දෙහිතක කතාවක් – 05

කෙතරම් නිදාගන්නට උත්සහ කලද ප්‍රභාත් උන්නේ සුව නින්දක් අහලකවත් නැතුවය. නින්ද සොරු ගෙන ගොසින් බව හැඟෙඳ්දී ඇඳෙන් නැගිට කාමරයේ එහා මෙහා ඇවිදිමින් පවා ප්‍රභාත් කල්පනා කරේ කැළුමිණී ගැනය. 

කාර්‍යාලයේදී දුටු ඒ සුන්දර, අවිහිංසක තරුණියට මෙවන් අඳුරු අතීතයක් ඇතැයි තමා කිසිදිනක සිතා නොතිබුන මව මතක් වෙද්දි එහා කාමරයේ නිදන කැළුමිණී වෙත ගොස් “උඹ මට මෙහෙම කරේ ඇයි?” කියා කෑගසන්නට උවමනාවක් සිත ඇතුලෙන් ඇති වේ. එහෙත් මේ කෑගසා විසඳාගත හැකි ප්‍රශ්නයක් නොවේ. අනෙක් අතර කෙතරම් කෑගැසුවද මේ දුක, කලකිරීම සිතෙන් ඉවත් වේයැයි සිතිය හැකිද?

“උඹ කසාද බැඳල ඉන්නේ කැළුමිණී වද?”

මුහුණුපොතේවත් මිතුරෙකු නොවන කෝසල එසේ හදිසියේම තමා අමතා එවන් දෙයක් අසන්නට යෙදීම ගැන ප්‍රභාත් ගේ සිතට කුකුසක් ඇතිවීම පුදුම වන්නට කාරණාවක් නොවේ. කෝසල කැළුමිණීව දන්නා බවක් හෝ නොදැන උන් නිසාවෙන්ම තමා ඊළඟට අසන්නට නියමිත පැනය ඇසූ බව ප්‍රභාත්ට මතකය. එදා ඒ ප්‍රශ්න නොඅසා උන්නා නම් අද මෙසේ එකම නිවසක කාමර දෙදෙනක නින්දක් නැතුව නොඉඳින්නට තිබුණා නේදැයි සිත විමසයි. එහෙත් කෝසල ව්සින් එය කියන්නට නොයෙදුනානම් තමා සදාකාලිකවම හිඳින්නේ විශාල බොරුවක ගිලී නොවේද? 

“ඔව් උඹ දන්නවනෙ කැළුමිණීව?”

“මං මොකද බං නොදන්නේ?” ඒ සිතට අඳුරු සෙවණැල්ලක් සහ තිගැස්මක් පතිත කරවන වදන් කිහිපයකි. අනෙක් අතට කෝසලගේ ස්වරයේ වූ අවඥා සහගත බවත්, ඔහුගේ බැල්මේ වූ සමච්චල් සහගත බවත් ප්‍රභාත්ගේ නෙත නොගැටූනා නොවේ.

“ඇයි උඹ එහෙම කිව්වේ?”

“උඹ කැළුමිණීව අඳුනන්නේ කොහොමද?”

“ඔෆිස් එකේදි යාලු උනේ. එයා ට්‍රේනින් වැටුනෙ මං ගාවට. ඇයි උඹ මේව මගෙන් අමුතුවට අහන්නේ? කියන දෙක එකපාර කියපන්කෝ”

නැවතත් ඒ අවඥාසහගත සමච්චල්සහගත බැල්මය. එය තියුණු හී පහරක් මෙන් අවුත් නෙත මතත් හිත මතත් පතිත වේ. ඒ හැඟීම් පසා කරගෙන යමිනි. සැනසීම සුණුවිසුණු කරමිනි.

“උඹට කැළුමිණී නිම්න ගැන කියල තියෙනවද?”

කෝසල උත්සහ කරන්නේ හරස් පද ප්‍රහේලිකාවක් විසඳන්නට බව ප්‍රභාත්ට තේරුණි. රුධිර අංශු කෝපය නිසාවෙන් කැකෑරෙන බවක් දැනුනා වුවද මේ කෝපය නොව ඉවසීම ඉස්සර කරගත යුතු මොහොතකි.

“ඔව් කැළුමිණීගෙ පරණ බෝයිනේ. මට කැළුමිණී කියල තියෙනවා. ඒක බ්‍රේක් අප් වෙලා සෑහෙන කාලෙකට පස්සෙ තමයි අපි හම්බුනේ”

“බ්‍රේකප් උනා? බ්‍රේකප් උනා නෙවෙයි ඌ මෙයාව දාලා රට ගියා”

“ඇයි උඹ එහෙම කිව්වෙ?”

“කොල්ලො මචං හැම කෙල්ලවම ආස්‍රය කරන්නෙ බඳින්න බලාගෙන නෙවෙයිනෙ. පොඩි ආතල් එකක් ගන්නනෙ. ඉතින් නිම්නත් කැළුමිණීගෙන් ආතල් එකක් අරගෙන අන්තිමේ අතෑරල දැම්මා. උඹ ඉතින් ඒව නොදැන මේකිට කරගහල. ඉස්සර උන් දෙන්න ආවෙ අපෙ අයියගේ ගෙස්ට් එකට. මං ගාව තාම වීඩියෝ හිට තියෙනවා”

එදා ඒ වදන් කෝසලේ හඬින් සවන නොවැකුණා නම්. ඒ දේ දෑස් නොදැක්කා නම් කියා තමා කී වරක් සිතුවාද කියා ප්‍රභාත්ට මතක නැත.

“කොල්ලෙක් උනාම අඬන්න හොඳ නෑ” කියා කුඩා අවදියේ අම්මා කිව්වද දෑස්වලින් වැහිරෙන කඳුලුත්, අනිච්චානුගව මුවින් නික්මෙන ඉකිබිඳුම් හඬත් වලක්වාගත හැකි ක්‍රමයක් ප්‍රභාත් දැන උන්නේ නැත. එහා කාමරයේ හිඳිනා කැළුමිණීට මේ වග ඇෂෙන බවක් වත් ප්‍රභාත්ට දැනුනේ නැත. සිතද ගතද තිබුනේ වේදනාව නිසා ගිනිබත්වය. ඒ දැවීම, ඒ ගිනිගැනීම නිවී සනහාලිය හැකි ක්‍රමයක් ප්‍රභාත් දැන උන්නේ නැත.

කැළුමිණී උන්නේ දෑස් පියාගෙන වුව නින්දක් නොමැතිවය. සඳ එලිය කාමර්‍යේ වීදුරුවෙන් පෙරී විත් සයනය මත පතිතව තිබුනද වෙනදා මෙන් ඒ සඳ එලිය සිසිලසක් මෙන් කැළුමිණීට දැනුනේ නැත. එහි වූයේ දැවීමකි. මේ හැඟීමේ වූයේ දැවීමකි. තමා විසින් කර ඇත්තේ කල නොකල යුතු දෙයක් වුවද දැන් එය සිදු වී හමාරය.

එහෙත්…

එහෙත් ප්‍රභාත් කිසිදිනක තමාව අත හැර දමන අන්දමේ තීරණයක් ගනු ඇතැයි කැළුමිණීට සිතාගන්නටවත් නොහැක.

එහා කාමරයේ හිඳින ප්‍රභාත්ගේ ඉකිබිඳුම් හඬ සවන් මත පතිත වෙද්දී කැළුමිණීට සිතුනේ “අනේ මේ වේදනාවෙන් මාව මැරෙන්නෙවත් නැත්තෙ ඇයි?” කියාය. එය ඒ තරම්ම දරාගන්නට අපහසු හැඟීමකි.  

“ඔයා මට කවදාවත් කිසිම දෙයක් හංගන්නෙ නෑ කියල පොරොන්දු වෙන්න”

ඒ කතාබහ් ඇඳුනේ මදුසමය සඳහා ප්‍රභාත්ගේ කුඩා කාරයේ නැගී කණ්ඩලම හෝටලය බලා පිටත්ව යද්දීය. කණ්ඩලම හෝටලයේ දින තුනක් ගෙවීමට බොහෝ මුදලක් ගෙවන්නට වන බව දැන උන්නද ප්‍රභාත් උන්නේ මදුසමය ගැන බොහෝ බලාපොරොත්තු තබාගෙනය. ජීවිතයට මදුසමයන් එන්නේ එක්වරක් එක් අයෙක් සමග පමණක් බව ඇදහුවෙකි ප්‍රභාත්. 

එදා ඔහු ඒ බව කියද්දී පවා නිම්න සමග ශාරීරිකව වුව එක්තරා සීමාවක් පසුකර නොයන්නට තමා කටයුතු කිරීම ගැන සිත ඇතුලෙන් තමා දෙවියන්ට ස්තුතිවන්ත වූ බව කැළුමිණීට මතකය. එහෙත් ඒ කිසිත් හැඟීමක ප්‍රභාත් රවටන හැඟීමක් නොතිබූ බව ඕනම තැනක ගොස් දිව්‍ රන්නට හැකිය. එහෙත් මෙතර, බොරුවක් හසු වූ වායින් පසුව ප්‍රභාත් තමාගේ ඒ දිව්‍ රීම් විශ්වාස කරනු ඇතිද? අනෙක් අතට එසේ කිරීමෙන් පසුව වුව හිත්මත්තේ තැවරුණ කහට පැල්ලම ඉවත් කරන්නට හැකිද?

උදෑසන අවදි වී ප්‍රභාත් වෙනුවෙන් කෑම සකසද්දි වුව සිත තිබුනේ තෙතබරිතවය. ඒ රැයක් තිස්සේ කඳුලු වගුරාලීම නිසාවෙනි. නැහැයද බරවී සියුම් හිසරදයක් හිස දකුණුපසින් නැගී එන්නාක් සේ දැනුනද  යුතුකම් ඉටුකිරීමපැහැර හරින්නට කැළුමිණීට උවමනා වූවා නොවේ. අනෙක් අතට ප්‍රභාත්ගේ සිත මෙන්ම තමන්ගේ සිත ද සනසාගත හැකි එකම ක්‍රමය නම් වැඩපල කිරීම බවට කොහෙන්දෝ ආ සිතුවිල්ලක් කැළුමිණීගේ සිත අස්සේ ලැගුම් ගෙන තිබුනි.

ප්‍රභාත් කැළුමිණීටත්, කැළුමිණී ප්‍රභාත් ටත් මුහුණේ දුන්නේ අසීරුවෙනි. ආයාසයෙන් නගා ගත් සිනහවකින් ප්‍රභාත් දෙස බැලුවද ප්‍රභාත් උන්නේ එයට පිළිතුරු සිනාවන් සපයන මානසිකත්වයක නොවන ඔහුගේ දෙනෙත් දෙස් දෙයි.

ඒ දෙනෙත් තිබුණේ රතු වී ඉදිමී ය. ඉස්සර දවසක ගමේ ගෙදර ලිඳ අද්දර තිබුන ගොරකා ගසින් ඉදී බිමට වැටුණු ගොරකා ගෙඩිවල පැහැය කැළුමිණීට මතක් වූයේ නිරායාසයෙනි.

ප්‍රභාත් ද රැයේ නොනිදා හිඳි බවට එය සාක්කියකි. මේ සියල්ල තමා නිසාවෙන් නොවේද යන පසුතැවිල්ල කැළුමිණීට දරාගන්නට නොහැක. නිහඬවම කෑම බඳුන අතට ගත් ප්‍රභාත් නික්මුණේ වෙනදා මෙන් සුපුරුදු හාදුව කැළුමිණීගේ නලලත මත නොතරවාය. ඒ අමතක වීමෙන්ද හිතා මතා අමතක කිරීමෙන්ද කියා සිතුවද කුමක් වුවද එහි අවසානය දුකට හේතුවක් බව කැළුමිණී දැන උන්නාය.

අනෙක් අතට ප්‍රභාත් උන්නේද සැනසුමකින් නොවේ. වෙනදා සිනාසෙමින් කාර්‍යාලයේ මිතුරන්ට විහිලු තහලු කරමින් උන් ප්‍රභාත් තම රාජාකාරි ජීවිතයේ කිසි දිනක නොවූ පරිද්දෙන් තමා යටතේ වැඩ කරන සේවකයකුට බැණ වැදීම ප්‍රභාත් දරාගන්නට මෙන්ම කාර්‍යාල සගයන්ට විශ්වාස කරන්නටද අපහසු එකක් විය.

“වැඩ කරන්න බැරි නම් යනව ඕයි යන්නකරන්න පුලුවන් එකෙක්ට කරන්න දීලා” කියමින් තමා භානුකට ඇමතීම නොකල යුත්තක් බව වැටහෙද්දී ප්‍රභාත් උන්නේ කාර්‍යාල පුටුව මදක් ඇල කර ඒ මත ඇලවී දෑස පියාගෙනය. කල්පනා කරමිනි. වේදනාවකිනි. බරැති හිතකිනි.

පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න කිසිවිටක කාර්‍යාලයට හෝ කාර්‍යාල ගැටලු කිසිවිටක පෞද්ගලික ජීවිතයට ගෙන ආ නොයා යුතුය කියා සිතුවද, කීවද තමා විසින්ම එය කඩ කිරීම ගැන පසුතැවිල්ලක් සිත පුරා පැතිරේ.

“ප්‍රභාත් මොකක් හරි ප්‍රශ්නෙකද?”

ප්‍රභාත් දෙනෙත් හැරියේ ඒ හඬටය. තමාට නොදැනුනද අමීශා එහි විත් සෑහෙන වෙලාවක් බව ප්‍රභාත්ට සිතුනේ ඇයගේ දෙනෙතේ ඇඳී තිබුණ බැල්ම තේරුම් ගෙනය. එහෙත් මේ කිසිවෙකු සමග බෙදාහදා ගත හැකි විස්තර ද?

“එහෙම දෙයක් නෑ, ඇයි අමීශා ආවේ?”

ෆයිල් මිටියක්ද අත තබාගෙන තමා ඉදිරියෙන් සිට ගෙන හුන් අමීෂාගේ කුතුහලය රැඳි දෙනෙත් මග හරිමින් ප්‍රභාත් පුටුව නිසි ලෙස සකසා අසුන්ගත්තේ රාජකාරි කටයුතු සඳහා සැරසීමටය. අමීෂාගෙ අතින්ගත් ෆයිල් චෙක් කර, ඇය විසින් කල යුතු වෙනස්කම් පවසා අවසානයේ ඇයට යන්නට අවසර දුන්නද අමීෂා උන්නේ යන බලාපොරොත්තුවක නොවන බව තේරුම් යාම ප්‍රභාත්ට කුතුහලයට කරුණක් විය.

“ඇයි අමීෂා?”

“ප්‍රභාත් ප්‍රශ්නෙ තියෙන්නෙ පර්සනල් ලයිෆ් එකේනම් බෙටර් ඉෆ් යූ කීප් ඉට් විතින් යුවර් පර්සනල් ලිමිට්ස්. ඔයා දන්නවනෙ අපේ ඔෆිස් එකේ ගොඩක් අලුත් අය ඔයාව රෝල් මොඩල් කෙනෙක් විදියට දකිනව. ඒක නැති කරගන්න එපා. අපි හැමෝටම ප්‍රශ්න එනවනෙ. බට් වීස් ශුඩ් නෝ වෙයාර් ටු ඩ්‍රොව් ද ලයින්”

මිහිරි සිනහවක් සහ තේරුම් ගත නොහැකි සැනසුමක් වීදුරු කුටිය තුල ඉතිරි කර අමීෂා යන්නට වුවද ප්‍රභාත් උනේ සිතමිනි.

තමා ගැනම සිතමිනි. තමා වටා කැරකෙන මේ ප්‍රශ්න ගැන සිතමිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles