ තබාගෙන හිඳිමි.
ආදරය කරන්නට පුරුදු කෙරූත්, ආදරයෙන් මිදෙන්නට පුරුදු කෙරූ පුද්ගලයාත් ලෙස ඔබව හොඳින්ම මතකයේ තබා හිඳිමි.
වෙස් මුහුණු පැළඳ මා ඉදිරියට එන මිනිසුන්ගෙන් බේරී සිටීමට ඔබව පළිහක් ලෙස යොදා ගනිමි.
මගේ ලෝකයෙන් හිරු මැකී ගියේ ඔබ මා හැරගිය දිනයේ ය. එදන් පටන් අද වනතුරු මා ජීවත්වූයේ අන්දකාර රාත්‍රියකය.
දැන් මම ඒ අඳුර මැද කුඩා බිඳිති වන් තාරකා එළි දකින්නෙමි.
හඳක් නොමැති වුවත් ඒ අඳුර මකාලන්නට තාරකාවක් හෝ හිඳීම ගැන ඉතින් මම සතුටෙන් ය.
ඔබට සුබ ගමන්
මෙයට
කාලින්දී