සාගර තරංගා – 16

0
7159

තරංගා ආපසු එතැයි බලාගෙන උන්නු මේධංගට තරු පෙනුනේ නොසිතූ වෙලාවක තරංගාගේ නීතිඥවරියගෙන් දුරකතන ඇමතුමක් ආ තැනදීය. තරංගා ආපසු අඬාගෙන එනු මිසක කිසිසේත්ම මෙවන් පියවරක් ගනු ඇතැයි බලාපොරොත්තු නොවිච්ච මේධංග වඩාත් කිපුණේ එහෙම පියවරක් ගන්නට පවා තරංගාට මෙච්චර දේවක් උනාට පස්සෙත් තිබිච්ච හිතේ හයිය ගැනය.

“මිස්ටර් මේධංගගෙ ලෝයර් එක්කත් කතාකරන්න තිබුණා නම් මට තව ලේසියි” කියා තරංගාගෙ නීතිඥවරිය කියද්දී මේධංග සුලු වචන කිහිපයකින් දුරකතන ඇමතුම අවසන් කරේ ඇත්තටම කලබලයට කියන්න දෙයක් තිබුණේ නැති හන්දාය. 

මේධංගට එවෙලේ කරන්න තිබිච්ච එකම දෙය තරංගාට දුරකතන ඇමතුමක් දී “මොකද්ද මේකෙ තේරුම” කියා අහන එකය.

“මොකද්ද තේරුම කියලා අහන්නෙ? ඔයාම නේද කිව්වෙ මට ඩිවෝස් එකකට යන්න ඕන කියලා. ඉතින් මම ලෝයර් කෙනෙක්ට කතා කරා.ඒකෙ තේරුම මං ආයෙ ඔයාට අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනෙ නේද?”

“තමුසෙට කොහෙන් ආපු හයියකටද මට එක එක ලෝයර්ලා දාලා නීතිය උගන්වන්න හදන්නෙ? මං බයවෙයි කියලද හිතාගෙන ඉන්නෙ? තමුසෙට මමත් නැති උනොත් කවුරුවත් නෑ ඕයි. තමුසෙ හිතන් ඉන්නෙ මහ ලොකු අයියයි අක්කයි හැමදාම කරාවි කියලද? ඔය ලෙඩ ළමයා ඔක්කෙ ගහගෙන තමුසෙට පාරවල් ගානෙ ලගින්න වෙන්නෙ. ඉන්නවත් තැනක් හරියට නැති හිඟන්නිගෙ උද්දච්චකම නම් තියෙනා අහස් උසට”

“මේධංග මේ තමුන් අමනුස්සයෙක් බව මට ආයෙ ආයෙ අමුතුවෙන් හගිස්සන්න ඕන නෑ. මම ඒක හොඳටෝම දන්නව මේ වෙච්ච හැමදේකින්ම මට ඒක තේරුම්ගන්න අමාරු උනේ නෑ. හැබැයි මේ මගේ ලෝයර් තමුන්ට කෝල් එකක් දුන්න පලියට මට කෝල් කරලා මටයි මගෙ දරුවටයි අපහාස කරන්න නම් ලෑස්ති වෙන්න එපා හොඳේ.. 

තමුන්ම නේද මට කිව්වෙ ගෙදරකවත් නැති ගෑණියෙක්ගෙන් වැඩක් නෑ දික්කසාද කරලා දානව කියල. මහ ලොකුවට කිව්වට එහෙම කලේ නැති හන්දා තමයි මම ලෝයර් කෙනෙක්ට කතා කරලා වැඩේ ඉක්මන් කරේ. තමුන්ට ගෙදරක නැති ගෑණියෙක් උවමනා නැති එකටත් වඩා මට තමන්ගෙ ලෙයින් ජාතක කල දරුවව තාත්තා විදියට භාරගන්න බැරි මිනිහෙක් ගෙනුත් වැඩක් නෑ. මෙච්චර කාලයක් මම තමුන් තමුන්ගෙ අම්මා එක්ක එක්කහු වෙලා මට කිව්ව කෙරුව හැම නෝක්කාඩුවක්ම අහන් හිටියනෙ. දැන් මම ඉන්නෙ තමුන්ගෙ ගෙදර නෙවෙයි. ඒ හන්ද ඔය ඉස්සර දාපු සද්ද දැන් දාන්න එන්න එපා” කියා තරංගස් දුරකතන ඇමතුම විසන්ධි කර වේගයෙන් වේගයෙන් හුස්ම ගනිමින් දෙණියායේ මහගෙදර කුස්සිය පිටිපස්සෙ තණකොල පිස්ස උඩ එහාටත් මෙහාටත් ඇවිද්දාය. 

