ඔබ දකින තුරා – 41

දිසත් විසින් සිය නීත්‍යානුකූල විවාහය අවලංගු කිරීමේ නඩුව සඳහා පෙනී සිටින්නට නීතීඥවරයාට බලය පවරන පෙරකලාසි ලබා දීමෙන් පසු, ශ්‍රී ලංකාවේ දික්කසාද නීතියට අනුව දිසත් හා කේෂි ජීවත් වූ වෛවාහක නිවස අයත් බල ප්‍රදේශයෙහි දිසා අධිකරණය තුළ නඩුවක් ගොනු කෙරිණි. ඉන් පසු පිස්කල් මාර්ගයෙන් කේෂි වෙත සිතාසි යොමු කෙරුණු අතර, ඇගේ නීතීඥවරයා පැමිණිල්ල වෙනුවෙන් උත්තර ගොනු කොට තිබුණේ සිය සේවා දායිකාව එම පැමිණිල්ල නිෂ්ප්‍රභා කරන ලෙස ඉල්ලා සිටින බව කියමිනි. ශ්‍රී ලංකාවේ දික්කසාද නීතිය තුළ එවන් නිෂ්ප්‍රභා කිරීමක් විත්තිය විසින් ඉල්ලා සිටින්නේ නම්, දික්කසාදය බලාපොරොත්තු වෙන පැමිණිලි කරු ඒ අවශ්‍යතාව සපුරා ගනු වස් විත්තිකරුගේ වෛවාහක වරදක් ඔප්පු කොට පෙන්විය යුතු ය.

දිසත් නඩු පවරා තිබුණේ අනුමිත ද්වේශ සහගත හැර යාම යන පදනම මත ය. එනම් ඔහු ට සිය වෛවාහක නිවස හැර යන තැනට කේෂි විසින් කටයුතු කරනු ලැබුවාය කියනා පදනම මත ය. සැබවින් ඇය විවාහයක් පැවතීම සඳහා බලපාන්නා වූ වෛවාහක යුතුකම් බොහොමයක් පැහැර හැර තිබුණා ය. ඈ නිවසින් නික්ම යන හා යළි නිවසට පැමිණෙන වෙලාවන් වල සීසීටීවී දර්ශන, දිසත් නිවසින් පිට වෙන්නට පෙර පිටපත් කර ගෙන තිබිණ. ඔහු නිසා ඇය ගැබ් ගත් අවස්ථාවේ වෛද්‍යවරයා විසින් ලබා දෙන ලද ගැබ් ගත් බව තහවුරු කරනා වෛද්‍ය වාර්තාවේ මුල් පිටපත ඔහු ළඟ සුරක්ෂිත ව තිබිණි. ඔහු නිවසින් පිට වූ පසු ව ඇය ඇනෙක්ස් එකේ දී පෙන්වූ එබඳු ම අනිත් වෛද්‍ය වාර්තාවේ ඡායාරූපයක් ඔහු සිය ජංගම දුරකතනයට ලබා ගෙන තිබුණේ ය. කේෂි හා ඇමති පුත්‍රයා අතරේ වන රහසිගත සම්බන්ධය ගැන සමාජ මාධ්‍ය වල පළ වී තිබූ ඕපාදූප පුවත් වල පිටපත් ද දිසත් උසාවියට ඉදිරිපත් කළේ ය. ඔවුන් දෙදෙනා එක් ව හිඳ ගත් ඡායාරූප ඔහු සොයා ගත්තේ ඇගේ නිවසේ ජීවත් වෙත්දී, ඈ පාන්දර යාමයේ ගෙදර විත් තද නින්දට වැටුණ ඉක්බිති ය.

භෞතික වශයෙන් ඇය සිය විවාහය ප්‍රතික්ෂේප කළ බව ඔප්පු කළ හැකි සාක්ෂි බොහොමයක් එසේ ඔහු සතු ව විය. නීතීඥවරයා උසාවියේ අවධානය යොමු කර වූයේ මානසික හා කායික වශයෙන් කාලයක් තිස්සේ ඔවුන් අතරේ වූ වෙන් වීම ගැන ය. නෛතික දික්කසාදයක් නොවුණ ද එය ද දික්කසාදයක මුල් අවස්ථාව වූයේ ය. විශේෂයෙන් ම දරු ගැබෙහි පීතෘවරයා වන පැමිණිලි කරුගේ බලවත් විරෝධය මධ්‍යයේ ඇය තහනම් ඖෂධ ගෙන දරු ගැබක් විනාශ කොට තිබුණා ය.

