දානයේ වැඩ කටයුතු සියල්ල නිමා වූයේ සිතුවාටත් වඩා හොඳටය. දිනාරා වලව්වේ දුරකථනයට ඇමතුමක් ගෙන අත්තම්මාට ඒ බව පැවසූයේ මෙහෙණි ආරාමයේ සිටියදීමය.ඇගේ සිත සතුටින් පිරී තිබිණ.වලව්වේත් ඇය වෙනුවෙන් දානමය පුණ්‍ය කර්මයක් සිදු කිරීමට අත්තම්මා අපේක්ෂා කළත් බාප්පාගේ දියණියගේ විවාහ කටයුතු සිදුවන හෙයින් බලව්ව අලුත් වැඩියා කරන්නට පටන්ගෙන තිබිණ. එනිසාම අත්තම්මා දාන වේලක් සකසා රජමහා විහාරයට යවන්නට සූදානම් කරගෙන සිටින බව පැවසූයේ පෙරදා සවසය.
“ හිත සතුටු වෙන විදිහට පින්කම සිද්ධ උනානම් එච්චරයි..”
දුරකතනය එහාපස උන් අත්තම්මා පැවසුවේ එතරම් සතුටුකින් නොවන වග විශ්වාසය.ඇගේ ඒ කෝපය ප්‍රියංකා කෙරෙහි උපන්නකි.කුමක් දෝ අහේතුවකට ප්‍රියංකා ආන්ටි ගැන අවිශ්වාසයක් සේම අපැහැදීමක්ද ඒ සිතෙහි විය.
එය දුරු කරන්නට ඉක්මන් නොවිය යුතුයැයි දිනාරා සිතුවේ ඊයේ පෙරේදාය.
ප්‍රියංකාත් දිනාරාත් නිතර ගමන් බිමන් ගිය ත්‍රීවිල් රථයේ රියදුරාත්, කුමාරි අක්කාත් ,ප්‍රියංකාත්, දිනාරා හා සොයුරාත් දානමය පුණ්‍ය කර්මය සඳහා සහභාගී වී සිටියහ.කිසිවක කිසිඳු අඩුපාඩුවක් නොවූ තරම්ය.මෙහෙණින් වහන්සේලා සතුටින් ආහාර වැළඳූ බව පැවසුවේ දානමය පුණ්‍ය කර්මය නිමා වූවාට පසුවය.අම්මාට පින් දීමේ කටයුත්තක් ඉතා හොඳින් සිදුවිය.ඒ සඳහා වැඩි වේලාවක් වෙන්ව තිබිණ.අවසන මෑණිවරු සියල්ලෝම එක්ව සෙත් පිරිත් සඡ්ඣායනා කලේ පැමිණ සිටි පිරිස වෙනුවෙන්ය..පින්කමක් දැක පින් සිතක් පහදා ගැනීමම උතුම් ක්‍රියාවක් බව දිනාරා දැන උන්නාය. සියල්ලෝම උන්නේ සතුටින්ය.
“ ප්‍රියංකා ආන්ටි …මං දන්නෑ මං මොනවද කියන්න ඕනේ කියලා.ආන්ටි මගේ ජීවිතේ නොහිටියානං මට මේ කිසිම දෙයක් මේ විදිහට කරන්න ලැබෙන එකක් නෑ. මල්ලිගේ, මගේ ජීවිතවලට දැනෙන තනිකම මෙහෙමයි කියලා දිගක් පළලක් කියන්න මට තේරෙන එකක් නෑ.මං දන්නෑ ගිය ආත්මෙක හරි ඔයා මගේ අම්මගේ කවුරුම හරි වෙන්න ඇති..මගෙයි මල්ලිගෙයි කවුරුම හරි වෙන්න ඇති..”
“ පිස්සු කෙල්ල.. මේ මොනවද කියවන්නේ.ගිය ආත්මේ නෙමෙයි මේ ආත්මෙත් මං ඔයාලගේම තමයි. ඔයාගේ හිතට සතුටුනම් එච්චරයි පුතේ.අපි පුළුවන් හැම වෙලාවකම අම්මා වෙනුවෙන් පිනක් දහමක් කරලා ප්‍රාර්ථනා කරමු එයාට දුකක් , කඳුළක් හමු නොවන සැපවත් ජීවිතයක් උරුම වෙන්න කියලා..”
“ ඔව් ආන්ටි..….මගේ අම්මා ආයෙත් මනුස්ස ආත්මයක ඉපදේවි.මොකද මම දැනුවත්ව එයාගේ අතින් මේ ආත්මේ කිසිම පවක් උනේ නෑ.ඒත් අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ එයාට ආදරේ කරන එයාව රැක බලාගන්න මිනිස්සු විතරක්ම එයාට හමුවෙන්න කියලා..මගේ අම්මාට හැමදාම නැති උනේ ආදරේ..”
“ අපි එහෙම හිතමු පුතේ….අම්මා ඔයා නිසා ගොඩක් සතුටින් හිටියේ.ඔයා නිසා එයාට තමන්ගේම කෙනෙක් ඉන්නවා කියන හැඟීම තිබුණා…”
ප්‍රියංකා පැවසූයේ යුවතියගේ හිස අතගාමින්ය.මඳක් එහාට වන්නට බෝ මළුවේ උන් සචින් කුමාරි අක්කාගේ අතෙහි සිට ප්‍රියංකාට දෑත් පෑවේය.ප්‍රියංකා සිනහසී ඔහුට අත වැණුවා පමණි.
“ එයා ලොකු උනහම ඔයාට අම්මා කියලා කතා කරයි ප්‍රියංකා ආන්ටි.”
“ ඉතින් කමක් නෑ පුතේ.දරුවෝ වටකරගෙන ඉස්කෝලේ උගන්නද්දී මට හිතුනෙ මං ඒ හැමෝගෙම අම්මා කියලා.ඉතින් දැන් මේ හුරතල් කොල්ලගේ අම්මා උනා කියලා මට පාඩුවක් වෙන්නෙ නෑනෙ…”
“ ඔයාගේ මුළු ජීවිතේම අපි වෙනුවෙන් කැප කරන්නද හිතන් ඉන්නේ.”
එවර යුවතිය ඇසුවේ ඇගේ දෑත් අල්ලාගෙන ඒ දෑස්වලට එබීගෙනය.මේ මුවින් ගිලිහෙන්නේ වදන් නොවේ. යළිත් තමාට තනිවන්නට සිදු වේයැයි යුවතියගේ සිතෙහි වන බියය.ඇයව අහිමිකරගන්නට වේයැයි සිතෙන දුකය.
“ ඔව්…..ඒකනම් මගේ සතුට මං ඒ සතුටට ඉඩ දුන්නහම මොකද පුතේ.මිනිස්සු හැම දේම එකතු කරන්නේ මැරෙනකල් සතුටින් ජීවත් වෙන්න.ඉතින් දැන් මගේ සතුට තියෙන්නේ ඔයාලා දෙන්න ළඟ.ඔයාලා දෙන්න උස්මහත් වෙනවා බලාගෙන ඔයාල දෙන්න හොඳ මිනිස්සු වෙනවා බලාගෙන මං මගේ සතුට එකතු කරනවා..”
“ අනේ ප්‍රියංකා ආන්ටි…”
යුවතිය ඒ ගැහැණු පපුවට බර වූයේ හඬාගෙනමය.මේ කඳුළුවලට පෙරලෙන්නේ දුක පමණක් නොවේ. දුකටත් සතුටටත් ගැහැණු කඳුල එක සේම සංවේදීය. විනාඩි කිහිපයක් ගතව යනතුරු දෙදෙනාම උන්නේ ඒ ඉරියව්වේය. ලොකු මෑණියන් බෝ මළුවට වැඩියේ එවේලෙහිය.
“ ඇයි ප්‍රියංකා නෝනා මේ දරුවා අඬන්නේ…අම්මව සිහිපත් වෙලාද..”
“”එහෙමයි මෑණියනේ…”
“ දරුවෝ මේ බලන්න…මරණය කියන්නේ අපි කාටවත් අතින් අල්ලලා වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි.අම්මා කෙනෙක් ජීවත් වෙලා ඉන්න කාලෙදි බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ දරුවන්ගේ සතුට , සුබසිද්ධිය.මේ දරුවා අම්මට පින් දෙනවා වගේම අම්ම ගැන හිතේ තියෙන ආදරේ වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ තමයි ගෑණු දරුවෙක් විදිහට නිවැරදි මාර්ගයේ ගමන් කරන එක. ඔය දරුවගේ වාසනාවකට තමයි අපේ ප්‍රියංකා මිස් වගේ කෙනෙක් ළඟ නවාතැන් ගන්න ලැබුණේ. ප්‍රියංකා මිස් කියන්නේ ධර්මය ඇසුරු කරගෙන ජීවත් වෙන කෙනෙක්. ඒ වගේ අය ළඟ තියෙන්නේ ආදරය, කරුණාව විතරයි. මේ හෙවනෙදි දරුවාට ගුණ යහපත් දරුවෙක් විදියට හැදෙන්නත් තමන්ගේ සොයුරාව උස්මහත් කරගෙන එයාව නිවැරදි මාර්ගයක ගෙනියන්නත්, අම්මා වෙනුවෙන් පින් දහම් කරන්නත් බාධාවක් නෑ. ඒ වාසනාව ලැබෙන්නෙත් කලාතුරකින් කෙනෙකුට…ඒ අතින් මගේ දුව වාසනාවන්ත දරුවෙක්..”
“ එහෙමයි මෑණියනේ…”
දිනාරා පැවසූයේ ප්‍රියකාට වාරුව සිටියදීමය.
“ පුළුවන් වෙලාවක ප්‍රියංකා මිස් මේ දරුවත් එක්ක ආරාමයට ඇවිත් යන්න එන්න.මේ දරුවාගේ වයසෙම විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන මෑණියෝ කෙනෙකුත් ආරාමේ ඉන්නවා. බොහෝම ලස්සනට ධර්ම කාරණා තේරුම් කරලා දෙන්න පුළුවන්කම තියෙන මෑණියෝ කෙනෙක්. අපි ඒ උතුම් ධර්මය අවබෝධයෙන්ම මේ සංසාරේ කෙටි කරගන්න බලමු. මිය ගිය ඇත්තන්ගෙ ජීවිතයත් සුගතිගාමීව කෙළවර වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු…”
පිරිස ආරාමයෙන් පිට වූයේ එහි සිටම දිවා ආහාරයත් ලබා ගත්තාට පසුවය. නිවසට පැමිණි සැනින් ප්‍රියංකා අසල නිවාස කිහිපයකටම කෑම පාර්සලය බැගින් සාදා යැව්වාය.ඇයට අවට මිනිසුන් සමග ජීවත්ව ඇත්තේ සමගියෙන් සහයෝගයෙන්ය.ඒ සියල්ලෝමත් ඇයට ලෙංගතුය.ඔවුන්ට ජාති බේද ආගම් බේද වූයේ නැත.දුකේදී හඬන්නටත් සතුටේදී සිනහසෙන්නටත් ඔවුන් එක්ව සිටියහ.සැබවින්ම මේ තට්ටු නිවාසවල ජීවිතය වෛයිවර්ණ එකක් වූයේ එනිසාය.
දැනෙන තරමේ වැඩක් නොකලද දිනාරාට දැනෙන්නට වූයේ වෙහෙසකාරී බවකි. කුමාරි අක්කා ප්‍රියංකා ආන්ටිට භාජන අස්පස් කරන්නට උදව් වෙමින් උන්නාය.දිනාරා කුඩා සොයුරාවත් රැගෙන කාමරයට පැමිණියේ සිතටත් ගතටත් එක සේම විවේකය අවැසි වූ නිසාය.
*********=======*****-======*****======
අකලංක කාර්යාලයෙන් පිටවූයේ වෙනදාට වඩා වේලාසනින්ය. මරදාන ආසන්නයේ වූ සුපිරි වෙළඳ සැලකින් පලතුරු කිහිපයක් එක් කොට පලතුරු වට්ටියක් සාදාගත් තරුණයා එදිනෙදා නිවසට අවශ්‍ය වන බඩු මල්ලක්ද මිලදී ගත්තේ හදිසියේ ඇති වූ සිතුවිල්ලකට අනුවය. එතැන් සිට ඔහුගේ මතකයේ හැටියට නම් ප්‍රියංකා ටීචගේ නිවසට වූයේ කිලෝමීටර් තුනක තරම් කෙටි දුරකි. ජීවිතයේ සොඳුරුම වසන්තය ගෙවී ගිය ආනන්ද විද්‍යාලය පසුකර මඳ දුරක් ඉදිරියට ඇදී ගිය වාහනය දකුණු පසට හැරවිණ. එතනින් එහාට වූයේ මාලිගාවත්ත පෙදෙසට දිවෙන කෙටි පාරකි.
මින් පෙරත් කිහිප වරක්ම පැමිණ තිබුණු නිසා ප්‍රියංකා උන් තට්ටු නිවාසය සොයා ගැනීම එතරම් අසීරු කටයුත්තක් වූයේ නැත. තටු නිවාසය පහල රිය නවතාගෙන නිවසට යාමට පෙර ඇයට දැනුම් දීමක් කරන්නේදැයි සිතුවත් එය එසේ නොකළ යුතුයැයි අවසන අකලංක තීරණය කළේය. ඔහුට අවැසි වූයේ ඇයව පුදුම කරවන්නටය. ප්‍රියංකාටත් වඩා දිනාරා මේ ආගමනයෙන් පුදුම වනු ඇතැයි අකලංක විශ්වාස කළේය. එක් දිනක්වත් ඇයව නොදැක සිටින්නට බැරි තරම් නොසන්සුන්ව තිබූ මේ සිත දැන් සිටින්නේ ඔහුටම අවනත නොවූ තැනකය.ඒ ආදරයේ නාමයෙන් අවධිවන යෞවනයාට ඔහු ඇළුම් කරමින් උන්නේය.
නිවස ඉදිරිපස ඇති විදුලු සීනුව නාදකළ තරුණයා මදක් පසුපසට වූයේ බඩු බෑගයත් පලතුරු කූඩයත් දෙඅතින් ඔසවා ගෙනමය. තවත් තත්පර කිහිපයකින් පසු ඇරෙන දොරින් දිනාරාගේ මුහුණ දකින්නට පැතුවේ ඔහුගේ යටි සිතය.ඒ දෑස් වූයේ නොසන්සුන් කමේ උපරිමයේය.
“ පුතා…අකලංක. එන්න පුතේ ගෙට ඔයා මේ වගේ වෙලාවක එයි කියලා මං කොහොමටවත් බලාපොරොත්තු වුණේ නෑ.”
ප්‍රියංකාගේ හඬින් තිගැස්සී ගිය තරුණයා අඩියක් ඉදිරියට තැබුවේ හැකිතාක් සන්සුන් වන්නට උත්සාහ දරමින්ය.මේ නිවස හෝ ප්‍රියංකා මිස් ඔහුට අමුත්තක් නොවුණත් මෙවේලෙහි ඔහු උන්නේ නිවසටත් ඇයටත් සම්පූර්ණයෙන්ම ආගන්තුක වූ ස්වරූපයකින්ය.
“ මට හරි සතුටුයි පුතා ඔයාව මෙහෙම දකින්න ලැබුණු එක ගැන.මම ඉතින් අපේ කෙල්ලගෙන් දවස ගානේ විස්තර අහනවා ඉඳගන්න පුතා..ඔෆිස් කිට් එකට ඔයා හරි ලස්සනයි පුතා..හරි හැන්ඩ්සම්..”
ප්‍රියංකා තම ගෝලයාට අසුන් පෑවේ ඔහුව සිප වැළඳ ගත්තාට පසුවය. සැබැවින්ම ඈ උන්නේ සතුටින්ය.
“ ඉතින් කොහොමද ටීචර්..තවත් ලස්සන වෙලා..”
“ ලස්සනක් ගැන නං කියන්න දන්නෙ නෑ පුතේ හැබැයි මං හොඳින් ඉන්නවා..ඔය කොල්ලන්ගේ චාටු කතා ගැන මං හොඳට දන්නවනේ.වයසට ගියපු අපේ මොන ලස්සනක්ද දැන්..”
“ ඉස්සරත් අපි ටීච ලස්සනයි කියද්දී ටීච අපිට එහෙම තමයි කියන්නේ.හැබැයි ටීච කවදාවත් වයසට ගියේ නෑ..”
“ ඉතින් පුතේ බත් කාලද දවල්ට..අපි කෑම ටිකක් කමු..අද පොඩි දානෙකුත් තිබුණනේ “
“ මම ලන්ච් එක අරගෙන ආවේ ටීචර්.මම දානයක් තිබුණා කියලා දැනගත්තේ ඔෆිස් එකේ ගර්ල් කෙනෙක්ගෙන්.නිවාඩු ගන්නවා කියලා කිව්වට මේ ළමයා මට ඒ කිසිම දෙයක් කිව්වේ නැහැනේ “
“ අනේ පුතා මම හිතුවා පුතා දන්නවා ඇති කියලා.මහින්ද මහත්තයා පිරිකර ගන්න සල්ලිත් එවල තිබුණා..එහෙනම් අපි බිස්කට් පුඩිං ටිකක් කමු.පුතා ආසයිනේ. දුව පුතාට ගෙනියන්නත් කැවිලි පෙවිලි කොටසක් වෙන්කලා මං හිතන්නේ “
“ දිනරා කෝ ටීච.….”
“ නින්ද ගිහින් පුතේ. ඉන්න මං කතා කරන්නම්. කෙල්ලට මහන්සි ඇති.රෑ වෙනකල් පාඩම් කරනවත් එක්කනේ.”
“ එපා ටීච…කතා කරන්න එපා ඔහොම නිදාගන්න දෙන්න.මම මේ ළඟට ආපු ගමන් මතක් වෙලා ටීචර්ව බලලා යන්න ආවේ.”
“ එහෙනම් අපි බිස්කට් පුඩින් ටිකක් කාල ඉමුකෝ..”
මුළුතැන් ගෙට ගිය ඈ යළිත් විසිත්ත කාමරයට පැමිණියේ විනාඩි කිහිපයකට පසුවය.ඈ අත වූ තැටිල්ල මත බිස්කට් පුඩින් බඳුනකුත් හැන්දකුත් විය.
“ මොනවද පුතේ මේ උස්සන්න ඇවිල්ල තියෙන්නෙ..”
එවර ප්‍රියංකා ඇසුවේ පසෙක වූ බඩු මල්ල දෙස බලමින්ය.
“ පොඩි දේවල් ටිකක් විතරයි. ඇයි ප්‍රියංකා ටීචර් නිවාඩු දැම්මේ.”
“ පොඩි විවේකයක් ගන්න හිතුනා පුතේ.අනිත් එක මේ දරුවා ගැන ටිකක් බලන්න ඕනනේ.අවුරුදු දෙකකට විතරයි.දැන් ඒකෙනුත් මාස හයක්ම ගෙවිලා ගිහින්..”
“ දිනාරාගේ අම්මට මොකද උනේ…”
“ එයා නැතිවෙලා පුතේ.”
“ තාත්තා…”
“ තාත්තත් එයා පොඩි කාලෙදිම වෙන මැරේජ් එකකට ගිහින්…දිනාරා හැදිලා තියෙන්නේ එයාගේ අත්තම්මා ලඟ.හරි අහිංසක දරුවෙක් පුතේ..”
“ ඔව් හරි හොඳ කෙනෙක් තමයි.මටත් ගොඩක් උදව් කරනවා..”
“ ඉන්න පුතා මං ඇහැරවන්නම්…”
එවර ප්‍රියංකා නැගිට ගෙතුළට ගියේ අකලංකට කිසිවක් පවසන්නට ඉඩක් ලබා නොදෙමින්ය.ඇය වෙනුවෙන් ගෙන ආ චොක්ලට් එක බඩු මල්ලේ උඩින්ම විය.ප්‍රියංකා ටීච තමාව වටහා ගනීයැයි බියක්ද ඒ සිතෙහි විණ.එහෙත් ඕනෑම දෙයකට මුහුණ දෙන්නට ඔහු දැන් සිත හදාගෙන අවසන්ය.
තරුණයා අත වූ බිස්කට් පුඩින් බඳුන අහවරව තිබිණ.සැබවින්ම එය රසවත් එකකි.
( යළිත් හමු වෙමු ආදරයෙන්…)