ආදරේ හැටි.

“කවුද අනේ ඔය කෑගහන්නෙ.ඔයාගේ ටියුෂන් ළමයෙකුගේ තාත්තෙක්ද?”

චාරුනී සෑහෙන වෙලාවක් කෙටි උත්තර දෙන ගමන් දුරකථනයට ඇහුම්කන් දෙන අන්දම බලාගෙන හිටිය ඔමායා ඇහුවේ කුතුහලයෙන්.චාරුනී කැම්පස් එකේ ඉගෙන ගන්නවට අමතරව පාසල් දරුවෝ කිහිපදෙනෙකුට ටියුෂන් කරනවා.ඉතින් සමහර වෙලාවට ළමයින්ට වාර විභාගෙට ලකුණු අඩු නම් වගකියන්න ඕන ටීච..ඒ වගේ වෙලාවට ඔව් නෑ බෑ තියරිය අනුගමනය කිරීම පහසුයි කියල ඔමායාට කිව්වෙත් චාරුනීම තමයි.

“නෑ..”

චාරුනී කියන්නේ ඔලුව දෙපැත්තට වනන ගමන්.ඒ මුහුණ දුකින් ඇද වෙලා කියලා හිතුණු නිසාම ඔමායාට ඒ ගැන විපරම් කරන්න හිතුණා.එකට ඉන්න මිතුරියට ගැටලුවක් කියල තේරුම් නොගැනීම ගැන ඇයට ඇති වුණේ තමන් එක්කම තරහක්.

“මොකද වුණේ”

චාරුනීගේ උත්තරේ කෙටි හින්දාම ඔමායාගේ ඊළඟ ප්‍රශ්නෙත් කොටයි.ඒත් ඒ ප්‍රශ්නෙට චාරුනී දුන්නේ දිගම දිග උත්තරයක්.දිග කතාවක් පුලුවන් තරම් කොට කරලා චාරුනී මිතුරියට කිව්වා.

ඇගේ පෙම්වතා ඉන්නේ සෑහෙන්න කේන්ති ගිහින් කියලා හෙළි කරනකොට චාරුනීට ඇඬෙන්න පටන් ගත්තා.ඊයේ අහන්නේ නැතුව සැලෝන් යාමත් ඇහිබැම හදා ගැනීමත් කියන වරදට අද දවසම චාරුනීට බනින්න ඇගේ පෙම්වතා වුණු ගයාන් තීරණය කරලා.දැන් ගයාන්ගේ වැඩේ කෝල් කරලා,මැසේජ් කරලා,වොයිස් ක්ලිප් එවලා රස්තියාදු ගැසීම ගැන චාරුනීට බනින එකයි.

“අයිබ්‍රෝස් හදන එක වැරැද්දක් යැ.”

ඔමායා එහෙම අහනකොට චාරුනී වරදේ ස්වභාවය පහදන්න ගත්තා.කිසිම හේතුවක් නැති දවසක චාරුනි ඇහිබැම හදපු එක ගයාන්ට බරපතල සැකයක්.
“මුණ ගැහුණානම් මට ගුටි කන්නත් තිබුණා.” චාරුනී එහෙම කියනකොට ඔමායාට ආවේ කේන්තියක්.වැරැද්දක් නැතුව ගුටි කන්න ඕනෑද? අනිත් කාරණාව වැඩිහිටියන් දෙන්නෙක් අතර ඇති වෙන සම්බන්ධතාවයකදී එක් පාර්ශවයක් වැරැද්දක් කළත් ගහ මරාගන්න ඕනෑද? වෙන් වෙන්න පුලුවන්කම තියාගෙන හිංසා පීඩා කරගන්න එක මොනතරම් කැත වැඩක්ද.

චාරුනී එහෙම නොහිතන බව ඔමායාට හිතුණේ චාරුනී ඊටපස්සේ ඇයට පෙන්නපු කෙටි පණිවිඩ කිහිපයක් නිසා.ඒ තරම් අසභ්‍ය වචන ප්‍රේමවන්තියට නෙවෙයි හතුරෙකුටවත් කියන්න පුලුවන්ද කියලා ඔමායා හිතුවා..ඒ ගැන චාරුනීට ඉක්මනින්ම තේරුම් කරන්න ඔමායාට හිතුණා.

“ඔයා කොහොමද මේ වගේ ජරා කතා අහගෙන ඉන්නේ?”

චාරුනී මොකුත්ම නොකියා හිනා වුණා.දෙදෙනාගෙන් කෙනෙක් ඉවසන්නේ නැතුව සම්බන්ධතාවයක් ආරක්ෂා නොවන බව ඇය කීවේ ඊටත් පස්සේ.ඔමායාගේ කටත් ඇරුණේ ඒ කතාවට.

“ඒත් ඔහොම බැනුම් අහගෙන නීති වලට යටත් වෙලා ඉන්න පුලුවන්ද ඔයාට”

ඔමායා එහෙම අහනකොට චාරුනී මිතුරිය දිහා බැලුවේ සරදම් දෑසකින්..ඔමායා හදන්නෙ තමන්ගේ ආදරයට බාධා කරන්න කියන තරහ එක්ක ඒ සරදම කේන්තිය පිරුණු වචන වෙන්නත් වැඩි වෙලා ගියේ නැහැ.

“ඔයාට කොල්ලෙක් නෑනෙ.ඔයා කොහොමද අනිත් අයගෙ සම්බන්ධකම් ජජ් කරන්නේ.”

ඒ චෝදනාව ටිකක් සැරයි.හිතට අල්ලන සහ ජීවිතය එක්ව පවත්වාගෙන යන්න ගැලපෙන විදියේ සහකාරයෙක් මුණ නොගැහුණු හින්දා ඔමායා තාම තනිකඩයි.ආදරේ ගැන දන්න දෙයක් නෑ වෙන්න ඇති.ඒ වුණාට ජීවිතේ ගැන ඔමායාට තේරෙනවා.මේ නම් ආදරේ නෙවෙයි කියලත් ඔමායාට තේරෙනවා.

“මට කොල්ලෙක් නෑ තමයි.ඒ වුණාට ඔහොම බැනුම් අහගෙන ඔයාට සතුටින් ඉන්න බෑ කියල මට හිතුණා.”

ඔමායා එහෙම කියනකොට චාරුනී අර සරදම් හිනාව තවත් පළල් කරගෙන ඔමායා තමන්ට ඉරිසියා කරන බවට චෝදනා කළා.ආදරේ කියන්නේ නීති දැමීම සහ අනිත් කෙනා ගැන විමසිලිමත් වීම.ඒක නොදන්න ඔමායාට ගයාන් චාරුනී ගැන හොයාබලන එක දරාගන්න අමාරුයි.චාරුනී එහෙම කියද්දී ඔමායා මොකුත්ම නොකියා හිනා වුණා.මහ විෂ සහිත සම්බන්ධයක ඉන්න චාරුනීටත් දැන් විෂ කාවැදිලා ඉවරයි.එහෙම වුණා කියලා තමන් ඒ විෂ බාර ගන්න ඕනෑ නෑනෙ.

“සොරි චාරුනී.මං වැරදි ඇති.ඒ වුණාට ඔයත් දැන් අඬන්න එපා.” ඔමායා එහෙම කියලා තමන්ගේ වැඩක් කරගන්න හිතාගෙන ලැප්ටොප් එක දිග ඇරගත්තා.මිතුරියට සමාව දුන්නු බැල්මකින් මඳ වෙලාවක් බලාගෙන හිටිය චාරුනී ඔමායා ළඟට ආවා.

“මං එයාට මැසේජ් එකක් දැම්මා මං මැරෙනව කියල.ඊට පස්සෙ කොච්චර කෝල් ආවත් මං ආන්සර් කරන්නෙ නැහැ.”

කියන්න දේවල් කටට ආවත් නොකියාම ඉන්න හිතපු ඔමායා මිතුරිය දිහා බලලා යන්තමට හිනා වුණා..මේ මොන විකාරසහගත සම්බන්ධයක්ද කියලා ඔමායාට තේරෙන්නේ නැහැ.මැරෙනවා කියලා තව කෙනෙක් බය කරන එකේ ආදරයක් තියෙනවද? නින්දා විඳීම වෙනුවට හැරයාම තෝරා ගන්නවා කියලා වගකීමෙන් කියන්න චාරුනීට ඔය තරම් අමාරුද?

“මං පාඩම් කරන්න යන්නේ.ඔයාගේ ෆෝන් එක නද දෙන්න ගත්තම ඒක අමාරුයි.ඒ නිසා සයිලන්ට් දාලා ඕන එකක්.”

ඒත් චාරුනීට තිබුණේ වෙනම සැලැස්මක්.ඇය ඔමායා දිහා බලාගෙන හිටියේ ඒ සැලැස්ම ගැන පිඹුරු පත් දැනටමත් ඇදලා ඉවර නිසා.මේක ඔමායාගේ උදව් නැතුව කරන්න බැහැ.අනික ඊයෙ ඔමායා කොන්ඩේ කපන්න සැලෝන් ගිය නිසා තමයි චාරුනීටත් ඇහිබැම හදන්න හිතුණේ.ගයාන්ගෙන් අහනකම් ඔමායාට ඉන්න බෑ කියපු නිසා ඔමායාටත් මේ ප්‍රශ්නෙන් කොටසක් අයිතියි.

“අහන්නකො..ඔයා තව පැයකින් විතර ආන්සර් කරන්න.”

චාරුනීගේ ඉල්ලීමට ඔමායා වහාම ඔලුව දෙපැත්තට වැනුවා.ගයාන්ගේ තරමේ හැටියට අර අකුරු දෙකේ තුනේ වචන අහක ඉන්න ඔමායාටත් අහන්න වෙනවමයි

“ඊටපස්සෙ කියන්න මං මැරෙන්න හදලා ඉස්පිරිතාලෙ කියලා.” ගයාන් ගැන හටගත්ත අපුල ඔමායාට තමන්ගේ මිතුරිය ගැනත් දැනෙන්න පටන් ගත්තා.තමන් එක්ක රණ්ඩු කරන්න එපා කියලා තමන්ගේ සහකාරයට කෙලින් කියාගන්න බැරුව මේ වගේ විකාර වැඩ කරන එක අවුරුදු විසි ගාණක ගෑනු ළමයෙකුට ගැලපෙනවාද?ඇත්තටම ආදරේ කියලා චාරුනී විස්වාස කරන්නෙ වෙන මොකක්දෝ දේකට කියලා ඔමායාට තේරෙනවා

“සොරි චාරු.ඔය විකාර වැඩ වලට මට හවුල් වෙන්න බෑ.ඔයා ඕක විසඳ ගන්න”

ඔමායා පොත්පත් ටික අහුරා ගත්තේ පහළ කාමරයේ ඉන්න යාලුවෝ එක්ක පාඩම් කරන්න හිතන ගමන්.ඉක්මනින්ම වෙන බෝඩිමක් හොයාගන්නත් ඕනෑ.ඔමායා කාමරයෙන් එළියට එන ගමන් හිතුවා.

More Stories

Don't Miss


Latest Articles