උදෑසනට ගැලපෙන ඕට්ස් රෙසිපි

ඕට්ස් සෞඛ්‍යමත් ආහාර වේලක් පිළිබඳ සැලකිලිමත් වන ඔබට මෙන් ම බර අඩු කරගන්නට වුවමනා ඔබටත් හොඳින් ගැළපෙන ආහාරයක්. මක් නිසාද යත් ඕට්ස් පෝෂණ ගුණයෙන් අනූන වන අතරේ ම කැලරි අඩු ආහාරයක් වීමයි. සාම්ප්‍රදායික ව කිරි එකතු කර සකසන ඕට්ස් වට්ටෝරුව මේ වන විට ඔබ ඕනෑ තරම් භාවිත කර තිබෙනවා. එය ශ්‍රී ලාංකික අපේ රසට බොහොමයක් ඈතයි. ඉතින් බොහෝ දෙනා එය ප්‍රිය කරන්නේ නැහැ. අපි අද ඔබට ඉදිරිපත් කරන්නේ ඉතා ම රසවත් සහ පහසු දකුණු ඉන්දීය ඕට්ස්  වට්ටෝරු කිහිපයක්. මෙය අපේ කටට රසට හොඳින් ගැළපෙනවා. 

Oats Chilla

අවශ්‍ය ද්‍රව්‍ය 

  • රෝල්ඩ් ඕට්ස් කෝප්ප බාගයක්
  • පිපිඥ්ඥා ගෙඩියකින් බාගයක්
  • කුඩාවට කැපූ රතුළූණු 
  • තලාගත් අමු ඉඟුරු සහ සුදුළූණු
  • කුඩාවට කැපූ කොත්තමල්ලි කොළ ටිකක්
  • සූදුරු ඇට ටිකක්
  • අවශ්‍ය තරම් ලුණු
  • වතුර කෝප්ප දෙකක්

හදන්නේ මෙහෙමයි

ඕට්ස් ටික වතුරේ පැය බාගයක් පෙඟෙන්නට තබන්න. පිපිඥ්ඥා පොතු හැර සිහින්ව ග්‍රේට් කරගන්න. හොඳින් පෙඟුණු ඕට්ස් සිසිල් ජලයෙන් සෝදා වතුර පෙරා ගන්න. දැන් සියලු ද්‍රව්‍ය අතින් හොඳින් අනාගන්න. ඕට්ස් හොඳින් පෙඟී ඇති නිසා පේස්ට් එකක් සේ පොඩි වෙනු ඔබට පෙනෙයි. මෙයට වතුර එක් කරන්නේ නෑ. පිපිඥ්ඥාවල ඇති වතුර හොඳින් සෑහේ. දැන් නන්ස්ටික් පෑන් එකක් ලිප තබා තෙල් ටිකක් ආලේප කර ගන්න. සාදාගත් මිශ්‍රණයෙන් දෙකෙන් පංගුවක් පෑන් එකට දමා හොඳින් තුනීකරගන්න. එක් පැත්තක් පිළිස්සුණු පසු අනිත් පැත්තත් පුළුස්සා ගන්න. මේ ප්‍රමාණවලින් oats chilla 02ක් සකසා ගත හැකියි. 

Oats Porridge 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • ස්ටීල් කට් ඕට්ස් කෝප්පයක්
  • වතුර කෝප්ප හතරක්
  • ලුණු
  • ගම්මිරිස් 
  • සූදුරු 
  • උළුහාල්
  • අබ
  • කරපිංචා
  • රටකජු ටිකක්
  • එළඟිතෙල් මේස හැන්දක්

හදන්නේ මෙහෙමයි

ඕට්ස් ටික වතුර කෝප්ප දෙකක් දමා පැය හයක් පෙඟෙන්නට තබන්න. හොඳින් පෙඟුණු ඕට්ස් ටික පෙරාගෙන, තවත් වතුර කෝප්ප දෙකක් දමා අවශ්‍ය ප්‍රමාණයට ලුණු දමා විනාඩි 20ක් පමණ උයා ගන්න. වතුර කෝප්ප බාගයක් පමණ ඉතිරි විය යුතුයි. ඉන්පසු තාච්චියක් ලිප තබා තෙල් ටික එකතු කරන්න. තෙල් රත්වන විට අබ, උළුහාල්, සූදුරු එක් කර ඒවා පුපුරන විට රටකජු සහ කරපිංචා එකතු කරන්න. අවසානයේ ගම්මිරිස් එකතු කර එම තෙම්පරාදු මිශ්‍රණය ඕට්ස් එකට එක් කර තවත් විනාඩි පහක් පමණ උයාගන්න.

Oats Soup

අවශ්‍ය ද්‍රව්‍ය

  • ස්ටීල් කට් ඕට්ස් කෝප්ප බාගයක්
  • කොටු කැපූ කුඩා කැරට් අලයක්
  • කොටු කැපූ බෝංචි කරල් දෙකක්
  • කුඩාවට කැපූ බේබිකෝන් ටිකක්
  • ග්‍රීන් පීස් ඇට කිහිපයක්
  • තෙල් මේස හැන්දක්
  • වතුර කෝප්ප තුනක්
  • තලාගත් සුදුලූණු ටිකක්
  • කුඩාවට කැපූ රතුලූණු ගෙඩියක්
  • කුඩාවට කැපූ මිරිස් කරලක්
  • ලුණු සහ ගම්මිරිස් 

හදන්නේ මෙහෙමයි

ඕට්ස් ටික වතුර කෝප්ප එක හමාරක් දමා පැය පහක් පමණ පෙඟෙන්නට තබන්න. තෙල් ටික ලිප තබා රත් වන විට සුදුලූණු, ඉඟුරු, රතුලූණු දමා බැදගන්න. එළවලු ද ඊට එක්කර හොඳින් තෙම්පරාදු කරන්න. දැන් ලුණු දමන්න. ඕට්ස් ටික වතුර පෙරා එක් කර අමතර වතුර කෝප්ප එක හමාර එකතු කරන්න. විනාඩි පහළවක් පමණ හොඳින් පිසුණු පසු ලිපෙන් බාගෙන ගම්මිරිස් එකතු කරන්න.

Related Articles

Don't Miss


Latest Articles