“විරුද්ධ වෙනවා ස්වාමීනී”

විත්තියේ නීතීඥවරයා පැමිණිල්ලේ නීතීඥවරයා ඉදිරිපත් කළ ඒ කාරණයට විරුද්ධ වූයේ ය.

“විරුද්ධත්වයට හේතු දක්වන්න අවස්ථාව ලැබෙනවා”

“ඒක ස්වභාවික ගබ් සා වීමක් කියල මගේ සේවා දායිකාව තරයේ කියා සිටිනවා ස්වාමීනී. ඒ වගේ දේවල් ඕන තරම් වෙන්න පුළුවන්”

“මගේ විරුද්ධත්වය ස්වාමීනී”

“විරුද්ධත්වයට හේතු දක්වන්න අවස්ථාව ලැබෙනවා”

“ස්වාමීනී ස්වභාවික ගබ් සා වීමක් වුණා නම් මං යෝජනා කරනවා විත්තිකාරියට රෝහල් වල වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්නයි කියල. ඇය ගර්භණී බව පවුලේ වෛද්‍යවරයා විසින් තහවුරු කරන ලද මේ වෛද්‍ය වාර්තාවෙන් පසු ඇය රජයේ හෝ පෞද්ගලික අංශයේ කිසිදු රෝහලකට එයින් වසරක් ගත වෙන තුරුත් ඇතුළත් වී නෑ ස්වාමීනී. එහෙම ඇතුළත්ව හිටියනම් වෛද්‍ය වාර්තා තිබිය යුතුයි. ඇය තහනම් ඖෂධ ගෙන තිබෙන්නේ පැමිණිලිකරු ඉදිරියේදීමයි ස්වාමීනී. එතකොට මේ දෙවෙනි ගැබ් ගැනීම තහවුරු කරන වෛද්‍ය වාර්තාව මීට මාස දෙක තුනකට කලින් නිකුත් කළ එකක්. එසේ නම් දැන් ඇය ගර්භණී තත්වයේ පසු වෙනවාද…මගේ සේවා දායක විත්තිකරු හමු වී ඒ දරු ගැබ විනාශ කරන්න තහනම් ගබ් සා මධ්‍යස්ථානයක ට ඇය කැටුව යන ලෙස විත්තිකාරිය ඇවිටිලි කොට තිබෙනවා. නමුත් එකම නිවසක ජීවත් වුණත් ඒ කාල වකවානුව තුළ කිසිදු ලිංගික සම්බන්ධතාවයක් නොතිබුණ බවයි පැමිණිලිකරු කියා සිටින්නේ. මං විත්තිකරුගෙන් අහන්න කැමතියි එතකොට ඒ දරු ගැබ කවුරුන් නිසා  හට ගත් එකක් ද කියල”

නීතීඥවරයා සමච්චල් ස්වරයකින් අසමින් විත්තිකාරිය දෙස ට හැරුණේ ය. උසාවියෙහි මිමිණුම් හා සිනහ හඬවල් නැගිණ.

“මගේ විරෝධය ස්වාමීනී”

විත්තියේ නීතීඥවරයා විරෝධය පෑවේ ය.

“විරෝධයට එකඟයි”

“ස්තූතියි ස්වාමීනී”

“ස්වාමීනී මට කියන්න ඕන වුණේ..මගේ සේවා දායක විත්තිකරු ඒ දරුවා ගේ පීතෘත්වය ප්‍රතික්ෂේප කළා වගේ ම ඇය ව ඒ පව්කාර වැඩෙන් මුදවන්නත් උත්සාහ කළා. නමුත් ඇය ඒවාට එකඟ වුණේ නෑ. එහෙම නැද්ද කියා වෛද්‍ය වාර්තාවකින් ඔප්පු කරන්න කියල මං පැමිණිල්ලට යෝජනා කරනව. ඇය දැන් ගැබිණියක් ද නැද්ද කියා වෛද්‍ය වාර්තාවකින් දැන ගන්න පුළුවන්”

දිසත් ට දැනුණේ අසා ඉන්නට බැරි කමකි. ටික කලක් හෝ එක ගෙදරක එක සයනයක ජීවිතය බෙදා ගත් ගැහැනියක හා පිරිමියෙකු පැමිණිල්ල හා විත්තිය වශයෙන් බෙදී අපහාස උපහාස කර ගැනීම හද දවනා කාරණයකි. ලංකාවේ දික්කසාද නීතිය තුළ දික්කසාදයක් ලබා ගත හැක්කේ නියමිත පදනම් තුනකින් එකක් යටතේ ය. ද්වේශ සහගත හැර යාම, අනාචාරයේ හැසිරීම හා විවාහ වන විටත් ලිංගික බෙලහීනතාවයක් තිබීම යන කාරණා තුනෙන් එකක් හෝ  සාක්ෂි ඇතිව ඔප්පු කළ යුතු ය. ඒ කියන්නේ සැමියා ගේ හෝ බිරිඳ ගේ අනුමත වරදක් පෙන්වා දිය යුතු ය. එය ඔප්පු කළ යුතු ය. ඒ හුදෙකලා කුටියක පෞද්ගලික ව නොවේ. උසාවියේ දෙනෝ දහක් ඉදිරියේ ඔවුන් බලා සිටියදී ය. එය වූ කලී වෛවාහක නිවසක් ඇතුළේ වූ අතිශය පෞද්ගලිකත්වයක් ප්‍රසිද්ධියේ ලෝකය ඉදිරියේ නිරුවත් කිරීමකි.

එසේ නොකොට දික්කසාදයක් ලබා ගත නො හැකි වීම ගැන දිසත් කණගාටු වූයේ ය. පවතින තත්ව යටතේ එසේ කළ හැකි වූ හොඳ ම මග  නම් කේෂි නඩුවට ඉදිරිපත් නොවී දිසත් ට ඒක පාර්ශ්වික ලෙස එය ඉදිරියට ගෙන යාමට අවස්ථාව ලබා දීමයි. නමුත් ඇය ද්වේශී චේතනාවෙන් එසේ නොකළා ය.

ලංකාව තුළ දැනටත් ක්‍රියාත්මක වන දික්කසාද නීතිය යල් පැන ගිය එකකි. සුදුසුකම් සපුරා ලිය යුතු යයි ඉදිරිපත් කොට ඇති දික්කසාද හේතු තුන හැරුණ විට, විවාහක යුවළකට තව දුරටත් එක් ව ජීවත් විය නො හැකි යයි තීරණයක් ගත හැකි සාධාරණ හේතු කෙතරම් නම් මිහි පිට පවතින්නේ ද? ඒවා කෙතරම්  මානුෂීය හා සාධාරණ ද කියා තවමත් නීතියේ දෙවඟන ගේ ඇසට හසු වී නැත. එය වූ කලී ඛේදනීය තත්වයකි. විවාහ වීමට දෙදෙනෙකුට වන අයිතිය දික්කසාද වීමක් සඳහා ද තිබුණා නම් වඩා යහපත් හා නිදහස් සමාජයක් බිහි කළ හැකි වනු ඇත.

කෙසේ වෙතත් විවාහ වන තරම් පහසුවෙන් දික්කසාදයක් ලබා ගත නොහැකි බව තේරුම් ගෙන විවාහ වන එක, හැම තරුණ යුවළකට ම වැඩදායී වනු ඇත. විවාහයට පෙර, එහි වන බරපතල කම හා ඉන් නික්මීමට ලාංකික නීතිය තුළ බුරුලක් නැති වීම ගැන දැනුවත් කරනා වැඩසටහන් තරුණ ප්‍රජාව අලලා ක්‍රියාත්මක විය යුතු ය. තරුණ වියෙහි දී ප්‍රේම කිරීම සාහසික වරදක් සේ සලකා ක්‍රියා කරන, පෙම්වතුන් උද්‍යාන වලින් පන්නන, සිප වැළඳ ගැනීමක් වුව ගල් ගසා මරා දැමිය යුතු වරදක් බවට පත් කර ගෙන ඇති සමාජය, දික්කසාදය ගැන තබා ප්‍රේමය හෝ විවාහය ගැන වුව අවබෝධයක් තරුණයන් ට ලබන්නට අවස්ථාවක් සලසා දෙන්නේ නැත. ඒ සමාජය ම දික්කසාදය ද දඬුවමක් බවට පත් කරති.

