අනෝරා මල් වැහි 25

තාරාගේ බස් අනුව මහිල් කොළඹ විශ්ව විද්‍යාලයේ මසාජ් තෙරපිස්ට් වරුන් සඳහා ඇති ඩිප්ලෝමා පාටමාලාවක් හදාරාන්නට තීරණය කරේය. තමන් තාරා විසින් කල ඒ යෝජනව ක්‍රියාවට නංවන්නට සිතුවේ තාරා කියු දෙයින් තමන්ගේ අනාගතයට යම් හොඳක් සිදුවන බව තේරුම්ගත් නිසාවෙන්ද නොඑසේනම් තමා ඇය කියන දේ කිරීම ඇයට තවත් ලංවෙන්නට ඇගේ හිත දිනාගැනීමට හේතුවක් නිසාද කියා මහිල්ට සිතාගන්නට නොහැක.

එහෙත් ඒ කුමක් නිසාවෙන් හෝ මෙහිඒම ගැන මහිල් සතුටු වූවාය. සෙනසුරාදා දවසේ දේශන සඳහා සහභාගිවන නිසාවෙන් එදිනට වයිබ්ස් කැෆේ වෙත යන්නට නොහැකි වුවද බොහෝ සෙනසුරදා දිනයන්හිදී තාරා තම සුදු පැහැ අවුඩි රියෙන් මහිල්ට දේශන අවසන් වන වේලාවට කොළඹ විශ්ව විද්‍යාලය අසලට ආවාය.

ඇගේ රියෙන්ම බොහෝ අවස්තාවල මහිල්ව නිවෙස තෙක්ම ගොස් ඇරලවන්නට ඇසුවද ඒ ගැන මහිල්ගේ හිතේ වූයේ යම් ආකාරයක තිගැස්මකි.තමා ජීවත්වන වටපිටාව කොටින්ම තමාගේ ජීවිත රටාව තාරාව තමන්ගෙන් ඈත් කරවන්නට හේතුවක් වන ඇති දැයි යන බිය සහ කුකුස ඒ තිගැස්මට හේතුවක් විය. 

“ඇයි ඔයා අකමැති මම ඔයාව ගෙදර ලඟින් ඩ්‍රොප් කරනවට”

තාරා ඇසුවේ මහිල්ව සුපුරුදු බරිදි බස් නැවතුම්පොලින් ඇරලවන්නට යන අතරවාරයේය.

“ඔයාට කරදරයිනෙ”

“හරි මම කියනවනම් කරදර නෑ කියල ඔයා ඒ ගැන වොරිවෙන්න ඕන නෑනෙ. ඔයා මගෙන් මොනවහරි හංගනවද? ඔයා සීරියල්කිලර් කෙනෙක් ද?” 

ඉදිරිය බලාගෙනයම සුක්කානම කරකවන අතරවාරයේ තාරා සිනාසෙමින් මහිල් දෙස නෙතගින් මොහොතකට බලාය.

“නෑ එහෙම නෙවෙයි”කියා සිනාසෙන්නට වෙර දැරුවද තමා සඟවන්නට හදන තමන්ගේ වටපිටාව තාරා විසින් නිරාවරණය කර ගනීවිය යන බිය ඒ සිනාව සඟවාලයි.

“එහෙනම් කොහොමද එකක්ද?”

“අපි ඉන්න විදිය දැක්කොත් ඔයා මාත් එක්කකතා කරන එකක්වත් නෑ කියල මට බයයි. ඒකයි”

“ඒ කිව්වෙ?”

“මම ඉන්නෙ වත්තක තියෙන ගෙදරක. ඒ පැත්ත වත්තක්. ඔයා කවදාවත් එහෙම තැනකට ඇවිල්ල නෑනෙ තාරා. මට හරි බයයි ඔයා මාත් එක්ක කතා කරන එකක්වත් නෑ කියල”

“අයියෝ මහිල්. මම කවදාවත් ඔයාව ඔයාගේ අවුටර් ඇපියරන්ස් එකෙන්වත් ඔයා ඉන්නෙ වත්තකද කොළඹ හතේද කියලවත් හිතුවෙ නෑ. මම ඔයා එක්ක කතා කරන්නෙ, මම ඔයාව යාලුවෙක් කරගත්තෙ මටඇත්තටම ඔයාව සෙට් උන හින්ද මිසක් වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. ඒ නිසා ප්ලීස් මමගැන ඔහොම හිතන්න එපා.

බයවෙන්න එපා මම ඔයාගෙ අකමැත්තෙන් ගෙවල් ලඟට එන්නෙ නෑ. ඒ උනාට මම ඔයා ගැන වරදක් හිතාවි කියල හිතන්න එපා ප්ලීස්”

තාරාගේ වදන් සිතට සැනසුමක් ගෙනෙන බව ඇත්තකි. එහෙත් තමන් ජීවත්වන වටපිටාව හඳුනන්නේ තමාය. එහි ජීවත්වන්නේ තමාය. ඒ ජීවිත රටාවට අනුගත වන්නට තබා එහි මොහොතකටවත් රැඳී හිඳින්නට තාරාට නොහැකි බව මහිල් දනී. තරුවකටකවදාවත් අහසෙන් බිමට විත් පොලොවමත දිදුලන්නට හැකිද?

තමන්ගේ නිවෙස ඇති වටපිටාව සැඳෑවේ සිට රාත්‍රිය වනතුරු බොහෝ ශබ්දකාරය. විවිදාකාරයේ කන් පුපුරුවන සංගීත නාදයන්ද, මිනිසුන්ගේ කෑකොස්සන් ගැසිලිද එහි අඩුවක් නැත. තාරාට ඒ වටපිටාව කිසිදිනක පිලිගන්නට හැකිද?

දිස්නිගේ මංගල උත්සවයට දවසක් තබා මාධනී කුලතුංගත්, චිරස්තිත්, ඇගේ සැමියා සහ තාත්තාත් නිවෙස් බලා ආහ. පිරිමින් දෙදෙනා එහෙමකට කියා දෙයක් තාරා සමග කතා කරන්නට නාවද කුලතුංග පවුලේ කාන්තාවන් දෙදෙනා ඉන්නේ පොර කිකිලියන් මෙන් ඇවිලෙන්නට හේතුවක් හොයමින් බව තාරා දැන උන්නාය. ඒ නිසාම වචන භාවිතයෙහිත්, මුහුවීමෙදිත් තාරා වඩා ප්‍රවේසම්වූවාය. ඔවුන් කෑම කෑපසු කන්නටත්, හැකිතාක් ඉක්මනින් කෑම අවසන් කර නිදන කාමරයට රිංගන්නටත්, උදෑසන හැකිතාක් කලින් රාජකාරියට යන්නටත් කටයුතු කලාය. 

එය සිදු කරන්නට එහෙමකට කියා පරිශ්‍රමයක් දරන්නට නොවුයේ ඔවුන් එහි උන්නේ දින කිහිපයක් පමණක් බැවිනි. 

දිස්නිගේ විවාහ මංගල්‍යයට අඳින්නට තාරා සිතා හුන් ඇඳුම ප්‍රෙස්කිරීමට ලොන්ඩ්‍රොමැට් වෙත ගිය තාරා එය අවසන්ව වයිබ්ස් කැෆේ එක වෙත ආවේ මහිල් හමුවන බලාපොරොත්තුවෙනි.

හෙට දවසේ දිස්නිගේ විවාහයේ කටයුතු තිබෙන නිසාවෙන් තමාට සැඳෑවේ මෙහිඑන්නට නොඑන බව මහිල්ට පවසන්නට තාරාට උවමනා විය.

තාරා අතිරේක වැඩ කටයුතු අහවර කර එද්දීත් එහි සංගීත සන්ද්‍යාව ආරම්භ වී තිබුනි. මහිල් උන්නේ ගීය ගයමිනි. එහෙත් වයිබ්ස් කැෆේ හි ගස් අතරින් එබිකම් කරමින් කහ පැහැ මන්දාලෝකයක් විහිදුවමින් සිනා සී සී උන් විදුලි බල්බ යටින් ඇවිද විත් සිමෙන්ති පඩිපෙල නැගි තාරා වෙත සිනාවන් විහිදුවන්නට එකී ගායනය මහිල්ට බාධාවක් උනේ නැත.

පලමු ගී ගායනය මහිල්ට නිවි හැනහිල්ලේ අවසන් කරන්නට ඉඩ දී තාරා තමා වෙත ආ හුරුපුරුදු වේටර්වරයාට ඇණවුම ලබා දුන්නාය. 

අතේ බැඳ ඇති ඇපල් අත් ඔරලෝසුව නද දෙන්නේ දුරකතන ඇමතුමක් බව පවසමිනි. දුරකතනය තිබුනේ අත් බෑගයේය. නාද නොවන ලෙස සකසාය. ඇමතුම අමන්දාගෙනි.එය රාජකාරිය හා සම්බන්ද දෙයක් වන්නට ඇතිහැකියාව ඉතා ඉහලය. දුරකතනය අතට ගත් තාරා හිඳ ගෙන අසුනෙන් නැගී හිඳ නිශ්ශබ්ද තැනක් වෙත පියමැන්නේ “කෝල් එක අරගෙන එන්නම්” යැයි මහිල්ට අතින් සන් කරමිනි.

තමාත් තාරාත් කොපමණ  සමීපද කියා මහිල්ට එවෙලේ නොහිතුනා නොවේ. ඇය මුලින්ම මෙහි ආ දවසත්, තමා සිනාසුන විටඑයට සිනාවකින් පිලිතුරු නොදී අහක බලාගත් අයුරත් මතක් වී ගීතය අතරවාරයේම මහිල්ගේ දෙතොල විහිදුනේ සිනාවකට ඉඩ සලසමිනි.

“ඔයා මෙහෙ ආව මුල් දවස මට මතකයි” කියමින් තමා දිනක් කියා අඩවන් සිනාවක් පාද්දී නෙත් කුහුලින් අඩවන් කර තාරා තමා ඇමතූ හැටි මහිල් මතක් කරගත්තේය.

“ඇයි එහෙම කියල අමුතුවට හිනා උනේ”

“නෑ ඉතින් ඉස්සර ඔයා හරි ගණං නේ”

“ඒ කිව්වේ? එකම ගාණ තමයි ඉතින් තාම”

“නෑ ඉතින් මං මුල් දවස් වල ඇවිල්ල කතා කරද්දි ඔයා ඩෝන්ට් කෙයා නේ හිටියෙ. මම ඉතින් අර මනුස්සකමට ඇවිත් කතා කරාමත් ඔයා නිකන් හිටියෙ මම ඔයා එක්ක යාලුවෙන්න ආව වගේනේ”

“මං හිතුවෙ ඔයාඑන්නෙ එහෙමදේකට කියල තමයි” කියා හිස කේ ගස්සමින් තාරා උස් හඬින් සිනාසුනාය. මහිල් එදෙස බලාඋන්නේ ද සතුටෙනි. තාරා තමන්ගේ නිවසේ හිඳින්නේ සතුටෙන් නොවන බව මහිල් දනී.ඇය බිඳක් හෝ හදවතින් සිනාසෙන්නේ මේ ගෙවෙන කුඩා නිමේශයක පමණක් බව මහිල් දනී.

ඉතින් ඒ සිනාව තමන්ට සතුටක් නොවේද?

දුරකතන ඇමතුම රාජකාරියට සම්බන්ද වූවකි. එහෙත් හෙට දින පැවැත්වෙන දිස්නිගේ විවාහ මංගල්‍ය උත්සවය නිසාවෙන් චිරායු කිව්වද කාර්‍යාලයට නොයා හිඳින්නට තාරා සිතා උන්නාය. ඒ උත්සවයක් අතරතුර චිරායුගේ නෑයන් අස්සේ තමන්ට බනින්නට චිරායුගේ මවට හේතුවක් සලසා නොදෙන්නට සිතමින. 

හෙට දවසම නිවසේ හිඳින්නට වීම කෙතරම් එපා කරවන්නක්ද කියා අමුතුවෙන් කිව යුතු නොවේ. රාජකාරි ඇමතුම අවසානයේ “හෙට මොන දේකටවත් තරහ ගන්නෙ නැතුව ඉඳපං. උන් මොනව කිව්වත් ඩබල් ඉවසපං. නැත්තම් ඔය නෑයො ඉස්සරහ උඹේ සායම යවන්න බලාවි අර මහ අම්මණ්ඩි” කියා අවවාද කරන්නට අමන්දා අමතක කලේද නැත.

හෙට දවස ඉතා තීරණාත්මක බව තාරා නොදන්නවා නොවේ. එහෙත් ඒ තීරණාත්මක බව මග හරවා ගන්නට නොහැකි එකකි. තමා විස්න් මුහුණ දිය යුතුම එකකි.

දුරකතන ඇමතුම අවසානයේ තාරා ආපසු හැරී ආවේ මහිල් විසින් දෙවන ගීය ගයන්නට අරඹනවාත් එක්කමය.

ඒ හංස විලක් චිත්‍රපටයේ එන ගීතයකි. හංස විලක් නැවත තිරගත කල වෙලේ තාරා චිරායු සමග ගොස් එය නැරඹුවේ මහරගම ඇමිටි හෝල් එකේදීය. ඒ ගීතයට තාරා බොහෝ ආසා කලාය. එහෙමකට කියා සින්දු කියන්නට නොහැකි වුනද ඇතැම් විට එය මුමුණන්නට කටයුතු කලාය. අද මහිල්ගේ ගැඹුරු, සංවේදී හඬින් එයම ඇසේ.

“හෙමින් සැරේ පියා විදා” 

තාරා සිමෙන්තිපඩිය නැගී තම අසුන වෙත යන්නට පියවරක් තැබුවේත් දෙවන ගී පදය ඇසුනේත් එකම මොහොතකය.

“සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්”

ඒ මෙතෙක් දිනක් වයිබ්ස් කැෆේ හිදී නොඇසුණ හඬකි. කැරලි කෙස් හිමි දඟකාර නෙතකුත් සසැලෙන දෙතොලකුත් හිමිකාරියකි. ගීතයේ තාලයට ඇගේ නෙත් මහිල් වෙත ආරාධනාත්මක අයුරින් ඇදෙනුත් ඒ ඔස්සේ මහිල් ඇය දෙස බලා සිනාසෙනුත් තාරා දුටුවාය. 

ඒ බොඳවුණු දෑසකිනි.

තමා මෙහි ආ වග මහිල් නොදුටු බව තාරා දුටුවාය.

සිත අස්සෙන් ගින්දරක් පැන නැගුනේ ඇයිද කිය නොදනී. එහෙත් ඒ ගින්දර හදවතින් පිටාර ගලා මුලු ගතම පුලුස්සා දමන්නක් මෙන් තාරාට දැනුනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles