හිමගිරි අරණ -38

ප්‍රේමයක බිඳ වැටීම හෝ විවාහයක බිඳ වැටීමට වඩා මවක දරුවාගෙන් වෙන් කිරීම ඉසිලිය නොහැකි වේදනාවකි.නීතිමය පදනම ඔස්සේ දිනාරාව වෙන් කිරීමේ ඉඩ අල්ප වුවත් මේ මොහොතේ හිමාෂා ඒවා නොසිතා අතිශය සංවේදීව හිඳින බව රවිඳුට වැටහේ.මේ මොහොතේ ඇයට ශක්තියක් වන්නට ඔහුට සිතුණේ එනිසා ය.

“ඔයාට ඕනනම් ලෝයර් කෙනෙකුට කතා කරමු.උසාවියෙන් දරුවා ඔයාට අයිති වෙලා දැන් සෑහෙන කාලයක්නෙ.එහෙම හිතූ හිතූ විදියට ආපහු බබාව අරගෙන යන්න එයා මේසයක් පුටුවක් නෙවෙයි, දරුවෙක්.”

රවිඳු එසේ කියද්දී හිමාෂාට දැනුණේ සහනයකි.සහන්ට බොහෝ දේ පවසා බැන වැදුණාට ඇය සැබෑවටම සිටියේ තිගැස්මෙනි.ඉතින් ඒ කාරණා පවා අමතක වන තරමට ඇය දියණිය අහිමි වීමේ බියෙන් පීඩිතව සිටියා ය.

“මම නම් කියන්නේ ඕක ඔයා හිතන්නවත් ඕන නැති කාරණාවක්.සහන්ට ඕනකම ඇත්තේ ඔයාට හර්ට් කරන්න මිසක් වෙන මොකුත් නෙවේ.ඔය වගේ කතා කිව්වට එයා බබාව ගනී කියලා හිතන්න එපා.”

රවිඳු අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන හඬකින් පැවසුවේ ය. හිමාෂා ඔහු දෙස බැලුවේ වේදනාබර දෑසකිනි.

“මට තේරෙන්නෙම නැති දේ තමයි ඇයි එයා මට මෙහෙම කරන්නේ කියලා.මම එයාට කිසිම වරදක් නොකර අයින් වෙලා ආවා.මට ඕන වුණේ එයා කැමති ලෝකේ එයාට දීලා මගේ දරුවා එක්ක පැත්තකට වෙන්න.ඒත් මේ මනුස්සයා මට රිද්දන්නමනෙ බලන්නෙ.එයාට සතුටින් ඉන්න පුලුවන් වෙලත්.”

රවිඳු ඒ වචන අසා මුදු සිනාවක් පමණක් හෙළී ය.අනතුරුව ඔහු කතා කළේ ප්‍රවේසමෙනි.

“එහෙම තමයි මිනිස්සු.අපිට රිද්දන ගොඩක් අය හැසිරෙන්නේ අපි එයාලට රිද්දුවා වගේ.ඊට පස්සේ කරන්නේ ආයේ ආයේ අපිට රිද්දන්න ක්‍රම හොයන එක.ඒක සමහර මිනිස්සුන්ගෙ විදිය.ඒවාට හිත රිද්ද ගන්න එපා.”

නොරිදවා ජීවත් වීමේ පාඩම බොහෝ අය නොදන්නාකමින් බොහෝ ගැටළු ඇති වන බව රවිඳු හොඳින් දන්නා කාරණාවකි.ඔහුට ඒ බව සනාථ කරන්නට හිමාෂා සමඟ කියන්නට තවත් කතාවක් තිබිණ.

“ඔයා දන්නවද?අයින් උනාට අයින් වෙලා ඉන්න විදිය නොදන්නේ සහන් විතරක් නෙවෙයි.ඒක වෙනුරි දන්නෙත් නෑ.මහා වේදනාවක් දීලා යන්න ගියේ එයාමයි.දැන් හස්බන්ඩ් එක්ක රණ්ඩුවක් දාගත්තු හැටියේ කෝල් කරනවා.”

එකිනෙකාට විවිධාකාර ප්‍රශ්න පවතී.නමුත් සහන් සහ වෙනුරි තමන් දෙදෙනාට ගෙන එන්නේ එකම අන්දමේ ප්‍රශ්න බව හිමාෂාට සිතිණ.ඇය සුසුමක් හෙළුවා ය.සබඳතා පවත්වා ගැනීම අතින් මිනිසුන් මොනතරම් අසාර්ථකදැයි ඇයට සිතේ.

“අපි කවුරුත් අසරණ වෙන තැන තමයි ඔය.බැඳීමක් හිතේ තිබ්බ මිනිස්සු විකාර කරද්දී අපි කවුරු වුණත් අසරණ වෙනවා.”

හිමාෂා පැවසුවේ ළතැවිල්ලේ ය.ඒ ළතැවිල්ල දහස් ගුණයකින් වැඩි කරන සිදුවීමක් ඉන් තත්පර කිහිපයකට පසු සිදු වන බව ඇයට ඒ මොහොතේ නොවැටහිණ.නමුත් එයට පිඹුරුපත් සැකසෙමින් තිබිණ.

පාරමී සඳැල්ලේ පටු කොරිඩෝව දිග ඇවිද ආවා ය.එකිනෙකට සමීප වී රවිඳු සහ හිමාෂා කතාබහ කරන්නේ තමන් ගැන යැයි ඈ මොහොතකට ආනන්දජනක හැඟීමක් වින්දා ය.නමුත් ඒ හැඟිම වියළී ගියේ ය.හිමාෂා සිටියේ කදුළු පිසිමිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles