සාගර තරංගා – 12

0
7573

ඒ දුරකතන ඇමතුම එද්දී සාගර උන්නේ නවාතැනට ඇවිත් වොශ් එකක් දාගෙන, බැල්කනියෙ අරලිය සෙවණ යට තිබ්බ පුටුවේ වාඩි වී මින්ට් ටී කෝප්පයක් රස විඳිමිනි.

අරලිය සෙවණ යට, රෑ අඳුර මැද ලා සඳ එළිය අස්සේ අමතක කරන්නට වගේම ආයෙ ආයෙ මතක් කරන්න බොහෝ දේ සාගරට තිබුණෙය.මේ වගේම සඳ එලිය වැටුණු සුන්දර රැයක එංගලන්තයෙ පාලු වීදියකදී තමන් තිශාලිට ප්‍රපෝස් කර අයුරුත්, අනතුරුව වෙච්ච හැමදේමත් චිත්‍රපටයක මෙන් ආයෙ ආයෙ මතක් වෙන එක නවත්තන විදියක් සාගර දැන උන්නේ නැත. 

“ඒ උනාට මම නම් හිතුවෙ ඔයා මාව සර්ප්‍රයිස් කරන්න හැමෝටම ඉන්වයිට් කරලා ලොකුවට ප්‍රපෝස් කරාවි කියලා” තිශාලි තමන් අතේ රැඳවූ මුදුව දෙස බලාගෙන කියද්දී පවා තමනුත් තිශාලිත් දෙදෙනා සිතුවිලි වලින් පවා කොතරම් වෙනස්ද, දුරස්ද කියා තමන්ට නොහිතුනේ ඒ තමන්ට විඳින්නට උරුම වූ දුකක් නිසා වෙන්නට හැකි බව සාගර සිතුවේය.

“ආදරේ කියන්නෙ ඉතින් එහෙම ලෝකෙට පේන්න සද්ද කරලා කරන්න ඕන දෙයක් නෙවෙයි තිශාලි. මං නම් කැමතියි සද්ද නැතුව, හරිම නිස්කලංකෙ ආදරේ කරන්න. ඕනවට වඩා මිනිස්සුන්ගෙ ඇස් ඉස්සරහ ආදරේ කරන්න ගියාම ප්‍රශ්න වැඩි යි. මොකද මිනිස්සුන්ගෙ අත පෙවීම් වැඩියිනෙ” කියා තමන් කියද්දී තිශාලි මහ හඬින් හිනාවෙච්ච හඬ පවා සාගරට දෙසවන් ඇතුලේ දෝංකාර දෙනවාක් මෙන් ඇසේ.

“ඊඊඊ, රට ඇවිල්ලා ජොබ්ස් කරාට මොකෝ ඔයා වෙලාවකට කතා කරන්නෙ මහ ගොඩයෙක් වගේනෙ සාගර. මං නම් හරිම ආසයි ලෝකෙට පේන්න ආදරේ කරන්න. මං යාලුවෙලා ඉන්නෙ ඩොක්ටර් කෙනෙක් එක්ක කියලා කියන්න, ලොකුවට වෙඩින් ගන්න” කියා තිශාලි කියද්දි පවා තමා එය භාරගත්තේ කෙල්ලෙක්ගේ බොලඳ ආසාවල් විලස මිස වඩා බරැරුම්ව නොවන බව මතක් උනත් සාගර ඒ සිතුවිල්ල ඔස්සේ වැඩි දුර යන්න සිතුවේ නැත. ඒවා දැන්  සිතා බලා තේරුමක් නැති වේදනාබර අතීතයකට අයිති සිතුවිලි කන්දරාවකි.

දුරකතනය නාද වුනේ සාගර ඉවර වුණු තේ කෝප්පය තියන්නට පුටුවෙන් නැගිටිද්දිය. ඒ නාදුනන දුරකතන අංකයකි. මේ වෙලාවේ නාදුනන දුරකතන අංකයකින් කතා කරන්න තමුන්ට ඉන්නේ කවුද කියා සිත විමසද්දී සාගර ඒ ඇමතුමට සම්බන්ධ වුණේය. එහා පැත්තෙන් නැගිච්ච ඉකි බිඳුම අයිති කාටද කියන්න සාගරට මුලින් හිතාගන්නවත් පුලුවන් උනේ නැත. 

“හෙලෝ කවුද මේ කතාකරන්නෙ”

“අනේ ඩොක්ටර් මම තරංගා සනුකිගෙ අම්මා, අර ඩොක්ටර් ශ්‍යාමනී කියල මම ආවෙ අපොයින්ට්මන්ට් එකට” තරංගා ඕනවටත් වඩා කියාගෙන යද්දී සාගර කලබල වුණේය.

“ඔව් තරංගා කියන්න, ඇයි බබාට සනීප නැද්ද?”

“අනේ මම දන්නෙ නෑ ඩොක්ටර්, මගේ ඇනෙක්ස් එක ලඟ ගෙදරක පාටි එකක්ද කොහෙද? හයියෙන් සද්ද දාලා, සනුකි නිදාගෙන හිටියෙ. එයා එකපාර නැගිටල මහ හයියෙන් අඬන්න ගත්තා. නවත්තන්නෙම නෑ. මම සෑහෙන මහන්සි උනා නලවගන්න නවත්තන්නෙම නෑ. අද අපේ පහල ගෙදර ආන්ටිලත් නෑ. අනේ මට කතාකරන්න කෙනෙක් නෑ ඩොක්ටර් මම ඒකයි කතාකරේ

මට තේරෙන්නෙ නෑ මම මොකද්ද කරන්න ඕන කියලා”

තරංගා උන්නේ කලබල වී බවත්, ඇගේ බිඳුණු කටහඬ වසා දමමින් එහා පැත්තෙන් ඇසෙන සනුකිගේ බෙරිහන් දීමත් සාගරට කණේ තිබ්බා වගේ පැහැදිලිව ඇසුණේය. ඕටිසම් වැනි රෝග තත්ත්වයන් ඇති දරුවන් මෙවන් සිදුවීම් වලදී මෙලෙස කලබල වීම සාමාන්‍ය දෙයක් බව දන්නවා වුණත් දුරකතනය ඔස්සේ මෙවන් අවස්තාවක පිහිට වෙන්න හැකියාවක් නැති බව දන්න හන්දාම සාගර ඒ මොහොතේ කරන්න තිබුණ හොඳම දේ ක්‍රියාත්මක කරන්න සිතුවේය.

“තරංගා ඔයාට පුලුවන්ද මට ඔයාගෙ ඇනෙක්ස් එකේ ලොකේශන් එක දාන්න, මම එන්නම්, බයවෙන්න එපා. ඔයා මං එනකම් සනුකිව මැනේජ් කරගන්න බලන්න” කියා සාගර කියද්දී මේ හිඳින්නේ තමන්ට මෙයට වෙර අවස්තා දෙක තුනකදී හමුවුණ නාඳුනන පුද්ගලයෙකු බවත්, ඔහු සනුකිගේ වෛද්‍යවරයා බවවත් ඇත්තටම තරංගාට මතක තිබ්බේ නැති තරම් ය.  ඒ මොහොතේ තරංගාට මතක තිබුනේ තමන් අම්මා කෙනෙකු බවත්, මේ මොහොතේ අම්මා කෙනෙකු ලෙස තමන්ගේ වගකීම වන්නේ සනුකිව සනසවාගන්න එක පමණක් බවත් ය.

සාගරගේ දුරකතනය වෙත තරංගාගේ ලොකේශන් පින් එක ශෙයා වුණේ ඒ අන්දමිනි. පල්ලෙහා ගෙදර ආන්ටිත් අංකලුත් උන්නා නම් මෙවන් මොහොතක එකා පැත්තේ නිවසට හිස දමා සද්දය අඩු කරන්න කියා කියන්නට ඉඩ තිබුනද සනුකිගේ හෝ තරංගාගේ අවාසනාවකට අද ඒ යුවලත් ගෙදර උන්නේ නැත. තරංගා වඩා අසරණ වුනේ ඒ හන්දාය. සනුකිගේ කෑගැහිල්ල උස් හඬින් ඇදි ඇදි ගොස් අවසානයේ සනුකි හුස්ම ඉහලට අදිද්දී තරංගා වඩා බියපත් වුණාය.

“අනේ මගෙ පුතේ මේ බලන්නකො අම්මි දිහා,අඬන්න එපා මගෙ රත්තරන් පැටියෝ. බලන්න අර හඳත් පායලා, ආව් ආව් බලන්න ලස්සන, කිරි හට්ටියක් වගේ, ආආ අර බලන්න කණාමැදිරියොත් එනවා” කියා නලවන්න හැදුවද සනුකි උන්නේ වෙනදා වගේ අම්මාගේ වචන වල එල්ලී නැලවෙන අදහසක නොවේ. අම්මා කියන වචන නෑසෙන පරිද්දෙන් අල්ලපු නිවසින් ඇසෙන ඝෝශාකාරී සංගීතය තිබුනේ සනුකිගේ දෙසවන් වසා ගෙන ඇදී යමිනි.

“රා යේ රාවෙල්ලම් ලෝන්ග් ආවුදේ

රෝබරි කු රාවේ රාවේ

රා නී පාතාලේ තී ආවුදේ

තී පිඩික්ක රාවෙයියාවේ 

මචතා මොරච්චා අචත කොරච්චා

ඉචතා මරච්චා මිචම් ඉලාමා

මචමේ නුවෛයා අචමේ ලෙදෙයියා

ඉචමේ නෙනෙයියා මිචම් යෙමයියා

වා නූ කාවාලයියා නූ කාවාලයියා

රා රා රා රා රා…”

මේ දිනවල සමාජ මාධ්‍යවල පවා ඉතාම වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබුන එකී ගීතය එහි ඔරිජිනල් තනුවටත් වඩා ඉහල වේගයකින් රිමික්ස් කර වාදනය කරමින් උන්නේ අල්ලපු ගෙදරට අලුත පදිංචියට ආව තරුණයන් කිහිප දෙනෙකි. තමන් ජීවත්වන ගෙදරට අල්ලපු ගෙදරක ලෙඩ දරුවෙක් ඉන්න බව ඔවුන් නොදන්නා එක ඇත්තක් වුණත්, තමන්ට පමණක් ඇසෙන පරිද්දෙන්, විනෝද විය හැකි පරිද්දෙන් ශබ්ධය පාලනය කර නොගන්නා එක මනුස්සකම හා සම්බන්ධ ප්‍රශ්නයක් නොවන්නේද කියාත් තරංගා මේ ඇඬිලි, හැප්පිලි ඔක්කොම අස්සෙ හිතුවාය. තමන් ගේ ගෙදරක උත්සවයක් තියෙද්දී ඒ දාන විගඩම් ඔක්කොම දමන්න ඕන තමන්ටත් උත්සවයට සහභාගි වන පිරිසටත් විනෝද විය හැකි පරිද්දෙන් නොවේද කියා නොසිතා ඉන්න තරංගාට පුලුවන්කමක් තිබ්බේත් නැත.

“හොඳට නාලා කාලා නිදාගන්න ගිය දරුවනෙ දෙයියනේ මේ ඇහැරං බෙරිහං දෙන්නෙ” කියා හිතද්දී ඇස්වලින් කඳුලු වැක්කුරුණේ අනිච්චානුගවය.

“අඬන්න එපා මගෙ පුතේ, මේ බලන්නකො පුතා අඬද්දි අම්මිටත් ඇඬෙනවා. දැන් ඩොක්ටර් අංකලුත් එනවා කිව්වා පුතාව බලන්න. පුතාට මතකනෙ අර ශෝයි ඩොක්ටර් අංකල්, ඒ නිසා අඬන්න එපා හොඳේ. අංකල් ට දුක හිතේවි බබා අඬනවා දැක්කම” කියා කිව්වද සනුකි බිඳක්වත් නැලවුනේ නැත. අනෙක් අතට නොකඩවා ඇසෙන ඝෝශාකාරී සංගිතය මැද්දේ සනුකිව නැලවෙන්න ඉඩක් තිබුනේ නැත.

සාගර උන්නේ කාර් එක පදවගෙන තරංගා එවා තිබූ ලොකේශන් පින් එක වෙත රිය පදවමිනි. රාත්‍රියක උනත් කොළඹ නගරයේ වූ වාහන තදබදය අස්සේ වාහනය නවත්වාගෙන ඉන්නට වූ හැම මොහොතකම තමන්ට හුරුපුරුදු සන්සුන් ස්වභාවය යටපත් කරගෙන යම් කිසි නුරුස්සන කෝප සහගත බවක් ඉස්මතු වෙන්න ගියත් සාගර හිතා මතාම ඒ සියල්ල ඉවසා දරාගත්තේය.

ගූගල් මැප්ස් යෙදවුමේ, තරංගාත් සනුකිත් හිඳින්නේ තමන්ට විනාඩි අටක දුරෙන් යැයි සඳහන් වුවත් ඒ විනාඩි අටක දුර පවා කල්පාන්තයක් බඳු දුරක් ලෙස සාගරට දැනුනේය.

එහෙත් ඒ ඇයි කියා කියන්නට, හේතු පහදන්නට තේරුමක් නැතුවය.

හදවත් දෙකක් දෙතැනක එකම කරුණක් හේතුවෙන් මාතෘ ස්නේහයකිනුත්, පීතෘ ස්නේහයකිනුත් ඇවිලෙමින් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here