කෙට්ටු වෙන්න කැමති ඔබට උදෑසනට සෞඛ්‍යමත් ආහාර වර්ග 6 ක්.

උදේ කෑම වේල අත්‍යවශ්‍ය එකක් වුණත් සිරුරේ බර පාලනය කරන අයට උදේ කෑම කන්න වෙන්නෙත් ප්‍රවේසමෙන්.බර පාලනය කරගෙන පාන් පිටි සහ අධික තෙල් අඩංගු කෑම නොකා පෝෂණය ඇති ආහාර ගන්න කැමති නම් ඔබට මෙන්න මේ රෙසිපි අත් හදා බලන්න පුලුවන්.

ඇට වර්ග

මුං ඇට, කඩල, කව්පි, මෑ ඇට වගේ ඇට වර්ග කලවමට තම්බලා වගේම වෙන වෙනම තම්බලා පොල් එක්ක, ලුණු මිරිස් එක්ක හෝ යාන්තමට තෙම්පරාදු කරගෙන ආහාරයට ගන්න පුලුවන්

දිය බත්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • උයා ඉතිරි වූ බත් ටිකක්
  • පොල් කිරි
  • වියළි මිරිස් කරල් 5
  • රතු ළූණු ගෙඩි 5
  • සුදු ළූණු බික් 1
  • දෙහි යුෂ
  • ලුණු සහ ගම්මිරිස්

සාදන අයුරු:

  • රාත්‍රියේ ඉතිරි වූ බත් භාජනයකට දමා එයට ජලය එකතු කර පෙ‍ඟෙන්නට හරින්න.
  • පසු දින උදෑසන ජල‍යේ පෙඟුන බත් මිරිකා ජලය ඉවත් කරගන්න.
  • බත් නෑඹිලියකට දමා පොල්කටු හැන්දෙන් හොඳින් පොඩි කරගන්න.
  • පොල් කිරි වලට ලියාගත් සුදු ළූණු, රතු ළූණු, පුළුස්සා ගත් වියළි මිරිස් හෝ අමු මිරිස්, දෙහි යුෂ සහ රස අනුව ලුණු, ගම්මිරිස් එකතු කර ගන්න.
  • මෙම මිශ්‍රණයට පොඩි කරගත් බත් එකතු කර ගන්න.

පළතුරු සැලඩ්

අඹ,කෙසෙල්,කොමඩු වැනි පළතුරු කිහිපයක් කුඩාවට කපා එයට දෙහි යුෂ සහ ලුණු ස්වල්පයක් ද ආමන්ඩ් සහ කජු වැනි දෙයක් ද එකතු කර ආහාරයට ගන්න.ටින් කිරි හෝ අයිස් ක්‍රීම් එකතු කරන්න එපා.

අලිගැට පේර සලාදයක්

කුඩාවට කපාගත් අලිගැට පේර ගෙඩි 1,තක්කාලි ගෙඩි 1
සිහින්ව ලියා ගත් බී ළූණු ගෙඩි 1/2
දෙහි යුෂ ටිකක්
ලුණු
පොඩියට කපාගත් පාස්ලි මේස හැදි 2

සියල්ල එකට මිශ්‍ර කර අවසානයට දෙහි යුෂ එකතු කර ආහාරයට ගන්න.

කුරක්කන් පිට්ටු

අවශ්‍ය දේවල්

  • කුරක්කන් පිටි කෝප්ප 1
  • ගා ගත් පොල් කෝප්ප 1/2
  • අවශ්‍ය පමණ ලුණු

සාදන ආකාරය :

  • පොල් ටික බදුනකට දමා එයට ලුනු කුඩු ටිකක් කලවම් කරන්න .
  • ඊට පසු කුරක්කන් පිටි ටික දමා හොඳින් කලවම් කරන්න.
  • යාන්තම් වතුර ඉහ ඉහ පිට්ටු කැට කරන්න.
  • පිට්ටු බම්බුවට හෝ ස්ටීමරයට දමා තම්බා ගන්න.

කුරක්කන් කැඳ

අවශ්‍ය දේවල්

  • කුරක්කන් පිටි මේස හැඳි 2
  • වතුර කෝප්ප 1 1/2
  • පොල් කිරි කෝප්ප 1/4
  • හකුරු /සීනි රස අනුව
  • ලුනු රස අනුව
  • කජු , වියලි මිදි (අවශ්‍ය නම් )
  • එනසාල් කරලක්

සාදන ආකාරය.

  • කුරක්කන්, වතුර කෝප්ප බාගයක් සමඟ මිශ්‍ර කර ගන්න.
  • ඉතිරි වතුර කෝප්පය රත් කර එයට එනසාල් එකතු කරන්න.
  • වතුර උණු වෙද්දී ලුණු සහ කලින් දිය කර ගත් කුරක්කන් ටික එකතු කරන්න.
  • හකුරු ටික හෝ සීනි ටික කිරි වල දිය කරගෙන තබාගන්න.
  • දැන් කිරි සහ හකුරු එකතු කරන්න .
  • හොඳින් හැඳි ගාන්න.
  • කජු සහ වියලි මිදි එකතු කර කෑමට ගන්න.

Related Articles

Don't Miss


Latest Articles