පෙමාතුර – 25 කොටස

විසල් එන්නට ඇත. පහළ මහල දෙසින් කට හඬවල් ඇසිණ. නමුත් මම යහනේ ම වැතිර සිටියෙමි. විසල් ව දින ගණනාවකට පසු දකිනා ආශාවක් හදෙහි නොවුණා නොවේ. ඒ ආශාව පැරදවිය හැකි උදාසීන කමක් ද මා යට කර ගෙන තිබුණේ ය. අමාරුවෙන් සොයා ගත් ඔහු ට යළි නික්ම යා නොදී වැරෙන් අල්ලා ගන්න යයි හිතෙහි සාමාන්‍ය ගැහැනිය ගේ කොටස ඉඟි කළේ ය. නමුත් වඩා බලවත් වූ පොත් කියවන, කවි ලියන, වෙළෙඳ දැන්වීම් ලියන ගැහැනිය ට ඕනෑ වූයේ අලස ලෙස වැතිර ඉන්නට ය. ඇය ට කිසිත් බලහ්කාරයෙන් සතු කර ගන්නට හෝ නතු කර ගන්නට ඕනෑ නැත!

“කිසා…එන්න තේ බොන්න”

පුංචී උඩු මහලට ඇහෙන සේ හඬ නගා කීවා ය. මම සුසුමකින් නැගී සිටියෙමි. කිසිදු විස්සෝප වීමකින් පළක් නැති බව හදවත වහා මට කීවේ ය. මූණ එල්ලා ගෙන ඔහු ඉදිරියට යන සම්ප්‍රදායික තරුණිය නොවී ක්‍රියාශීලී හා සක්‍රිය ගැහැනු ළමයෙකු ලෙස මම වහා රූපාන්තරණය වීමි. අලුත් රබර් සෙරෙප්පු හඬ නගා පිය ගැට පෙළෙහි වද්දමින් මම ඉක්මන් ගමනින් පහළට ආවෙමි. නදීරා මදෙස නෙතු අයා බැලුවා ය. ඈ යමක් ඉව කරමින් හිඳිනා බව පහු ගිය දින කිහිපය තුළ මට නො දැනුණා නොවේ. නමුත් මම වෙනසක් හඟවන්නට නො ගියෙමි.

මා කෑම මේසය ළඟින් කුස්සිය වෙත යත්දී විසල් මදෙස බැලුවේ ය. ඒ දෑසේ වූයේ මුළුමනින් කැළඹී ගිය බොර පැහැයකි. මම දෙතොල් තද කොට සිනහ වූයෙමි. ඔහු සිනහ වෙන්නට අමතක වූවෙකු සේ බලා සිටියේ ය. පුංචී තේ පානය සඳහා පැටිස් බදිමින් සිටියා ය.

“කිසා ඔය බැදපු පැටිස් ටික ඩිශ් එකක තියල ටේබල් එකට ගෙනියන්. විසල්ට කන්න කියන්න තේ ගේනකං. ආ…සෝස් බොට්ල් එකත් තියන්න හොඳේ”

පුංචා මට වැඩ පෝලිමක් කියා ගෙන ගියා ය. මම ඒ එකින් එක සිහිපත් කරමින් බන්දේසියක තබා ගෙන විසල් වෙත ගියෙමි. ඔහු නැවතත් අර වියවුල් දෑසින් බැලුවේ ය. ප්‍රේමයේ ලෝබකම හදවතට කාන්දු වෙමින් තිබිණි. මම ඔහු ගේ සිරුරේ ස්පර්ශ වෙන නො වෙන ගාණට හිඳ දීසියට පැටිස් හා සෝස් දැමුවෙමි. එහෙමම ඔහු ගේ හිස ළයෙහි හොවා සිප ගන්නා උමතු සිතිවිල්ලක් ළය පහුරු ගාමින් තිබුණාට එසේ කරන්නට තරම් එඩිතර කමක්, ගේ ඇතුළේ දී මට වූයේ නැත.

ඔහු ගේ ඇස් වල කතා කෝටි ගණනක් තිබෙන්නට ඇත. සිප වැළඳ ගැනීම් දහස් ගණනක් මට දැනිණ. නමුත් අප සිටියේ වචන වලින් ගොළු වී ය.

 “මට ඔයා ඕන”

අන්තිමට ඔහු ඉතා හෙමිහිට මිමිණුවේ ය. මම මගේ ඇස් දෙකෙන් ඔහු මත මෘදු ලෙස පතිත වුණෙමි. ඔහු ට එහෙම දැනෙනවා නම් මට ඒ ප්‍රමාණවත් ය.

“කන්න විසල්…කෝ අක්ක එන්න…නදී…”

පුංචා ඉතිරි පැටිස් සහිත බඳුන ගෙනැවිත් මේසය මත තැබුවා ය. නදීරා තේ පෝච්චිය හා කෝප්ප සහිත බන්දේසිය ගෙන ආවා ය. ඉඟුරු දැමූ තේ සුවඳ මගේ උදාසීන ව තිබි පාළු හිත ප්‍රාණවත් කරනා බවක් දැනිණ. මම හෙමිහිට පැටී එකක් ලෑටි ගෑවෙමි.

“හරි කණගාටුයි වෙලා තියෙන දේවල් ගැන. දැන් අම්මගෙ තත්වෙ කොහොමද පුතා…”

අම්මා මේසයට හිඳ ගත්තේ එසේ විමසමිනි.

“හෙට වෙනකොට ඩිස්චාජ් කරයි ආන්ටි. ඒකයි මං ආවෙ”

“අම්ම වුණත් විසල් ව ඒ විදිහට ඉමෝශනලි බ්ලැක් මේල් කරන්න හදපු එකට මන්නං විරුද්දයි”

සනෝජා පුංචි කවදත් කොතැනත් සිය අවංක හැඟීම නො සඟවා ප්‍රකාශ කරන්නී ය. තත්පර කිහිපයක නිහඬතාවයක් පැතිරිණි.

“අම්මට වෙලා තියෙන්නෙ…මාමට වෙච්ච පොරොන්දුව කඩන්න බැරි කම….මං ඒක දන්නව. ඒත් එයාල තාමත් මේ පරණ විදිහටම හිතන එක ගැන…අනේ මන්දන්නෑ අප්ප..”

විසල් ඒ නිහඬතාවය බින්දේ පුතා වශයෙන් අම්මා රකින්නට සිට ගනිමිනි.

“පොරොන්දුනං මොනාද පුතා…ඒ වගේ ද මිනිස්සු…ඒ වගේ ද දරුවො…”

මට මගේ අම්මා තදින් වැළඳ ගන්නට සිතුණ තරමි. අතීතයෙන් උගත් පාඩම් මත ඇය වඩාත් පුළුල් ලෙස මානව සබඳතා දෙස බලන්නියක බවට පත් වී තිබේ. මා වූ කලී ඒ අම්මා ගේ දුවකි. අම්මා හා පුංචී වන් ප්‍රේමය පිළිබඳ ජීවන දර්ශනයක් ඇති ගැහැනුන් ගේ ජාන සම්භවය ඇත්තියක වශයෙන් මට මා ගැන ආඩම්බර ය.

“ආන්ටිල වගේ ලෝකෙත් එක්ක සම්බන්ධකං පවත්වන අය නෙවෙයි අපේ අම්මල. එයාලට කර ගහගෙන යන්න තියෙන්නෙ පරම්පරාව විතරයි වටින දේකට කියල පේන්නෙ පරම්පරාවෙ දේපල ටික විතරයි. තමන්ගෙ ජීවිතේ දවසක නැති වෙලා යනව කියන එක පිලි ගත්තත්…දේපල ටික පවුලෙන් පිට යයි කියල හිතන්න එයාලට බෑ. ඔය මාමට උරුම පවුලෙ දේපල ඉෂිනි පිට කෙනෙක් බැන්දොත් ඒ මනුස්සයට අයිති වෙනව කියන ප්‍රශ්නෙ තමයි ඔය තියෙන්නෙ. අම්මල ඒකට කැමති නෑ. මාමට වුණත් ඕනෙ ඉෂිනියි දේපලයි ඔක්කොම පවුල ඇකුළෙම තියා ගන්න”

“අනේ මන්දා…”

සුසුම් කිහිපයක් එක වර හෙළන හඬවල් ඇසිණ. මා නම් හුස්ම ගත්තේත් පරෙස්සමෙනි.

“එහෙනං ඉතිං කාගෙත් හිත් හොඳ කරන්න ඔයාට හිත හදා ගන්න වෙනව කොල්ලො”

නදීරා එසේ කීවේ මේ කතාවේ අවසානය ඔය ආකාර දෙකෙන් එකකට අනුව තීරණය විය යුතු බව නො කියා කියමිනි. ඉන් පසු කිසිවෙකු ඒ ගැන කතා නොකර සිටියහ. ඒ වෙනුවට කතා කරන්නට ඕනෑ තරම් මාතෘකා වර්තමාන දේශපාලනය විසින් නිර්මාණය කොට දී තිබේ. ගැහැනු ගෙදර වැඩිහිටි ගැහැනුන් ට ඒ ගැන අවබෝධයක් ද උනන්දුවක් ද තිබිණි. ඔවුහු කුමන පරිවර්තනයක් දේශපාලන සමාජ හා ආර්ථික යන ක්ෂේත්‍රයන් හි වෙත්දැයි අවදියෙන් බලා සිටියහ.

“හෙට උදේ එළියට එනවද…ඔෆිස් යන වෙලාවට..”

තේ බී අවසානයේ කට්ටිය භාජන සේදීමට හා අස් පස් කිරීමට යුහුසුළු වෙත්දී විසල් මගෙන් මුමුණා ඇසුවේ ය. මම ඇස් පිය සැලීමෙන් එකඟ වී මතු මහලට දිව ගියෙමි. හදවත තුළ කුණාටුවක් ව හමනා මේ හැඟීම් ප්‍රවාහය මේ මොහොතේ ම ඔහු ට කියා යැවිය යුතු ය කියා මට සිතිණ.

“විසල්, මං ඔයාට ගොඩක් ආදරෙයි. ඒක කාලාන්තරයක් තිස්සෙ හිතේ එකතු වුණ ආදරයක්. ඔයාව දකින්නවත් කලින් ඉඳන්. සමහර විට ආත්ම ගාණක් තිස්සෙ පුරුද්දෙන් වගේ ඉව කරපු ආදරයක්. පපුව පුරා දැනුණ ආදරයක්. හිත පුරා දීපු ආදරයක්.

සම්මතයනං කොල්ලෙක් ආදරේ කියන එක. ඒත් හැම සම්මතයක් ම කුඩු පට්ටං කරගෙන මගෙ පපුවට දැනෙන ආදරේ ඔයාට දැනුම් දෙන්න මට ඕන වුණා. ඒක මගෙ අයිතිය කියලයි මං හිතන්නෙ. පෙරලා ඔයාගෙන් ඒ ආදරේ ලැබුණත් නැතත් මට ඒක ගැටළුවක් නෙවෙයි.

මං දන්නව මං මුරණ්ඩුයි. හිතුවක්කාරයි. නො ඉවසිලිමත්. හිතුණ දේ හිතුණ ගමන් කරන්න ඕන මොකක්දෝ (නරක) පුරුද්දක් හැමදාම මට තිබුණා. ඒ වුණත් මං දන්නව මං අවංකයි.

ඔයා ඉවසිලිවන්ත පිරිමියෙක්. ඒකට ඔයාගෙ ඇස් සාක්ෂියි. හැබැයි ඒ ඇස් වලට පුළුවන් ගෑනු පපුවකට මැරෙන්න ම වෙඩි තියන්න.

මට කියන්න ඕන ඒක නෙවෙයි. දැන් කතාව වෙන පැත්තකට යනව. මට කියන්න ඕන ඔයා මාව වදයක් කර ගන්න එපා කියලයි. ප්‍රශ්නයක්, බරක්, වේදනාවක්…ඒ මොකක්වත් කර ගන්න එපා. එතකොට ඒක මටත් බරක්. මට ඕනෙ නිදහසේ ආදරේ කරන්න විතරයි. දැනටමත් මං ඒක කියල ඉවරයි. මට දැනෙන හැටියට ඔයාට ඒ ආදරේ දැනුණා. එච්චරයි. අනුන්ගෙ පැන්සලක්වත් චූටි කාලෙදිවත් මං මගේ පෙන්සිල් කේස් එකේ තියාගෙන නෑ. අනුන්ට වෙන් වෙලා ඉන්න ඔයාවත් හොරකං කරන්න මට ඕන නෑ. ඔයා ඔයාට අයිති තැන ඉන්න. මගෙ ආදරේට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ. අනිත් එක කොච්චර වුණත් අයිති වෙන දේවල් වලට වඩා මිනිස්සු වැඩිපුර ආදරේ කරන්නෙ අයිති කර ගන්න බැරි දේවල් වලට.

එතකොට මට පුළුවන් හැමදාම මේ ආදරේ මගේ පපුවෙ ජීවත් කරවන්න. ජීවමාන කරවන්න. සමහර විට අයිති වුණොත් දවසක අපිට අපි එපා වෙන්න වුණත් පුළුවන්. මට ඕනෙ ඔයා මගෙ හදවතේ සදාකාලික චමත්කාරය විදිහට ඉන්නව දකින්න. ඔයා නොදන්නව වුණාට මේ ආදරේ උමතුවක්!

ඉතින්, ඔයා ගෙදරත් එක්ක ගැටුම් ඇති කර ගන්න එපා. ඉරණමේ ලියවිල තිබුණ හැටියට ඒව වෙන්න අරින්න. මේ උමතුව නිසා ඉර හඳ තාරකා කුඩු පට්ටං කරල හරි ඉරණම වෙනස් කරන්න වුණත් මං හයියයි. ඒත් එහෙම ඕන නෑ. ඔයා සැනසිල්ලෙ කලින් වගේ ඉන්න.

මට මේ උමතුවෙන් ම දවසක මැරෙන්න දෙන්න!

ඒ ලියමන තවත් වරක් හෝ නො කියවා මම එය විසල් ගේ විද්‍යුත් තැපැල් ලිපිනයට තැපැල් කළෙමි. හිතට දැනුණේ සැහැල්ලුවකි.

ඒ රාත්‍රියේ මට සුවෙන් නින්ද ගියේ ය. සැබවින් මඳක් පමා වන තුරු නින්ද ගියේ ය. ඇස් විවර වූයේ එක් වර දැනුණ ආලෝකය හා කුරුලු කූජනයන් නිසා ය. ඉනික්බිති මා උඩ ගොස් වැටුණා කියා සිතමි. සැබවින් මම බිම ට පැන සිටියෙමි.

“ලේට් වෙලා. එයා බලං ඉඳල යයි”

ඉක්මනට නාන කාමරයට වැදුණ මම වහ වහා සූදානම් ව පහළ ට දුව ගෙන ආවෙමි.

“ඔය යන්නද…තේ එකවත් බිව්වෙ නෑනෙ”

නදීරා මා දැක කෑගෑවා ය.

“ලේට් ලේට්. ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකට යන්න තියනව”

කියමින් මම දුවගෙන ම පාරට ගියෙමි. විසල් ගේ රිය ගුරු පාරත් ප්‍රධාන පාරත් අතර මන් සන්ධියේ ඉඩ ඇති තැනෙක නැවතී තිබුණේ ය.

“සොරී…සොරී. දවස් ගාණකින් ඊයෙ රෑ තමයි නින්ද ගියෙ. ඇහැරුණෙත් ලේට් වෙලා. සොරී…”

 රියට නැගුණු ගමන් මම අතැඟිලි වලින් කන් දෙක අල්ලා ගෙන විසල් දෙස බැලුවෙමි. ඔහු ගේ මූණේ එක සිනහ බිඳක් හෝ නොවිණි. කතා නැතිව ම රිය පදවා ගෙන ගිය ඔහු නතර වූයේ නගර මධ්‍යයේ වෙනම ම ලෝකයක් සේ දැනෙනා ප්‍රකට බොජුන් හලක ය. එහි හුදෙකලා මතු මහලේ සිට හෝරා ගණන් මම පොතක් එක්ක තනි වී සිට ඇත්තෙමි.

විසල් මට රවමින් ගොරවමින් හිඳීම මත මම පසු බෑවෙමි. බොජුන් ඇනවුම් කළ විසල් මට කතා නො කර ම මතු මහලට නැගුණේ ය. ලී තරප්පු වල හඬට බියෙන් මා පිය තැබුවේ ඉතා ම හෙමිහිට ය.

“දාල යන්න හැදුවොත්නං ඔයාවත් මරල මාත් මැරෙන එක විතරයි කරන්නෙ හොඳේ. මාව එතනට තල්ලු කරන්න හදන්න එපා”

අප අසුන් ගන්නටත් පෙර ඔහු මාව බිත්තියකට තද කර කීවේ ය. ඒ ඇස් වල වූයේ වියරුවකි. සැබවින් ම ඔහු මගේ ගෙල සිර කොට මරාවිද කියා වුව මට නො සිතුණා නොවේ.

“කිව්වනෙ දැං මට ඔයා නැතුව ජීවත් වෙන්න ඕන නෑ කියල. ආයෙත් වෙන් වීමක් ගැන කතා නොකර ඉන්න. ප්ලීස්…”

ඊළඟ තත්පරයේ ඔහු මා ළඟට ඇද තදින් සිය පපුතුර රුවා වැළඳ ගත්තේ ය. මට ඉකි බිඳී හැඬුණේ එවිටයි.

“ඒ මේල් එක පුරාම තිබුණ ආදරේට මං කැමතියි. කැමතියි නෙවෙයි ලෝබයි. හැබැයි දැං පැනල දුවන්නනං හදන්න එපා. මං යන්න දෙන්නෙත් නෑ”

ඉකිලන මගේ හිස පිරිමදිමින්,සසර දිගු කරනා තෘෂ්ණාවකින් ඔහු මිමිණුවේ ය. මම ඒ පුරුෂාධිපත්‍යයට ප්‍රේමයෙන් වසඟ ව සිටියෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...

හිමගිරි අරණ -19

"එකට වැඩ කරන නිසා අයියේ අක්කේ නංගි මල්ලි කියා ගත්තෙ නැතුවට මම අක්කා තමයි." හිමාෂා කියන්නේ හිනැහෙමිනි.කාර්යාලයේ හිඳින වයසින්...

(අ)හිමි සිහින -123

මම මගේ ක්ෂේත්‍රයේ මට හැකි උපරිමයෙන් ඉදිරියට එන්නට වෙනකොට කටයුතු කරමින් සිටියා.හැබෑවටම මම ඒ වෙනකොට රටේ බොහෝ පිරිසක් දන්නා චරිතයක් බවට පත්වෙමින්...

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...