සුහදිනී -43

“එච්චරටම බරපතල චෝදනාවක්?”

නිම්නා සකීගෙන් ඇසුවේ පුදුමයෙනි.විය හැකි නරකම දෙය අනුමාන කර අහස් මිතුලි සමඟ සබඳතාවයක් ඇතැයි සිතුවත් විය හැක්කේ අහස් මිතුලිව පාවිච්චි කිරීම මිස සකීව පාවිච්චි කිරීම නොවේ.සකී මධ්‍යම පාන්තික දැරියකි.සැබෑවටම ආදරයක් ඇති වීම ඇයව පාවිච්චි කිරීමක් වීමට ඉඩ අල්ප ය.

“හේතුවක් ඇතුව මම කියන්නේ.”

සකී ඉකි ගසන අන්දම දරන්නට අපහසු බව නිම්නාට සිතේ.තාත්තා හන්දා මිසක මෙතරම් කාලයකට පිරිමියෙකු නිසා ඇගේ දෑසින් කඳුළු වැටී නැත.දැන් ඇය ආදරය නිසා ඉකි ගසමින් හඬන්නියක බවට පත් වී තිබේ.

“සකී,අහස් ඇත්තටම අහසක්.ඔයා පොළොවේ ඉන්න පුංචි කෙල්ලක්.අහසට යන ගමනෙදී මීට වඩා දුක් උහුලන්න ඔයාට සිද්ධ වෙනවා.ඒවා දරා ගන්න ඉගෙන ගන්න.නැතුව කොහොමද ආදරේ කරන්නේ.”

නිම්නා සකීගේ හිස පිරිමැද්දේ දැනෙන සත්‍යය පවසමිනි.අහස් ජනප්‍රිය ධනවත් තරුණයෙකි.ඔහු දිනාගන්නට මිතුලි වැන්නියන් පවා පසුබට නොවන බව සත්‍යයකි.එහෙත් ඔහු පසුගිය කාලයේදී වෙනුවෙන් කළ දේවල් බලද්දී ඔහු බොරුවක් කරන්නට ඇති ඉඩ අල්ප බව නිම්නා තවමත් විශ්වාස කරන්නට කැමති ය.

උභතෝකෝටිකයක පැටලුණේ සකී පමණක් නොවේ.අහස් ය.ජීවිතයේ කිසිම දිනක හමු නො වූ යුවතියක හිටියේ තමන්ගේ ජීවිතයට පටලවා තිබීම ගැන ඔහු සිටියේ පුදුමයෙන් ය.හිරිකඩුවට ක්‍රීඩා අමාත්‍යංශය සම්බන්ධයෙන් වගවීමක් ද නැත.නැතිනම් මෙය ඔහුගේ තරඟ කාරයෙකු හෝ තරහකාරයෙකු පැතිරූ කතාවක් බව පහසුවෙන් විශ්වාස කරන්නට හැකි ය.

“මේ හැම දෙයින්ම සකි අවුල් යනවා.”

අහස් එසේ කියද්දී සියුම්ට නම් තිබුණේ වෙනත් අදහසකි.

“සකී කියන්නේ උඹේ ජීවිතේ ඉන්න කෙනෙක්.ඒකේ ඇත්ත මොකක්ද නැත්ත මොකක්ද කියලා එයා තේරුම් ගන්න ඕනේ.දායක තේරුම් ගන්නේ නැත්තං සාක්කි ඇතුව එයාට ඒක ඔප්පු කරන එක අපිට ලොකු වැඩක් නෙමෙයි.හැබැයි මේක රටේ මිනිස්සු පිළිගන්නේ නෑ.”

ඉන්දීය ළාබාල ක්‍රිකට් ක්‍රීඩකයෙකු පුරාවෘතයකට සම පැරණි ක්‍රිකට් තරුවකගේ දියණිය සමඟ හාද වී සිටි ආකාරය සිහිකරමින් ඉහළට යන්නට ඉණිමං භාවිතා කරන තරුණයන් ගැන විවිධ රසකතා දැනටමත් සමාජ මාධ්‍යයේ පළ වෙන්නට පටන් ගෙන තිබේ.සූරියකාන්ත මලක් යැයි කීවාට අහස්ගේ පෙම්වතිය කිඩාරම් මලක් බවට ලියැවෙන අදහස් මිස අනෙක් කාරණා සම්බන්ධයෙන් ඔහුට ලොකු ළතැවුලක් දැනුණේ නැත.

කළ යුතු දේ සිතමින් සිටියදී අහස්ගේ දුරකථනය නාද වන්නට පටන් ගත්තේ ය.

“මම මිතුලි ඇල්කඩුව.”

ඇමති දියණියකට තිබිය නොහැකි තරමේ ආචාරශීලී හඬක් එහා අන්තයෙන් ඇසිණ.අහස් නොදන්වාම ඇමතුම පටිගත කිරීම ආරම්භ කරද්දී මිතුලි ආචාරශීලීව ඇමතුම පටිගත කිරීමේ ඉල්ලීම ද ඉල්ලා සිටියා ය.ඇය හොඳින් ඉංග්‍රීසි බස හසුරවන යුවතියකි.ඈ තමන් අමතන්නට හේතුව දන්නා බව අහස් පැවසී ය.

“මම මේ නිකං පුරුද්දට කියනවා නෙමෙයි.මම උනන්දුවෙන් ක්‍රිකට් බලන කෙනෙක් නෙමෙයි.මේ දවස් වල ටීම් එකේ ඉන්න අයගෙන් ගෑනු ළමයින්ගෙ ක්‍රෂ් එක වුණු ඔයාව මගේ නමට ඈඳුණු විදිහ හොයාගන්න මට ලොකු උත්සාහයක් දරන්න වුණා.”

ඇය ඇමරිකානු  විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරන්නියක බව සියුම් පැවසූ ආකාරය අහස් සිහි කළේ ය.රටේ ජඩ දේශපාලනයේ ස්වභාවය හන්දා මිතුලි ද තාත්තාගේ ධනයෙන් රස්තියාදු ගසන කෙල්ලක බව අහස් මෙතරම් වෙලාවක් සිතා සිටිය ද එය සියුම් නිවැරදි කර වැඩි වේලාවක් ගෙවී නොමැත.හිරිකඩුව ඇමතිගේ දේශපාලනය ද ඔහුගේ ජීවන රටාව ද අනුගමනය හෝ අනුමත කරන්නට අකමැති වූ හිරිකඩුව මැතිණිය එකම දියණිය සමඟ චාම් ජීවිතයක් ගත කර තිබේ.මිතුලිගේ පළමු උපාධිය පවා ලංකාවේ විශ්ව විද්‍යාලයකින් ලබා ගත් බවත් ඇය ආචාර්ය උපාධියට විදෙස් ගත වී හිඳින්නියක බවත් දියණියගේ උගත්කමින් වැජඹෙන්නට කැමති හිරිකඩුව ඇය මව් රටට පැමිණි පසු සියළු පහසුකම් ලබාදෙමින් ඇයගේ හිත දිනා ගන්නට වෙහෙසෙන බවත් අහස් දැනගෙන මඳ වෙලාවකි.දැන් මේ කතා කරමින් හිඳින යුවතිය ඔප්පු කරන්නේ ඒ කතාව බව අහස් සිතී ය.

“ජීවිතේ කිසිම දවසක මට ගොසිප් එකක් වැදෙයි කියලා මම හිතුවේ නෑ.ඒත් දැන් ඒක වෙලා තියනවා.මං දන්න වගේම හොයා ගත්තු හැටියට සයිබර් බුලින් කියන්නෙ ඔයාටනම් අලුත් දෙයක් නෙවෙයි.”

මිතුලි එසේ පවසා සුසුමක් හෙළුවා ය.ඇගේ පෙම්වතා ඇමරිකානු තරුණයෙකි.ලංකාවේ පඩංගු වෙබ් පිටුවක පළවන ඕපාදූපය ඔහු දකින්නට ඉඩක් නොවේ.අනෙක් අතට මේ සහමුලින්ම සත්‍යයක් වුවත් ඔහු කරන්නේ සුබ පතා වෙන් වී යාම ය.නමුත් අහස්ගේ පෙම්වතිය මෙය කෙසේ දරා ගන්නට ඉඩ තිබේදැයි මිතුලි ප්‍රශ්න කළා ය.

“සයිබර් බුලින්,බොරු ඕපාදූප වගේ දේවල් වලට මිනිස්සුන්ට හර්ට් කරන්න ඉඩ දෙන්න නරකයි අහස්.ඔයා රට ඇතුළේ දෙයක් කරන්න පුලුවන්.ඔයාලා ඉස්සරහට ඇවිල්ලා මේවට විරුද්ධ වෙනවානම් මේවා ටිකක් හරි නවතියි කියලා මම හිතන්නෙ.”

මේ ගැන ඒ තරම් සොයන්නට පවා නුවුමනා බව අහස් සිතී ය.සාරණ්‍යා හිටිහැටියේ කළ චෝදනාවලින් පසු මෙය පැන නැඟුණු බව අහස්ට හොඳින්ම පැහැදිලි ය.සාරණ්‍යා ආදරය කරන කාලයේ පවා අහස්ට විරුද්ධව මඩ ව්‍යාපාර රැගෙන ගිය බව අහස් දනියි.ඇයට එවැනි දේ කරන්නට සම්බන්ධතා බොහෝ ය.

“අහස්,මම මේ දේ කරපු කෙනා හොයනව.ලොකු වන්දියක් ලැබෙන්න ඕන කාරණාවක් මේක.මට ඒ තරම් ලොකු සල්ලියක් ජීවත් වෙන්න අවශ්‍ය නෑ.ඒ ලැබෙන සල්ලිවලින් අපි චැරිටි එකක් කරමු.ඒත් මං මේ දේ කරපු මනුස්සයට දඬුවම් දෙනවා.නීතියෙන්.තාත්තාගෙ කන්ටැක්ස් වලින් මට මේවා කරන්න ඕන නෑ.මම මේක කරන්නේ රටේ නීතියෙන්.”

මිතුලිගේ කටහඬ අධිෂ්ඨානශීලි ය.ඇය මේ සම්බන්ධයෙන් අත නොහැර සටන් කරන බව විශ්වාස ය.

නමුත් මේ තරමට ගැඹුරින් මේ ගැන නොසිතා සකී පුදුමාකාර වේදනාවකින් පෙළෙමින් සිටියා ය.

(ඔබේ ප්‍රතිචාර SmartLady.lk ෆේස්බුක් පිටුවෙන් තබන්න.මම දැන් සුවය ලබමින් සිටින බැවින් ඉදිරියේදී දිගු කොටස් බබලාපොරොත්තු වෙන්න.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles