මා හද මට නැති විට -34

“මට මගේ දරුවව ඕන”

කෞෂි සිහින් එහෙත් පැහැදිලි හඬකින් පැවසුවා ය. ඇය සෘජු බැල්මකින් බලා හිඳියි. තේජ සසැලී ගිය නමුත් තේජාන්විතව නිහඬ බව රැක්කේ ය. තේජ ගලප්පත්ති කියන්නේ පහසුවෙන් රිද්දන්නට හැකි මිනිසෙකු නොවේ. ඒ වග කාටත් වඩා හොඳින් දන්නී කෞෂි ය.

ඇයි මේ හදිසියේ?”

තේජ ඇසුවේ පුදුමයෙනි.කොහොමටත් කෞෂි සමඟ වාද කිරීමට ඔහුට අතීතයේ පවා පුරුද්දක් තිබුණේ නැත. එවැනි පුරුද්දක් වූවා නම් බොහෝ කාරණා මෙසේ සිදුවන්නේ නැති බව ද ඔහු දැන සිටියේ ය.

“ඔයා කසාදෙකට යන්න අකමැතිනම් අනිවාර්යෙන් පුතා මට ඕනේ. මම ආවේ ඔයාව කසාද බැඳලා පවුලක් හදා ගන්න. ඔයා ඒකට අකමැති නම් මට දරුවව දෙන්න”

ඒ නියෝගාත්මක හඬකි.ආදරයෙන් දේවල් විසඳා ගැනීම වෙනුවට නියෝග පැවරීම සහ අණ ලබා දීම ඈ පෙම්වතියක වී සිටි කාලයේත් සිදු කළ වග තේජ සිහිපත් කළේ ය. එදවස ඔහු ඒවාට කම්පිත වූයේ ය. ඇගේ ඉක්මන් කෝපයට ඇය මානසික උපදේශනය වෙත රැගෙන ගියේ ය. නමුත් දැන් සියල්ලම සිදු වී අහවර ය. ඔහු ගලක් වී දරා ගන්නට පටන් ගෙන තිබේ. ඇය වැනි හිතුවක්කාර හුළඟකට ඔහු අවුල් කරන්නට අසීරු ය.

“ඔයා යන්න කලින් දරුවා ඉල්ලුවේ නෑනේ.අනිත් එක තමයි දරුව ලැබෙන්න ඉන්න කාලෙවත් ඔයාට ඒ ගැන හැඟීමක් තිබුණද? නෑ නේද කෞෂි? දරුවෙක් නැති කරන්න අකමැති වුණා මිසක් ඔයා එයා ගැන ලොකු ඇල්මක් තිබුණෙත් නෑනේ එහෙනම් මේ හදිස්සියේ ඔයාට පුතා ගැන දරු කැක්කුම ආවේ ඇයි?”

ඒ ප්‍රශ්නයට කෞෂිට කියන්නට සැබෑ පිළිතුරක් තිබේ. ඒ දරුවාව ඉල්ලීම ම තේජ විවාහයකට කරවා ගැනීමට පහසු වීම ය. නමුත් ඒ සත්‍ය ප්‍රකාශ කරන්නට නොහැකි බැවින් ඇය ලියෝන්ගේ හොඳම කාලය මඟහැර ගන්නට නොහැකි බව තේජට පැවසී ය.

“හරි අපි බැන්දා කියමු. ඔයාට ආයේ යන්න ඕන වුණොත්. දික්කසාද නඩු පටලන් දුක් විඳින්නත් ඕනෑ. අනිත් කාරණාව ලියෝන්ට දැන් ඔයාව අමතකයි. ආපහු මතක් කර ගැනිල්ලෙන් ඒ දරුවත් දුක් විඳියි.”

ඒ කතාව කෞෂි දමනය කරන්නට ප්‍රමාණවත් නැති බව තේජ දනියි. ඔහු දිගටම කතා කරන්නට වූයේ ඒ හන්දා ය.

“කෞෂි, මං දන්නවා මිනිස්සුන්ට බලෙන් ආදරේ කරන්න බෑ. ඔයාගේ හිතේ මං ගැන පුංචිම පුංචි හැඟීමක්වත් නෑ කියන එක තේරුණාම ඔයාට ඔයා ආදරේ කරන කෙනාව ලබාගන්න ඉඩ දීලා මම දරුවත් එක්ක අයින් වුණා. ඊට පස්සේ කිසිම මොහොතක මම ඔයාට අවනම්බු කරාද? නින්දා කරන්න හැදුවද? ඒත් ඔයා දැන් හැසිරෙන විදිය සාධාරණයි ද? ඔයාගේ කිසිම සැලකීමක් නැතුව මම මගෙ දරුවව හදාගත්තා. ඒකටනම් කමක් නෑ. ඒ මගේ දරුවා. 

එයා ගැන ආදරයක් මට ඇතිවුණේ එයා අපි ගාවට ඇවිල්ල කියල දැන ගත්තු දවසෙමයි. එදා ඉඳලා අද වෙනකන් එකම විදියට එයාට ආදරේ කරන මට ලියෝන්‍ව ඔයාට දෙන්න බෑ. මේ හිටි හැටියේ ඔයාට උනපු දරු සෙනෙහෙ හින්දා මායි මගෙ දරුවයි වෙන් වෙන්නෙ මොකටද?”

තේජව දමනය කරන්නට අසීරු බව කෞෂිට වැටහේ. ඇය යන්නට නැඟී සිටියා ය. ඒ නැවත එන්නට බලාපොරොත්තු ඇතිව ය.

අනුත්තරා කාර්යාල කාමරයට ආවේ කෞෂි නික්ම ගොස් මිනිත්තු කිහිපයක් ගෙවෙන තැන ය. දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරද්දී පැමිණ ගිය කාන්තාවගේ හැඩයේ ගැහැනු ඉඳහිට මෙතැනට පැමිණෙති. ඒ තමන්ගේ දිවා සුරැකුම් මධ්‍යස්ථානය හෝ ජාත්‍යන්තර පාසල සම්බන්ධ චෝදනා බොරු බව කියන්නට ය. නැතිනම් තමා සතුව ළමා මෙහෙකාරියක නැතැයි පරසක්වල ගසන්නට ය. එහෙත් එවැනි අය පැමිණි පසු ඉතා රාජකාරිමය ස්වරූපයෙන් ගනුදෙනු කරනු විනා මේසයට ඔළුව ගසාගෙන කල්පනා කිරීමක් තේජට නොවේ. ඔහු අසනීපයකින්දැයි අසා වේදනා නාශක පෙත්තක් ඕනෑදැයි අනුත්තරා ඉංග්‍රීසි භාෂාවෙන් අසද්දී තේජ හිස එසවී ය. ඔහුගේ දෑස් බොරපාට වී තිබේ. කෞෂි පැමිණි බව ඔහු කියද්දී දෙදරුම් කෑවේ අනුත්තරාගේ හදවත ය. ඒ ලාවන්‍යාගේ බලාපොරොත්තු පිරුණු දෑස සිහි වීමෙනි.

“මට මගේ පුතාව නැති කරගන්න බෑ අනූ” 

ඔහුගේ හඬ අතිශය වේදනාකාරී එකකි.එවැන්නක් පවසන්නට තරම් තේජ ඇද වැටුණේ ඇයිදැයි අනුත්තරා විමසිලිමත් වූවා ය. කෞෂිගේ ඉල්ලීම තේජ හෙළි කළේ වේදනාවෙනි.

“ඒ මනුස්සයා මාර මනුස්සයෙක්නෙ.මට නම් මහ අප්පිරියාවක් දැනෙන්නෙ.කිව්වට තරහ වෙන්න එපා.ඇත්තටම කෞෂි කියන්නේ අම්මාකෙනෙක්ද? එහෙම එකපාර කඩා වැදිලා දරුවා ඉල්ලනකොට කාටත් වඩා හානියක් වෙන්නේ ලියෝන්ට. ඒ දරුවගේ මානසිකත්වයට”

අප්‍රසන්න හැඟීම වචන නොකර ඉන්නට අනුත්තරා අපොහොසත් විය. ඇය අනතුරුව සාංකා සුසුමක් හෙළුවා ය. මිනිස් හැඟීම් තෝරා ගන්නට පවා අපහසු ය. පහුගිය කාලය පුරා භවන්තගේ අවකල් ක්‍රියා ඇය කෝපයට පත් කරන්නට සමත් විණ. දැන් තවත් චරිතයක් පැමිණ තිබේ.

“ එයාට මේ හදිසියේ දරු සෙනෙහස මතු  වුණා කියන හේතුව.ඒක මහ කැත හේතුවක්නෙ. ඒ කියන්නේ ඔයා අනිවාර්යයෙන් එයාව බඳින්න ඕන. මාර ගෑනියෙක්නෙ.”

ඒ හේතුව මුල්කරගෙන ඇයට කිසිසේත්ම ලියෝන් ලබා ගන්නට ඉඩ තැබිය යුතු නොවේ. මේ මොහොතේ තේජට ශක්තියක් විය යුතු වන්නේ ලාවන්‍යා වෙනුවෙන් ඔහු රැක ගන්නට නොවේ. කුඩා දරුවෙකු ජීවත් වූ සුවපහසු කරදර රහිත කුඩා ලෝකය ඔහුට අහිමි නොවීම වෙනුවෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles