අතීතයෙන් පාඩමක්

“අම්මේ..සරුංගලයක් හදලා දෙනවද?”

පුංචි දෙනෙත් ඇවිල්ලා ගවුමේ එල්ලෙනකොට ගීතිකාට ආවේ කේන්තියක්. ඉරිදාට කරන්න මොනතරම් වැඩ තියනවද? ගේ අස් කරන්න,සතියේ දවස්වලට උයලා තියන්න,රෙදි හෝදලා නාගන්න,වෙලාවක් තිබුණොත් ෆේස් පැක් එකක්වත් දාගන්න. ගීතිකාගේ ලිස්ට් එක තව දිගයි.ඉතින් දෙනෙත් කියන දේ නෑහුණා වගේ ඉන්න ගීතිකාට හිතුණා.

“තාත්තට කියන්න පුතේ..”

දෙනෙත් ඉල්ලීමත් අරන් තාත්තා ගාවට ගියා.ඒත් නදීකට ඊට වඩා වැඩ ගොඩක් තියෙනවා.අද බලන්න ක්‍රිකට් මැච් එකකුත් තියනවා.සතියක් තිස්සේ ඔෆිස් එකේ මහන්සි වෙලා නිස්කාංසුවේ ඉන්න හදනකොට දෙනෙත් ඉල්ලන්නෙත් මහ පුදුම දේවල්.

“සරුංගල් විකුණන තැනකින් සරුංගලයක් ගේන්නද පුතේ?”

නදීක ඇහුවේ මිදුලට බැහැලා අහස පුරා දඟ කරන සරුංගල් දිහා බලන් ඉන්න දෙනෙත්ගෙන්.දෙනෙත් මොකුත් නොකියා ගේ ඇතුළට ආවා.ඇස් රතු වුණත් නාඬා ඉන්න හිතෙනවා ඇති.

“අහස දිහාම බලන් ඉන්නේ සෙල්ලමක් කරන්නකො පුතේ..”

රෙදි බේසම වනන ගමන් ගීතිකා දෙනෙත්ට කිව්වා.දෙනෙත් නෑහුණු ගාණට අහස පුරා පියාඹන සරුංගල් දිහා බලාගෙන ඉන්නවා.

“ඔයා මාකට් එකට යනකොට සරුංගල් තිබ්බොත් ගේන්න.මූණ හරි නෑ පොඩ්ඩක්වත්.”

ගීතිකා නදීකට මතක් කළා.සමහර වෙලාවට දෙනෙත්ටත් ඉල්ලපු දේ ඒ වෙලාවෙම ඕනෑ.අහස දිහා බලාගෙන භාවනා කරන දෙනෙත්ට ඕනෑ දෙයක් කරගන්න ඇරලා ගීතිකා ඉතුරු වැඩ කරන්න පටන් ගත්තා.

“පුතා..මෙහෙ එන්න.මම කට්ලට්ස් හැදුවා..”

දෙනෙත් එකම එක කට්ලට් එකක් අරගෙන ආයෙත් මිදුලේ බංකුවට ගියා.ලොකු ගාණක් වියදම් කරලා අරගත්තු සෙල්ලම්බඩු සාලේ තැන තැන වැටිලා බලාගෙන ඉන්නවා.ඒත් දෙනෙත්ට දැන් ඒ එකක්වත් ඕනෑ නෑ.

“තාත්තා මාකට් ගිහින් එනකොට සරුංගලයක් අරන් එයි..”

ගීතිකා එහෙම කිව්වේ මුහුණ නරක් කරගෙන ඔහේ ඉන්න දෙනෙත්ට ඇහෙන්න.

“මට ඕනෑ සරුංගලයක් හදන්න..”

