කෙසෙල් මුව මෙහෙම හදමු

අපේ වත්ත පිටියෙ, ගමේ කඩේ, පොළේ වගේම අද වෙද්දී සුපිරි වෙළඳසැල් වලත් නිතරම දකින්න ලැබෙන එළවළුවක් තමයි කෙසෙල් මුව කියන්නෙ. 

ඉතාම රසවත් වගේම පෝෂ්‍ය පදාර්ථ රාශියක් කැටිවූ කෙසල් මුව වල පොස්පරස්, කැල්සියම්, පොටෑසියම්, කොපර්, මැග්නීසියම් වගේම ෆයිබර් සහ ඇන්ටිඔක්සිඩන්ට් වැනි පෝෂණ සංඝටක වලිනුත් පරිපූර්ණ වෙලා තියෙනව. 

ස්වභාවිකවම බැක්ටීරියා ආසාදන සමඟ සටන් කිරීමේ හැකියාව ඇති කරන්නත්, දියවැඩියාව, අස්ථි වල ශක්තිමත් බව ඇති කිරීම, පිළිකා සෛල වලට එරෙහිව සටන් කිරීම, හෘද රෝග ඇතිවීමේ අවධානම අඩු කරන්නත් මානසික යහ පැවැත්ම ඇති කරන්නත් කෙසෙල් මුව වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ වලට හැකියාව තිබෙනවා. 

බලන්න මේ රසවත් ගුණවත් වගේම වැඩි මිලක් නැති එළවළු වර්ගය කොතරම් ගුණදායක ද කියල ? 

අද අපි ඔබ එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ මේ පෝෂ්‍ය පදාර්ථ වලින් අනූන එළවළුව පිළියෙල කරන විදි දෙකක් ගැනයි. 

අපි බලමු ඒ කොහොමද කියල ? 

කෙසෙල් මුව තෙම්පරාදුව

අවශ්‍ය ද්‍රව්‍ය

  • සාමාන්‍ය ප්‍රමාණයේ කෙසෙල් මුවක්
  • කොස් ඇට 10 ක් පමණ
  • රම්පා කැබැල්ලක්
  • කරපිංච ඉත්තක්
  • කුරුඳු පොතු කැබැල්ලක් 
  • උළුහාල් තේ හැඳි 01 ක්
  • සිහින්ව ලියාගත් රතුළූනු ගෙඩි 05 ක් පමණ
  • අමුමිරිස් කරල 03 ක්
  • අබ තේ හැඳි 01 ක් 
  • මිරිස් කුඩු තේ හැඳි 02 ක්
  • සරක්කු කුඩු තේ හැඳි 01 ක්
  • කහ කුඩු ස්වල්පයක් 
  • රස අනුව ලුණු 
  • ගොරක කෑලි 01 ක්
  • කොච්චි කරල් කීපයක් 
  • පොල්කිරි අඬු කෝප්ප 02 ක් 

සාදාගන්නා ආකාරය

කෙසෙල් මුවේ වටේ ඇති ලෙල්ල ඉවත් කර මැද කොටස සිහින්ව ලියා කහ සහ ලුණු මිශ්‍ර වතුර භාජනයකට දමා ගන්න. 

කොස් ඇට පොතු ඉවත්කර හොඳින් තලා ගන්න. 

කෙසෙල් මුව වල වතුර හොඳින් මිරිකා උයන භාජනයට දමා එයට තලාගත් කොස් ඇට, ළූනු, අමුමිරිස්, රම්පා, කරපිංච, කුළු බඩු සියල්ල, ගොරකා සහ පොල් කිරි එක්කර ලිප තබන්න. 

මඳ ගින්නෙ පිසගන්න. 

හොඳින් ඉදුණු පසු කෙසෙල් මුව ව්‍යාංජන භාජනයෙන් ඉවත් කර ඒ භාජනයටම පොල්තෙල් දමා කපාගත් ළූනු සහ කොච්චි එක්කර මඳ වේලාවක් බැඳගන්න. 

ඉන්පසු කලින් පිසගත් කෙසෙල් මුව ව්‍යාංජනය එයට එක්කර මඳ වේලාවක් පිස ගන්න. 

කෙසෙල් මුව බැඳුම

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සාමාන්‍ය ප්‍රමාණයේ කෙසෙල් මුවක්
  • කරපිංච 
  • සිහින්ව ලියාගත් ලොකු ළූනු ගෙඩි 02 ක් පමණ
  • හාල්මැස්සන් හෝ ඉස්සන් (තිබේනම් පමණක්)
  • රස අනුව ලුණු සහ කෑලි මිරිස්
  • සීනි ස්වල්පයක් 

සාදාගන්නා ආකාරය 

කෙසෙල් මුවේ වටේ ඇති ලෙල්ල ඉවත් කර මැද කොටස සිහින්ව ලියා කහ සහ ලුණු මිශ්‍ර වතුර භාජනයකට දමා ගන්න. 

තෙල් තාච්චියක් ලිපතබා හොඳින් වතුර මිරිකාගත් කෙසෙල් මුව රන්වන් පැහැවන තුරු බැදගන්න.

ඉන්පසු ළූනු රන්වන් පැහැවන තුරු බැදගන්න.

හාල්මැස්සන් ද හොඳින් බැඳගත් පසු ලිපනිවා රත්වූ තෙලට කරපිංචා දමා හොඳින් කොළ පැහැය තිබියදීම ලිපෙන් බාගන්න. 

නැවත තෙල් ස්වල්පයක් දැමූ බඳුනක් ලිපතබා එයට කෑලිමිරිස්, ලුණු සහ සීනි එකතු කරගන්න.

කෑලි මිරිස් රතු පැහැයෙන් තිබියදීම මඳ වේලාවක් තබා බැදගත් කෙසෙල් මුව, කරපිංච, ළූනු සහ හාල්මැස්සන් එක්කර හොඳින් කලවම් කරගන්න. 

නිමුණු පසු ආහාරයට ගන්න. 

හොඳින් සීල් කරගත් වීදුරු භාජනයකට දමා කල්තබා ගන්න වුනත් ඔබට පුළුවන්. 

එහෙනම් කෙසෙල් මුව මේ විදිහටත් හදල ඔබේ අත්දැකීම් අපි එක්ක බෙදාගන්න කියල අපි බොහොම ආදරෙන් ඔබටත් ආරාධනා කරනවා. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles