ආතුරයන් මැද ආදරෙන් 25

“මේ රටේ හැම දරුවෙක්ම.. මගේ දරුවෙක්.. මට මගේ දුව නැති වෙලා.. මේ වෙලාවේ රට වෙනුවෙන් කැපවෙන්න ගිය මට, මගේ දරුව  රැක ගන්න බැරිවෙලා. මගේ මැණික මට නොකියම ගිහින්. පුතේ.. සමහරවිට මං කතා කරන දේ මේ වෙලාවේ ඔයාට ඇහෙනවා ඇති..ඔයාගේ තාත්තා තව දවස් කීපයකින් ජනාධිපති වේවි. හැබැයි  ඒ ..රටට විතරයි. මගේ රත්තරන් පුතේ ..මේ තාත්තා හැමදාමත් මගේ පුතාට තාත්තා විතරමයි.”..

කියපු කේසර තප්පර විස්සක් විතර කතා කරගන්න බැරුව තමන්ගේ සුදු පාට ලේන්සුව ඇස් වලට හිර කරගෙන ඉකි ගහන බව රූප රාමුවලින් පෙනුනා.
ජනරැළියට ආපු පිරිමි තම තමන් තනියමත් කාන්තාවන් තවත් කාන්තාවනුත් බදා ගෙන අඬන්න පටන් අරන් තිබුණා.
ටික වෙලාවකින් ඇස් අරින කේසර ඇඩුම්බර කටහඬකින් දිගටම කතා කරන්න ගත්තා.

“මේ රටේ ඉන්න හැම දුවෙක්ගෙන්ම ..හැම පුතෙක්ගෙන්ම මම ඉල්ලනවා… ඔයාලා කොයිතරම් ලොකු මහත් උනත් ..හැමතිස්සෙම පරිස්සම් වෙන්න ඕන.
දෙමව්පියන්ගේ ඇස් වගේම පරිස්සම් වෙන්න ඕනෙ.මගේ ඇස් දෙක වගේ උන්නු මගේ රත්තරං කෙල්ල අරන් ගිහින් තියෙන්නේ මගේ හෙවනැල්ල වගේ මගේ ළඟම උන්නු කෙනා.
විශ්වාස කරන්නත් බෑ නේද…
මේ අම්මල තාත්තලා දන්නවා තාත්තා කෙනෙකුගේ පපුවේ තියෙන ලොකුම ගින්දර දරු ගින්දර කියලා… එදා බෝම්බ සිද්ධියටත් මගේ නම ඇඳලා විරුද්ධ පාක්ෂිකයෝ කැත කතා කියනවා. මම බලයට පත්වුණොත් එදා ඒ බෝම්බ සිද්ධියට වගකියන්න ඕනේ හැම කෙනෙක්වම අත්අඩංගුවට ගන්නවා කියලා මම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරල තියෙනවා.මගේ විරුද්ධ පාක්ෂිකයන්ට දරාගන්න බැරි මගේ මේ සෘජු ප්‍රතිපත්තිය. වැරැද්ද කරපු අය දන්නවා තමන් වැරදි බව..දැන් බයේ වෙව්ලනවා..මගේ ගමන නවත්තන්න බිල්ලට අරගත්තේ මගේ දරුවමයි.. මේ තරම් දරු සෙනෙහසක් පිරිලා තියෙන තාත්තෙකුට පුළුවන්ද  ඔය කියනවා වගේ බෝම්බ තියලා කරපු අමනුස්ස වැඩක් කරන්න.රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ගිහිල්ලා අද මට මගේ දරුවා නැති වුණා.මේ වෙනකොට පොලිස් කණ්ඩායම් දහයක් විතර දරුවාව රට පුරාම හොයනවා. මට මගේ රැලි නවත්තන්න විදිහක් නැහැ.තමන්ගේ දරුවා නැතිවෙච්ච ශෝකය දරාගෙන.. ලැජ්ජාව දරාගෙන මම යන්න ගිය ගමන මට නවත්තන්න විදිහක් නැහැ.මම එහෙම නායකයෙක් නෙමෙයි.මාව අලු වෙලා ගියත් මාව විස්වාස කරපු තමුන්නාන්සේලාව අසරණ කරන්න මම කැමති නෑ.. රත්තරං මගේ දුවටත් මම මේ වෙලාවේ පණිවිඩයක් දෙනවා.මම දන්නවා ඔයා කොයි ලෝකෙ හිටියත් මම මේ කරන කතාවට ඇහුම්කන් දෙනවා කියලා. මං දන්නවා ඔයත් මේ රටට ආදරෙයි කියලා.  ඔයාගේ අධ්‍යාපන කටයුතු එහෙ නතර කරගෙන තමයි ඔයා මට උදව් වෙන්න මෙහෙ නැවතුනේ..මම කොයිතරම් ඒ රටට යන්න කියලා කිව්වත් ඔයා මේ රටේ මිනිස්සුන්ට ආදරය කළේ ඔයාගෙම නෑදෑයින්ට ඔයාගෙම සහෝදර සහෝදරියන්ට වගේ.. “

එතනින් එහාට කතාව ඉවර කරගන්න බැරුව කේසර මයික්‍රෆෝනයට ඇහෙන විදිහටම ඉකි ගහන්න පටන් ගත්තා. ඊට පස්සේ කැමරාවෙන් පුදුමාකාර වේදනාත්මක සංගීතයකුත් එක්ක රැස්වීමට ආපු ගෑණු මිනිස්සු ඉකි ගහන රූප පෙන්නන්න පටන් ගත්ත. තමන්ගේ දරුවන්ට කෝඳුරුවකුගෙන්වත් කරදරයක් වෙලා නැති උනත් හුගක්  අම්මලා එතන  බදාගෙන වැලපෙන විදිහ පෙන්නන්න පටන් ගත්තා. අන්තිමේදී වර්ණාසිගේ කුඩා කාලයේදී කේසර වඩාගෙන හුරතල් කරන රූපයක් … වර්ණාසි බයිසිකල් පදින රූපයක් වගේ පුංචි පුංචි රූප කීපයකින් වීඩියෝ එක ඉවර  වුණා.
වර්ණාසි උන්නේ ගල් ගැහිලා වගේ ඒ දිහා බලාගෙන..
තාත්තගේ මේ දෙපිටකාට්ටු චරිතය තමාගේ ඇස් පනාපිටම මේ විදිහට පේනකොට තමන් මොනවද කරන්න ඕනේ කියලා හිතාගන්න වර්ණාසිට බැරි වුණා.

“ආන්ටි එතකොට මට මෙන්න මේක කියන්න…මට එතකොට කිසිම කෙනෙකුගෙන් මරණ තර්ජනයක් තිබුණේ නැද්ද…?
මේක සම්පූර්ණයෙන්ම තාත්තිගේ ප්ලෑන් එකක්ද..කිසිම කෙනෙකුට නොකියා ඒ විදිහට මාවයි ජාදුවයි හංගලා එතනින් එහාට ගොතපු කතාවක්ද..ඒ කියන්නේ ඇත්තටම කවුරුවත් මාව මරන්න ඉඳලා නෑ..'”

වර්ණාසී ජනේලය දිහා බලාගෙන නර්මදාගේ පැත්ත බලන්නේවත් නැතුව කතා කරගෙන ගියා..

එතනින් පස්සේ තිබුණ හුඟක් වීඩියෝ වල තිබුනෙ ඡන්දය දවසේ හවස කේසර රණබාහු ක්‍රමයෙන්  මනාප ලබා ගනිමින් ජයග්‍රහණය කරා ගමන් කරන විස්තරයි. උතුරු පළාත දකුණු පළාත කියලා විශේෂත්වයක් නැතිව වෙනදා තිබිච්ච කිසිම ඡන්දයකට වඩා කේසර රණබාහුගේ මනාප ප්‍රමාණය වැඩිවෙලා තිබුණා.විරුද්ධ පාක්ෂික ජයමහට වඩා ලක්ෂ ගණනක විශාල මනාප ප්‍රමාණයක් අරගෙන කේසර රනබාහු ජනාධිපති චන්දය ජයග්‍රහණය ලබාගෙන තිබුණා.

“දැයේ දරුවන්ගේ කඳුළු දන්නා තාත්තා “

කියලා විරුදාවලියකුත් ඒ වෙනකොට කේසරට පට බැඳිලා තිබුණා.දේශපාලනයේ බොහෝ ප්‍රබල චරිත කේසරගේ
“වර්ණාසි විලාවට”  යන එන හැටි.. දුක බෙදා ගන්න හැටි ..තවත් එක එක වීඩියෝ පටවලා තිබුණා.

“කේසර කියන්නේ ඉස්සර ඉඳලම තමන්ගේ දුවට උතුරන ආදරයක් දීපු තාත්තෙක් ..මේ වෙලාවේ වර්ණාසි  දුවව පැහැරගෙන යාම විපක්ෂය වග කියන්න ඕනේ සිද්ධියක් කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඔය වගේ ගඳ ගහන වැඩ කරන්න පුළුවන්  විපක්ෂයට විතරයි.”

“මම හිතන්නේ මේක විපක්ෂයේ කාගේ හරි විශාල පළිගැනීමක්.. තාත්තෙක්ගේ පපුවේ තියෙන ලොකුම ගින්දර තමයි දරු දුක.. ඒකත් එක්ක දේශපාලනය පටලවා ගත්තු නින්දිත අවස්ථාවක් මේක..”