දවල් කෑමෙන් පස්සේ සනුකි උන්නේ සුවබර නින්දක හන්දා ලැබිච්ච විවේකයෙන් අලුතෙන් අරගත්ත පොතක් කියවන්න එලියට ආවද මේධංගගේ ඇමතුමෙන් ඒ නිස්කාංසුව හිතෙන් බොහෝ ඉවතට තල්ලු වී ගියාය. තරංගා මේධංගට කියූ හැමදෙයක්ම කුස්සියට වී හවසට පෑන් කේක් කන්නට පොල් පැණි මිශ්‍රණය හදමින් උන් නර්මදාට නොඇසුණා නොවේ. තමන්ගේ තැනක උන්නත් ඒ ඇසුණ වචන සියල්ලම අයිති නංගීගේ පෞද්ගලික ජීවිතයට හන්දා නර්මදාට ඒ ගැන තරංගාගෙන් විමසන්න හැකියාවක් තිබ්බේ නැත. එහෙත් නොඅහ ඉන්න පුලුවන්කමක් තිබ්බේත් නැත. මොක උනත් ස්වාමියාගෙ ගෙදරින් දික්කසාද වෙන බලාපොරොත්තුවෙන් පිටවෙච්ච නංගීට දැන් තමන් සහ භානුක හැරෙන්න වෙන කවුරුවත් නැත. එහෙම එකේ සැප කෙසේවෙතත් දුක බෙදාගන්න ඕනමය. පොල් පැණි මිශ්‍රණය ලිපේ තියෙද්දීම පියනකින් වසා ලිප නිවා දමා නර්මදා තණකොල පිස්සට පය තිබ්බේ තමන්ට පිටුපා ගේ පිටිපස්සට ලේන කඳු වලල්ල දිහා නෙත් යොමාගෙන කල්පනාවක ගිලී ඉන්න තරංගා දෙස බලාගෙනය.

අතරින් පතර උඳුපියලිය වැල් ගිය තණ කොල ගොන්න දෙණියායට උරුම තෙත බරිත බවින් පෙඟී නැති වෙලාවක් නැති තරම් ය.වෙනදාක මෙන්ම අදත් නිරුවත් යටි පතුලට ඒ තෙත බරිත සීතල දැනුනද වෙනදා මෙන් ඒ සීතලට හිතේ වූ ගින්න නිවන්න හැකියාවක් තිබුනේ නැත.

“නංගි බර කල්පනාවක මොකෝ”

“කල්පනා කරන්න දේවල් ද අක්කෙ නැත්තෙ” කියා මොහොතකට කතාව නතර කල තරංගා ආයෙම වතාවක් අක්කාගේ මුහුණ දෙස බැලුවාය. කුස්සියෙ උන්නු අක්කාට තමන් මේධංගට කියූ හැම වචනයක්ම ඇහිච්ච බව දන්න හින්දාම පමණක් නොවේ, තමන්ට දෙයක් කියන්න බෙදාගන්න හිතවත් කෙනෙකුට ඉන්නේ අක්කාත් අයියාත් පමණක් හන්දාම ඉතුරු වචන ටික හීන් සැරේ ගෙතුවාය.

“කතාකරේ මේධංග අක්කෙ” තරංගා ඒ වචන ටික දිවෙන් එලියට දැම්මේ අමාරුවෙන් වගේ බව නර්මදාට නොතේරුනා නොවේ. ඒ නිසාම නර්මදා අහන්න තියෙන ඔක්කොම ඇහුවේ තරංගාගේ දෙනෙත මගහැර තණකොල පිස්ස අස්සේ හිඳ කකුල දිගේ නගින්න ආ කූඩලු පැටියෙක් ඇඟිලි දෙකෙන් අල්ලා ඈතට විසික්කර දමමිනි.

“මේධංග මොකද කියන්නෙ නංගි”

“අපි කතාකල ලෝයර් එයාට කෝල් කර එකට එයාට ඩෝං ගිහින්”

“අර මොකටද? එයාටම නේද ඉස්සෙල්ල දික්කසාදෙ ගන්න ඕන උනේ” නර්මදා කිව්වෙ බිඳක්වත් කලබල නොවී ඉවසිල්ලෙනි. මේව මේ එහෙම කලබල වෙලා ගන්න පුලුවන් තීරණ නොවන බව නර්මදා ඉගෙනගෙන තිබුනේ සතලිස් වසරකට කිට්ටු කාලයක් ගෑණියෙක් ලෙස ජීවත් වීමෙනි. 

“ඒක නේන්නං අක්කෙ මාත් කිව්වෙ. කවුරුවත් නැති දවසක මම ලෙඩ ලමේක් එක්ක තනිවෙනවය, හිඟන්නෙක් වගේ පාරට වැටෙන්නය වෙන්නෙ, ඒක දැනගෙනත් උද්දච්චකමට ලෝයර්ස්ල ලව්ව එයාට කෝල් කරේ හයිරංකාරකම පෙන්නන්නද කියලා අහනවා. පිස්සු මිනිහෙක් ඇත්ත අක්කෙ මට හිතාගන්න බෑ”

“බාගදා මේධංග හිතන්න ඇත්තෙ රණ්ඩුවක් වෙලා ගෙදරින් ගියාට ඔයා ඒක එච්චරම ලොකුවට අරගන්න එකක් නෑ කියලා නංගි. තරහා ගියාම, රණ්ඩු උනාම මිනිස්සු ඉතින් කියන කටෙන් පිටකරන වචන හොඳට හිතලබලලා දුර දිග කල්පනා කරන ඒව නෙවෙයිනෙ නංගි”

“ඒ අක්කාට මේධංග කිව්ව ඒව ඇහිච්ච නැති හන්දනෙ අක්කෙ. හරිහමන් මිනිහෙක් නම් මට මොනවා කිව්වත් තමන්ගෙ ලෙයින් ජාතක වෙච්ච දරුවට අර වගේ ජරා කතා කියනවද අක්කෙ? මේධංග හිතාගෙන ඉන්න ඇත්තෙ ගෙදරින් පල කිව්වම මම මේ දරුව උස්සගෙන අඬාගෙන බැල්ලියෙක් වගේ පස්සෙන් ඒය කියල”

“මං දන්නෙ නෑ මං මෙහෙම නංගිගෙන් අහන එක හරිද කියලත්. නංගිට හිතෙන්නෙ නැද්ද ආයෙම එක පාරක් හරි මේධංග මල්ලි එක්ක මේ වෙච්ච හැමදේම ගැන නිවි හැනහිල්ලෙ කතාකරා නම් හොඳයි කියලා”

නර්මදා එහෙම කියන ගමන් හීන් සැරේ දෙනෙත උස්සා තරංගා දෙස බලද්දීත් තරංගා උන්නේ තමන් කකුල දිගේ උඩට නගින්න වෙර දැරූ කූඩලු පැටියාව විසිකල පැත්ත දිහා බලාගෙනය. 

“නිවිහැනහිල්ලෙ කතාකරන්න දෙයක් අපිට ඉතුරුවෙලා තියෙනවා කියලා අක්කා හිතනවද?”

“සමහර මිනිස්සු තරහා ගියාම හිතට එන දේවල් ඔහේ කියලා දානවා නංගි. සමහරු ඒවා හිතල කියන්නෙ නෑ. ඒ වගේ පොඩි පොඩි වැරදි වලට…”

“තමන්ගෙ දරුවා අසනීපෙන් විත්තිය දැන දැනම ඒක නිකන් මමයි දරුවයි දෙන්නම එයාට කල වරදක් වගේ කියන එක පොඩි වරදක්ද අක්කෙ? අම්මා එක්ක අක්කහු වෙලා තමන්ට ජාතක වෙච්ච දරුවගෙ අසනීපෙ ගැන කුලමල කියන එක පොඩි වරදක්ද අක්කෙ? මට කියපු හැම දේම මම ඉවසන් උන්නා අක්කෙ. මගෙ දරුවට ඒ වගේ අමනුස්සයන්ගෙ වචනයක්වත් ඇහෙන්න ඕන නැති හන්දයි අක්කෙ මං ගෙයින් එලියට බැහැලා ආවෙ. එහෙම මිනිස්සු එක්ක නිවිහැනහිල්ලෙ කතාකරලා විසඳගන්න දේවල් නෑ මට. මගේ දරුව අසනීපෙන් බව ඇත්ත. මොන මිනව හරි කරල අකුරක් දෙකක් උගන්නල මං නැති දවසක උනත් ඒ දරුවට ජීවිතේ ගැටගහන්න පුලුවන් විදියක් හදන්නයි මං දත කන්නෙ. එහෙම අසනීප දරුවෙක්ව අරහෙම මිනිස්සු ඉන්න තැනක රඳෝලා ඔලුව පිස්සු වට්ටන්න මට ඕන නෑ අක්කෙ. ඒ මිනිස්සු එක්ක තියෙන ලේ බැඳීම පවා ඒ දරුවන්ට විඳවන්න හේතුවක් වෙච්ච කොට තව මොකට සම්බන්ද වෙනවද”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here