Cheat කරපු සැමියගෙන් ඩිවෝස් වෙන්න කලින් නදීකා කරපු දේ

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

මිලින්ද ගෙදර එනකම් නදී උන්නෙ බලාගෙන. ඒ හැබැයි වෙනදා වගේ කෑම උයාගෙන ආදරෙන් එහෙම නම් නෙවෙයි. ඇස් වල කඳුලු පුරවගෙන, හිතේ තරහවයි වේදනාවයි පුරවගෙන. මෙච්චර දවසක් හිතේ සැකයක් විදියට තිබ්බ “මිලින්ද මාව රවට්ටනව ද?” කියන කතාවේ ප්‍රශ්නාර්තෙ හැලිලා එතන තිතක් ඉතුරු වුනා.

මිලින්ද ඔෆිස් එකේම ඉන්න මිලින්දට වඩා අවුරුදු කීපයක් බාල පොඩි කෙල්ලෙක් එක්ක තමන්ට හොරෙන් සම්බන්ධයක් අරගෙන යන බව සාක්කි එක්කම ඔප්පු වෙච්ච එකේ “එහෙම මිනිහෙක් වෙනුවෙන් උයාගෙන පිහාගෙන මං බලන් ඉන්නෙ මොකටද?” කියලමයි නදීකා හිතුවෙ.

මිලින්ද වෙනදා වගේම ගෙදර ආවේ හවස් වෙලා. හැබැයි වැඩ ඇරිල එන වෙන මිනිස්සු වගේ මහන්සි පාටට නම් නෙවෙයි. කුරුල්ලා වගේ, සින්දුවක් විසිල් කර කර හරි සන්තෝසෙන්.

“ඔව් ඉතින් ඔෆිස් එකේ හුරතල් කරන්න එක ගෑණියෙකුයි, ගෙදර එද්දි බලාගෙන, කවාගෙන පොවාගෙන ඉන්න තව ගෑණියෙකුයි ඉද්දි කුරුල්ලා වගේ ඉන්න බැරිය” කියල හිතෙන් හිතුවට නදීකා ඕව වචන කලේ නෑ.

“ඔයා මාව රවට්ටනවද?” කියලා නදීකා මීට කලින් හිතට ආව සැකේ එක්ක මිලින්දගෙන් ඇහුවෙ නැතුව නෙවෙයි. ෆෝන් එක අරගෙන බාත් රූම් එකට යන එක, වෙනදා නැති වැඩ වීකෙන්ඩ් එකේ වැටුනම, බාතෲම් එක ඇතුලෙන් එන මිමිණුම් හඬ වලට හේතුව ඇහුවම “ඔෆිස් එකේ වැඩකට ආව කෝල් එකක්” කියල කියද්දි හිතේ සැකයන් දාහක් ඉපදුණත් මොකෝ නදීකා “අනේ නෑ, මිලින්ද මට එහෙම කරන්නෙ නෑ” කියලා හිත රවට්ටගත්තා. අන්තිමේ මිලින්ද විතරක් නෙවෙයි තමනුත් තමන්ව රවට්ටගෙන නේද කියලා හිතෙද්දි තමා නදිකාට ඔක්කොටම වඩා දුක හිතුනෙ.

“අද නම් මාර මහන්සියි බබා” කියාගෙන මිලින්ද ගෙට ගොඩ වුණාට මොකෝ නදීකා නම් වෙනදා වගේ ලඟට ගිහින් බෑග් එක එහෙම ගත්තෙ නෑ.

“ඔෆිස් එකේ ඉඳලා කොෆි ශොප් වලට ගිහින් ඒසී එකේ හොඳට තුරුල් වෙලා ඉඳලද මිලින්ද ඔයාට මහන්සි” කියලා නදීකා එක තප්පාරයක්වත් ගන්නෙ නැතුව බෝම්බෙ ගේ සාලෙම අතෑරියා. නදීකා ඇස්වල තිබ්බ බැල්ම, කට හඬේ තිබිච්ච හයිය එක්ක තවදුරටත් තමන්ට මෙච්චර කල් කරපු බොරුව කරන්න බැරි බව මිලින්දට නොතේරුනා නෙවෙයි. ඒ උනාට ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ මිලින්ද ආයෙ පාරක් කට ඇරියෙ නදිකාව සුපුරුදු බොරුවෙන් ආයෙමවත් රවට්ටන්න පුලුවන් වෙයි කියලා හිතාගෙන.

“ඔයාට කවුරුහරි ලොකු බොරුවක් කියලා, නදී. ගෙට ආව ගමන් මේ පිස්සු කියවන්න පටන් ගන්න එපා”

“මගේ ඇස් දෙකෙන්ම දැකපු දේ බොරුවක් කියලා කියන්න බෑනෙ මිලින්ද නේද? මම මගේ ඇස් දෙකෙන් දැක්කා. ශුවර් නැත්තම් මම ඔයාලා දෙන්නගෙ අරගත්ත ෆොටෝ එහෙමත් පෙන්නන්නම්. දැන් ඒක ඔෆිස් එකේ ලමේක් එක්ක ගිය ඔෆිස් ඩිස්කශන් එකක් කියලා නම් කියන්න තියාගන්න එපා. එහෙම ඉතින් බොස් ලා තමන් එක්ක වැඩ කරන අයගෙ නලල ඉඹින්නෙ, මූණට වැටෙන කෙස් ගස් එහෙම අතෙන් අයින් කරන්නෙ නෑනේ නේද?

මම ඔෆිස් එකක වැඩට නොගියට මම හිතනව මම මේ කියන දේවල් හරි කියලා. ඒ නිසා තව මට බොරු කියලා නිකන් පව් පුරවගන්න එපා මිලින්ද”

“ඔච්චර ඔයා ඇවිල්ල, මාව දැක්කනම් ඇයි එවෙලෙ ඇවිත් කතා නොකරෙ? නිකන් බොරු පද හදන්න එපා නදීකා, පිස්සුද ඔයාට?”

“අනේ මට කිසිම පිස්සුවක් නෑ මිලින්ද. වෙන ගෑණියෙක් උනා නම් එහෙම ඇවිල්ල එතන කෑ ගහල, අඬල දොඩලා ඔයාට සමාව දෙයි. ඒ උනාට මට එහෙම පිස්සුවක් නෑ. මම එහෙම ඇවිත් කෑ ගැහුවෙ ඇඬුවෙ නැත්තෙ මම තීරණයක් ගත්ත හන්දා.

නිකන් මේ ඔයා මොකටද මිලින්ද මාව රවට්ටල පව් පුරවගන්න. ඊට වඩා ලේසියි මම ඩිවෝස් එක දෙන්නම්. වැඩි කරදර නැතුව ඔයාට ඒ ගෑණු ලමයව එතකොට ගෙදරටම අරගෙන එන්න පුලුවන් නෙ, නිකන් කොෆි ශොප් අස්සෙ රිංගන්නෙ මොකටද?” කියලා තමයි නදී තමන්ගෙ තීරණෙ මිලින්දට කිව්වෙ. මිලින්දයි පවුල් දෙකේම අයයි එක්කහු වෙලා “ඕක වැරදි තීරණයක්, ආයෙ සමාව දෙන්න, මිනිස්සු අතෙන් වැරදි වෙනවා” කියල කිව්වට නදීකා නම් නෙවෙයි ඉස්සරහට තිබ්බ පය පස්සට තියන්න හිතුවෙ.

ඩිවෝස් එකයි, රස්සාවක් නැතිකමයි ඔක්කොම එක්ක ඔලුව පොඩ්ඩක් අවුල් වෙලා වගේ දැනිච්ච හන්දා තමයි නදීකා මාව හොයාගෙන ආවෙ. ඒ ඇවිත් නදීකා ඇහුවෙ එකම එක දෙයයි.

“මම දැන් මොකද කරන්න ඕන?”

අපේ පාට්නර් අපිව රවට්ටලා කියලා දැනගත්තම විවාහයක ඉන්න ඕනම කෙනෙක්ට ඒක දරාගන්න අමාරුයි. ඒක හරිම සාමාන්‍ය දෙයක්. සමහර අය එකපාරම “මම ඩිවෝස් වෙනවා” කියලා කියන්නෙ නැතූව එක පාරක් දෙපාරක් සමාව දීල බලනව. හිත හදාගන්න අමාරු උනත් “ආදරේ නිසාම” හිත හදාගන්න උත්සහ කරනවා.

ඒත් හැමෝටම ඒක එහෙම කරන්න බෑ. සමහරු කල් ගන්නෙ නැතුව එකපාරම තමන්ගෙ හිතේ තියෙන වේදනාවෙන් ගැලවෙන්න කටයුතු කරනවා. හැබැයි වේදනාවෙන් ගැලවෙන තීරණේ ඉක්මනට ගන්න පුලුවන් උනාට, ඉන්පස්සෙ තමන්ගෙ ජිවිතේට වෙන්නෙ මොකද කියන දේ ගැන හරි අදහසක්, හරි ප්ලෑන් එකක් නැතුව තීරණයක් ගන්න අපිට බෑ.

