සාගර තරංගා – 5

0
6659

සාගර වන් ගෝල් ෆේස් මෝල් එකට ගියේ අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ කීපයක් මිල දී ගන්න බලාපොරොත්තුවෙනි. හදිසියේම ඉන්දියන් කෑමක් කන්නට ආ ආශාව හන්දාම එහි චෝල ඉන්දියන් අවන්හලෙන් නාන් ඕඩරයක් දමා එය සූදානම් වෙන තුරු එහෙ මෙහෙ ඇවිද උන් සාගර කුඩා දරුවන්ගේ ප්ලේ ඒරියා එක අසල දමා තිබූ අසුනක වාඩිගෙන උන්නේ දරුවන් දිහා බලන් ඉන්න එක කොහොමත් හිතට සහනයක් හන්දාය.

පොඩි දරුවන්ව සෙල්ලම් කරන ඒරියා එකට දමා තමන්ගේ වැඩ කටයුතු සඳහා එහෙ මෙහෙ යන මව්වරුන් මෙන්ම, දරුවන් සෙල්ලම් කරන දෙස ආදරයෙන් බලා හිඳින අම්මලා තාත්තලා දෙස බලාගෙන ඉන්න එකම සාගරට සන්තෝසයකි. කොහොමත් පොඩි දරුවන් කියන්නේ හිතට සතුට ගෙන දෙන කාරණාවකි.

හැම පොඩ්ඩෙක්ම මල් වගේ සුවඳත් ලස්සනත් බව දන්නවා වුණත් සාගර ගේ නෙත විශේෂයෙන්ම රැඳී තිබුනේ එක පුංචි කෙල්ලෙක්ගේ හැසීරිම මතය. පෙනුමෙන් සාමාන්‍ය වුණත්, හුරතල් පාට වුණත් ඒ පුංචි කෙල්ලගේ හැසිරීම වෙනස් බව සාගරය නොතේරුනා නොවේ.

සෙල්ලම් කරමින් ඉන්න අතරවාරයේ එකම විදියට අත පය බොහෝ වෙලාවක් සොලවන එක, හයියෙන් කෑගහන එක මෙන්ම එවෙලේ දැක්ක බොහෝ හැසිරීම් පිටිපස්සෙ ලොකු කතාවක් තියෙන බව දන්න හන්දාම සාගර ඒ දරුවා දෙස එක එල්ලේම බලා උන්නාය.  ඒ දරුවාගේ අම්මා යැයි කිව හැකි තරුණ කාන්තාවක් විටින් විට දරුවා දෙස බලා සිනාසෙන අයුරුත්, බායි කියන අයුරුත් සාගර දුටුවේ ඒ සියල්ල දෙස බලාගෙන ඉද්දීය.

ඒ පුංචි කෙල්ල සිනාවෙමින් සෙල්ලම් කරමින් උන් තැනට ආ වෙන පොඩ්ඩෙක් ඒ හුරතල් කෙල්ල සෙල්ලම් කරමින් උන් සෙල්ලම් බඩුවක් ගන්න බව සාගර දුටුවේ ඒ ඇසිල්ලේය. 

මෙච්චර වෙලා ඒ දරුවා දෙස බලා උන් සාගරට මේ දරුවාට තිබෙන්නෙ මෙවන් අසනීපයක් යැයි හිතාගන්න එක මහ අමාරුවක් වුණේ නැත. තමන්ගේ සිතුවිල්ල ඇත්තක් නම් මේ දරුවා ඊලඟට කලබල වී කෑ ගහන්නට ඉඩ තියෙන බව සාගර අත්දැකීම්වලින් දැන උන්නේය.

ඒ සිතූ පරිද්දෙන්ම ඒ කෙල්ල මොහොතක් නිහඬ වී හිඳ බඩු පොළොවෙ ගසමින් මහ හයියෙන් බෙරිහන් දෙන්න ගත්තාය.

“ඈඈඈඈඈඈඈඈඇ” කියමින් කෑ ගහමින්, ගොත ගසමින් අඬන පොඩ්ඩාව වඩාගෙන නලවන්නට ඇගේ අම්මා යැයි සාගර සිතූ තරුණිය මහත් වෙහෙසක් දරනවා සාගර දුටුවේය. එහෙත් දරුවා උන්නේ නැලවෙන්න හෝ හැඬිල්ල නතර කරන අදහසක නොවේ. එක දිගටම, වන් ගෝල් ෆේස් මෝල් එක දෙදරවන්නට, අත් පා ගසමින්, ගිරිය යටින් කෑගසමින් උන් දරුවා වඩාගෙන ඇගේ අම්මා වන් ගෝල් ෆේස් එකේ මුල්ලක, වොශ් රූම් තිබෙන අන්තය වෙත ගියේ දුවගෙන මෙන් ය.

ඒ දුවගෙන යන අතරවාරයේත් ඒ දරුවා මහ හඬින් කෑ ගහන එක නතර කලේම නැත. ඇගේ අම්මා ඔවුන් රැඳී සිටි මුල්ලට වී එහෙට මෙහෙට ඇවිදිමින්, ඔවුන් දෙස බලමින් යන මිනිසුන්ගේ බැල්ම මගහරිමින් දරුවා නලවගන්නට කරන වෑයම දකිද්දී එතනට නොගොස් හිඳින්න හැටියක් සාගරට තිබ්බේ නැත.

“කෝ බබාව දෙන්න මට” කියා සාගර ගොස් අසද්දී තරංගාගේ දෙනෙත් විසල් වුනේ විශ්මයෙනි. අනතුරුව භීතියකිනි. මේ නොදන්නා මිනිසෙකි. එහෙව් මිනිසෙක් මෙහෙම එකපාර පැමිණ මෙසේ ඉල්ලීම දරුවන්ව ඇහේ තියන් රකින ඕනම අම්මා කෙනෙකුට බය වෙන්න, තිගැස්සෙන්න හේතුවකි.

“සොරි, ඔයා කවුද?” 

“බයවෙන්න එපා, දරුවා අසනීපෙන් නේද ඉන්නෙ? මම බලාගෙන හිටියෙ. මම පොඩ්ඩක් එයාව කම්ෆර්ට් කරන්නම් ද?” සාගර තමන්ට වඩා අඩි කිහිපයක් උසින් අඩු ඒ අසරණියගේ දෙනෙත් වෙත මදක් නැඹුරු වී කිව්වේ “මාව විශ්වාස කරන්න බය වෙන්න එපා” යන්න නොකියා කියන්නට මෙනි.

තරංගා අතේ හඬමින් උන් සනුකිව සාගරගේ අත මතින් තැබුවේ දෙනෙත් හරහා හුවමාරු කරගත් විශ්වාසයේ හැඟීමකට නතුවය. 

“අඬන්න එපා පුතේ, කෝ කෝ මං දිහා බලන්න”  කියමින් සාගර හෙමින් සැරේ නලවද්දී මෙතෙක් වෙලා තමන්ගේ අතේ නැලවුනේ නැති කෙල්ල නැලවෙන අපූරුව තරංගා බලා උන්නෙ විසල් කරගත් දෙනෙතින් ය. සනුකි වනාහී පහසුවෙන් කිසිවෙකු සමග මිතුරු වෙන දරුවෙකු නොවේ. අනෙක් අතට ඇගේ රෝග ලක්ශන අනුව ඕටිසම් සහිත දරුවෙක් සමාජ ආශ්‍රයෙහි ලා පැකිලෙන්නට ඉඩ ඇති බවත් වෛද්‍ය ශ්‍යාමනී කියූ බව පවා තරංගාට මතකය.

“ඕටිසම් තියෙන දරුවො ගොඩක් වෙලාවට සමාජය එක්ක සබඳතා ඇතිකරගන්න එච්චර දක්ශ නැහැ. කතාකරන ප්‍රශ්න, එකම දේ ආයෙ ආයෙ කියන එක වගේ දේවල් විතරක්ම නෙවෙයි එකම දේ ආයෙ ආයෙ කරන්න උනත් මේ දරුවො පෙළඹෙනවා.  මේ වගේ දේවල් මුලින් මුලින් වෙද්දි අපිට ටිකක් දුක හිතෙන එක සාමාන්‍යයි. කාලයත් එක්ක අපි ඕවට පුරුදු උනාට වගේම එඩියුකේටර්ස්ලා යොදාගෙන දරුවව මේ වගේ දේවල්වලට පොඩ්ඩක් දරුවව ට්‍රේන් කරන එක කරන්න පුලුවන් උනත් වටේ පිටේ ඉන්න මිනිස්සු මේ වගේ දේවල් දකින වාරයක් වාරයක් පාසා අමුතු විදියට ඕක දිහා බලන එක සාමාන්‍යයි. 

ඒ වගේ වෙලාවලට ඉතින් හිත හයිය කරගෙන ඉන්න අම්මලා විදියට අපිට පුලුවන් වෙන්න ඕන” කියා වෛද්‍ය ශ්‍යාමනී සනුකිගේ කන්සල්ටේශන් එකක් අතරවාරයේදි තමන්ගේ හිත සනසවන්නට කටයුතු කල ආකාරය තරංගාට අමතක නැත. 

එහෙම දේවල් ඇසූ අම්මෙක් විදියට මේ නන්නාදුනන මැදිවියේ පිරිමියා සනුකිව අපූරුවට නලවගත්තේ කෙසේද කියන එක අදහගන්න බැරිවෙච්ච එක සාධාරණය.

“තැන්ක්‍යු වෙරි මච්” කියා කියමින් තරංගා ඔහු අතේ උන් සනුකිව තමන්ගේ අතට ගන්නට හැදුවත් සනුකි ඒකට අකමැති බව පෙන්වන්නට මෙන් අත පය ගස්සමින් හඬක් නගද්දී ඒ නාදුනන මිනිසා ආයෙම වතාවක් සිනාවුනේය.

“දැන් ඔය අංකල්ගෙ අතෙන් බහින්න ඕනනෙ පුතේ. අපි දැන් ගෙදර යන්න ඕනනෙ. තාත්ති බලාගෙන ඇති” කියා තරංගා සනුකි දෙස බලා කිව්වේ වෙන කරන්න දෙයක් නැති හන්දාමය. අනෙක් අතට මේධංග දුරකතනයට පිලිතුරු දෙන්නෙ නැත්තෙ ඇයි කියන කුකුසත් ඒ අස්සේම තරංගාගේ හිතට පිවිස තිබුණාය. තරංගා කීප සැරයක්ම ඇමතුවත් ඒ ඇමතුම්වලට සම්බන්ධ වුනේ මේධංග නොවේ.

සනුකි නම් උන්නේ අම්මා කියන දේ අහන්න කැමැත්තකින් නොවේ.

“ආහ් මම චූටියව කාර් එකට ගිහිල්ලා දාන්නම්කො නේද? අම්මිගෙන් අහන්න ඒකට කමක් නැද්ද කියලා” සාගර සනුකිගේ මූණ දෙස සිනාවෙමින් බලන අතරේම තරංගා දෙසට ඒ දෙනෙත් හෙමින් සැරේ පා කලේය.

තරංගා උන්නේ කියන්න ඕන මොකද්ද කියා හිතාගන්න බැරුවය. මේ මනුස්සයා අඬමින් උන් දරුවා වඩාගෙන එක එක කතා දාහක් කියමින් නලවලා දුන්න එක ඇත්තටම සහනයක් වුණත් තමන් මේ කවුද කින්ද මන්ද කියාවත් දන්නේ නැත. එහෙම එකේ ඒ මනුස්සයා සනුකිව වඩාගෙන තට්ටු දෙක තුනක් පල්ලෙහට බැස කාරෙකටම සනුකිව ඇරලවන්න එන්නම් යැයි කියූ කතාව තමන් පිලිගත යුතුද නැතිද යන්න පවා තරංගාට පැහැදිලි නැත. අනෙක් අතට මේධංග දුරකතනය ආන්ස්වර් කරන්නෙ නැති එකේ ඔහුගේ කාර් එක ලඟට ගොස් කොච්චර වෙලා හිටගෙන ඉන්න වේද කියන ගැටලුවත් තරංගාට තිබුණාය.

“මිස්ටර්ට කරදරයි නේද? දැන් මෙච්චර වෙලා මෙයා අඬද්දිත් අතේ තියාගෙන නලවන්න වුණා. අනික මගේ හස්බන්ඩ් අපි දෙන්නව මෙතන තියලා ශොප් එකකට ගියා. එයා මේ ෆෝන් එක ආන්ස්වර් කරන්නෙ නෑනෙ, ඒකයි මං මේ බැලුවෙ”

“අයියෝ කිසිම කරදරයක් නෑ. මට පුලුවන් බබාව ඔයාගෙ වෙහිකල් එක ලඟටම ගෙනල්ලා දෙන්න, ඔයාට අවුලක් නැත්තම්. කොහොමත් මෙයා අතෙන් බහින්න කැමතිත් නෑනෙ” කියා ඔහු ආයම වරක් දන්නා හඳුනන මනුස්සයෙක් මෙන් සිනාසෙද්දී තරංගාට එය මගහරින්න පුලුවන් කමක් තිබුනේ නැත. ඔව් කියා වචනයෙන් නොකීවත් තරංගා හිස සලා එයට කැමැත්ත දුන්නාය. එහෙත් මේ නන්නාදුනන මිනිසා කොයි වගේ අයෙක්ද, කිනම් අරමුණකින් ආවේද යන්නෙ නොදන්න හන්දා තරංගා උන්නේ ඔහුගේ ලඟින් පා තබමිනි. 

අම්මා කෙනෙකුගේ හිතේ ඇතිවෙන බය අඳුනගත්තාක් මෙන් සාගර ද වෙනදා මෙන් ඈතින් ඈතින් අඩි තබන්නට කටයුතු කලේ නැත. 

“පල්ලෙහට යන්න කලින් පොඩ්ඩක් මෙතන ඉන්ඩියන් රෙස්ටුරන්ට් එක ලඟට යන්න වෙනවා. මම ඕඩර් එකක් දැම්මා. ඒක දැන් රෙඩි ඇති. ඒකත් අරගෙනම තමා යන්න වෙන්නෙ, අවුලක් නැද්ද?” කියා ඔහු අහද්දීත් තරංගා කලේ හිස වනා කැමැත්ත ප්‍රකාශ කල එකම පමණකි.

සනුකි ඒ මිනිසාගේ උරහිසේ හිස තබාගෙන උන්නේ වඩා සැහැල්ලු ආකරයකින්, වන් ගෝල් ෆේස් මෝල් එකේ එහෙ මෙහෙ යන පොඩිඋන්ගේ කෝච්චිය දෙස බලමින් මොකක් හෝ කල්පනාවක ගිලී ය. 

තමන්ගේ උරහිසේ හිස තබාගෙන ඉන්න කෙල්ලව පරිස්සම් කරගනිමින්, අවන්හල ඇතුලට ගොස් ඔහු ඕඩර් කල කෑම පාර්සලය අරගෙන එන අතරවාරයේ තරංගා ගත් ඇමතුමකට මේධංග සම්බන්ධ වුනේ අහම්බෙන් මෙනි.

“ඔයා කොහෙද මේධංග ඉන්නේ? මේ දරුවා හොඳටම අඬනවා. මම මේ එයාව ගෙදර එක්කරගෙන යන්න එන්න කියලා බැලුවෙ. ඔයාගෙ ශර්ට් එක අරගෙන ඉවරනම් අපි යන්ද? මම කාර් එක තියන තැනට එන්නම්” කියා තරංගා වේගයෙන් වේගයෙන් කතාව කියාගෙන ගියේ කැම පාර්සලය අරගෙන සනුකිවත් වඩාගෙන තමන් ඉන්න තැනට පියවර තබන නම නොදත් ඒ මනුස්සයා වෙත නෙතු රඳවමිනි.

මේ කතාව කිව්වයින් පස්සෙවත් මේධංගගේ හිත උණු වේ යැයි කියා හිතුවාට තරංගාට එහාපසින් අසන්න උනේ ඇත්තටම අසන්න බලාපොරොත්තුවෙන් උන්නු කතාවක් නොවේ.

“මේ….මේ. මට අමතක උනා ඔයාත් එක්ක මං ආවෙ කියලා. මම මේ වාහනේ එලියට දාලා දැන් ටිකක් දුර ඇවිල්ලා ඉන්නෙ. ආයෙ හරවගෙන ට්‍රැෆික් එකේ එන්නත් බෑනෙ. ඔයා ටුක් එකක් දාගෙන එන්න” කියා මේධංග කිසිම පැකිලීමක් නැතුව කියද්දී තමන් කරන්න ඕන අඬන එකද, මේධංගට බනින එකද කියා හිතාගන්න බැරුව තරංගා ඇත්තටම නිරුත්තර වුණාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here