” ඇත්තෙන්ම කේසර රණබාහු කියලා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කේසර සිංහයෙක් තමයි.තමන්ට පෞද්ගලිකව මේ තරම් විපතක් තියෙන වෙලාවකත් රටේ මිනිසුන් අමතක කරන්නේ නැතුව මේ ඡන්දයට එයා බය නැතුව ඉදිරිපත් වෙලා ඉන්න එක පුදුම නිර්භීතකමක්..”

කේසරගේ පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයන් තමන්ගේ හඬ පට මුදා හැර තිබුණා.

“සියලුම ආරක්ෂක අංශ නියෝජනය කරමින් ..මම කේසර මහතා වෙත පොරොන්දු වෙනවා මේ අපරාධය සිදුකළ අපරාධකරුවන් ඉතාමත් ඉක්මනින්ම අත්අඩංගුවට ගන්නා බවට.. ඒ වගේම ඔවුන් පිළිබඳව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවටත්..”

හමුදාපතිත් පොලිස්පතිත් විශේෂ නිවේදන නිකුත් කරමින් කියන වීඩියෝ පට ගණනාවක් ඒ අතර  තිබුණා.හමුදාපතිත් පොලිස්පතිත් විශේෂ මාධ්‍ය සාකච්ඡා තියමින් මේ ප්‍රකාශ සිද්ධ කරන හැටි වර්ණාසි දැක්කා.වර්ණාසිගේ ඇස් කෝප දාහයෙන් ඇවිලුනා. පක්ෂයේ දේශපාලන ප්‍රබලයින්ගේ හඬ පටවල දායකත්වය තව තවත් විපක්ෂයට මඩ ගහන පිළිවෙතක් තිබුණා.
එතකොට එදා පල්ලි පන්සල් කුඩුවෙන්න බෝම්බ පත්තු කරලා දෙමව්පියන්ගේ දරුවන්ව නෙමෙයිද කෑලි කෑලි වලට කැඩුවේ කියලා වර්ණාසිගෙ හිත ඇහුවා.වර්ණාසිගේ අත තරහින් ඇද රෙද්ද කැටි කරලා අල්ලගෙන තිබුණා. ජාදු එදා කියපු රහස් කතා හැම දෙයක්ම වර්ණාසිට ආපහු ආපහු ඇහෙන්න පටන් ගත්තා. අම්මාගේ දිනපොතේ තිබුණු විස්තර දිගින් දිගටම මතක් වෙන්න ගත්තාා. බැටළු හමක් පොරවගත්ත කේසර රණබාහු ගැන වර්ණාසි ට දැනුනේ මහා අප්‍රසන්නතාවයක්. දිගින් දිගටම තිබුණේ විවිධ මාධ්‍ය නාලිකා වලින් විවිධ අවස්ථාවල නිකුත් වුනු එසැන පුවත් වලින් පිරිලා.

කේසර මැතිඳානන්ගේ අහිංසක දියණිය පැහැරගත් ත්‍රස්තවාදියා අල්ලයි…

කියන විශේෂිත මාතෘකාව යටතේ තිබුණු වීඩියෝව වර්ණාසි ඉක්මනින්ම මතු කර ගත්තා..

“මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්.කේසර රණබහු ජනාධිපති තුමන්ගේ දයාබර දියනිය පැහැරගෙන ගිය අපරාධකරු උපුල් කුමාර නොහොත් ජාදු, විශේෂ කාර්ය බළකාය මගින් සොයාගෙන තිබෙනවා.වර්ණාසී රණබාහු මෙනවිය හිර කරගෙන සිටින විටදී නිරුපද්‍රිතව බේරාගැනීමට ආරක්ෂක අංශ සමත් වී ඇති අතර එහිදී ඇති වූ ප්‍රබල ගැටුමකදී උපුල් කුමාර නොහොත් ජාදු මියගොස් ඇති බව වාර්තා වෙනවා. එම අපරාධකරුවා තමන්ගේ ගිනි අවිය ක්‍රියාත්මක කිරීමට යාමේදී සිදුවූ ගැටුමේදී මෙම මරණය සිදුවී ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග විසින් පවසා සිටිනවා..”

වර්ණාසිගේ කන් වර්ණාසිටම විශ්වාස කරන්න බැරි විදිහක් දැනුනා…අනේ දෙවියනේ ඒ අහිංසකයා…තාත්තව දෙවි කෙනෙක් වගේ විශ්වාස කරපු ඒ අහිංසකයා .. තාත්තා වෙනුවෙන් තමන්ගේ මුළු සංසාරයම පුදන්න හිටපු භක්තිවන්තයා..
දෙවියනේ තාත්ති මොනතරම් පව්කාරයෙක්ද…තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න මොනවද මේ කරන්නේ?…
අනේ ජාදු … පව් ආන්ටි…

වර්ණාසි කෑ ගැහුවා. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles