ආදරයත් රැවටීමත් එකම මගක යන බව කියා දෙන Baby චිත්‍රපටය

ආදරයයි රැවටීමයි කියන නූල් සම්බන්ධයක් ඇතුලෙ එකට යාවෙන්නෙ කොහොමද කියල කවදාවත් ඔයාට හිතිල තියෙනවද?

ආදරේකට පුලුවන්ද රැවටීම කියන සංකල්පය එක්ක එකට පෑහෙන්න?

බෑ.

ඒත් එහෙම උන අවස්තා මේ ලෝකෙ වගේම සිනමා ලෝකයටත් අලුත් දෙයක් නම් නෙවෙයි.

ඉතින් අපි අද කතා කරන්න යන්නෙ ආදරයයි රැවටීමයි ගැන කතාවක් ගැන.

ඒ 2023 අවුරුද්දෙ රිලීස් වුන ඉන්දියානු චිත්‍රපටයක් වන “Baby” චිත්‍රපටය.

මානව සම්බන්ධතාවල සංකීර්ණතා ගැන ගොඩක් වෙලාවට අපි කතාකරන්නෙ අඩුවෙන්. අපි හරි ආසයි අර ආදරය තියෙන රසවත් පැත්ත ගැන කතාකරන්න. ඒත් ඒ ආදරය ඇතුලෙම තියෙන රැවටීම, පාවාදීම, විරහව කියන සංකල්පනා ගැන අපි කතා නොකරන තරම්. අපි හැමතිස්සෙම  ලෝකෙට පෙන්නන්න වගේම අපේ හිතට ඒත්තු ගන්වන්න උත්සහ කරනව ආදරය කියන්නෙ හරිම පාරිශුද්ධ මානව සබඳතාවක් බව.

ඒත් ආදරේ ඒ ලෝකෙට පෙන්නන, හිතට ඒත්තු ගන්වන තරම් ම පාරිශුද්ධ නැති බව අපිට මේ චිත්‍රපටයෙන් කියල දෙනවා.

කතාව පටන් ගන්නෙ ආනන්ද් සහ වයිශ්නවීගෙන්.

ඉන්දියාවෙ අපි නොදකින ඇත්ත, කටුක, මුඩුක්කු පරිසරයක ජීවත්වන ආනන්ද් සහ වයිශ්නවී දෙන්නම ඉන්නෙ ආර්තිකය අතින් ගත්තොත් එක සමාන මට්ටමක. දෙන්නම දරිද්‍රතාවයෙන් පෙලෙන, කරදර පිරිච්ච පවුල් දෙකක ළමයි දෙන්නෙක්.

ඒත් ආදරේට ඒව බාධා වෙන්නෙ නෑ වගේම ආදරේ කරන කාලෙදි තමන්ගෙ වගේම අනිත් කෙනාගෙ තියෙන අඩුපාඩුත් අපිට පේන්නෙ නෑ. අන්න එහෙම තැනකදි තමයි ආනන්ද් සහ වයිශ්නවී එකිනෙකාගෙ හිත් අස්සෙ තියෙන හැංගිච්ච ආදරේ එලියට දාන්න පාරක් හොයාගන්නෙ.

ආනන්ද් ගෙවන්නෙ හරි දුක්ඛිත ජිවිතයක්. තමන්ගෙ කණ ගොලු බිහිරි අම්මා එක්ක අඳුරු, දුක්බර ජීවිතයක් ගෙවන ආනන්ද්ගෙ ලෝකෙට පුංචි හරි එළියක් ගේන්න පුලුවන් වෙන්නෙ වයිශ්ණවීට විතරයි. අපි ගොඩක් වෙලාවට කියනවනෙ දුප්පත් මිනිස්සුන්ට ජීවත්වෙන වලෙන් ගොඩ එන්න තියෙන එකම සාධාරණ මාර්ගය වෙන්නෙ අධ්‍යාපනය කියල. වයිශ්ණවී ඒ කියමනෙ කියන විදියටම මහන්සි වෙලා ඉගෙන ගත්තට ආනන්ද්ට ඉගෙනීම පිහිටන්නෙ නෑ. වයිශ්නවී දිගටම හොඳට ඉගෙන ගද්දි ඉස්කෝලෙන් එළියට එන ආනන්ද් ඊළඟට යන්නෙ ඉන්දියාවෙ වුනත් ලංකාවෙ වුනත් තරුණ කොල්ලො, ඉගෙන ගන්න තියෙන අපහසුතා නිසා ඊළඟට සුලබව තෝරගන්න පාරට.

ඒ ත්‍රීවිල් ඩ්‍රයිවර් කෙනෙක් වෙන එක.

වෙන තැනක වුණානම් තමන් මෙච්චර හොඳට විභාග පාස් වෙවී උඩට යද්දි තමන්ගෙ කොල්ල ත්‍රීවිල් එලවනව කියල දැනගත්තම කෙල්ලට අතාරින්න මොන තරම් හේතු තිබුණත් වයිශ්නවී තමන්ගෙ හිතේ තියෙන ආදරේ බිඳුවක් වත් අඩු කරගන්නෙ නෑ.

ආදරය කියන්නෙ සීමා මායිම් අඳුරන්නෙ නැති ස්වභාව ධර්මය විසින් ඇති කරන බලයක්. ආදරේ කවදාවත් ආගම, සමාජ තත්ත්වය, මුදල් කියන දේවල් ගැන තඹ සතේකට මායිම් කරන්නෙ නැතුව ඇතිවන දෙයක් නේ. “මම ඔබව දකින්නේ ඔබ කවුරුන්ද යන්න ලෙස මිස ඔබට ඇති දේ හෝ ඔබ පැමිණියේ කොහෙන්ද යන්න නොවේ” කියල ආදරයක් ඇති වෙද්දි හිත මුමුණන්නෙ අන්න ඒ නිසා.

 වයිශ්ණවී සහ ආනන්ද් ඉඳියෙත් අන්න ඒ වගේ ආදරයක පැටලිල. මේ තමන්ගෙ සංසාර ආදරෙ කියල හිතාගෙන.

හොඳට ඉගෙන ගන්න වයිශ්ණවීට ඉහළට ඉගෙන ගන්න විශ්ව විද්‍යාලයකට යනවා. අපේ රටේ වගෙ එනෙවෙයි ඒ විශ්ව විද්‍යාලේ ඉන්න සල්ලි තියෙන ළමයි තමන්ට සල්ලි තියෙන බව පෙන්වන්න මිල වැඩි ඇඳුම් අඳිනවා, හොඳම හොඳ ෆෝන් පාවිච්චි කරනවා, තමන්ගෙ වාහනවලින්ම කොලේජ් එනවා.

එහෙම ළමයි අතරෙ “තවත් එක් ළමයෙක්” වෙන්න මහන්සි වෙන වයිශ්ණවීට ආනන්ද් තමන්ගෙ ත්‍රීවිල් එක උකස් තියල ෆෝන් එකක් අරන් දෙනවා.

‍ඒත් ඒ විශ්ව විද්‍යාලෙ ඇතුලෙ තමන් හරියට “ඩොලර් කාසි අස්සෙ සතයක් වගේ” කියල තේරුණා වුණත් වයිශ්නවී තමන්ගේ ගේම් එක අතාරින්නෙ නෑ.

ඒ කාලෙ තමයි වයිශ්ණවීගේ ජීවිතේට විරාජ් සහ සීතා එන්නෙ. එකට ඉගෙන ගන්න, එකට කන බොන යාලුකම් වලට එහා ගිහින් විරාජ් වයිශ්නවීගෙ ලස්සන රවුම් මූණ තමන්ගෙ හිත අස්සෙ කොටාගන්නවා. “මට කොල්ලෙක් ඉන්නව, එයාගේ නම ආනන්ද්” කියල වයිශ්ණවී කියන්න ඇති කියල අපි හැමෝම හිතනවා.

ඒත් ආදරේ ඒ අපි හිතන තරම්ම, හිතට ඒත්තු ගන්නන තරම්ම පාරිශුද්ධ නොවන බව අපි හැමෝම තේරුම්ගන්නෙ මෙන්න මෙතනදි. පොහොසත් ළමයි ගොඩක් ඉගෙන ගන්න ඉංජිනේරු පාසල ඇතුලෙදි තමයි වයිශ්නවී මෙච්චර කාලෙකට තමන් නොදැකපු ලෝකෙ දකින්නෙ. ඒ ලෝකෙන් විහිදෙන පාට පාට එළියට ගිණිකණ වැටිච්ච වයිශ්ණවීගෙ ඇස් දෙකෙන් වගේම හිතෙන් චුට්ට චුට්ට “ගමේ ත්‍රීවිල් එකක් එලවන, තමන්ට ෆෝන් එකක් අරන් දෙන්න ඒ හම්බ කරන් කන ත්‍රීවිල් එක උකස් තිබ්බ, ඉගෙන ගත්තෙ නැති ආනන්ද්ව” මැකිල යනවා.

ඒත් විරාජ්ට ආදරේ කියාගන්න බැරි හේතුවක් හිත අස්සෙ වළිකන බව වයිශ්ණවී දැනගන්නවා.

ආදරයක් අවසානයේ හිමිවීමක් තියෙන්නම ඕන කියල අපි හිතනව එහෙම නේද?

ඉතින් මේ තුන්කොන් ආදර කතාව ඇතුලෙ වයිශ්ණවීව අයිති වෙන්නෙ කාටද? අයිතිවිය යුත්තේ කාටද කියන ප්‍රශ්නෙ ඔයාගෙ හිතට ඇවිත් ඇති.

“Baby” කියන්නෙ ආදරයක ඇත්ත පැත්ත ගැන, අපි ආදරේ මුල් කාලෙදි අමතක කරන සමාජ තත්ත්වය පසුකාලිනව හරි බලපාන්නෙ කොහොමද කියන තිත්ත ඇත්ත ඉතාම රසවත්ව අපිට උගන්නන චිත්‍රපටයක් කියල කියන්න පුලුවන්.

ආදරේ එක වෙස් මුහුණක් තමයි රැවටීම කියන සංකල්පෙ හිතට කාවද්ද ගන්න ඔයාලා මේ චිත්‍රපටය බලන්නම ඕන.

වයිශ්නවී මේ චිත්‍රපටය අවසානයේ විවාහ වෙනවා. ඒ ආනන්ද් එක්කද විරාජ් එක්කද කියල දැනගන්න ඔබ මේ චිත්‍රපටය බලන්නම ඕන.

ඒ වගේම අමතක කරන්න එපා. ආදරයේ එක වෙස් මුහුණක් තමයි රැවටීම, ඒත් අපිට පුලුවන් ඒ වෙස් මුහුණ තෝර ගන්නෙ නැතුව ඉන්න කියන එක.

ඒ පාඩම් අපිට හොඳටම කියල දෙන්නෙ වයිශ්ණවී, ආනන්ද් සහ විරාජ්.

ඉතින් චිත්‍රපටය බලන්න.

ඔයාලගෙ අදහස් අපිත් එක්කත් බෙදාගන්න

Related Articles

Don't Miss


Latest Articles