නදීකාට තිබුනෙ ඒ ප්‍රශ්නය. එයා හොඳට ඉගෙනගත්ත කෙනෙක් උනත් එයා රැකියාවක් කලේ නෑ. එයා යැපුනෙ එයාගෙ හස්බන්ඩ් ගෙන්. එතකොට වරද හස්බන්ඩ් ගෙ අතේ උනත්, දික්කසාදය ලබාගන්න එක තමන්ගෙ ජීවිතේ නොහිතපු පැත්තකට අරගෙන යන්න හේතුවන බව නදීකා දැනගෙන උන්නා. තමන්ට දික්කසාදයෙන් පස්සෙ යැපෙන්න රැකියාවක් තියෙන්න ඕන, ඉන්න තැනක් තියෙන්න ඕන. ඒ හැමදේම ව්සඳගන්න අතරෙ, දික්කසාදයකට සූදානම් වෙනවා කියන එක කියන්නෙ පහසු දෙයක් නෙවෙයි. මානසිකවත් අපහසුතා ඇති කරන දෙයක්.

අපි කොච්චර ඉගෙන ගත්ත අය උනත් රැකියාවක් හොයාගන්න එක පහසු නෑ. දික්කසාදය එක්ක සමාජයෙන් එක විරෝධාකල්ප වලට මුහුණ දෙන එක සූදානම් නෑ.

විවාහක සහකරු අපිව රවට්ටන තැනක ඉන්නවද නැද්ද කියන එක ඔබේ තීරණයක්. ඒත් ඒ විවාහයෙන් වෙන් වෙන්න තීරණය කරනවානම් ඔබ ඒත් එක්කම තව දරාගත යුතු බොහෝ දේ වගේම, පහු නොවී කරන්න ඕන ගොඩක් දේ තියෙනවා. ඒ අතරින් පලවෙනිම දේ තමයි ආර්ථිකව ශක්තිමත් වෙන එක.

රැකියාවක් නැති ගැහැණියක් දික්කසාදයක් ලබාගන්න යන විට, සැලසුම් සහිතව ක්‍රියා කිරීම ඉතා වැදගත් වෙනවා. මුලින්ම, මානසික සෞඛ්‍යය පිළිබඳ සිතීම අනිවාර්යයි. දික්කසාදය කියන්නෙ ජීවිතයේ විශාල වෙනසක්. ඒ වගේම ඒක විශාල අභියෝග වලට මූණ දෙන්න වෙන කාල සීමාවක්. මෙම අවස්ථාවේදී යාළුවන් හා සමාජයට සම්බන්ධ වීම, සහයෝගීත්වයක් සහ උපදේශයක් ලබා ගැනීඛරිම වැදගත්. ඔයාගෙ හැඟීම් නිවැරදිව ප්‍රකාශ කිරීමට සහ අනුබලයක් ලබා ගැනීමට නිවැරදි පුද්ගලයන් එක්ක කතා කරන එක හරි වැදගත්.

එදිනෙදා ආර්ථික තත්වය පිළිබඳ සැලසුම් කර ගැනීමේදී, ඔයාගෙ මුදල්, ගාස්තු, සහ ආදායම් යටතේ සැලසුමක් සකස් කර ගන්න එක හරි වැදගත්. ආර්ථික තත්ත්වය සහතික කිරීම සහ මුදල් කළමනාකරණය වැදගත්. අදාළ නීතිමය කරුණු පිළිබඳව නීති උපදේශකයකුන්ගෙන් උපදෙස් ලබා ගැනීමත්, දික්කසාදයට අදාල ලේඛන සහ ලියුම්පත් නිවැරදිව සකස් කිරීමත් වැදගත්. මේ සියල්ල එක්ක ඔයාට මානසිකව ලොකු කලබලකාරී තත්ත්වයක් පහුකරන්න වෙන එක හොඳින්ම මතක තබාගන්න ඕන. තීරණේ ගන්න තරම් ලේසි නෑ තීරණ ක්‍රියාත්මක කරන එක.

දික්කසාදය කියන්න අවසානයක් නෙවෙයි. ඔයාට ජීවිතය නැවත ආරම්භ කිරීමට සහ අලුත් අවස්ථා සඳහා සූදානම් වීමට අවස්ථාවක් බව තේරුම්ගන්න එක ඉතාම වැදගත් වෙනවා.

මේ වගේ අවස්තාවකදී ඔබ මානසික උපදේශන සහයක් බලාපොරොත්තු වනවා නම් රශ්මි රාජපක්ෂ මහත්මිය සම්බන්ද කරගැනීම සඳහා Smartlady Admin වරියක සම්බන්ද කරගන්න පුලුවන්!

Related Articles

Don't Miss


Latest Articles