සැකය

ගෙදර සේරම වැඩ ඉවර කරපු ඉනෝකා කාමරේට එන කොට රෑ එකොලහමාර පහුවෙලා.දේවක දුරකථන තිරයට මුහුණ ඔබාගෙන ඇඳේ හාන්සි වෙලා ඉන්න හැටි ඇය දැක්කෙ ඒ වෙලාවෙ

” මොනාද දේවක කරන්නේ ? “

දේවක දුරකථනය අතේ තියාගෙන ඉන්නවා දැක්කම ඉනෝකා ඉක්මන් ගමනින් දේවක ළඟට ආවා

” මම මේ නිකන් එෆ්බී එකේ එහාට මෙහාට වෙවී හිටියා”

” කෝ දෙන්න බලන්න “

ඉනෝකා දේවකට කිසිවක් ම හිතන්නවත් ඉඩ නොතියාම ඔහුගේ දුරකථනය උදුරලා ගත්තා

” මේ මොකද ? “

දේවක ඇහුවේ පුදුමයෙන්.දේවගේ දුරකථනයෙ දිහා බලපු ඉනෝකා ආපහු කිසිවක් නො වුණා වගේ එය ඔහු අතටම දුන්නා.

” නෑ ඉතින් එෆ්බී එකේ ඉන්නවා කියල කිව්වට මොනව කරනවද දන්නෙ නැහැනෙ .ඒකයි බැලුවේ “

එහෙම කියපු ඉනෝකා නාන කාමරේ පැත්තට ගියා.සිදු වුන දේ ගැන නොරිස්සුමෙන් වගේ දේවක මොහොතක් කල්පනා කලා.

” ඔයා දන්නවා නේද සංගීතාව ? අර මෙහෙත් ආවේ ? “

නාන කාමරයෙන් එලියට ආව ඉනෝකා කතාව පටන් ගත්තා

” ඔව් මට මතකයි. ඔයාගේ ක්ලාස් එකකද කොහෙද කිව්වේ “

” අන්න හරි.එයා තමයි. එයාගෙ හස්බන්ට වෙන එෆෙයාර් එකක් තිබිලා අහු උනා ලු “

” නෑ. ඉතින් ? “

” කාර් එකේ තිබිලා film බලන්න ගිය ටිකට් දෙකක් . එකෙන් පස්සෙ මෙයා හස්බන්ඩ් ගැන හොයලා බලද්දි තමයි වැඩේ අහු වෙලා තියෙන්නේ “

” ඉතින් දැන් මොකද්ද සංගීතා කරන්න හිතන් ඉන්නේ “

” එයා නම් කියන්නේ ඩිවෝස් වෙන්න ඕනේ කියලා. ඒ උනාට තාම ඔය ගෑනු කෙනා කවුද කියලවත් එයා හරියට දන්නේ නැහැලු. හස්බන් නම් කියන්නේ එයාට හම්බුන ටිකට් දෙකක් මිසක් එයා ෆිල්ම් බලන්න ගියෙ නැහැ කියලා ලු. එහෙම ටිකට් හම්බුනා කියලවත් එයාට මතක නැතිලු”

” එහෙනම් ඉතින් එහෙම වෙන්නැති නේද ? “

ඉනෝකා කියපු දේවල් එතරම් ගණනකට නොගත්ත දේවක සූදානම් වුණේ නිදාගන්න

” මොන පිස්සුද ? ෂුවර් එකටම මිනිහා කාලයක් තිස්සේම ඔය එෆෙයාර් එක කරගෙන යන්න ඇති. දැන් වැඩේ මාට්ටු උන නිසා සංගීතා ව රවට්ටන්න බොරු ගොතනවා ඇති “

ඉනෝකා සමච්චල් සහගත විදිහට හිනා උනා.අනුන්ගේ ගැටළු ගැන විනිශ්චයකට එළඹෙන්න තමන්ට නොහැකි නිසා දේවක නිහඬ වුණා.

” මම උපුල්ගේ ෆෝන් එකත් බැලුවා ඉනෝකා.ඒත් මට මොනවත්ම හොයාගන්න බැරි වුණා “

පහුවදා දේවක වැඩට ගියාට පස්සේ ඉනෝකාව මුණගැහෙන්න සංගීතා ගෙදරටම ආවා

” ඔයාට තියෙන්නේ උපුල්ගේ ඔෆිස් එකේ කාව හරි අල්ලගෙන විස්තර ටිකක් හොයලා බලන්න “

ඉනෝකා සංගීතාගේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට දුන්නේ වෙනමම අදහසක්

” ඒ උනාට ඉතින් ඔෆිස් එකේ ඔක්කොම ඉන්නේ එයාගේ යාලුවොනේ.එයාලත් ඕවට උදව් කරනවා ඇති “

” එහෙමයි කියලා මේක අතාරින්න නම් හදන්න එපා සංගීතා. කවුද දන්නේ ඔය යාලුවෙලා ඉන්න ගෑනු කෙනා මේ මනුස්සයාගෙන් සල්ලි කඩා ගන්නවා ද කියලා “

ඉනෝකා එහෙම කිව්වට පස්සේ සංගීතා කල්පනාවට වැටුණා. ඉනෝකා කියපු විදිහටම වැඩ කරන්න හිතා ගත්තා

” ඔයා ඕවට මැදිහත් වෙන්න යන්න එපා ඉනෝකා. අන්තිමට නැති ප්‍රශ්න ඇති වෙලා මහා විනාසයක් වෙන්නේ “

දේවක හවස ගෙදර ආවට පස්සෙ ඉනෝකා තමන් සංගීතාට දීපු උපදෙස් ගැන කිව්වා.

” කොහෙන් කොහොම හරි මේ ගැන හොයලා බලන්න ඕනනේ. එහෙම හොයලා නොබැලුවොත් වෙන්නේ සංගීතාගේ පවුල කැඩෙන එක නේ. ඒකයි මම කිව්වේ ඔෆිස් එකෙන්වත් මේ ගැන හොයලා බලන්න කියලා “

තමන් කරන්නේ එතරම් සුදුසු දෙයක් නෙමෙයි කියලා පිළිගන්න ඉනෝකා කැමති වුණේ නැහැ

” ඒක නෙමෙයි දේවක. ඇයි ඔයා අද ඔෆිස් ඇරිලා එන්න පැය දෙකහමාරක් විතර ගියේ ? වෙනදට පැයෙන් ගෙදර එනවා නේ ? “

ඉනෝකා දේවක දිහා බැලුවේ සැකෙන් වගෙ

” ඇයි අනේ මම ඔයාට කිව්වේ හවස මීටින් එකක් තියෙනවා කියලා “

දේවක ටයිපටිය ගලවලා කන්නාඩි මේසෙ උඩින් තිබ්බා

” කොයි වෙලාවෙද මට කිව්වේ ? “

” ඇයි මම උදේ ඔෆිස් එකට ගිහින් කෝල් කරපු වෙලාව ඔයාට කිව්වේ ? ඔයාට ඉතින් කොහේ මතක තියෙන්න ද ? ඔයා ගෙදර වැඩ කරනවට වඩා කරන්නෙ අනිත් මිනිසුන්ගේ පවුල් ප්‍රශ්න විසඳන එක නේ . ගෙදර ආව වෙලේ ඉඳන් ඒවා කතා කරනව මිසක් මහන්සි වෙලා ආව මට තේ එකක් වත් ඔයා හදලා දුන්නද ?

දේවක එහෙම කියනකොට ඉනෝකා කෝපයෙන් වගේ නැගිටලා කුස්සියට ගියා.එතකොටම ඉනෝකාගේ දුරකථනය නාද වෙන හඬත් , ඇය උස් හඩින් කාටදෝ බනින හඬත් දේවකට ඇහුනා

” ඔය මනුස්සයා ඔෆිස් එකේ මිනිස්සුන්ටත් උගන්වලා ඇති බොරු කියන්න .කෝකටත් ඔයා හෙට හවසට ඔෆිස් එක ළඟටත් ගිහින් බලන්න සංගීතා “

කුස්සියට එමින් හිටපු දේවකට ඒ වචන ටික පැහැදිලිවම ඇහුණා. ඉනෝකා වැටෙන්නට යන්නේ එතරම් සුළුපටු අමාරුවක නොවන බව ඉවෙන් වගේ දැනුනත් ඉනෝකා කියන්නේ දෙයක් ලේසියෙන් තේරුම් කරන්න පුළුවන් කෙනෙක් නොවන නිසා දේවක නිහඬව හිටියා

ඉනෝකා ඕනාවට එපාවට වගේ හදලා දීපු තේ එක බීපු දේවක නාන්න හිතාගෙන නාන කාමරයට ගියා .මහන්සිය නිසාම පැය භාගයකටත් වඩා කාලයක් නාපු දේවක නාන කාමරයෙන් කාමරයෙන් එලියට ආවේ සින්දුවකුත් මුමුනන ගමන්. දේවක එලියට එනකොට ඉනෝකා දේවක ගේ දුරකථනය අතේ තියාගෙන එය පරික්ෂා කරන ගමන් ඇඳේ කොණක වාඩි වෙලා හිටියා

” ඔය මොකක්ද ඉනෝකා ඔය කරන්නේ?”

දේවක ගේ හඬට ඉනෝකා ගැස්සුනා

” ඇයි ? “

” මොනවද ඔය මගේ ෆෝන් එක තියාගෙන කරන්නේ? “

” මම මේක නිකං බැලුවා “

කලබලයෙන් වගේ එහෙම කියපු ඉනෝකා දුරකථනය ඇඳ උඩම තියලා කාමරයෙන් එළියට ගියා. ඉනෝකා තමන්ගේ දුරකථනය පරික්ෂා කරපු වග තේරුණ නිසා දේවකගේ මුවට හිනාවක් නැගුණා

පහුවදා හවස දේවක වැඩ ඇරිලා ගෙදර එනකොට ඉනෝකාගේ මුහුණ එතරම් හොඳ නැති බව දේවකට පෙනුනා

” මොකද ඉනෝකා ? ඔයා ඇඬුවද ? “

දේවක එහෙම අහනකොට ඉනෝකා බිම බලා ගත්තා. ඉනෝකා ආයෙ ආයෙම දෑස් පිස දා ගත්තේ හැඬුම අලුත් උන නිසා කියලා දේවක දැක්කා

” මොකද වෙලා තියෙන්නෙ ? මාව බය කරන්නෙ නැතුව කියන්නකො ඉනෝකා ? ගෙදර කවුරු හරි අසනීප වෙලා වත්ද ? “

” අද සංගීතා උපුල් එක්ක මෙහෙ ආවා හවස. උපුල් මට කෑ ගැහුවා “

” මොකක් ? ඒ මොකටද ?”

” නෑ ඉතින් මම සංගීතාට කිව්වා උපුල්ගේ ඔෆිස් එක ළඟටත් ගිහින් බලන්න කියලා. සංගීතා ගිහින් තිබුණා.ඇත්තටම ඒ මනුස්සයාගේ එහෙම එෆෙයාර් එකක් නැහැල්ලු.එදා අර කවුද යාලුවෙක් දීපු ටිකට් දෙකක් වාහනයේ තිබුනට ඒක තියෙනවා කියලත් අමතක වෙලාලු තිබුණේ. සංගීතා මම කියපු විදිහට ඔෆිස් එකේ අයටත් කතා කරලා ඔෆිස් එක ළඟටත් ගිහින් තිබුන නිසා වැරද්දක් නොකරම එයා ලැජ්ජ වුණා කියලා උපුල් මට කෑ ගැහුවා “

” ඒ මිනිහා ඔයාට කෑගහනකන් සංගීතා මොකද කළේ ? “

” සංගීතා තමයි උපුල්ට කියලා තිබුණේ ඒ විදියට වැඩ කරන්න කිව්වේ මම කියලා.ඒත් එයා හිතලා නැහැ උපුල් බලෙන්ම වගේ ඇවිත් මට කෑගහයි කියලා . එයාලගේ පවුල කඩන්න හදනවා කියලා උපුල් මට බැන්නා දේවක “

එහෙම කියපු ඉනෝකා ආයෙමත් අඩන්න ගත්තා.මේ වගේ දෙයක් බලාපොරොත්තුවෙන් හිටපු දේවක කියන්න ඕනේ මොනවද කියලා හිතාගන්න බැරිව ලොකු සුසුමක් මුදාහැරියා

” දේවල් හරිහැටි හොයල බලන්නෙ නැතුව ප්‍රශ්න වලට විසඳුම් හොයන්න යන්න හොඳ නෑ ඉනෝකා. විශේෂයෙන්ම අනුන්ගේ පවුල් ප්‍රශ්න ගැන තීරණ වලට එළඹෙන්න අපිට බැහැ. මම ඔයාට මුලදිම කිව්වේ ඒකයි ඔය දේවල් වලට අත දාන්න එපා කියලා . අන්තිමට කොහෙවත් හිටපු ඔයා පවුලක් කඩන්න හදපු කෙනෙක් ගානට වැටුණා.පහුගිය දවස් ටිකේ ඔයා අනවශ්‍ය විදිහට මගේ වටේ කැරකුණේ මමත් උපුල් වගේ හිතලා කියලා මම දන්නවා. සැකය කියන්නෙ පවුල් ජීවිතයක් අතරට එන්න ඕන දෙයක් නෙමෙයි කියලා දැන්වත් ඔයා තේරුම් ගන්න ඉනෝකා “

කලකිරීම මුසුවුණ හඬකින් එහෙම කියපු දේවක කාමරයට යද්දි ඉනෝකාගේ හැඬුම තව තවත් වැඩිවුනා

More Stories

Don't Miss


Latest Articles