දෙනෙත් එහෙම කියලා කඩදාසි ඔරු හදන්න පටන්ගත්තා.කඩදාසි සෑහෙන ප්‍රමාණයක් නාස්ති වෙනවා දැක්කත් ගීතිකා මොකුත්ම නොකියා හිටියේ අවුරුදු හතක් වුණත් දෙනෙත්ට සමහර වෙලාවට කේන්ති යන්නේ අවුරුදු දහයක දොළහක ළමයෙක්ගෙ ගාණට නිසා.

“හරි වැඩේ..අර සරුංගල්කාරයා ගාව එක සරුංගලයක්වත් තිබුණේ නෑ..”

නදීක ආපහු ඇවිත් බඩුමළු බාන අතරේ ගීතිකාට කිව්වේ හොරෙන් වගේ.ඒත් දෙනෙත් තාත්තා සරුංගලයක් ගේනකම් බලාගෙන හිටියේ නෑ.එයා චිත්‍රයක් ඇන්දේ තාත්තා කන්න දෙයක් ගෙනාවද කියලවත් බලන්නේ නැතුව.

“අර අයිස්ක්‍රීම් අවුට්ලට් එකේ අලුත් ෆ්ලේවර්ස් ගොඩක් තියනව ගීති..”

නදීක එහෙම කියන ගමන් අයිස්ක්‍රීම් කප්ස් සහ කෝන්ස් කිහිපයක කවරයක් කෑම මේසේ උඩින් තිබ්බා.

“චූටි පුතා..එන්න.ස්වීට්කැෆේ එකෙන් අයිස්ක්‍රීම් ගෙනාවා..”

සරුංගල් ආරෝව හින්දා වෙනදා තරම් ලොකුවට හිනා වෙන්න අමතක වුණත් දෙනෙත් දුවගෙන ආවා.කප්ස් අතරින් එයා ආසම ජාතිය තෝරාගෙන අම්මාට හොඳ හිනාවක් පා කරලා දෙනෙත් එතනින් යද්දී නදීක ගීතිකා දිහාවට හැරුණා.

“ඔයාට යෝගට් ගෙනාවා.ඔයා අයිස්ක්‍රීම් කන්නේ නෑනෙ..”

නදීක එහෙම කියද්දී ගීතිකා හිනා වෙලා යෝගට් කප් එකක් අතට ගත්තා.

“ඔයානම් හරි පුදුමයි ගීති..අයිස්ක්‍රීම් නොකන මනුස්සයෙක් මට මුණ ගැහුණමයි..”

නදීක එහෙම කියාගෙන චොකලට් චිප්ස් තැවරුණු අයිස්ක්‍රීම් කටක් කටට දාගත්තා.

“කන්නකො මේකෙන්..මේක හරි රසයි..”

ඔහු එහෙම කීවට ගීතිකා අහකට පැන්නේ හරියට ඇඟට සර්පයෙක් වැටුණු ගාණට.මේ අයිස්ක්‍රීම් අකමැත්ත ගැන නදීකට ඇත්තටම තේරුම් ගන්න අමාරුයි.

“මං අයිස්ක්‍රීම් කන්නේ නෑ කියල හිතාගත්තේ පුතාගෙ වයසෙදි වගේ..”

අවුරුදු නවයක විවාහ ජීවිතේ පුරාමත් ආදරේ කරපු අවුරුදු හතර පුරාවටත් “මං අයිස්ක්‍රීම් කන්නේ නෑ..”කියපු ගීතිකාගෙන් හේතුව අහන්න අමතක වුණාට තමන්ටම දොස් කියාගන්න නදීකට හිතුණා.

“ඔයා දන්නවනෙ නදීක, අපේ අම්මලට ළමයෙක්ට අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්න බැරි වත්කමක් තිබ්බෙ නෑනෙ..ඕනනම් මාසෙ පුරාම කන්න වුණත් අයිස්ක්‍රීම් අරන් දෙන්න එයාලට පුලුවන්නෙ..”

ගීතිකා එහෙම කිව්වේ කල්පනාබරව.නදීක අදවත් මේ පැටලිල්ල ලිහා ගන්න හිතාගෙන බිරිඳගේ මුහුණ දිහා බලාගෙන හිටියා.

“මං එක වසරෙදි ඉස්කෝලෙ රැස්වීමෙදි සින්දුවක් කියන්න සිලෙක්ට් වුණා..”

ගීතිකාට ඒ අතීතය මතක් වුණේ අද ඊයේ වගේ.රැස්වීමේ සින්දුවක් කියන්න තේරුණු පුංචි ගීතිකා අම්මාගෙන් තෑග්ගක් ඉල්ලා හිටියා

“ඒ අයිස් ක්‍රීම් එකක්..”

අතිශය කාර්යබහුල අම්මා අයිස්ක්‍රීම් ගේන එක අමතක කරපු හැටි ගීතිකාට තාමත් මතකයි.එකවතාවක් ඒ ගැන ඇහුවම “මේ වැහි කාලේ මොන අයිස්ක්‍රීම් ද”කියලා හේතුවක් පවා කියන්න අම්මා අමතක කරේ නෑ.

“මං ඊටපස්සෙ සින්දු කිව්වෙත් නෑ.අයිස් ක්‍රීම් කෑවෙත් නෑ..”

ළමා වියේ බිඳුණු බලාපොරොත්තු නිසා තාමත් තුවාලයක් දරාගෙන ඉන්න තරුණ ගැහැණිය රසවත් අයිස්ක්‍රීම් කප්ස් සේරම ශීතකරණයේ තැන්පත් කරමින් එහෙම කිව්වා.නදීක ඒ දිහා බලාගෙන මොහොතක් කල්පනා කළා.

“චූටි පුතා, ඇඳුමක් දාගෙන එන්න අපි ගමනක් යන්න.”

ඔහු නැගිට ගත්තේ වාහනයේ යතුරත් අරගෙන.ගීතිකා ඔහු දිහා බැලුවේ ප්‍රශ්නාර්ථයක් රැඳුණු මුහුණකින්.

“බුක්ෂොප් එකකට ගිහින් සව්කොළයි,ගම් බෝතලේකුයි අරන් එන්නම්..සරුංගල් හදන්න..”

නදීක පුංචි දෙනෙත්ව වඩාගෙන ගිහින් කාර් එක ඇතුළෙන් තිබ්බේ ලස්සන හිනාවක් ගීතිකාට විසි කරන ගමන්.

“අතීතෙ තියෙන්නෙ පාඩම් ඉගෙන ගන්න ගීතිකා.අපේ පුතා කවදහරි සරුංගල් අරින ළමයි එක්ක කේන්තියෙන් බීච් නොගිහින් ඉන්නවට මම ආස නෑ..”

නදීක එහෙම කිව්වේ ගීතිකාගෙ කම්මුලකට තට්ටු කරන අතර.

“පුංචි අයට ආස හිතෙන්නෙ හරි පොඩි දේවල්වලට.ඒවා ඒ මොහොතේ නොලැබුණාම එපා වෙනවා.ඔයාට ස්වීට් කැෆේ එක සල්ලිවලටම ගන්න පුලුවන් වුණත් දැන් ඔයා අයිස්ක්‍රීම් කන්න ආස නෑනෙ.පුතාත් එහෙම වේදනාවක් එක්ක ලොකුමහත් වෙන්න ඕන නෑ..”

ගේට්ටුවෙන් එළියට ඇදිලා යන මෝටර් රථය දිහා බලන් හිටිය ගීතිකා ගෙට ආවේ අමුතු සැනසීමක් හිතේ පුරවාගෙන.ශීතකරණය ඇරලා අයිස්ක්‍රීම් කප්ස් දිහා ටික වෙලාවක් බලන් ඉද්දී තමන්ටත් සුව වෙන්න කාලය ඇවිත් කියලා එයාට හිතුණා.

“ඉස්සරට වඩා අයිස්ක්‍රීම් දැන් රස ඇති!”

More Stories

Don't Miss


Latest Articles