නඩු වාරයකින් දෙකකින් ඒ කටයුතු නිමාවක් දකිනා බවක් පෙනෙන්නට තිබුණේ නැත. දිසත් දික්කසාදය ඉල්ලා සිටින්නේ අමාරසී සමගින් ඇති කර ගන්නා ලද අනියම් සම්බන්ධය නිසා යයි උසාවියේ අවධානය වෙනත් දිශානතියකට යොමු කරවන්නට කේෂි ගේ නීතීඥවරයා කටයුතු කළේ ය. නමුත් ඒ බව ඔප්පු කොට පෙන්වන්නට ඔවුන් සමත් වූයේ නැති අතර, අමාරසී ගේ දුරකතනයේ තිබූ කේෂි ගේ ඇමතුමෙහි හඬ පටය තව දුරටත් ඇය ට අවාසි සහගත ලෙස බලපෑවේ ය.

ඔප්පු කරන්නට සාක්ෂි නො වීම ගැන දිසත් ස්තූතිවන්ත වූයේ අජිත් ට ය.

“අංකල් හරස් වුණේ නැත්තං මං දිගටම ගෙදර එනව. එහෙම වුණානං නඩුව කේෂිගෙ පැත්තට වාසි වෙන්න තිබුණා”

“පුතා…නීතිය සමහර වෙලාවට බොරුව වුණත් ඇත්ත කරනව. ඇත්ත බොරුව කරනව. ඒ සාක්ෂි නිසා. හිතට එකඟ නැතුව වුණත් නඩුවක් යද්දි අපිට සමහර දේවල් කරන්න වෙනව”

“මං අවුලෙන් හිටියෙ අමාව උසාවි ගෙනියන්නත් වෙයි සාක්ෂි දෙන්න කියල”

“අපි විශ්වාස කරන අපි ආදරේ කරන දේවල් වෙනුවෙන් ඊට වැඩි කැප කිරීමක් වුණත් කරන්න වෙන්න පුළුවන් පුතා”

පියෙකු වේ නම් දියණියකට ඔහු වාගේ පියෙකු ම විය යුතු යයි දිසත් සිතුවේ අවංකව ම ය. අමාරසී ද දින දින ශක්තිමත් වෙමින් සිටියා ය. සාක්ෂි සොයනු වස් කේෂි අමාරසී ලුහුබඳිමින් සිටියා ය. ඇය ට වරින් වර කතා කොට මානසික ව වද දෙන්නට බැලුවා ය. නමුත් අමාරසී එක හිතින් නො සැලී ඉන්නට වග බලා ගත්තා ය.

නඩුවේ පැමිණිලිකරු හා විත්තිකාරිය පවුල් උපදේශනය සඳහා යොමු කිරීම ද දික්කසාද නඩුවක අංගයකි.. මෙවන් අවස්ථාවක නීතිය උත්සාහ කරන්නේ උපදෙස් ලබා දී, විසඳිය යුතු ප්‍රශ්න තිබේ නම් ඒවා විසඳා පවුල යළි සමාදාන කිරීමට ය. බිඳුණ බඳුන් රනින් පුරුද්දා මුලින් තිබුණාටත් වඩා අධික වටිනාකමක් ඒ බඳුන් වලට දෙන කලාවක් චීනයෙහි වේ.   නමුත් යළි පිළිසකර කළ නො හැකි තරමට බිඳෙන බැඳුම් තිබිය හැක. ඒවා හිත දරා ගෙන ජීවත් වන්නට සිදු වීම මරණීය දණ්ඩනයටත් වඩා මානසික හිංසනයක් විය හැක්කේ ය.

කෙසේ වෙතත් දිසත් සමාදානයකට එකඟත්වයක් ප්‍රකාශ නොකළෙන් නයිසයි තීන්දු ප්‍රකාශයක් අපේක්ෂාවෙන් දිගට ම නඩුව ඇසිණ.

සැබවින් එය ඉතා පහසු කටයුත්තක් නොවේ. ගෙවුණු කාලය වසරක් ඉක්ම ගියේ ය. අමාරසී ගෙදරට නාකි වීම ගැන ගීතානි ඇතුළු පිරිස අපහාස උපහාස මුඛයෙන් කතා කළහ. යොහාන් යෝජනාවක් මත විවාහ වී ඔහු ගේ බිරිඳ පස් මස් ගැබිණියක ව හිඳින බව පබසරා නිර්මලා ට කීවා ය.

“අපේ එක්කෙනාට පවට පින් දෙන්න බැරි වුණානෙ”

පබසරා තවමත් ඒ ගැන පසු තැවිලි වූවා ය. නමුත් නිර්මලා පොඩි දුවගේ හිත රිදෙන යමක් කියන්නට ගියේ නැත.

“අයිය වුණත් තාත්ත එක්ක මාර කේන්තියෙන් ඉන්නෙ. අක්ක කසාද බැඳල ඩිවෝස් වෙන මිනිහෙක්ව බඳින්න ඕන කමක් නෑනෙ. මේක සිද්ද වුණේ ඔය දිසත් කියන මනුස්සයත් තාත්තගෙ ජාතියෙම බේබද්දෙක් නිසා”

“මිනිස්සුන්ට අපහාස නොකර ඉන්න පබා. ඒකත් හරියට කාරණා නොදැන”

පබා පමණකුදු නොව රුක්ෂාන් ද වතාවක් ගෙදර පැමිණ නිර්මලාට මුව නො සෑහෙන්න දොස් කියා ගියේ ය.

“අම්මත් මෙච්චර මෝඩද ආ…අම්මට වෙච්ච දේම ලොකු නංගිටත් වෙන්නද එයාව එහෙම මිනිහෙක්ට දෙන්න යන්නෙ…ඒ මිනිහ ඔය විදිහට ගෑනුංව ඩිවෝස් කර කර යන එකෙක්නං එහෙම…අම්මලට රඟේ තේරෙයි ලොකු නංගිවත් අත්ඇරල දාපු දාක”

ඇයි දෝ මන්දා එවැන්නක් විය නො හැකි බව නිර්මලා ගේ හිත තදින් ඇදහුවේ ය.ශරීර දෙකක් තුළ එක ම ආත්මයක් රැඳී ඇති යුගල් සිටිති. ඔවුන් ගේ නොගැලපීම් නැතිවා ම නොවේ. නමුත් එක් ව ජීවත් වන්නට අවශ්‍ය සාධක බොහොමයක් එවන් අයගේ සමාන ය. එවන් සමානයින් ඇතැම් විට එක බැල්මකින් උනුන් හඳුනා ගනිති. ඉරණම් කාරයන් නමින් බොහෝ විට හැඳින්වෙන්නේ එවන් සමාන යුගල් ය.

දිසත් හා සිය දියණිය අමාරසී දෙස බලා හිඳිනා කල නිර්මලාට දැනෙන්නේ ඔවුන් ද ශරීර දෙකක් තුළ පවත්නා එක ආත්මයක් ලෙසිනි. එය වූ කලී සමාන රසායනයකි. ඒ රසායනය දෑස් ඇතුලු මුලු මහත් ශරීරයෙන් ම ඔවුන් ගෙන් පරිබාහිර ව හිඳ බලන්නෙකුට දකිත හැක. දැනෙනු ඇත.

නඩුව පැවති කාලය පුරා අමාරසී වෙතින් දැකිය හැකි වූ ඉවසිලිවත් ශාන්තිදායක බව නිර්මලා තුළ විශ්මය ජනිත කරවන ලදී. ඇය හැසිරුණේ විවාහය ගැන ඉතා පුළුල් අවබෝධයක් ඇත්තියක ගේ සංයමයෙනි. වසරකටත් වඩා නඩුව දික් වෙමින් යත්දී ඔවුන් ට හමු වීමේ අවස්ථාවක් නැත්තට නැති වී ගියේ ය. නමුත් හදවත තුළ ඈ ඔහු සුරක්ෂිත කොට ගෙන සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles