මල් තුහින – 04

විදුලි බලය එනතුරුම හුන් තැනම රැඳෙන්නට මලිතිට සිත් වේ. කොහේ හෝ ගොස් ගෙදර පැමිණි විගස දවස පුරා ඇඳ සිටි ඇඳුම ගලවා දමා වහා පිරිසිදු වූ අතීතයක් හිමි දැරිය ඇයට සිහි වේ. ඇඳ රෙද්දේ රැල්ලක්වත් ඇද වනවාට අකමැති මලිති කෙනෙක් අතීතයේ ජීවත් වූවා ය.

පිළිවෙල සහ පිරිසිදුකම!

දැන් ඒවා අතීතයට එක් වූ වචන පමණක් බව මලිතිට සිතේ.

“මොන දේවල් කොහොම වුණත් තමන් තමන්ව නැති කරගන්න ඕන නෑ.කාගෙන් හරි පලි ගන්න හරි එහෙම කරන්නෙ මොකටද?”

රුවිනි ඒ ගැන කියන්නේ එහෙම කතාවකි. ඇය කියන තරමට පහසුවෙන් සියල්ල අත් හැර දමන්නට හැකි වූවානම් සහනයකි. එහෙත් තමන්ගේ දරා ගැනීමේ ධාරිතාවය ඇත්තේ ඇයට වඩා මොනතරම් පහළ තැනකදැයි මලිති වේදනාවෙන් සිතුවා ය.

“කිචන් එක අස් කරන් නැතුව උදේට ගෙදරින් යන්න හොඳ නෑ.ආපහු එනකොට පුදුම ඉඳුල් ගඳයි ගෙදර.”

කළුවර මැද ඉටිපන්දමක් දල්වන අතර මලිති ඇයටම කියා ගත්තා ය. කුණු බිඳුවක්වත් නැති අම්මාගේ මුළුතැන්ගෙය ඇයට සිහිව ආවේ සිහිනයක් වාගේ ය.එතැන අවුරුදු විසි හයක්ම ජීවත් වූ කෙල්ලක දැන් වසර හතක් තිස්සේ මෙසේ අපිළිවෙල ජීවිතයක් තෝරාගෙන තිබේ.

කල්පනාව බිඳී ගියේ වළං පිඟන් ගැටෙන හඬකිනි. නවීන් වහවහා ඉඳුල් භාජන සෝදන්නට පටන් ගෙන ඇත.

“ඔයා නාගෙන ආව විතරනෙ. දැන් ඔය ඉඳුල් භාජන උස්සන් මොකද කරන්නේ?”

මලිති ඇසුවේ කෝපයෙනි. ඇය ඔහුට කිසිම චෝදනාවක් නොකළා ය. අඳුරේ තනිව කතා කළ දේ පවා ඔහු ඇඟේ ගසාගෙන තිබේ.

“කවුරුහරි හෝදන්නනෙ ඕන. ඔයා මේක කරනවනම් උදේ හෝදල යනවනෙ. දැන් ආඩපාලි කියන්න ඇත්තෙත් මටනෙ.”

නවීන්ගේ කතා අදහා ගන්නට නොහැකිව මලිති බලා සිටියා ය. ඇයට මෙවැනි චෝදනා පිළි ගන්නට කිසිසේත්ම ඕනෑ නැත. වළඳක් උස්සා පොළොවේ ගසන්නට එන ආවේගය ඇය විඳ ගන්නේ ඉතා අසීරුවෙනි.

“මම කිව්වේ අපිට මේක කරන්න තිබ්බා කියලා.ඔයා කොහොමද ඔහොම ලේසියෙන් යෝජනාවක් චෝදනාවකට හරවන්නේ?”

නවීන් කළේ දෙවුර ගස්සා අපහාසාත්මක සිනාවක් නගා ගැනීම ය. එය එතරම් කැත හිනාවක් මලිතිට මන්දාලෝකයෙන් පවා හඳුනා ගත හැකි විය.

“නවීන්ගේ හිනාව ලස්සනයි. හිත නිවීලා යනවා.”

නවීන්ගේ ප්‍රේමය පිළි ගන්නට සිතූ කාලයේ එකල හොඳම මිතුරිය වූ තාරකාට පැවසූ අන්දම මලිති යලියළිත් සිහි කළා ය.

“ඔය නිවෙන නිවිල්ලට උඹ නිවිලම යනව. මට තේරෙන් නෑ උත්තර ධ්‍රැවයේ පදිංචියට යන තරම් උඹට තියන උණ මොකක්ද කියල. ඔය මිනිහා මහ හීතල මිනිහෙක්. උඹව ගල් වෙනව.ගල් වෙලා ගල් වෙලා උඹට උඹවත් අමතක වෙයි.”

තාරකා පැවසූ දේ නෑසුකන්ව එදා මෙවන් තීරණයක් ගැනීම ගැන මලිති ඇයටම දොස් නගා ගන්නී ය. නමුත් ගිය නුවණ ඇතුන් ලවා අද්දවා ගන්නට නොහැකි බව ඇය දනියි.

“ඇත්තුන්ට බෑ. ලෝයර් කෙනෙක්ට පුලුවන්.”

මලිතිගේ අමිහිරි කතා අසා හිඳ ඉතා කෙටියෙන් කියන්නට රුවිනි ප්‍රවේසම් ය.

“මම පැතුම්ව අයින් කරේ ඒ මිනිහා මට ගහන බනින නිසා. මාව හූරාකන නිසා. තව සමහර ගෑනු මිනිහව අයින් කරල දාන්නේ ඒ මනුස්සයට වෙන ගෑනු ඉන්න හින්දා. සෙක්ෂුවල් ලයිෆ් එක වුණත් දික්කසාද වෙන්න හේතුවක්නෙ. ඒ ඔක්කොම ගෑනුත් හරි උඹත් හරි.”

මලිතිගේ ඉතා දිගු පණිවිඩ කියවන ඉතා දිගු කතා අසා හිඳින රුවිනි කියන්නේ එහෙම කතාවකි.

“ඒ හැම ගෑනියෙක්ටම කියන්න පැහැදිලි හේතුවක් තියනව. පෙන්නන්න තුවාල තියනව. මට කියන්න පැහැදිලි හේතුත් නෑ. පිටට පේන තුවාලත් නෑ.”

ලේ වැගිරෙන හදවතක් උසාවියට පෙන්විය නොහැකි ය. ද්වේෂ සහගත ලෙස අතැර දැමීම, අනියම් සම්බන්ධතාවය, ලිංගික බෙලහීනතාවය සහ ගෘහස්ථ හිංසනය මෙන් පැහැදිලි සාක්ෂි ද මෙතැන නොවේ.

“මගේ මනුස්සය ජීවත් වෙන්නෙ මං කියල කෙනෙක් නැති ගාණට කියලද මං උසාවියෙදි කියන්නේ? කාටවත් කියන්නවත් නොතේරෙන තරමට අමුතු ගුප්ත ලෝකෙක ජීවත් වෙන ඒ මනුස්සයට මං කරදරයක් කියලද මං කියන්නෙ? මොකක්ද මං ඒ මිනිහගෙන් අයින් වෙන හේතුව?”

මලිති එසේ ඇසූ දවසක රුවිනි ඉතා පැහැදිලි හේතුවක් හොයා දුන්නා ය.

“උඹ හේතුවක් හදපං. ඉවරයිනෙ. පැමිණිලිකාරි නොවී විත්තිකාරි වෙලා හරි ප්‍රශ්නෙ ඉවර කරගන්නව. නින්දා වින්දත් කමක් නෑ. තමන්ගෙ සැනසීම ලැබිලා.”

එහෙත් ඒ සැනසීම ලබා ගැනීම කියන තරමට සුන්දරදැයි මලිතිට සිතේ. වැදගත් මිනිසුන් ජීවත් විය යුත්තේ මේ ආකාරයට බව ඇගේ අම්මාටත් තාත්තාටත් මිනුම් දඬු වේ.දික්කසාද දියණියක දරා ගන්නට ඒ මිනුම් දඬු කොහොමටත් නොසෑහෙන බව ඇය නොදන්නවා නොවේ. අනෙක් කාරණාව රුවිනි යෝජනා කරන හේතුව නිසා එය සිදු වන්නේ නම් දරුකමින් අහෝසි වී යන්නට පවා වන බව මලිතිට සහතික ය.

“නවීන්, මං ඇත්තටම වරදක් කිව්ව නෙවෙයි. පිළිවෙලකට ජීවත් වෙන එක අමතක වුණාට මං ඇත්තටම ආස එහෙම ඉන්න. ඉඳුල් ගඳ පිරිච්ච කැරපොත්තො පිනුම් ගහන ගෙදරකට ආවම මටම මාත් එක්ක කේන්ති ගියා. මං ඔයාට ඒව හෝදන්න කියලා නෙවෙයි කිව්වෙ.”

ඉටිපහන් එළියෙන් ආහාර ගනිමින් සිටි නවීන් හිස ඔසවා බැලුවා ය.  මේ ඔහුගේ කැමතිම අවන්හලේ සැකසෙන කොත්තුව ය. මේ වැසිබර රාත්‍රියට ගැළපෙන්නේ සරල ආහාරයක් බව මලිති කියද්දී නවීන් ඔහු කැමතිම ආහාරය රැගෙන ආවේ ය. ලෝකයේ ඇති අප්‍රසන්නම ආහාරය කොත්තු බව සිතෙද්දී මලිතිට ඒවා කන්නට හිතක් නැත.ඇය ක්‍රැකර් බිස්කට් එකක් මත ජෑම් තවරන්නට ගත්තා ය.

“නවීන්, තරහද?”

ප්‍රතික්ෂේප වන ප්‍රේමයක් පිටුපස උමතුවෙන් ඇවිද යා යුතු නැති බවත් වහා එතැන අතැර දැමිය යුතු බවත් කාන්තා සමූහවල අත රිදෙන තුරු කමෙන්ට් කරන්නිය නවීන් දෙස බැලුවේ වේදනාවෙනි. නවීන් ඇය දෙස අප්‍රසන්න බැල්මක් හෙළුවේ ය.

“කන්න දෙන්නකො මලී පාඩුවේ.හැමතිස්සෙම මදුරුවෝ වගේ කුං කුං ගානවා”

විදුලිය පැමිණියේ ය. ඈත අකුණක් පුපුරා යද්දී පවා මලිති විදුලි කේතලය පේනුවට ගැසුවේ බර වූ හදවතිනි. දැන් ඇයට අඩු හෙණයක් විතරම ය.

(නොසලකා හැරීමට ලක්වූ විවාහක බිරිඳක් කියන්නේ කඳුලකි. මලිතිගේ කඳුල ඉවසීමෙන් කියවන්න.ඇයට ඔබේ ආදරය තබන්න.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles