සුහදිනි – 56

“ලංකාවේ තියන ලොකුම වෙඩින් එක ගන්නයි යන්නේ මේං.”

ඇය දුරකථන තිරය සකී දෙසට හැරවූවා ය.සකී ඒ ප්‍රවෘත්තිය කියවූවා ය.

සාරණ්‍යා විවාහයට සැරසේ!

ඇය ජනප්‍රිය නළුවෙකු වූ මලිත් සමඟ ඇගේ සිහින විවාහ මංගලෝත්සවයට සැරසෙන බවත් එහි ලියැවී තිබිණ.එය කියවද්දී සකීට දැනුණේ සැනසීමකි.

“ආයේ එයාගෙන් ඔයාට කරදරයක් වෙන එකක් නෑ.මලිත් එක්ක හොඳින් ඉඳීනෙ.”

නිම්නා මිතුරිය සනසන්නට වූවා ය.නමුත් සියුම්ටනම් වූයේ වෙනත් අදහසකි.

“මිනිස්සු විවිධාකාරයි.තව මනුස්සයෙක්ගෙ හිතක් කඩලා බිඳලා කන්නේ නැතුව තමන්ගේ මොන ආශාවක් ඉෂ්ට කර ගත්තත් කමක් නෑ තමයි.ඒත් සාරණ්‍යා එහෙමත් නෙවෙයිනෙ.ඒ නිසා ඒ වගේ මිනිස්සුන්ගෙන් ජීවිත කාලයක් පරිස්සම් වෙන එක වටිනව.”

අහස් සමඟ අතිශය සමීප සියුම් සාරණ්‍යාගේ සැබෑ වර්ණයන් දන්නා බව සකී විශ්වාස කළා ය.ඇය නිම්නා දෙස බැලුවේ ඒ වියවුලෙනි.

“අතේ තිබිලා අත් ඇරෙන දේවල්වලටයි කවදාවත් ලබා ගන්න බැරි දේවල් වලටයි තරම් මිනිස්සු කතන්දර කියන්නේ නෑ වෙන මොනවටවත්.”

නිම්නා ඒ අදහස ස්ථිර කළා ය.ඇය ඒ කියන්නේ සකී බියට පත් කිරීම පිණිස ද නොවේ.

“අහස්ව කිසිම දේකට වෙනස් කරන්න බෑ.ඒත් ඒ ඔයාලගේ ආදරේ සම්බන්ධයෙන් විතරයි.මොන වෙලාවකට හරි මෝඩ විදියට සාරණ්‍යාට පළිගන්න හිතුණොත් හැමදෙයක්ම ආයේ පරණ විදියට වෙන්න පුළුවන්.ඔයාගෙ අම්මා උනත් ඒකෙන් ආයෙ ආයෙම අවුල් වෙන්න පුළුවන්.ඒ හින්දා ඕනම දෙයක් වෙන්න පුළුවන් කියන එක ඔයා තේරුම් අරගෙන ඉන්න එක තමයි වැදගත්.”

සකී එය අසා කැළඹී ගියා ය.නමුත් ධෛර්යමත් වන්නට සිතා ගත්තා ය.අහස් ඇවිද යන මාර්ගයට මල් පොකුරුවලට වඩා ගල් මුල් විසි වීම සාමාන්‍ය කාරණාවක් බව ඇය තේරුම් ගත්තා ය.

“මං හැමවෙලාවෙම හිතුවා අහස්ට ලැබෙන්න ඕන මේ මාර ස්ට්‍රෙස් එකක් තියන ජීවිතේ සැහැල්ලු කරන ගෑනු ළමයෙක් කියලා.ඒ බලාපොරොත්තු ඉෂ්ට වුණු හින්දා ඔය වගේ දේවල් ගැන මට ඒ තරම් බයක් නෑ.මොන විදිය දෙන්නෙක් වුණත් ආදරය කරනකොට තියෙන්න ඕන එකම එක  සාධකයක් විශ්වාස කරන්න.ඒ තමයි මොන හේතුවකටවත් අත් අතාරින්න නොදෙන එක.”

අහස් කැපවීමෙන් සහ අධිෂ්ඨානයෙන් ක්‍රීඩා කරන බව ඇත්තකි.නමුත් සකී ඔහුගේ ජීවිතයට අමුතු ආලෝකයක් ගෙන ආ බව විශ්වාස කරන්නට සියුම් කැමති ය.සාරණ්‍යා මෙන් දිස්නය විහිදන ගැහැනු ළමයින්‍ට පසු සකී වැනි ආදරය පිරුණු ගැහැනු ල

ළමයෙකු ඔහුගේ අවසන් තේරීම වීම සියුම්ට සැබෑ සැනසීමක් විය.

“අපි බය වුණාට සාරණ්‍යාත් පාඩුවෙ ඉන්න පුලුවන් ඉතිං.සමහරවිට එයා ප්‍රාර්ථනා කරපු ආදරෙයි ජීවිතෙයි මලිත් ගාව තියනවනම් එයාට ආයේ අහස් එක්ක තරහක් තියාගන්න හේතුවක් එන්නෙ නෑනෙ.”

සකී එසේ පැවසුවේ ඇගේ සිත සනසා ගන්නටම නොවේ.ඇතැම්විට විවිධ අරමුණු හඹා ගොස් සිත සනසන ආදරයක් ළඟ ඉසිඹුලන්නට ඕනෑම කෙනෙකුට සිතෙන්නට පුලුවන.

“සමහර වෙලාවට සල්ලියි ජනප්‍රියකමයි අරකයි මේකයි පස්සෙ දුවන්න අරන් ඒවයින්ම ඇස් අන්ධ වෙලා ගියාම ආදරේ වගේ දේවල් මිනිස්සුන්ට බොහොම සුළු දේවල් වෙනවා.ඒ වගේ මිනිස්සු හැදෙනව අඩුයි.ඒත් ඒ වගේ අයට දුක හිතෙන කේන්ති යන වෙලාවට තව මනුස්සයෙක්ගේ ලෝකයක් කඩලා බිඳලා දාන්න කිසිම අයිතියක් නෑ.අන්න ඒ නිසා එයාට එහෙම දේවල් කරන්න හිතුණත් අපි ඒවයින් නොබිඳී හිටියම ඉවරයි.”

සාරණ්‍යාගේ සිහින විවාහෝත්සවය ගැන අහස් පැවසූ කාරණා සකීට සිහි විණ.ඒවා බොහෝ මිලාධික සිහින විය.එළිමහන් විවාහෝත්සවයක් ගැන අහස්ට තිබූ ආශාව ඇය කිසි දවසක අනුමත කරන නොතිබිණ.

“එහෙම වෙඩින් එකක් ප්ලෑන් කරන්න මාත් ආසයි.හැබැයි අර හෘදයම් ෆිල්ම් එකේ වගේ වහියිද දන් නෑ.”

සකී ඒ කතාව අසා හිඳ හිනැහුණේ බලාපොරොත්තු පුරවාගෙන ය.

“වැස්සොත් වැස්සෙම පෝරුවට නගිනව.ඉවරනෙ.”

අහස්ට ඉතා සරල විසඳුමක් තිබිණ.ඔහු බොහෝ බරපතල විසඳුම් සොයන්නේ පිටියේ දී පමණක් බවත් ජීවිතය ඉතා සරලව ගෙවා දමන්නට ඔහු කැමති බවත් සකී අනන්ත වාරයක් සිතන්නේ එවැනි දඟකාර කතා ඇසෙද්දී ය.

“සකී,අද හවස මාත් එක්ක ගමනක් යන්න එනවද?”

සියුම් එසේ අසද්දී සකී ඔහු දෙස බැලුවේ පුදුමයෙනි.සහෝදර සහෝදරියන් කිසිවෙකුත් නැති ජීවිතයේ නිම්නාට ලබා දී තිබූ තැනට සමීපම තැනක් සියුම් මේ කෙටි කාලයක් තුළ දිනාගන්නට සමත්ව සිටී.සියුම් තමන්ට වඩා සකීට ආදරය කිරීම ගැන අහස් තරහ ගන්නා අවස්ථා එළඹෙන තරමට දැන් සියුම් සකී ඔහුගේ ම කෙනෙකු බවට පත් කරගෙන සිටියි.

“මම තනියම?”

සකී එසේ ඇසුවේ පුදුමයෙනි.නිම්නා හෝ සියුම්ගේ පෙම්වතිය වූ උවනි ද එක් නොවන ගමන් ඔවුන්ට නැති තරම්‍ ය.

“අදාළ ගමනට ඉන්වයිට් කරලා තියෙන්නෙ ඔයාට විතරයි.”

සියුම් සමුගත්තේ හැඩ වැඩ වී හැඳ පැළඳ ගන්නැයි සකීට සිහි කිරීමෙන් ද පසුව ය.

“තව පැය බාගෙකින් පටන් ගන්න අන්තිම මැච් එකේ අහස් හිටියොත් ඕක අහස්ගෙ සර්ප්‍රයිස් එකක් නෙවේ.නැත්තං ඉතිං අහස් හොරෙන්ම ලංකාවට ඇවිල්ල.”

නවාතැනට යන අතරමඟ නිම්නා සාස්තර කියන්නට ගත්තා ය.එහෙත් සකී දන්නා තරමට අහස් මේ මොහොතේ ද පසු වන්නේ භාරත දේශයේ ය.

“එහෙනං ඉතිං සියුම් අයියට සාරණ්‍යා ලොකු කප්පමක් දෙන්න ඇති උඹව උස්සන්න.දැන් ඔයාට කිඩ්නැප් වෙන්නයි තියෙන්නෙ.”

නිම්නා ඊළඟ සාස්තරය පැවසුවේ උස් හඬින් හිනැහෙමිනි.සකී ඇය කෙනිත්තුවා ය.කවදා හෝ දවසක තමන් අහස්ට එරෙහි වේදැයි ඔහු අත් හැර දමාවිදැයි කියන්නට ඇය දන්නේ නැත.නමුත් සියුම් අහස්ව රිදවන කිසිවක්ම නොකරන බවට ද ඔහුට කිසිම දවසක එරෙහි නොවන බව ද සකී තදින්ම විශ්වාස කළා ය.සියුම් තරමේ මිතුරෙකු ලැබෙන්නේ නම් ඕනෑම කෙනෙකුට ඉතා සැනසිලිදායක ජීවිතයක් උරුම වේ.

“හොඳට ආදරේ කරන මිනිස්සු පවා හොඳ යාලුකං තියාගන්න දන් නෑ.ඒත් සියුම් අයියා පුදුම හොඳ යාලුවෙක්.තිස්සෙම චතුර අයියගෙ ඔලුව කකා ඉන්න නිසා ඔයත් හොඳට ලව් කරන්නනම් දන් නෑ.හැබැයි ඔයත් පුදුම හොඳ යාලුවෙක්.”

සකී නාන කාමරයට ගියේ එසේ කියාගෙන ය.වතුර මලේ සීතල ජලය සිරුර තෙමී යද්දී ද සියුම් ඇය රැගෙන යන්නේ කොහේටදැයි සකී සිතන්නට වූවා ය.ඇයට එය කෙසේවත් අනුමාන කරන්නට නොහැකි විය.

(ඇත්තටම සකී යන්නෙ කොහෙටද? කියමු බලන්න.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles